
70 දශකයේ ආභාසයෙන් බිහිවන තරුණ පරපුරේ සහෘදයකු පසුගිය දා සිය ජීවන ගමන අවසන් කළේය. ඔහු සිඩ්නි චන්ද්‍රසේකර ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ජනමාධ්‍ය වේදියෙකු හැටියට ඔහු මුලින් ම පිවිසෙන්නේත්, අවසානය දක්වාම කටයුතු කරන්නේත් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ය. ඒ අනුව ජාතික රූපවාහිනි සංස්ථාවට පිවිසෙන ඔහු ටයිටස් තොටවත්තයන්ගේ ඇසුර ලබමින් පළමු සජීවි මපට් ෂෝ අත්හදා බැලීම වන “අත් රූ පැළැස්ස” ට සිය දායකත්වය ලබා දෙයි.
කුමාරයාණෙනි, පියාඹන අශ්වයා, සමුද්‍ර ඡායා, ඒ 9 වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කරමින් එම ක්ෂේත්‍රයේ රැඳෙමින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වෘත්තීය වෙනස්කම් කිහිපයකටම ද දායක වුයේ ය. ඒ අනුව ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් 8, ස්වර්ණෝදය මෙන්ම සිරස නිව්ස් ෆස්ට් හි උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහුගේ සමීප සගයන් මතකයට අනුව සිඩ්නි චන්ද්‍රසේකර සැහැල්ලු ජීවන විලාසයක් ද ජනප්‍රිය මාධ්‍ය හා කලා භාවිතාවක් ඇති පුද්ගලයෙකු වුයේ ය.
ජනමාධ්‍යවේදීයෙකු මෙන්ම ටෙලි හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ද වන ජයන්ත චන්ද්‍රසිරි ඔහු ගැන කතා කළේ සිය සමීප හිතවත්කම සිහි කරමිනි.
“මට මුලින්ම සිඩ්නිව හමුවන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ දී. මගේ මුල් ම නාට්‍යයේ රඟ පෑ අජිත් ජිනදාස හමුවෙන්න යන අතර තමයි මට ඔහුව හමු වෙන්නෙ. ඔහු හරිම කඩවසම් ඒ වගේම කෙළිලොල් චරිතයක්. මං මේ කියන්නෙ ඔහු ගැන මට මුලින්ම දැනුණ විදිහ.
ඊට පසුව මට ඔහුව හමු වන්නේ සිරස මාධ්‍ය ආයතනයේ දී. ඔහු කෙතරම් සතුටක් ඒ හමුවෙන් ලැබුවාද කියනවා නම් ඒ මොහොතේ දී අපි ශාරීරිකව වගේම අපේ අතීතයත් බදා වැලඳගෙන හෘදයාංගම ආස්වාදයක් අත්වින්දා. ඊට පස්සේ අපි සමු ගත්තා. එත් අපි දෙන්නම දැනගෙන හිටියෙ නෑ ඒ අපේ අවසාන සමුගැනීම කියලා.”
“සිඩ්නි රූපවාහිනි සංස්ථාවේ සම්බන්ධ වෙන්නෙ හොඳම තැනකට. ටයිටස් තොටවත්ත ළඟට. ටයිටස් තොටවත්ත ඔහුගේ ගෝලයන්ට ශිල්පය සහ දැනීම පෙව්වා කියල කිව්වොත් නිවැරදියි. සිඩ්නිත් එතන හිටියා. ලංකාවේ බහු කැමරා භාවිතාව සම්බන්ධයෙන් සිඩ්නිගේ යොමු වීම සිද්ධ වෙන්නේ එහෙම පසුබිමකයි. මට මතක් වෙනවා ඔහුගේ “කුමාරයාණෙනි” ඒ වගේම “නිදිකුම්බා මල්” කියන ටෙලි නාට්‍ය. ඇත්තටම ඔහුගේ නිෂ්පාදනවල මා දකිනවා මානවවාදී පර්යාවලෝකනයක්. ඔහු සරල මිනිසෙක්. ඒත් ඔහු තුළ සිටියා සමාජ ගවේෂකයෙක්. ඒක වෙනස් කතාවක්. උදාහරණයක් විදිහට “ගුඩ්, බෑඩ් ඇන්ඩ් අග්ලි” කියන ඔහුගේ දේශපාලන වැඩ සටහන අරගෙන බලන්න. ඒක දේශපාලන ප්‍රහසනයක්. ඒ සඳහා අර නම ඔහු ගන්නේ ප්‍රසිද්ධ බටහිර චිත්‍රපටියකින්. මේ විදිහට ගොඩනැගුණ මේ අපුරු චරිතය, ඔහු ව සම්බන්ධ කරගත් එක් වැඩසටහනක දී ඇසු ප්‍රශ්නයකට දුන් පිළිතුර මෙහෙමයි. “නිර්මාණය එන වෙලාවයි, මාරයා එන වෙලාවයි කියන්න බැහැ.” ඔහු එහෙම කිව්වා.”
මහරාජා සමාගමේ සාමාන්‍යාධිකාරවරයෙකු ලෙසින් කටයුතු කළ කාලයේ දී සිඩ්නි ව වෘත්තීය වශයෙන් ළඟින් ඇසුරු කළ චතුර ජයතිලක අදටත් වෘත්තියෙන් කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිර්මාණ ප්‍රධානියෙකු වේ.
“අපි එක යුගයක ට අයත් පරපුරක් වුණත් සිඩ්නි වෙනස් කෙනෙක්. 80 -90 දශකයන්හි අපේ සමාජ දේශපාලන මතවාද සමඟ ගත්තම සිඩ්නි චන්ද්‍රසේකර කියන්නේ මුළුමනින්ම ජනප්‍රිය සංස්කෘතියේ ම හිටපු චරිතයක්. ඒ යුගයේ අපේ සමකාලීනයන්ගේ සම්භාව්‍ය සාහිත්‍ය කලා ඇසුර වගේම ජනප්‍රිය කලාවත් ඇසුරු කළා. පොදුවේ ගත්තම කලාවේ සම්භාව්‍ය පැවැත්ම පිළිගත්ත අපි, කර්මාන්ත පැවැත්ම හා එහි ජනප්‍රිය ආස්ථානයත් පිළිගත්තා. ඒත් සිඩ්නි අපේ කාලයේ කාටවත් නොතිබුණු, එහෙම තියාගන්න වුවමනාවක් ද නොවුණු ජනප්‍රියවාදයට මුළුමනින්ම යොමුවුණු චරිතයක්. ඔහුගේ ටෙලිවිෂන් වැඩ සටහන් වන මෝනිං ෂෝ, ටෝක් ෂෝ, වෙන එකක් තියා දේශපාලන වැඩ සටහන් පවා ඒ බව හොඳින්ම පෙන්වා දෙනවා. අනික පුද්ගලයෙකු හැටියටත් ඔහු ජනප්‍රිය, ෆැන්ටසිවාදී රොමාන්තික චරිතයක්.”
“ඔහුගේ නිදිකුම්බා මල්, කුමාරයාණෙනි වැනි නිර්මාණ ඒ ජනප්‍රියවාදී බව හොඳින් පෙන්වා දෙනවා. ටෙලිවිෂන් කියන ඒ විනෝදාත්මක සරල මාධ්‍යය ඔහු හොඳින් හඳුනාගන්නවා. ඒ මාධ්‍ය භාවිතාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔහු කවදාවත් චිත්‍රපටයක් කරන්න ගියේ නෑ. ටෙලිවිෂන් එක තමයි ඔහුගේ මාධ්‍යය වුණේ.”
“ඒත් මම වඩාත්ම කැමති වුණේ ඔහුගේ ගීතයට. ඒකත් අර ජනප්‍රිය ආස්ථානයේම තමයි පවතින්නේ. විශේෂයෙන් ඔහු ලියූ “අනන්තයෙන් පියඹා එන තරු කුමරා” වගේ ගීතයක් එතන තියෙනවා සංගීතමය භාෂාවක්. ඒ වගේම ඔහු බොහෝ දුරට කරල තියේන්නේ දෙන ලද තනුවකට වචන යෙදීම. මේක හරිම දෘඪ කටයුත්තක්. ඒ දෘඪ බව මැඬගෙන සංගීතමය බසකින් ගීතයක් නිර්මාණය කිරීම සාමාන්‍ය කටයුත්තක් නෙවෙයි. ඔය හා සමාන තත්වයක් නෙවෙයි. මෙතන තියෙන්නෙ මිනිසුන්ට දැනෙන බව. ඒ වගේම ඒ දැනෙන බව කියන විදිහ. ඔහු එය දැන සිටියා.”
“ඊළඟ වෙනස තමයි, සිඩ්නි කියන මිනිසාගේ වෙනස. ඔහු බරපතළ රෝගී තත්වයක් සමඟයි පහුගිය කාෙල්ම ජීවත් වුණේ. නමුත් ඔහු තමන්ගේ ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැරියේ නෑ. හරිම ධනාත්මක මිනිසෙක්. ඒ විදිහට සිඩ්නි මරණයෙන් නැගිටිනවා.
ඔහු අවසානය දක්වාම සිය ජීවිතය ගැන බලාපොරොත්තු රැක ගන්නවා. මිනිස්සු ජීවත් වෙනවා. මැරෙනවා. ඒත් කනගාටුව තමයි මැරි මැරී ජීවත්වෙන එක. ඒත් වැදගත්ම දේ තමයි ජීවත්වෙලා මැරෙන එක. සිඩ්නි අවසානය දක්වාම ජීවත් වුණා. ඒකම තමයි ඔහුගේ ප්‍රතිභාව.”