‘මම එලොව ගිහින් මෙලොව ආවා’ | සිළුමිණ

‘මම එලොව ගිහින් මෙලොව ආවා’

“මගේ හිතේ දිනය නොවැම්බර් 18 හරි 19 විය හැකියි. මමත්, චිත්‍රාත් "අකුරු මැකී නැහැ" ටෙලිනාට්‍යයේ රඟපාලා රෑ වෙලා ගෙදර ආවා. මම ටිකක් දවල් වෙනකං නිදා ගත්තා. චිත්‍රා දවල්ට කෑම උයනවා. ටෙලිෆෝනය නොකඩවා නාද වෙනවා මට හීනෙන් වගේ මතකයි. මට කතා නොකරම චිත්‍රා ටෙලිෆෝන් එකට එන හැම ඇමතුම්වලට උත්තර දෙනවා. ඔන්න ආයිත් රිං වෙනවා. වරින් වර රිං වෙනවා. බැරිම තැන මම නැගිට්ටා. චිත්‍රා බයෙන් සසල වෙලා. මම රිසිවරය අතට ගත්තා.

"ඔය වරකාගොඩ අයියා ද?"

"ඔව්..."

"අනේ.... ඔයා මැරිලා නැහැ නේද? බලන්න වැඩේ හැටි ඔයා මැරිලා කියලා Face Book එකේ දාලනේ"

"මම නම් හොඳින් ඉන්නවා."

මේ විදිහට එදා අපිට වෙන වැඩක් නැහැ. එතෙර මෙතෙර ටෙලිෆෝන් කෝල්ස් වලින් මිනිත්තුවෙන් මිනිත්තුවට කෝල්ස් ආවා. ඔය අතරේ හිතවත් සිරි කහවල

(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි) කතා කළා.

"බලන්න කෝ සිරි, මිනිස්සු මට ම කතා කරලා අහනවනේ මං මැරිලද කියල ද කියලා." මම හිනාවෙමින් කිව්වා. අපේ ජ්‍යෙෂ්ඨ රංගවේදී විජේරත්න වරකාගොඩ එදා සිද්ධිය අපට විස්තර කළේ සිනාසෙමිනි.

“මම එළොව ගිහින් මෙලොව ආවා, මේ කතා අහලා. මට තනියම හිනා. එතකොට මගේ ජනනාත් පුතා මොබයිල් ෆෝන් එක අරං මුහුණු පොතින් මේ ආරංචිය දැක්කම මට තවත් හිනා ගියා. ඒකට ශෝක ප්‍රකාශය කරලාත් මැසේජ් එවලා තිබුණා. මේකෙන් මට එක දෙයක් තේරුම් ගියා. මට මිනිස්සු කොච්චර ආදරේ ද? මම ඇත්තටම මැරුණාමත් ඒ අයගේ ආදරය, ගෞරවය, ශෝකය පළ කරාවිද නේද කියලා.

විජේරත්න වරකාගොඩ මුල්ම චිත්‍රපට රඟපෑම වූයේ 1962 හිත මිතුරු චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ රොබින් තම්පෝ ගේ 'සුහද දිවි පිදුම' චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑම ය.

"There are no small roles. There are only small actors"

වරක් ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහ වරකාගොඩට කීය. ඇත්ත වශයෙන් මේ කියමන සනාත කරමින් ඔහු "දෙලොවක් අතර" චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයා ලෙස ද, "පරසතු මල්" චිත්‍රපටයේ බොනී මහත්තයා ගේ මිතුරෙකු ලෙස ද කුඩා නළුවකු ලෙස රඟපෑවේය. විජේරත්න වරකාගොඩ කුසලතා රැසක් ප්‍රකට කළ ඒ හැම කලාවක්ම ජයගත් අපූර්ව කලාකරුවකු විය.

ගුවන් විදුලි ගායකයකු, ගුවන් විදුලි රංග ශිල්පියකු, වේදිකා හා චිත්‍රපට නළුවකු ලෙස ඔහුගේ ප්‍රතිභාව ගැන දැන සිටි අද අප අතර නැති ආචාර්ය ජයලත් මනෝරත්න නම් මහා කලාකරුවා විජේරත්නව උපමා කළේ පැණිවරකාගොඩකටය. මනෝ ඔහු ගැන ලියූ කවි ගොඩක දෙපදයකි මේ.

“රංගන කලාවේ සුරගුරු දෙවිඳා ණ හඬ නළු කෙතෙහි අග තැන්පත් රජිදා ණ“

"වරක් දෙවරක් නොව දස දහස් වරක් සිතට නැඟෙන වරක් අයියා" ලෙස හැඳින්වූයේ මාධ්‍යවේදී සහෝදර රංගවේදී ශ්‍රී නිමල් පද්මකුමාරය.

1962 දී පමණ ගුවන් විදුලියෙන් කොටස් වශයෙන් ප්‍රචාරය වූ මුදලිනායක සෝමරත්න විසින් රචිත "මුවන්පැලැස්ස" ගුවන් විදුලි නාට්‍යයේ ඔහු රඟ පෑ ජෝන් මැක්වුඩ්, ආරච්චිලා හා කෝරලේ මහත්තයා යන චරිත තුනෙන් එකක්වත් නො ඇසූ ශ්‍රාවකයකු නොසිටියා නම් ලෝක පුදුමයකි. අද වන විට "මුවන්පැලැස්ස" ගුවන් විදුලි නාට්‍යයේ කොටස් 2700 වරක් රඟපෑ එකම නළුවා වරකාගොඩ ය.

"මම පාසල් යන කාලේ ඉඳලම චිත්‍රපට බලන්න ආසයි. ඒ වගේම මලල ක්‍රීඩාවලට කැමැත්තක් තිබුණා. මගේ පියා පොලිස් සාජන්ට් කෙනෙක් නිසා අපිට නිතරම පොලිසි මාරු කරන්න වුණා. මේ නිසා පුත්තලමේ ශාන්ත ඇන්ඩෘෘ කන්‍යාරාමය, කුලියාපිටියේ කතෝලික පාසල, ගලගෙදර ස්වභාෂා පාසල හා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලවලට යන්න සිදු වුණා. මම ශාන්ත ආනා විදුහලේදී මලල ක්‍රීඩා තරගවල (1951) සැතපුම හා සැතපුම් භාගය (යාර 880) ඉසව්වලින් ජයගෙන කුසලාන ලබා ගත්තා. වයඹ දිස්ත්‍රික්කයේ මේ ඉසව්වලට සහභාගි වී කුසලාන ලබා ගන්න පුළුවන් වුණා." වරකාගොඩ කීය.

1952 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඉගෙනීම සඳහා පැමිණි වරකාගොඩ එහිදී ද ක්‍රීඩා කෞශල්‍ය විදහා පෑවේය. එම වසරේම ආනන්ද විද්‍යාලයේ මලල ක්‍රීඩා උත්සවයේ දී සැතපුමේ ඉසව්වේ මුල් තැන දිනුවේය. ක්‍රීඩාවට පමණක් නොව ගායනයටත් වරකාගොඩ දක්ෂතා දැක්වීය.

හින්දි චිත්‍රපට ඇලුම් කළ තමා මෙන්ම මිත්‍රයන් කීප දෙනෙක් ආනන්දේ ඔහුගේ පන්තියේ සිටියහ. හින්දි ගීතවලට ප්‍රිය කළ ඔවුන් සමඟ ඔහු ද හින්දි චිත්‍රපට නළු දිලිප් කුමාර්ට ආදරය කළේය. දිලිප් මෙන් ඔවුන් අකීකරු කෙහෙරැලි තබා ගත්හ. ඒ පිරිසගෙන් වරකාගොඩ හැර තුන් දෙනෙක් ජාතික පුවත්පත්වල ප්‍රධාන කතුවරයන් වූහ. එස්. සුබසිංහ, (පසුව සිළුමිණ, දිනමිණ හා ලංකාදීප පුවත්පත්වල ප්‍රධාන කර්තෘ) ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හා එල්මෝ ගුණරත්න පසුව ලංකාදීප ප්‍රධාන කර්තෘවරුන් වූහ. සෙසු පන්ති සගයන් වූයේ ධර්මසිරි සේනානායක (පසුව ඇමති), ආරිය රාජකරුණා (පසුව මහාචාර්ය) ඩී.බී. නිහාල්සිංහ (පසුව චිත්‍රපට අධ්‍යක්ෂ) දයානන්ද ගුණවර්ධන (පසුව නාට්‍ය නිෂ්පාදක) අසෝක පොන්නම්පෙරුම (පසුව චිත්‍රපට නළු), ජේ.බී. දිසානායක, සුනන්ද මහේන්ද්‍ර, එම්.එච්. ගුණතිලක (පසුව තිදෙනාම මහාචාර්යවරුන්ය) බණ්ඩාර විජයතුංග (පසුව සම්මානනීය ගීත රචක), ඩී.ජී. සුමනසේකර (පසුව නාලන්ද, මහානාම හා විදුර විදුහල්පති) ආදීන් ය.

තලාද් මෙහෙමුද්ගේ ගීත ගයමින් පාසලේ ජනප්‍රිය වූ වරකාගොඩත්, මුකේෂ් ගේ ගීත ගැයූ ජෝර්ජ් ලෙස්ලි සමඟ තරගයට ගී ගැයූ මේ දෙදෙනාගේම පන්ති සගයෙක් වූ කේ.එල්.එෆ්. විජේදාස (පසුව ආනන්දයේ ආචාර්ය) දැනුදු මතක් කරයි.

“මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම් දෙකක් තියෙනවා. මම ආනන්දයෙන් අස්වී පොලිසියට බැඳුණු එක දවසක් 1959 සැප්තැම්බර් 25 වෙනිදා බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තියලා මහ රෝහලට ගෙන ගිය දවස. එදා මේ ආරංචිය ලැබිලා ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා මහ රෝහලට යන විට පොලිස් රථයේ පෙර ගමන්කරුවා වූ පොලිස් නිලධාරියා මම. මම අග්‍රාණ්ඩුකාර තුමා එක්ක යන කොට අගමැතිතුමා ඔපරේෂන් එකට ගන්න ඉස්සර වෙලා ඇන්තනිස් දොස්තර මහත්තයාට කිව්වා "මට මැතිනියට කතා කරන්න ඕනෑ" කියලා. අගමැතිතුමා ශෝක බරිත මුහුණින් බලා සිටි සර් ජෝන් කොතලාවල හා සර් ඔලිවර් සමඟ කඳුළු පිරි දෙනෙතින් සිනාසුනා. එතැනම සිටි මමත් ශෝකයෙන් බලා හිටිය. අගමැතිතුමා මිය ගොස් දේහය රොස්මිඩ් පෙදෙසේ නිවසට ගෙන ආ විට එහි ආරක්ෂක නිලධාරියෙක් හැටියට මට ඉන්න සිද්ධ වුණා.“

කලා ජීවිතයේ ඔහුට වූ අමතක නොවන සිද්ධිය විස්තර කළේ මෙසේ ය.

“ඒකත් සිද්ධ වුණේ 1959 අවුරුද්දේ. මම සාජන්ට් කෙනෙක් සමඟ ගාලු මුවදොර ළඟ රාජකාරියේ හිටියේ. වේලාව රාත්‍රී අටට විතර ඇති. ලයිට් නැති ෆොක්ස්වගන් රථයක් ගාට ගාටා අපි ඉන්න තැනට එනවා. සාජන්ට් රථයේ නොම්මර පුවරුවට ටෝච් එක ඇල්ලුවා. අංකය මට තවම මතකයි. E.L. 497. ටෝච් එක රියදුරු අසුනට යොමු කළා. කොණ්ඩය දිගට වවා ගත් කලාකාරයෙක් වගෙ කෙනෙක්.

“මහත්තයා කරලා තියෙන වරද මොකක්ද දන්නවද? ලයිට් නැතිව රාත්‍රි කාලේ ගමන් කිරීම වරදක්.“ මම කිව්වා.

රියදුරු මහත්තයා එළියට ඇවිත් බැලුවා.

“ඇත්ත නේන්නම්. මම ඇවිත් තියෙන්නේ ලයිට් නැතිවනේ.“

“කරුණාකරලා ගන්න ලයිසන් එක.“

ඔහු අහිංසක ලෙස සිනාසී ලයිසන් එක මගේ අතට දුන්නා.

"Dr E.R. Sarachchandra. University of Ceylon"Peradeniya

"අපොයි දෙයියනේ මේ සරච්චන්ද්‍ර මහත්තයනේ" මට ඉබේම කියවුණා. "මට සමාවෙන්න සර්. මේව අපේ රාජකාරිනේ."

"ඒකට කමක් නෑ. ඉන්ස්පෙක්ටර්ගේ රාජකාරිය කරන්න." එතුමා සිනාසෙමින් කිව්වා.

"සර්ව උසාවි දැම්මොත් නඩුකාර උන්නාන්සේ මටයි දොස් කියන්නේ. සර් පරෙස්සමින් යන්න." මම කිව්වා.විජේරත්න වරකාගොඩ ඊට වසර තුනකට පසු "අජාසත්ත" ශෛලිගත වේදිකා නාට්‍යයේ පොතේ ගුරා ලෙස රඟ පෑවේය. නාට්‍ය රචනා කොට නිෂ්පාදනය කළ විමල් නවගමුව සරච්චන්ද්‍ර ගෝලයෙකි. වරකාගොඩ කොතරම් හොඳට රඟපෑවේ ද යත් සරච්චන්ද්‍ර නාට්‍ය අවසානයේ වේදිකාවට ගොස් ඔහුට සුබ පැතුවේ ය.

"සර්ට මතක ද? ගෝල්ෆේස් එකේ සර්ගේ වාහනයේ ලයිට් නැතිව ගිය දවසේ කාර් එක නැවැත්තුව......"

"අර ඉන්ස්පෙක්ටර්ද මේ"

"ඔව් සර්"

"ඔබ පොතේ ගුරාට හොඳට රඟ පෑවා. එන්න මගේ 'මනමේ' යි 'සිංහබාහු' නාට්‍යවල රඟ පාන්න.“

1963 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම (ශෛලිගත) නළුවාට හිමි අග්‍රාණ්ඩුකාරයා පිරිනමන සම්මාන ලබන සැටි ද සරච්චන්ද්‍රයෝ සතුටින් බලා සිටියහ. ඉන්පසු වරකාගොඩ සරච්චන්ද්‍ර නාට්‍යවල රඟ පෑවේය.

ගුවන් විදුලියේ නව පරපුර වෙනුවෙන් පනස් ගණන්වල තිබූ "ආධුනික පැය" වැඩසටහනින් වරකාගොඩ ගැයුවේ සිසිර සේනාරත්න විසින් එදා ගැයූ ජනප්‍රිය ගීතයක් වූ 'යනවාද මා දමා කියන්න සුන්දරි' ගීතයයි. එයින් සමත් වී පසුව සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ ඔහු හදිසියේ පුවත්පතකට ලියූ අපූරු කවි පන්තියක් දුටුවේය. එය ලියා තිබුණෙ පෙරමුණේ තිලක (පසුව දිනමිණ කර්තෘ) ය. 'මැණිකේ හිනැහෙනවා' නම් ඒ ගීතයට ෂෙල්ටන් ප්‍රේමරත්න ලවා තනුවක් යොදා වරකාගොඩ ගැයූ ගීතය එදා ජනප්‍රිය විය. එහි මැණිකේට හිනා වෙන්නේ ග්‍රේස් ද සිල්වා (තෙන්නකෝන්) ය.

වරකාගොඩට අනාගත හිමිකාරිය හමුවන්නේ "කුවේණි" නාට්‍ය රඟපෑමට ගිය විටය. එහි රඟපෑ චිත්‍රා ජයසිංහ පිළිබඳ සිතක් ඔහු තුළ ඇති විය. ඇය එවකට කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා සිටියා ය. වරකාගොඩ "හුනු වටයේ කතාවේ" පූරක ලෙස රඟපාද්දී ඔහුගේ ඇස තිබුණේ තරමක දුරින් රංග ශාලාවේ නාට්‍ය නරඹමින් සිටි චිත්‍රා කෙරෙහි ය. වරකාගොඩ "ඈත එක් යුගයක ලෙයින් නැහැ වූ සමයක" ගයන ගීතය ගැයුවේ කිසිවෙකුගේ මුහුණක් බලාගෙන බව දුටු නිෂ්පාදක හෙන්රි ජයසේන නාට්‍ය අවසානයේ චිත්‍රාට තහනමක් පැනවීය.

"චිත්‍රා දිහා බලාගෙන නෙවෙයි. වරක්ස් සින්දු කියන්න ඕනෑ මුළු රංග ශාලාව දිහා බලාගෙන. මීට පස්සේ චිත්‍රා වරක්ස් රඟපානකොට රංග ශාලාවේ ඉන්න තහනම්."

1970 ජනවාරි 28 වෙනිදා චිත්‍රා අයිරාංගණී ජයසිංහ සමඟ විවාහ වූහ. ඔවුනට දියණියක හා පුතෙකු සිටිති. ප්‍රවීණ නර්තන ශිල්පිනියක වූ වින්ධ්‍යා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇමරිකාවේම වෙසෙති. පුතා ජනනාත් සංගීතඥයෙකි; ගායකයෙකි; නර්තන ශිල්පියෙකි.

වරකාගොඩ රඟ පෑ රේඩියෝ නාට්‍යය, වේදිකා නාට්‍යය, චිත්‍රපට, ටෙලි නාට්‍ය ගැන නාමාවලිය ලිව්වොත් මේ මුළු ලිපියම ඒවායෙන් පිරෙයි. 1985 ඔහු රඟ පෑ "අරුණට පෙර" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එම වසරේ ජනාධිපති හා OCIC සම්මානය හිමි විය. මේ සම්මානය ලැබෙන විට ඔහු සවුදි අරාබියේ ඉංග්‍රීසි සමාගමක සේවයේ නියුතුව සිටියේය. හොඳම නළුවා ලෙස ජනාධිපති සම්මාන ලැබූ ඡායාරූප හා ප්‍රවෘත්තිය පළ වූ ඉංග්‍රීසි පත්‍ර දුටු ඒ සමාගමේ සුදු ජාතික ලොක්කා ඔහු කැඳවා මෙසේ කියා ඇත.

"උඹ ශ්‍රී ලංකාවේ ලොකුම සම්මානය ලබපු නළුවෙක්. උඹ මොනවද? මෙහෙ කරන්නේ. පලයං උඹේ රටට. උඹව වටින්නේ උඹේ රටට"

වරකාගොඩ රඟ පෑ චිත්‍රපට අතුරින් "තුංමං හන්දිය" චිත්‍රපටයේ ටීටර් මඩුවේ දුටුගැමුණු සින්දුව කියමින් වේදිකාවට එන දර්ශනය වඩාත් කැමති බව කීය.

“ගොළු හදවත“ චිත්‍රපටයේ මම රඟපෑවේ සුගත් ලෙස රඟ පෑ වික්‍රම බෝගොඩගේ වැඩිමහල් සොහොයුරා සරත් හැටියට. සුගත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජය වූ බව මුලින්ම සරත්ට කියන දර්ශනය මම රඟපාන කොට ඇත්තටම ඇඬුණා.

“ඕව සුළු වැඩ මල්ලි, හිතට ටිකක් අමාරු තමයි. නමුත්, දහක් ආශ්‍රය කරනව නම්, එයින් නවසිය අනූවක් විවාහ වෙන්න කලින් ඔය විදිහට වෙන් වෙනව. දැන් තියෙන්නෙ එයා අමතක කරලා හිත හදා ගන්න එක.“ මේ දෙබස කියන කොට මගේ උගුරේ කිසිවක් හිරවෙලා වගේ දැනුණා.

“වෙල්ඩන් වරක්ස්“ කී අධ්‍යක්ෂ ලෙස්ටර් එය එක වතාවෙන්ම රූප ගත කළ බව කීවා.

මේ චිත්‍රපටයේ මගේ බිරිඳ චම්පා ලෙස රඟපෑවේ ශ්‍රියානි අමරසේන. අපි දෙදෙනා සුගත් බීමත්ව විනාශය වන බව දැක දැක මානසික විප්ලවයක් කළේ. ශ්‍රියානිගෙන් මට ලැබුණු සහාය ගැනත් මේ වෙලාවේ මතකයට එනවා.

වරකාගොඩ නම් සිනමා නළුවා මුල්වරට සරසවිය කුසලතාවයක් දිනුවේ මේ “ගොළු හදවතේ“ චරිතය. එකල සරසවි උලෙළේ හොඳම සහාය නළුවා සම්මානය පිරිනැමීමට තීරණය කර නොතිබුණි. “එය තිබුණා නම් වරක්ස්ට අනිවාර්යයෙන්ම එය හිමි වෙනු ඇතැයි“ලෙස්ටර් වරක් කියා තිබුණි.

වරකාගොඩගේ චිත්‍රපට රංගන කාර්යයේ උසස්ම හා උච්චම අවස්ථාව “අරුණට පෙර“ චිත්‍රපටයෙන් පිළිබිඹු විය. පුද්ගලයකුගේ ආත්මය හා පෞරුෂත්වය පිරිහෙමින් පවතින සමාජයක වෙසෙමින් ජීවිත ඉමෙහි දිවිගෙවන ගැමියෙකුගේ සුබවාදී දෘෂ්ටියක් රංග කුසලතාවයකින් ඉදිරිපත් කරමින් මිනිසෙකු සතු මානව ධෛර්යය පිළිබිඹු කළ වරකාගොඩගේ අඳ ගොවි බණ්ඩාගේ රඟපෑමට OCIC නිර්මාණශීලී රංග කුසලතා සම්මානය හිමි විය. මේ අවස්ථාවේ අප අතර නැති අධ්‍යක්ෂ අමරනාත් ජයතිලකත් මතක් වෙනවා.“ වරකාගොඩ කීය.

1933 නොවැම්බර් 21 වෙනිදා හාරිස්පත්තුවේ වරකාගොඩදි උපත ලැබූ රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න වරකාගොඩගේ පියා වූ මද්දුම බණ්ඩාර වෘත්තියෙන් පොලිස් සාජන්ට් කෙනෙකු විය. බස්නායක මුදියන්සේලාගේ රන් මැණිකා නම් වූ මවගේ අප්පච්චි කෝරලේ මහතෙක් විය. විජේරත්න හා චිත්‍රා ක්‍රියාශීලීව ටෙලි නාට්‍යවලට රඟපෑමෙන් දායක වෙති. මේ දෙදෙනා ගැන ප්‍රවීණ රංගවේදි ටෝනි රණසිංහ මෙසේ කියා තිබුණි.

“වරකාගොඩ සිය බිරිය වූ චිත්‍රාට හැර, අන් කිසිවකුට පෙම් නොකළ බැව් මට නොයෙක් වර කියා ඇත. මට අන් පිරිමියෙක් කීවේ නම් ඔහු විවාහයට පෙර කිසිම ගැහැනියකට පෙම් නො කළේ ය කියා මම එය පල් බොරුවක් සේ බැහැර කරමි. හැබැයි වරකාගොඩගේ හෙවණැල්ල චිත්‍රා නම් චිත්‍රා ගේ සෙවණැල්ල වරකාගොඩය.“

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

 

Comments