‘ක්‍රිස්තුස් ලෙස රඟ­පා මා මළත් කමක් නැහැ’ | සිළුමිණ

‘ක්‍රිස්තුස් ලෙස රඟ­පා මා මළත් කමක් නැහැ’

විජයට ඇණ ගසා මිය යන දර්ශනය නිමා කළ සැණින් ස්වභාවිකව මහ හඬින් අහස ගුගුරවමින් විදුලි කොටමින් ධාරානිපාත වැස්සක් ඇද හැලුණා. කෘත්‍රිම වැස්සක් වස්සන්නට ආ ගිනි නිවන හමුදාවට සිදු වූයේ කිසිවක් කර ගත නොහැකිව ස්වාභාවික වැස්ස, විදුලි කෙටීම්, ගෙරවීම් දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට පමණයි. ක්‍රිස්තුතුමා මිය ගියේ සවසකයි. අප ඒ අවස්ථාව රූපගත කළේ ද මළ හිරු බසින හැන්දෑවකය. එදා පැමිණි දහසක් දෙනා වැස්සේ තෙමි තෙමි හඬා වැටුණා.

1979 අප්‍රේල් මාසයේ එක් උදෑසනක, වත්තල හැඳල විජය චිත්‍රාගාරයේ චිත්‍රපට සංස්කරණාගාරයට අහම්බෙන් ගොඩ වැදුණු චිත්‍රපට නිෂ්පාදකවරයෙකුට අඩ අඳුරේ දක්නට ලැබුණේ එහි තිබූ මුවියෝලා යන්ත්‍රයෙන් රැවුල වැඩුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණට කිට්ටු නළුවෙකුගේ රූප රාමු පෙළකි.

“මේ අපේ විජය නේ ද?“

“ඔව්.... ඔව්.... ඔයාගේ හොඳම යාළුවා විජය තමයි.“ එහි සිටි චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න ගේ හඬය ඒ. නිෂ්පාදක ඒ හඬ හඳුනාගත්තේය.

“ආ.... සුනිල් .... මම ඔයාව අඩ අඳුරේ දැක්කේ නෑ. මේ රූපෙටමයි හිත ගියේ.“ එවර කීවේ එහි පැමිණි චිත්‍රපට නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු ඒ සමඟම සංස්කරණ මැදිරියේ විදුලිය විසන්ධි විය.

සියලු දෙනා එළිමහනට ගියහ.

“මට හිතා ගන්න බෑ. විජය ඔයාගේ චිත්‍රපටයේ චරිතයට රැවුල වවලා, හරියට ජේසුතුමාගේ පෙනුමට සමානයි. අපි ක්‍රිස්තු තුමාගේ චරිතය චිත්‍රපටයකට කරමු ද?

සුනිල්ට, ලයනල් යෝජනාවක් කළේ ය. සුනිල්ට ලයනල්ගේ වචනයක් අහක දැමීමට බැරිය. සුනිල් මුලින්ම 1978 දී අධ්‍යක්ෂණය කළ “අනූපමා“ චිත්‍රපටයේ නිෂ්පාදක ලයනල් ය.

“බලමු..... අමාරු වැඩක්“

“මම ගෙදර ගිය හැටියේ විජයට ටෙලිෆෝන් කරලා කියනවා, අපි ක්‍රිස්තු චරිතය කරනවා. අධ්‍යක්ෂණය කරන්නේ ඔයාගේ යාළුවා සුනිල් කියලා“.

සුනිල් සිනාසුණා මිස පිළිතුරක් දුන්නේ නැත.

ලයනල්, සුනිල්ගෙන් සමුගෙන කඳානේ නාගොඩට ගියේ මුලින්ම මේ ආරංචිය තම ආදරණීය බිරිය ඩොරීන්ට කීමට ය. ඩොරීන් කොතරම් සතුටට පත් වී ද යත් එවේලෙම ටෙලිෆෝනය අසලට ගොස් විජයට කතා කොට ඇලරික්ට රිසිවරය දුන්නාය. ලයනල් අදහස කීවේය.

“ලයනල් වැඩේ හොඳයි, භාරධූර වැඩක්, ප්‍රශ්න පිට ප්‍රශ්න එයි විශේෂයෙන් සමහර අපේ සුවාමිලා ගෙන්.“

“මොන ප්‍රශ්න ආවත් මම මේක කරනවා. විජය කැමතිනේ ජේසුස් ක්‍රිස්තුස්තුමා හැටියට.....“

“කැමතියි, හොඳට ම කැමතියි. ක්‍රිස්තු චරිතය රඟපාල මම මළත් කමක් නැහැ.“ විජය ස්ථිරව කීවේය. එතැන් සිට භාරදූර කටයුත්තට අත ගැසූ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න කියන්නේ මේ කතාවයි.

“1979 සිට මා ලියූ ක්‍රිස්තු චරිතය ලියා නිම කළේ 1981 ඔක්තෝබර් මාසයේය. ක්‍රිස්තු චරිතය අලළා 1897 සිට ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදනය වී ඇති චිත්‍රපට ගණන 50 කට වැඩියි. ඇමෙරිකාව, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය ආදී රටවල් මේ අතර ප්‍රධානයි. ක්‍රි.ව. 1897 ක්‍රිස්තු චරිතය ඇමරිකානු නාට්‍ය නිෂ්පාදකවරුන් දෙපොළක් පාස්කු නාටක දර්ශන සිනමා කැමරාවකින් රූපගත කිරීම එකී ආරම්භක කාරිය ලෙස සඳහන් වෙනවා. ක්‍රිස්තුන් පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කළ කුඩාම රට සහ බෞද්ධ රට ශ්‍රී ලංකාවයි. මා ඇතුළු බෞද්ධ ශිල්පීන් රැසක් එම චිත්‍රපටයට දායක වූ බව ද සඳහන් කළ යුත්තක්.

එදා මා ක්‍රිස්තු චරිතය නිර්මාණය කිරීමෙහි දී මගේ අභිලාෂය වූයේ එදා ශ්‍රී ලංකාවේ වාසය කරන්නා වූ දොළොස් ලක්ෂයකට නොවැඩි කිතු බැතිමතුන් සඳහා වූ චිත්‍රපටයක් තැනීමට නොවෙයි. මෙරට වෙසෙන බෞද්ධ, හින්දු, මුස්ලිම් ආදී සකල විධ ජනකායට ක්‍රිස්තුන් යනු කවුරුන්ද කියා හඳුන්වා දෙන ආකාරයේ චිත්‍රපටයක් තැනීමටය.“

වර්ෂ 1981 දී ක්‍රිස්තු චරිතයෙහි රූපගත කිරීම් ආරම්භ කළ තැන් පටන්ම ඊට එරෙහිව ආ උද්ඝෝෂණ කෙළවරක් වී නැත. ක්‍රිස්තුන් ගේ භූමිකාව නිරූපණය කිරීම සඳහා විජය කුමාරතුංග තෝරා ගැනීම බොහෝ දෙනාගේ කතා බහට ලක්විය. විජයගේ නළු වෘත්තිය නොව දේශපාලන චරිතය මෙකී විවාදවලට බොහෝ සෙයින් හේතු වූ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් විජය කුමාරතුංගයන් චිත්‍රපටය රූ ගත කරන කාලයේ දැඩි ලෙස දේශපාලන කටයුතුවල නියැළී සිටියේය. එකල විජය හා කළ පුවත්පත් සම්මුඛ සාකච්ඡා ද අපට කිරීමට සිදු වූයේ ඔහුගේ ඩබල් කැබ් එකේ දීය. විජය වේගයෙන් රිය ධාවනය කරමින් අප සමඟ කතා කරමින් ඇතැම් රසකතා කීවේය.

“ක්‍රිස්තු චරිතය“ චිත්‍රපටයේ බොහෝ දර්ශන රූගත වූයේ හැඳල විජය චිත්‍රාගාරයේ දී කලා අධ්‍යක්ෂවරුන් වූ ලයනල් සිල්වාගේ හා ඩැනිස්ටර් පෙරේරාගේ පසුතල නිර්මාණ තුළය. හැමෝම පුල පුලා බලාපොරොත්තුවෙන් බලා සිටියේ විජය කුමාරතුංගයන් ජේසු තුමා ලෙස කුරුසයේ ඇණ ගැසීමේ දර්ශනය රූගත කරන්නේ කවදාද කියා විමසිල්ලෙනි. බොහෝ දෙනෙකු සිතා සිටියේ එය කල්පිටිය පැත්තේ අනිවාර්යෙන් ම රූගත කරයි කියාය. නැතිනම් මීගමුවේ කිට්ටුව බව ය.

“අපි හෙට විජයට ඇණ ගසන දර්ශනය ගන්නවා.“ අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන් සරසවිය පත්‍රයේ අපට ටෙලිෆොන් කොට කීවේය.

කොහේ ද? කල්පිටිය පැත්තෙ ද?“

“නෑ.... නෑ. කඳානේ ම හිස් ඉඩමක කෙරෙන්නේ. උදේ ඉඳලා හවස් වෙනකන් වැඩේ යනවා. උදේ 9 ට විතර ලයනල්ගේ ගෙදරට එන්න.“

“සරසවිය“ පත්‍රයේ කට්ටිය, කැමරා ශිල්පී උපාලි ෆොන්සේකා ද තවත් ඡායාරූප ශිල්පියකු ද සමඟ අපි එදින කඳානට ගියෙමු.

කඳානේ අක්කර ගණනක හිස් ඉඩමක කුරුස කිහිපයක් ඉඳි කර තිබුණි. අවට ඇත්තේ මූසල පෙනුමකි. අපට අධ්‍යක්ෂ සුනිල් සමඟ කතාබහ කිරීමට අවස්ථාව ලැබිණ.

“විජයගේ දේශපාලන චරිතයත්, ක්‍රිස්තු චරිතයත් අතර අත්‍යන්ත බැඳීමක් තිබුණු බව මට ඉඳුරාම කියන්න පුළුවන්. විජය ක්‍රිස්තු චරිතයට ආවේශ වෙමින් කියූ ඇතැම් සංවාද මගේ දෙසවන් තුළ දෝංකාර දෙනවා.

“ඇසට ඇසකින් ද, දතට දතකින් ද වන්දි ගෙවිය යුතු බව පවසා ඇතත් මා ඔබට කියන්නේ එක කම්මුලකට ගැසුවහොත් අනෙක් කම්මුලත් හරවන ලෙස යි. මිතුරාට පමණක් නොව සතුරාට ද ප්‍රේම කරන ලෙසයි. දෙවියන්වහන්සේට පූජාවක් ඔප්පු කිරීම සඳහා පූජාසනය අබිමුවට පැමිණි කළ ඔබ යමකු හා අමනාපයෙන් සිටින බව සිහිපත් වී නම් පූජාව නොතබා ආපසු යන්න. සතුරා සමඟ නොපමාව මිතුරු වී ආපසු පැමිණ පූජාව ඔප්පු කරන්න.“

අධ්‍යක්ෂවරයා මේ දෙබස් ඛණ්ඩය අපට කට පාඩමින් කියූවේ ඔහු විසින් ‘ක්‍රිස්තු චරිතයේ‘ දෙබස්, තිර නාටකය හා රූප රචනය කළ නිසා ද? අප රූපගත කරන දර්ශන තලයට යන විට එහි කාර්මික පිරිස රැස්ව සිටියහ. කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න, කලා අධ්‍යක්ෂවරු ලයනල් සිල්වා හා ඩෙනිස්ටර් පෙරේරා, සහාය අධ්‍යක්ෂ අයි.එන්. හේවාවසම් හා තිස්ස ජයසූරිය ඇතුළු සෙසු කාර්මික ශිල්පීන් එහි සිටියහ. හෙවණක් යට විජය කුමාරතුංගයන්ගේ වෙස් ගැන්වීම් සිදු කෙරිණි. අංග රචනය කළ ශේෂා පලිහක්කාරත් ඔහුගේ උපදෙස් ලබමින් සහායක අංග රචනයක් වූ වසන්ත විට්ටච්චි හා රංජිත් වික්‍රමසිංහත් වෙස් ගැන්වීමට සහාය වූහ.

“හවස් වෙනකොටවත් වහී ද?“ ඩොනල්ඩ් අහස බලන කුඩා කණ්ණාඩියකින් බලා අධ්‍යක්ෂවරයාට කීය.

“මේ පළාතට කාලෙකින් වැහැලා නැහැ. කෝකටත් අපි ගිනි නිවන හමුදාවෙන් ආටිෆිෂල් වැස්සක් මවන්න ලැහැස්ති කර ගත්තේ හොඳ වෙලාවට“ සහාය අධ්‍යක්ෂ හේවාවසම් කීවේය.

“ඒක හොඳයි“ අධ්‍යක්ෂවරයා එය අනුමත කරමින් කීය.

රූපගත කිරීම් ගැන ආරංචි වී දහස් ගණනක් ජනතාව රැස් වූ අතර ඔවුන් විජය වෙස් ගන්වන තැනට යාම වැළැක්වීමට නිෂ්පාදක ඇලරික් ලයනල්ට කඳානේ පොලීසියේ ද වෙනමම සිවිල් පිරිසක් ද යොදවන්නට සිදුවිය. එදා රූපගත කරන අවස්ථාවේ පැමිණ සිටි දහසක් දෙනා මවිත කරමින් ආශ්චර්යවත් සිද්ධීන් කිහිපයක් ම සිදු වීම සැමටම සිතා ගන්නට බැරිතරම් දෙයක් වූහ. කොළඹ සිට ගෙන්වන ලද නාගරික ගිනි නිවන හමුදාව සමඟ වතුර බවුසර් ද එහි නවතා තිබුණි. ක්‍රිස්තු තුමාට ඇණ ගසනු ලබන දර්ශනයට දැන් සියල්ල සූදානම්ය. ගිනි නිවන හමුදාව කෘත්‍රිම වැස්සක් ඇති කිරීමට විධි විධාන යොදා තිබුණි. මේ අවස්ථාවත් අධ්‍යක්ෂ ආරියරත්නයන් විස්තර කළේ මෙසේය.

“කඳානේ ඉදිකළ සුවිසාල පසුතලයක විජය කුරුසියට තබා ඇණ ගැසූ දින රූපගත කිරීම් නරඹන්නට ආ දහසක් දෙනා හඬා වැටුණා. ඒ කාලේ රටේ දැඩි නියඟයක් පැවති කාලයක්. කොටින්ම එදා පැමිණි පැය දහයකටත් වඩා එක්තැන්ව සිටි අති විශාල ජනතාවට බීමට පවා ජලය නැතිව තිබුණේ. ළිං හිඳිලා. විජයට ඇණ ගසා මිය යන දර්ශනය නිමා කළ සැණින් ස්වභාවිකව මහ හඬින් අහස ගුගුරවමින් විදුලි කොටමින් ධාරානිපාත වැස්සක් ඇද හැලුණා. කෘත්‍රිම වැස්සක්

වස්සන්නට ආ ගිනි නිවන හමුදාවට සිදු වූයේ කිසිවක් කර ගත නොහැකිව ස්වාභාවික වැස්ස, විදුලි කෙටීම්, ගෙරවීම් දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට පමණයි. ක්‍රිස්තු තුමා මිය ගියේ සවසකයි. අප ඒ අවස්ථාව රූපගත කළේ ද මළ හිරු බසින හැන්දෑවකය. එදා පැමිණි දහසක් දෙනා වැස්සේ තෙමි තෙමි හඬා වැටුණා. ඉන් වසරකට පමණ පසු විජය කුමාරතුංග නමැති පුද්ගලයා අකල් මරණයකට ගොදුරු වන බව ඔවුන් දැන සිටියා නම් ඒ කඳුළු උල්පත් නොනවතින ජල ධාරාවක් බවට පත් වන්නට නොතිබිණි ද? අප කිසිවකු එවැනි රූපගත කිරීමකටවත් විජය සහභාගි කරවා ගැනීමට තුන් හිතකින්වත් සිතනු ඇද්ද? එහෙත් දැන් සියල්ල සිදුව අවසන්. ක්‍රිස්තුස් භද්‍ර යෞවනය නො ඉක්ම වූ සමයක දී ඝාතනය කළා. විජය ද භද්‍ර යෞවනය නොඉක්මවා සිටිය දී ඝාතනයට ලක්වුණා.

ක්‍රිස්තු චරිතය චිත්‍රපටයෙන් විජය දුටුවේ ඔහු හඬ සහිත රූප පද්ධතිය පමණයි. ඒවා ද හරි හැටි සංස්කරණය කොට තිබුණේ නැ. එහෙත් සමස්ත චිත්‍රපටය ප්‍රශස්ත තත්ත්වයක තිබෙනු ඇතැයි විජය විශ්වාස කළා.“ සුනිල් ආරියරත්නයෝ අපට 1988 දී පමණ කියා තිබුණාහ.

සුනිල් ආරියරත්නයන් ක්‍රිස්තු චරිතය කරන කාලයේ ම තමා විසින් ලියාගෙන ගිය “කැරොල් පසම් කන්තාරු“ ගැන පොතට ශාස්ත්‍රීය පර්යේෂණයක් කරගෙන යන බව ඇසූ විජය කුමාරතුංගයන් ගොන්සාල්වෙස් ප්‍රබන්ධවලට සමාන ගී පැබඳුම් කිහිපයක් චිත්‍රපටයට සම්බන්ධ කිරීම ගැන සාකච්ඡා කර ඇත. එය තේමා ගීතයක ස්වරූපය ගත යුතු බවත් නන්දා මාලිනිය විසින් එය ගායනා කළ යුතු බවත් විජයගේ අදහස විය. චිත්‍රපටයේ ස්ත්‍රී චරිත ඉතා හිඟ බැවින් ස්ත්‍රී හඬකින් ගැයෙන තේමා ගීයක් රූප පෙළ පුරා පවත්වා ගෙන යෑම මැනවැයි විජය කියා ඇත. එසේ ගායනා කරන්ට සිටි ඇතැම් ප්‍රබන්ධයක් මාස කිහිපයකට පසු තමන්ට ආරෝපණය කර ගයන්ට සිදුවෙතියි විජය එදා නොසිතන්නට ඇති. මේ ගීය යි.

සුර ලොවින් බැස මෙදිනේ

මවු කුසිනේ බිහි වෙමිනේ

කුඩු දෙතනේ කිරි බොමිනේ

මිණි ලෙසිනේ වැඩුණු තැනේ..

දිලෙන රනේ රුව ලෙසිනේ

මල් උයනේ සිටිය දිනේ

මෙම මරණේ ඔබට වුණේ

කිමද අනේ සුර රජුනේ

“ක්‍රිස්තු චරිතය ආරම්භ කරන විට විජය දේශපාලනයට සම්බන්ධව සිටියත් ප්‍රබල දේශපාලන චරිතයක් බවට පත්ව සිටියේ නැහැ. එහෙත් රූපගත කිරීම් අතරතුර ඔහුගේ දේශපාලන චරිතය නානා විධ හැලහැප්පීම්වලට භාජනය වුණා. අතුරු මැතිවරණ කිහිපයකදී ඔහු සිය ප්‍රති මල්ලවයා සමඟ ඉතා තියුණු ලෙස සටන් කළා.

ජනමත විචාරණයේදී ඔහු තමා නියෝජනය කළ පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා, ප්‍රධාන කථිකයා වුණා. හිරේ විලංගුවේ වැටී සිටියා. පක්ෂයකින් බිඳී ගියා. අභිනව පක්ෂයක ආරම්භකයා වුණා. විජය කුමාරතුංග යන නම උච්චාරණය කිරීම ගුවන් විදුලියට තහනම් වුණා. විජය කුමාරතුංග යන පුද්ගලයාගේ රූපකාය ප්‍රදර්ශනය කිරීම රූපවාහිනියට තහනම් වුණා. මේ සියලු දෙයින්ම සිදු වූයේ ක්‍රිස්තු චරිතයේ රඟපෑම් පෝෂණය වීමය.“ අධ්‍යක්ෂ ආරියරත්නයන් කීය.

ක්‍රිස්තු චරිතය චිත්‍රපටය අරඹා අවුරුද්දක් යන්නට පෙර 1983 මාර්තු මාසයේ දී කතෝලික පල්ලියේ ඇතැම් කොටස්වල උසි ගැන්වීම නිසා චිත්‍රපටය තහනම් කර ඇත.

“ක්‍රිස්තු චරිතය රඟපාල මළත් කමක් නෑ.“ ඒ හැම මොහොතකම විජය ස්ථිර හඬින් කීවේය.

හලාවත පදවියේ කතෝලික ධර්මෝපදේශයේ සිංහල අංශය, එකල ජනාධිපතිතුමන් වෙත සන්දේශයක් ඉදිරිපත් කරමින් මේ චිත්‍රපටයේ වැඩ කටයුතු වහා නතර කරවන ලෙස ඉල්ලීමක් කළේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ 1983 මාර්තු 23 වැනිදා ‘ක්‍රිස්තු චරිතය‘ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කිරීමයි. එකී තීරණය රජයේ ගුවන් විදුලියේ හා රූපවාහිනිය මඟින් ප්‍රකාශයට පත් කිරීම නිසා චිත්‍රපටයේ වැඩකටයුතු ද නතර කර දමන ලදි. සිංහල චිත්‍රපටයක් නිෂ්පාදන අවස්ථාවේදී තහනම් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ තහනම් නියෝගයට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට පුවත්පත් හා විවිධ ලේඛකයන් දායක වූ අතර අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දායකත්වය එහිදී ප්‍රබලව කැපී පෙනුණේය. මේ අතර කැබිනට් ප්‍රකාශක කියා ඇත්තේ කැබිනට් මණ්ඩලය ‘ක්‍රිස්තු චරිතය‘ තහනම් කිරීමේ තීරණයක් නොගත් බවත් ජනාධිපතිතුමා කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සිය පෞද්ගලික මතය ප්‍රකාශ කළ බවත් එය කැබිනට් තීරණයක් නොවන බවකි. 1983 අප්‍රේල් 21 පසු චිත්‍රපටයෙහි වැඩ කටයුතු යළි අරඹන ලදි.

“ක්‍රිස්තු චරිතය“ විශාල ධනස්කන්ධයක් වැය කළ යෝධ චිත්‍රපටයක් බවත් ලෝකයේ සෙසු ක්‍රිස්තු චරිතය කළ රටවල් හා සසඳන විට එය අඩු ම මුදලක් වැය කළ චිත්‍රපටයක් බව නිෂ්පාදක පවසයි.

“අවම වශයෙන් ශාස්ත්‍රවන්තයන් තිදෙනාට නැගී යාම සඳහා ඔටුවන් තිදෙනෙකු සොයා ගැනීමට පවා අපට නොහැකි වුණා. මන්ද? දෙහිවල සත්තු වත්තේ ද සිටියේ ඔටුවන් දෙදෙනෙක් පමණක් බැවින්! මේ චිත්‍රපටයේ වැය කොට ඇති දළ සේයා පට ප්‍රමාණය අඩි 33,000 කට නොවැඩිය; චිත්‍රපටයෙහි දිග අඩි 13,000 ක් පමණය.“ අධ්‍යක්ෂ අපට කීය.

“ක්‍රිස්තු චරිතය රඟ පෑ නළුවන් ඉක්මණින් මිය යන බවට රාවයක් තිබුණා. එය නිෂ්පාදක ලෙස මගේ සිතට ගෙන දෙන්නේ බලවත් දුකක්. ක්‍රිස්තු තුමා ජීවිතය පූජා කළේ විමුක්තිය වෙනුවෙන්. මෙම චරිතය රඟ පෑමෙන් විජය තුළ විශාල පෞරුෂත්වයක් වැඩුණේ යැයි මම සිතනවා. එය විජයට විශාල පන්නරයක් ළඟා කර දුන් අවස්ථාවක්ය යන විශ්වාසය මගේ සිතට සැනසීමක්. විජයට චිත්‍රපටය පෙන්වන්නට නොහැකි වීම මගේ සිතට විශාල වේදනාවක්. චිත්‍රපටය නිපදවා වසර 10 කට පසු 1990 ඔක්තෝබර් 09 වෙනිදා ‘ක්‍රිස්තු චරිතය‘ තිරගත වුණා.“ විජයගේ ළඟම මිතුරා, ප්‍රියතම නළුවා, සුහදතම ඥාතියා වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු හා ඔහුගේ බිරිය ඩොරීන් ප්‍රනාන්දු අප හමුවන සැමවිටම කියන්නාහ.

Comments