ජේ. ආර්. ⁣නොරිස්සූ ඩඩ්ලිට ගරු කළ විප්ලවවාදියා | සිළුමිණ

ජේ. ආර්. ⁣නොරිස්සූ ඩඩ්ලිට ගරු කළ විප්ලවවාදියා

කාකි යුද හමුදා ඇඳුමෙන් සැරසී යුද්ධ සෙබෙළකුගේ වෙස්වළා ගත් මම පිස්තෝලය ද රැගෙන ඩේවිඩ් සමඟ මැදියම් රැයේ බෝගම්බර හිර ගෙය අබියසට ගියෙමි. දොරටුවට යාර විස්සක් පමණ දුරින් මො⁣ටෝරිය නැවැත්වීමි. ඩේවිඩ් රිය තුළ සිටියදී මම එයින් බැස ගොස් දොරටුවට තට්ටු කළෙමි. ඇතුළතින් පිළිතුරක් ලැබිණි. "අද බෑ හෙට" යන ඒ පිළිතුර මා බලාපොරොත්තු නොවූවකි. එහෙත් මම එයින් පසුබට නොවූයෙමි. මට පිලිප්ගෙන්ම (ගුණවර්ධන) පිළිතුරක් අවශ්‍ය විය. එම නිසා "මට නියම අයගෙන්ම පිළිතුරක් ඕනෑ"යයි කීවෙමි.

"අද නොවේ මල්ලියේ හෙට" යයි එයට පිළිතුරු ලැබුණේ ය. පිලිප්ගේ කටහඬ හඳුනාගත් මම එයින් සෑහීමට පත්ව ආපසු මො⁣ටෝරිය වෙත ගොස් මගේ හිතවත් ඩේවිඩ් සමඟ "ලේඩි බ්ලේක්" පාරේ නිවසට ගියෙමි. "

මෙය බටහිර ඉංග්‍රීසි චිත්‍රපටයක ජවනිකාවකට සමාන ඇත්ත සිද්ධියකි. එහි කතා නායකයා එසේ මෙසේ පුද්ගලයකු නොවේ. බොරළුගොඩ රාලහාමිගේ පිරිමි දරුවන් වූ හැරී, පිලිප් යන පිරිමි දරුවන්ගේ බාලයා වූ දොන් බෙන්ජමින් රූපසිංහ නොහොත් ඩී. බී. ආර්. ගුණවර්ධන; වඩාත් ප්‍රකට වූයේ "රොබට්" යන ආදර නාමයෙනි.

මුලින් සඳහන් වූ මිල්ටරි චරිතය ඔහුගේ ජීවිත සිනමාවේ මාරක අත්දැකීමකි. රොබට් විසින්ම ලියා ඇති ස්වයං චරිතාපදානයේ මේ කොටස අර ත්‍රාසජනක අත්දැකීමේ ම දෙවැනි කථාංගය ලෙස මෙසේ විස්තර වෙයි.

“කෙසේ නමුත් යෝගීන් මෙන් රැවුල් වවාගත් පිලිප්, ඇන්. ඇම්. (පෙරේරා), කොල්වින් (ආර්. ද සිල්වා ) සහ එඩ්මන් (සමරක්කොඩි ) යන සිරකරුවන් හතර දෙනාත් බන්ධනාගාර නිලධාරී සොලමනුත් මො⁣ටෝරියෙ නන්වාගෙන ගනඳුර මැද්දේ රාත්‍රි 12.30ට පමණ මහනුවරින් පිටත් වී හෙමින් සීරු⁣වේ අපි කොළඹ බලා ඉදිරියට ඇදුනෙමි.

අලුයම හතර හමාරට පමණ කොළඹ නගරයට ඇතුළු වන වික්ටෝරියා පාලම අසලදී "හෝල්ට්" යන අණක හඬක් ඇසුණේය. තුවක්කුවක් ගත් යුද සෙබෙළක් රථය නැවැත්වීය. පැයක් පමණ යන තෙක් පාලමෙන් එගොඩ විය නොහැකි යයි විදුලි පන්දමක් එල්ල කරමින් රථය පරීක්ෂා කළ සොල්දාදුවෙක් පැවසීය. ජපනුන් කොළඹට ගොඩබැස්සොත් තමන් බේරීම පිණිස වික්ටෝරියා පාලම පුපුරුවා විනාශ කිරීමට පාලමේ කොළඹ පැත්තෙන් කෙළවරේ පාර හරහා වෙඩි වළලන බව මට පෙණිනි. පාලමෙන් එගොඩවීමට පැයක් ප්‍රමාද වන නිසා තේ ටිකක් බීමට රිය පස්සට ගතිමි. යුද සෙබළකුගේ ඇඳුමින් සැරසී රිය පදවමින් සිටි මා හදිසි ගමනක් යන බව සිතාගෙන හෝ ආපසු නොගොස් ඉක්මන් කර පාලම පසුකර යන ලෙස සෙබළුන්ගෙන් නැවත අණක් ලැබුණේ ය. මේ මහා මාරකයෙන් ගැලවුණු අපි සැණෙන් පාලම පසුකර අන්ධකාරයේ නිමග්න වූ මහ මඟ දිගේ කොළඹ නගරයට ඇතුළු වීමු. එළිය වැටෙන තෙක් පාලම අසල නතර වෙන්නට සිදු නොවූයේ අපේ වාසනාවටය. ඒ වෙලාවට දහස් ගණන් කම්කරුවන් පිට පළාත්වලින් කොළඹ නගරයට වැඩට පැමිණෙමින් සිටියහ. ඔවුන් බොහෝ දෙනෙක් අප හඳුනන අයද වන්නට පුළුවන. තවද ඒ වන විට සිරකරුවන් සිරෙන් පැන ගොස් ඇතැයි දන්නවා ඇත. තත්ත්වය එසේ වුණි නම් අප සියලු දෙනාම එතැනම වෙඩි තබා මරා දමනු ඇත."

රොබට් ගුණවර්ධනගේ මේ අද්භූත ක්‍රියා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිටම අත්හදා බැලූ වීරයෙක් විය. ඔහු ත්‍රාසජනක , අද්භූත, චිත්‍රපට නැරඹීමට ලෝලීත්වයක් දැක්විය. මරදානේ ඔලිම්පියා සිනමාහෙල් තිරගත වූ Mysterious Man (අද්භූත මිනිහා) චිත්‍රපටය බලා අමන්දානන්දයට පත් වී සිටියේ ය. මේ පිළිබඳව රොබට් විසින් පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේට වරක් කියා තිබුණි.

"රොබට් ඒ කාලයේ "අද්භූත මිනිහා" කියන චිත්‍රපටයක් කොළඹ කීප පළක පෙන්වන ලදී. මේ චිත්‍රපටයෙන් පෙන්වූයේ රෑට හිටිහැටි⁣යේ ගෙවල්වල බඩු මුට්ටු පොඩි පටටම් කර යන හැටි ය. චිත්‍රපටය ගැන ආරංචි වූ කවුරුත් ඇත්ත වශයෙන් විශාල බියකින් පසු වූ අතර බෝඩිමේ ළමයි විශේෂයෙන් රාත්‍රී කාලයේ කලබල වූවෝය.

දිනක් රෑ මුළු බෝඩිමම කලබල කරන්නට තීරණය කර ගත් රොබට් රෑ 12 ට පමණ නැගිට ප්‍රධාන ස්විච් එකෙන්ම විදුලිය කපා හැරියේය. වෙස් මුහුණක් බැඳගෙන සබන් පෙට්ටියක ඉටි පන්දමක් ගසාගෙන ගිරිය යටින් මරහඬ දෙමින් බෝඩිම පුරා දුවන්නට පටන් ගත්තේය. මේ දුවන අතරදී පිස්තෝලයකට රතු තීන්ත දමාගෙන හැම තැනටම විද්දේය. සිද්ධිය දුර දිග ගොස් ඇත. විනාඩි කිහිපයකදී මුළු බෝඩිමම කලබල වී විලාප නඟන්නට වූහ. ඉක්මනින් කරුවලේම වෙස් මුහුණ ගලවා ඇඳේ ගුදිරිය යට සැඟවූ රොබට් ද ඒ පිරිසටම එක් වී කෑ ගසන්නට පටන් ගෙන ඇත. විදුහල්පති පී. ද. ඇස්. කුලරත්න ඇතුළු ගුරුවරු සියල්ලෝම බෝඩිමට දිව්වෝය. පොලීසියෙන් ද ගෙන්වන ලදි. පැය දෙකක් කට උත්තර ගෙන පාන්දර ඔවුන් ගොස් ඇත. රස පරීක්ෂකවරයෙක් ද ගෙන්වන ලදි. මුළු විද්‍යාලයට පොලිස් මුර දමන ලදි. කිසිත් නොදන්නා බව ඇඟ වූ රොබට් පසුදා තැපැල්පතක් ලියා විදුහල්පති නමට එව්වේය.

“ඊයේ රාත්‍රියේ රෑ මගේ ගමන සාර්ථක වුණේ නැහැ. මේ සතිය ඇතුළත ආයෙත් එනවා. පරෙස්සම් වෙයල්ලා. මීට අද්භූත මිනිහා.“

මේ පුවත එකල පුවත්පත්වල පළ විය. එය රොබට්ගේ වැඩක් බව මාස ගණනකට පසු ඔප්පු වූ නමුත් ඔහුට කිසිම දඬුවමක් ලැබී නැත.

රොබට් ගුණවර්ධන තම චරිතාපදානයේ කියා ඇති පරිදි ඔහු ආනන්දයේ විප්ලවකාරයකු ලෙස කැපී පෙනුණ නිසා විදුහල්පති කුලරත්න මහතාට මහත් හිසරදයක්ද වී ඇත. ආනන්දයේ නේවාසිකාගාරයේ නායක ශිෂ්‍යයා වශයෙන් මා තෝරා ගත්තේ ශිෂ්‍යයන්ම විසිනි. නේවාසිකාගාරයට නරක කල දසාව ලැබුණේ 1923 දී ය. අපට දෙන උදේ ආහාර වේල අහිතකර නිසා. එහෙනම් අපි ආහාර නොගෙන වර්ජනය කරමු. " මගේ යෝජනාවට කවුරුත් එකඟ විය. අපි සියලු දෙනාම ආහාර නොගෙන එකවර නැගී සිට ශාලාවෙන් පිටතට ගියෙමු. අපි කිසිවෙක් ආහාර නොගෙන රාත්‍රී පාඩම් වේලාවේදී සියල්ලන්ම රාත්‍රී පාඩම්වලද නිරත වුණෙමු. මට කාර්යාලයට එන්නැයි විද්‍යාලයාධිපති කුලරත්න මහතා දන්වා එවීය. මා ඔහුට නොපැකිළව, පැහැදිලිවම පිළිතුරු දුනිමි. "මාව තෝරා ගත්තේ ශිෂ්‍ය නිවාසයේ ශිෂ්‍යයන් විසින්. නිවාසයේ දෙන ආහාර සුදුසු නැතැයි මම කීප විටක්ම පැමිණිලි කළ නමුත් ඒ සඳහා විභාගයක් පැවැත් වූයේ නෑ. ඒ නිසා මේ පියවර ගන්ට සිදු විය." එසේ කියා මා නැවත පැමිණයෙමි. කුලරත්න මහතා අප පාඩම් කරන කාමරයට පැමිණ කතාවක් කරමින් මාව තාවකාලිකව නතර කරන බව ප්‍රකාශ කළ විට මම ද "ඔබට ස්තුතියි" කියා නිහඬ වීමි. අපි මුදල් එකතු කොට පසුදා ඉඳි අප්පන් සහ සීනි සම්බෝල ගෙන්වා ගතිමු.

රොබට් අධ්‍යාපන කටයුතුවලට අමතරව ක්‍රිකට්, වොලිබෝල් ආදී ක්‍රීඩා වල යෙදුණු අතර 1922 - 23 වර්ෂවල ශිෂ්‍ය භට කණ්ඩායම් සාමාජිකයකු ද විය. ඒ කාල⁣යේ නිවාසයේ වූ ශිෂ්‍යයකුට වූ අසාධාරණයක් නිසා යළිත් අද්භුත මිනිසා ක්‍රියාශීලි විය.

නාගොඩ පැත්තේ ශිෂ්‍යයෙකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි අතර හදිසියේ ඔහුව ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් පිටුවහල් කළේය. සාමාන්‍ය සිරිත ශිෂ්‍යයකු එසේ අස් කළ විට දෙමාපියන් ගෙන්වා එම ශිෂ්‍යයා භාර දීමයි. එහෙත් මෙතැන එවැන්නක් සිදු නොවීය. ශිෂ්‍යයා ශිෂ්‍ය නිවාසයෙන් පිට කළ නමුත් ඔහු ගෙදර යෑමට නොහැකි යැයි කියා සිටියේ ය. විදුහල්පති කුලරත්න "ළමයා අස් කළා. පැමිණ කැඳවාගෙන යන්න, යැවු විදුලි පණිවුඩය ලැබී දෙමවුපියන් එන විට ළමයා විද්‍යාලයේ නොවීය. නේවාසිකාගාරයෙන් ඉවත් කළ ළමයා කියා සිට ඇත්තේ විදුහල්පති කුලරත්නගෙන් පළිගන්නා තෙක් මම ගෙදර යන්නේ නැහැ . ඒ නිසා මාව සඟවන්න. යනුවෙනි. මේ ඉල්ලීම කළායින් පසු ශිෂ්‍යයාව නෙරපා දැමීම ගැන මා තුළත් වූ බලවත් විරුද්ධත්වය නිසා ඔහු සැඟවීමට විධි විධාන සකස් කළෙමු. අපි ඔහු තුන්පළක සැඟවීමට කටයුතු සකස් කළෙමු. මේ අතර දෙමවුපියන් පැමිණ ළමයා පාසලට භාර දුන්නා නම් අස්කර දැමූ ශිෂ්‍යා දෙමවුපියන්ට භාරදිය යුතු බව කියා කුලරත්නට තර්ජනය කරන්නට විය. දෙමවුපියන්ගේ තර්ජන නිසා බියටත් අවිනිශ්චිතභාවයටත් පත් විදුහල්පති ළමයා සොයා දෙන ලෙස කියා නේවාසිකාගාරය භාරව සිටි විශ්ව අයියා අත මට පණිවුඩයක් එවන ලදී. දුම්රිය බලපත්‍ර අරන් දී තලවකැලේ මිතුරකුත් සමඟ මම ගාල්ලේ ඔහුගේ මාමා කෙනෙකුගේ ගෙදරට පිටත් කර හැරියෙමු. ගාල්ලට ගිය පසු මිත්‍රයා ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වී සිටියදී ඔහු ඉදිරි දොරින් ගෙට ඇතුළු වී පසුදොරින් පිට වී බූස්සෙන් කොළඹ බලා එන දුම්රිය මැදිරියේ වාඩි වී කිසිවක් කතා නැතිව කොළඹ ආහ. තලවකැලේ මිත්‍රයා මෙම සිද්ධිය මට දැනුම් දුන්නේය. කිහිප දිනකට පසු මම දෙමවුපියන් දෙමටගොඩට ගෙන්වා ඔහුව භාර දුන්නෙමි."

රොබට් මේ විස්තරය නිමා කර ඇත්තේ මේ සිද්ධිය අදත් මට මතක් වන විට එක්තරා සතුටක් ඇතිවන බවය. ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ පසුකලෙක ලංකා සම සමාජ පක්ෂයේ කටයුතු කරද්දී බේස් ගර්ල්ඩ් සැඟවීමටත්, සිර ගෙදරින් මුදා ගත් පිලිප්, ඇන්.ඇම්, කොල්වින්, එඩ්මන්ඩ් සඟවා තැබීමටත් විශේෂ තැනක් භාරව සිටි ප්‍රධානියකු හැටියට තමාට කටයුතු කරන්නට හැකි වූයේ කුඩා කාලයේ මෙම අත්දැකීම බවය.

1931 වසරේ රොබට්ගේ සොහොයුරු පිලිප් සිටියේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට අවිස්සාවේල්ල ආසනයට බටදොලේ වලව්වේ ෆොරැස්ටස් ඔ⁣බේසේකර ඉදිරිපත්වන විට හේවාගම් කෝරලවාසීන් බොරළුගොඩ මහ ගෙදරින් රොබට්ගේ වැඩිමහලු සොහොයුරා නීතීඥ හැරී ගුණවර්ධන (ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා ගුණවර්ධන පීරිස්ගේ පියා ය.) හැරී මැතිවරණයට ඉදිරිපත්වීමට උකටලී වූ නිසා රොබට්ට හොඳටම කේන්ති ගියේය.

"ලොකු අයියා මේ රදළ කොවුල එක්ක තරග කරන්නේ නැත්නම් පහළ කුඹුරේ වැඩ කරන සිඤ්ඤොයියව මම තරගෙට එවනවා." මහ හඬින් කෑ ගැසූ බව පැවසේ. 1947 සිට 1965 දක්වා අඛණ්ඩව කෝට්ටේ හා කොට්ටාව ආසන නියෝජනය කළ රොබට් ගුණවර්ධන මැති සබයේ දී " මහජනයාගේ අයිතිවාසිකම් බලා ගන්නා නීතීඥයකු" යයි කෘතහස්ත දේශපාලනඥයකු වූ කේ.එම්.පී. රාජරත්න පවසා තිබුණි. පුදුමය නම් රොබට් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කොට්ටාව නියෝජනය කරන විට විදුහල්පති කුලරත්න මහතා අම්බලන්ගොඩ මන්ත්‍රීව සිටීමය.

රොබට්ගේ විවාහය ද එක්තරා අන්දමක විප්ලවයකි. කවුද? රොබට්ගේ අත ගත් යුවතිය?

බදුල්ලේ කෝට්ටේගොඩ කෙත්හේනේ උපත ලැබූ සීලකල්‍යාණ රූපා කෝට්ටේගොඩ තෙබුවන පාසල, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය හා කොළඹ විශාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ආගමට දහමට ලැදි යුවතියකි. ඇගේ වයස 21ක් වන විට රූමත් මනාලයන් කිහිප දෙනෙකු පැමිණියද ඇය සිතා සිටියේ වයසින් ටිකක් වැඩි උගත් තරුණයකු තම සැමියා ලෙස තෝරා ගැනීමටය. වයස අවුරුදු 23දී ඇයට සිතූ ලෙසම සහකරුවකු හමු වූවාය.

රූපාට විවාහ වීමට සුදුසු කෙනෙක් ඉන්නවා. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සිට අසුන අහිමිව සිටි ලංකා සම සමාජ පක්ෂයේ නායක ඇන්. ඇම්. පෙරේරා රූපාගේ ඥාතියකු මඟින් යෝජනා කළේය.

දිනක් ඇන්. ඇම්. රූපාගේ මහ ගෙදරට ආවේ රොබට් ගුණවර්ධන සමඟය. රොබට් දැක්ක ගමන්ම මේ පැමිණ ඇත්තේ මගේ ඉරණම්කාරයා කියා ඇයට සිතුණාය. එවිට ඔහුගේ වයස අවුරුදු 43කි. ඇයට වයස අවුරුදු 23කි. රොබට් හා රූපාගේ විවාහයට අම්මාත් අයියලාත් විරුද්ධ වූහ. වැඩියෙන්ම විරුද්ධ වී ඇත්තේ අම්මාගේ එකම මල්ලී විශේෂඥ වෛද්‍ය එම්. වී. පී පීරිස්ය. පසුකලෙක ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාද විය.

"ඔය විවාහය හොඳ එකක් වෙන්නේ නැහැ. රොබට් හිරෙන් පනින කො⁣ට කකුල පොඩි වෙලා කැඩිලා තිබුණෙ. මම ලොකු ඔපරේෂන් එකක් කරලයි කකුල බේර ගත්තේ. කවදහරි අනාගතේ එයා සදාකාලික අබ්බගාතයෙක් වෙනවා. සුදු නෝනා (රූපා) ඔය කටයුත්ත කර ගන්න එපා." මම කුමක් කීවද රොබට් සහ රූපා 1947 මාර්තු 07 වැනිදා තනි කැමැත්තට විවාහ වූහ.

1960 මහ මැතිවරණයේ දී රූපා ලංකා සම සමාජ පක්ෂයෙන් කොළොන්නාව ආසනයට තරග කළේ රොබට් ඇතුළු සම සමාජ නායකයන් සමඟ උරෙන් උර ගැටී විප්ලවවාදිනියක් ලෙසට ඇය එම අසුනින් පරාජය වුවත් තම සැමියාට නිරතුරුව සහාය දුන්නාය. 1953 මහා හර්තාලයේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ රොබට් ය. රජය විසින් රොබට් ඇල්ලීමට වරෙන්තු නිකුත් කර ඔහු මරා හෝ හමුදා මූලස්ථානයට ගෙන එන ලෙස නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසාට අණ දෙන ලදි. රොබට් තමාගේ විශ්වාසවන්ත හිතවතකු වන ඩැනී හෙට්ටිආරච්චි සමඟ සැඟවී සිටියේය. ඒ සමඟම ⁣රොබට්ගේ වත්තේ තුවක්කු 500ක් සඟවා තිබෙන බව කළ බොරු ආරංචියක් මත සිඩ්නි සොයිසා ගේ වට කළේය. මේ සිදුවීම රූපා ගුණවර්ධන මහත්මිය 2010.08.04 දින බොරළුගොඩ මහ ගෙදරදී මට විස්තර කරද්දී එතුමියගේ දියණියන් වූ ශ්‍රියානි, යසෝමි, හා පුතු විජිත් ද සිටියෝය. රෝහිත් පුතා ගෙදර නොසිටියේ ය.

එදා රාත්‍රියේ වූ ඒ ත්‍රාසජනක අත්දැකීම රූපා මහත්මිය විස්තර කළේ මෙසේය.

"දිනක් මැදියම් රැයේ ශබ්දයක් ඇසී මා නිදා සිටි සොල්දරේ ජනෙල් පියන ටිකක් ඇර බැලූ විට පෙනුනේ අදහා ගන්නට බැරි දෙයකි. මෝටර් සයිකල්, ජීප් සහ හමුදා වාහන නොනැවතීම ආවේ අපේ වත්තටයි. හමුදා සොල්දාදුවෝ සිය ගණනක් වත්ත වටලලා තුවක්කු සෙවීමට අස්සක් මුල්ලක් නෑර වත්ත හෑරුවා. මහ හඬින් දොරට ගහනවා ඇසුණ නිසා මා සමඟ නිදා සිටි මගේ ලොකු දුව ද රැගෙන සොල්දරයෙන් බැස දොර විවෘත කළා. රොබට් මරන්න ආ සිඩ්නි සොයිසා මැෂින් තුවක්කුවක් දොරට එල්ල කර ගෙන සිටිනවා මා දුටුවා.

"මට මේ ගේ සෝදිසි කරන්න අණක් ලැබී තිබෙනවා. යතුරු එහෙම තියෙනවා නම් භාර දෙන්න. ඔහු කීවා.

රොබට් හෝ අතුරුදන් වූ තුවක්කු පන්සියය සොයා ගැනීමට අපහසු වූ සිඩ්නි සොයිසා ආපසු යන්නට හැර යන ගමන් දරුවන් දෙදෙනාගේ හිස පිරිමැද්දා. 1965 මහ මැතිවරණයේ මුල්වරට පරාජය වූ රොබට්ට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගෙන් පණිවුඩයක් ලැබිණි. එනම් මහජන චීනයට තානාපතිවරයා ලෙස යෑමට රොබට්ගේ කැමැත්ත විමසීමටය. මේ ගැන රූපා මහත්මිය කියූ කතාවයි මේ.

රොබට් ඩඩ්ලිට කිවුවා "මා වාමාංශිකයෙක්. මා මැරෙනතුරා මෙය වෙනස් වන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති මේවා. ඩඩ්ලි මේ සියල්ල පිළිගත්තා. ඒත් ස්ථීර වචනයක් දුන්නේ නෑ. ගෙදර ඇවිත් මගෙන් අහලා තමා⁣ගේ හිතවතුන්, ගම්වාසීන්, කැඳවා අනුමැතිය අරගෙන 1965 චීනයේ තානාපති ලෙස චීනයට යෑමට පිටත් වුණා.

රූපා මහත්මිය කිව්වේ "රොබට් කවදත් ඩඩ්ලිට ගරු කළා. ඩඩ්ලි හොඳ මහත්තයෙක්. " කියලා. ඔහුගේ වචනය භාර ගත් බවයි. ඒත් ජේ.ආර්. ජයවර්ධනට රොබට්⁣ගේ පැහැදීමක් තිබුණේ නෑ." 1971 දෙසැම්බර් 27 වැනිදා රොබට් උදේ තේ බී වත්තේ කෙසෙල් පැළ වගයක් පරීක්ෂා කර උදේ 11.00ට පමණ අසනීපයි කියා ගෙදර ඇවිත් ක්ලාන්තයෙන් සිටි බැවින් රූපා මහත්මිය ඔහු රෝහල්ගත කිරීමට කටයුතු යෙදුවත් ඔහු එහි යෑමට අකමැති වී ඇත. රටක් හෙල්ලූ විප්ලවවාදියා ඔටුණු නොපැලඳවූ රොබට් ගුණවර්ධන නම් නිර්ව්‍යාජ ගැමියා අවසන් ගමන් ගියේය.

වයස අවුරුදු 98ක් සපිරි රූපා ගුණවර්ධන මහත්මිය බොරළුගොඩ මහ ගෙදර තම දරුවන් හා මුනුපුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින්, විවේක සුවයෙන් දන් පින් කරමින් පසුවන්නීය. 1960 මහ මැතිවරණයට තරග කළ අද ජීවතුන් අතර සිටින අල්ප දෙනාගෙන් කෙනෙකු වන මේ රතු විප්ලවකාරිය තම අතීතය ආවර්ජන කරමින් තෘප්තිමත්ව ජීවිතය දෙස භාවනා කරමින් සිටින්නීය.

Comments