ඔබ නොදන්න චණ්ඩි රජා | සිළුමිණ

ඔබ නොදන්න චණ්ඩි රජා

මම කාර් එකෙන් වේගයෙන් එනවා. ස්වර්ණා පොල්ලෙන් ගහපු පහරෙන් වින්ස්ක්‍රීන් එක වීදුරු විසිරුවමින් කැඩෙන විටම පොල්ල ආපසු ස්වර්ණාගේ පපුවට වැදිලා බිම ඇද වැටුණා. දූවිලි වලා නඟමින් වීදුරුවෙන් මල් විසිරෙනවා වගේ වීදුරු කුඩු දඩාස් ගාලා විසිරිලා ගියා

රවීන්ද්‍ර රන්දෙනිය විසින් කුඩා පිරිමි ළමයකු තට්ටු ගණනකින් යුත් විශාල ගොඩනැඟිල්ලකින් පහළට තල්ලු කොට මැරීමට තැත් කරයි කියා ඔබ විශ්වාස කරනවාද? තවත් වරෙක ඔහු ගැහැනියකගේ ගෙල මිරිකා මරා මේ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මල් කැකුළක් බඳු ඇගේ දියණිය එම නිවසෙදී බිය ගැන්වීම නිසා මිය යාමට ලුහුබැන්ද මිනීමරුවකු වූ බවත් ඔබ දැන සිටියා ද? එපමණක් ද? තමාට පණ මෙන් ආදරය කළ අහම්බෙන් හමු වූ ගැහැනියකට දරු ගැබක් සිටියදී පාළු ප්‍රදේශයකදී මෝටර් රථයට යට කර මැරීමට තරම් සාහසික වූ අන්දම ඔබ අසා තිබුණා ද?

මේ සියල්ල රවීන්ද්‍ර කළේ සත්‍ය ජීවිතයේ දී නම් නොවේ. ඔහු විසින් තම සිනමා ජීවිතයේ එවැනි ක්‍රෑර, බිහිසුණු ක්‍රියා සහිත කටුක චිත්‍රපටවල අත්දැකීම් දැන් කාලයාගේ වැලි තලාවේ සැඟ වී ඇත.

සත්‍ය ජීවිතයේ තම දරුවන්ට මෙන්ම අන් දරුවන්ට සම මෙත් දැක්වූ තම බිරියට අසීමිත ලෙස ආලය කළ රවීන්ද්‍ර රන්දෙනිය තම හිතවත් මිතුරු මිතුරියන් ගිලන් වූ විට කරදරයක වැටී සිටි විට ඔවුන්ගේ සෙවණැල්ල සේ සිටි බව දන්නෝ දනිති. කඩවසම්, රූමත් සිහින කුමරෙකු ලෙස මීට වසර 45 කට පෙර සිනමාවට එක් වුවත් ඔහු ප්‍රතිභාන්විත, සිනමාවේ මංසලකුණු සනිටුහන් කළ චිත්‍රපටවල නොමියන චරිත රඟ පෑ සම්මානනීය නළුවකු බව කවුරුත් දනිති. එහෙත්... තම පෞරුෂයට තරම් නොවූ එහෙත් ප්‍රතිභාන්විත දුෂ්ට චරිත රඟපෑමට තරම් හිත හදා ගත්තේ කෙසේදැයි බොහෝ දෙනෙකුට නම් විමතියකි.

“නව තාරුණ්‍යයක් පමණක් නොව නොවූ විරූ රංගන ශෛලියයක් ද සිනමාවට හඳුන්වා දුන් නළුවෙක් ලෙස රවීන්ද්‍ර රන්දෙනියව අර්ථකථනය කළ ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී විජේතුංග (අභාවප්‍රාප්ත) තාරකා මේසයෙන් ඔබ්බට ගිය රංගවේදියකු බව හඳුන්වා දී තිබුණි.

තාරකා මේසයෙන් මීදී ‘සුදු‘ චරිත වෙනුවට ඔහු රඟ පෑ ‘කළු‘ චරිත කිහිපයකි සිරිපාල සහ රන්මැණිකා (1977), සීතාදේවි (1978), චූඩා මාණික්‍ය (1979),පොඩි මල්ලී (1989), දඩයම (1983), මායා (1984), ජනේලය (1984). රවීන්ද්‍ර සිංහල සිනමාවේ කොතෙක් ‘සුදු හා කළු‘ චරිත රඟපෑවත් ඔහුගේ හොඳම හා මුල්ම රඟපෑම මුල්වරට රඟපා ඇත්තේ පුංචි කාලයේ ගෙදරදීමය.

“අපේ තාත්තාගේ පුරුද්දක් තිබුණා හැම ඉරිදාම දහවල් කෑම කන්න අපේ පවුලේ සියලු දෙනාම කෑම මේසයේ ඉඳගන්න එක. දවසක් අපේ කාර් එක හෝදන්න ගිහින් අයියයි මමයි ගෙදර එන කොට දහවල් 2.30 පමණ ඇති. ගෙදර ආව ගමන් හොඳට තරහ ගිහින් හිටිය තාත්තා මුලින්ම ගැහැව්වේ අයියට. මම දුවලා ගිහිල්ලා හැංගුණා. තාත්තා මාව හොයා ගෙන ඉස්තෝප්පුවට ඇද ගෙන ඇවිත් ගහන්න පටන් ගත්තා විතරයි මම ක්ලාන්ත වී බිම ඇද වැටුණා. ගෙදර ඔක්කොම කලබල වෙලා; වතුර ඉහිනවා. තාත්තා මාව උස්සාගෙන ඇඳකට ගෙනිච්චා. හැමෝම කලබල වෙලා. මම කළේ බොරු රඟපෑමක්. මම ගල්බිල්ලා වගේ ඇස් දෙක පියාගෙන ඉන්නවා. “ළමයිට මෙහෙමත් ගහනවද? උන් තාම පොඩියි කර දණ්ඩ උස් මහත් වුණාට.“ අම්මා කියනවා ඇසුණා. මේ වගේ ප්‍රශ්නයක් වුණාම තාත්තා කාර් එකේ නැගලා කොහෝ හරි යනවා. එදා ගෙදර කවුරුත් දවල්ට කෑවේ නෑ. හවස තාත්තා එනකොට ඇපල් මිදි පාර්සලයක් ගෙනැල්ලා මගේ අතේ තිබ්බා. මම එදා කළේ බොරු රඟපෑමක් කියලා මම ගෙදරට කිව්වේ මුල්ම චිත්‍රපටයේ රඟපෑවට පස්සේ.“

මුල්වරට 1975 වසරේ “තරංගා“ චිත්‍රපටයෙන් සිනමා සම්ප්‍රාප්තිය සටහන් කළත් මුලින් රඟපෑම ‘කළු දිය දහර‘ චිත්‍රපටයෙනි.

ඔහුට මුල්වරට සරසවිය හා ජනාධිපති සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබුවේ 1984 වසරේදීය. ඒ 1983 වසරේ තිරගත වූ “දඩයම“ චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයටය. එතෙක් රවීන්ද්‍ර තම ප්‍රතිරූපය ගැන නොසිතා සංකීර්ණ ප්‍රතිවීර (Anty Hero) චරිතයක් මෙහි නිරූපණය කළේය.

“මගේ රංගන ජීවිතයේ දුෂ්ටතම චරිතය රඟපෑවේ “දඩයම“ චිත්‍රපටයේ. රත්මලී සමඟ ව්‍යාජව විවාහ ගිවිස ගෙන පාළු ප්‍රදේශයකට ගෙන ගොස් තම මෝටර් රථයට යට කර මැරීමට ඔහු අමනුෂ්‍යයකු වූයේ කෙසේද? “දඩයම“ චිත්‍රපටයේ අන්තිම දර්ශනයේ දී ජයනාත් (මම) හා රත්මලී (ස්වර්ණා මල්ලවාරච්චි) මෝටර් රථය තුළ දි බහින් බස් වෙනවා. මේ ගැටුම උත්සන්න වී රත්මලී මගේ මුහුණ හූරනවා. මම කේන්තියෙන් අව් කණ්ණාඩි ගලවා කාර් එකේ කණ්ණාඩියෙන් මුහුණ බලනවා. එහි වූ දරුණු හීරිම්වලින් ලේ ගලනවා. ජයනාත් ගේ චරිතයේ හැටියට ඔහු තම රූපයටත්, කාර් එකටත් දක්වන්නේ අසීමිත ආදරයක්. ඔහු ඇයව රථයෙන් එළියට තල්ලු කරනවා. රත්මලී ගේ නියපොතු පාරට ජයනාත්ගේ මුහුණින් ලේ ගලනවා. රත්මලී පාළු බිම් තිරයේ දුවනවා ජයනාත්ට බයේ.

දූවිලි වලා මැදින් ජයනාත්ට රත්මලීගේ ඡායාව පෙනෙනවා. ඇගේ අතේ පොල්ලක්. ඊළඟට තිබුණේ රත්මලී පොල්ලකින් කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකට පහර දෙන දර්ශනය. මම සන්ග්ලාස් එක ගලවලා මේ අවස්ථාව රඟපාන්න හිටියෙ.

“මචං මාර වැඩේනේ උඹ සන්ග්ලාස් එක ගලවපු නිසා ලොකු ප්‍රශ්නයක්. ස්වර්ණා වින්ස්ක්‍රීන් එකට ගහහන කොට වීදුරු කටු උඹේ ඇස්වලට ගිහින් ඩැමේජ් වේවි.“ අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මට කිව්වා.

“මම රිස්ක් එක ගන්නම් කමක් නෑ. සන්ග්ලාස් එක දැම්මාම ඒ සීන් එක ලස්සන නෑ.“

මම ඊළඟට ස්වර්ණාට කතා කළා.

“ස්වර්ණා, ඔයා කිසි දේකට බයවෙන්න එපා. ඔයා පොල්ලෙන් වින්ස්ක්‍රීන් එකට ගහල ඉවර වෙන කොට මම ඔයාට ගෑවෙන නොගෑවෙන විදිහට ළඟින් කාර් එක වේගයෙන් යනවා. හොඳට මතක තියා ගන්න ඔයා වැටෙන්න ගියොත් පිටි පස්සට වැටෙන්න.“

කිව්ව විදිහටම මගේ කාර් එක ස්වර්ණාට අඟල් 4 ක් තිබියදී “චීස්“ කියලා ගියා. මට බය තිබුණේ ස්වර්ණා ගහන පාරට කැරකිලා කැරකිලා ගිහිල්ල ගිහිල්ලා වැටෙන කොට කාර් එකට හැපිලා යටවෙලා අනතුරක් වේවි කියලා. මම කාර් එක පැයට කිලෝමීටර 60 ක වේගයෙන් පැදෙව්වේ.

ඔන්න දැන් සීන් එක ගන්න අවස්ථාව. මම කාර් එකෙන් වේගයෙන් එනවා. ස්වර්ණා පොල්ලෙන් ගහපු පහරෙන් වින්ස්ක්‍රීන් එක වීදුරු විසිරුවමින් කැඩෙන විටම පොල්ල ආපසු ස්වර්ණාගේ පපුවට වැදිලා බිම ඇද වැටුණා. දූවිලි වලා නඟමින් වීදුරුවෙන් මල් විසිරෙනවා වගේ වීදුරු කුඩු දඩාස් ගාලා විසිරිලා ගියා.“ රවීන්ද්‍ර මේ අත්දැකීම අපට විස්තර කරද්දී ඔහුගේ මුහුණ රතු පැහැ ගැන්වී එම දර්ශන තලයට සිතින් ගිය ආකාරය මොනවට පැහැදිලි විය.

මේ බිහිසුණු දර්ශනය රූපගත කර ඇත්තේ යාල අභය භූමියට යන විශාල කලපුවක් අසලය. එක වතාවකින්ම මේ අවස්ථාව රූපගත කළ යුතුයි. කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න ඒ කාර්යය අකුරටම ඉටුකර ඇත. අතිරේක කැමරාව මෙහෙය වූයේ සුමින්ද වීරසිංහ ය. රවීන්ද්‍ර පැදවූයේ ෆෝඩ් කැෆ්රි රථයකි.

කැමරාව මෙහෙයවමින් ඩොනල්ඩ් කාර් එකේ පිටුපස අසුනේ සිටියේය. රවීන්ද්‍රගේ වම් අතින් ලේ ගලයි. ඔහු සිටියේ හොඳටම හෙම්බත් වෙලාය. ඔහුගේ මුහුණේ සීනි කැට තරම් තුවාල. පුදුමය වින්ඩ්ස්ක්‍රීන් එකේ වීදුරු කෑල්ලක් වේගයෙන් කැමරා ලෙන්ස් එකට වැදීම ය. ඒ රූප රාමුව ඉතා නිර්මාණශීලී වුවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘යුනිට්‘ එකේ කැමරාවේ වයිඩ් ඈන්ගල් කාචය තිත් තිත් ආකාරයට පිපිරී තිබීම ය. පිටරට යවා මේ ලෙන්ස් එක අලුත්වැඩියා කිරීමට රු. 40,000 ගෙවීමට සිදුව ඇති අතර ඉතිරි වැඩ කිරීමට අතිරේක ලෙන්ස් එකක් තිබීම ද වාසනාවකි.

රවීන්ද්‍ර රන්දෙනිය හෙවත් ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා 1945 ජුනි 05 වැනිදා කැලණියේ දළුගම උපත ලැබීය. ඔහුගේ පියා එල්.පී. පෙරේරා කැලණියේ දළුගම සුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු පිත්තල සරනේරු සොයිබ කර්මාන්තයෙන් ‘කප්‘ ගැසූ ව්‍යාපාරිකයෙකි. මව වූයේ සපුගස්කන්දේ උපන් කැරලයින් එගොඩවත්තයි. පෙරේරා යුවළට දරුවන් හය දෙනෙකු සිටියහ. වැඩිමලා කැලිස්ටස්ය. බොනිෆස් දෙවැන්නාය. ගර්ටි, හෙලන් සොහොයුරියන්ය. අමල් හා ශාන්ත සොහොයුරන්ය.

උපතින්ම ධනවත් පවුලක ඉපදුණ ඔහු අධ්‍යාපනය ලැබුවේ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙනි. කලාවට වඩා ඉගෙනීමට මුල්තැන දුන් ඔහු පාසලේදී “සීගිරි කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප ලෙස රඟපා ඇත.

කෙටිකතා ලිවීමේ කුසලතා දැක්වූ ඔහු 1962 විද්‍යාලයීය සාහිත්‍ය සංගමය මෙහෙය වූ කෙටිකතා තරගයෙන් මුල්තැන දිනා ඇත. එකල ඔහුගේ අදිටනව ඇත්තේ දොස්තරවරයකු වීමය.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සිනමාවට දායාදය කළ කලාකරුවන් වූ එස්.එම්. නායගම්, ප්‍රේමනාත් මොරායස්, ශේෂා පලිහක්කාර, ලෙනින් මොරායස්, රෝයි හඳපාන්ගොඩ, සෙල්වරත්නම්, රාසරත්නම්, රොබින් ප්‍රනාන්දු, රොනල්ඩ් ප්‍රනාන්දුට පසු යුගයේ බොනිෆස් සමඟ එකම පන්තියේ ඉගෙන ගත් හොඳම පන්ති මිත්‍රයා වූයේ විජය කුමාරතුංගය. කථිකත්වයට උපන් හපනකු වූ විජය, විද්‍යාලයේ කථික තරගයකින් මුල් තැනට තේරී රන් පදක්කමක් දිනූ අයුරු රවීන්ද්‍ර අපට කියා තිබුණි. ධර්මරත්න පෙරේරා හා සුදේශ් ගුණරත්න ද ඔවුන්ගේ පන්ති මිතුරන්ය.

“මාවයි විජයවයි කලාවට සාහිත්‍යයට යොමු කළේ පාසැලේ කීර්තිමත් ගුරුවරයකු වූ ද උග්‍ර වාම වාදියකු වූ ද විල්ප්‍රඩ් පෙරේරා. ඔහු ජනප්‍රිය චිත්‍රපට නළු ඇන්තනි සී. පෙරේරාගේ සහෝදරයා. ඔහුගේ වාමාංශික අදහස්වලට ගරු කළේ විජය. 1985 සරසවි සම්මාන උලෙළේ දී මම හොඳම නළුවා (මායා) ලෙසත්, විජය ජනප්‍රිය නළුවා ලෙසත් සම්මාන ලැබූ දා මගේ ජීවිතයේ ලස්සනම දවස.“ රවීන්ද්‍ර වරක් අපට කීය.

බොනිෆස් “රවීන්ද්‍ර රන්දෙනිය“ ලෙස සිනමාව වෙනුවෙන් බෞතීස්ම කළේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහය. දිනක් රැලෙක්ස් අහම්බෙන් දළුගම බොනිෆස් ගේ සාප්පුවට ගොඩ වැදුණේය. මේ තරුණයාගේ මුහුණ ෆොටෝජෙනික් යයි ඔහු සිතුවේය. රැලෙක්ස් මේ තරුණයාට ‘රවීන්ද්‍ර රන්දෙනිය‘ නම් තැබූ අතර ජෝ අබේවික්‍රම එය අනුමත කර තිබුණි. රවීන්ද්‍රගේ මුල්ම රංගනය ‘කළු දිය දහර‘ තුළින් මතු විය.

රවීන්ද්‍ර රන්දෙනිය “සිරිපාල සහ රන්මැණිකා“ චිත්‍රපටය සත්‍ය ජීවිතයේ චරිතයක් සිනමාවේ ප්‍රති නිර්මාණය කළ චරිතයකි. ඒ ගැන රවීන්ද්‍ර කතා කරන්නේ තමා රඟපෑ අසීරු වඩා සිත්ගත් චරිතයක් ලෙසය.

සිරිපාල සොරකු, මිනීමරුවකු, මැරයකු වුණත් එඩිතර තරුණයෙක්. කසිප්පු පෙරමින් තම දරුවන් රැක මැදි වියේ වැන්දඹු ගැහැනියක වූ රන්මැණිකාට නොමේරූ සිරිපාල ආදරය කරනවා. “මහත්තයා මම මේරූ ගැහැනියක්. මට දරුවෝ ඉන්නවා. මගේ මිනිහා මැරිලා. මිනිහගේ අයියා මට බැල්ම හෙළනවා. මහත්තයා පොඩි කොල්ලෙක්.“ කියා රන්මැණිකා කියන වචන සිරිපාල තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. මේ චරිතය මම රඟපෑවේ මාරවේශවූ මානසික ස්වභාවකින්. රන්මැණිකා ලෙස රඟ පෑවේ අපේ විශිෂ්ටතම රංගවේදියක වූ මාලිනී ෆොන්සේකා. නිතර නිතර අරියාදු කරන, තර්ජනය කරන සීමන් අප්පුට (ජෝ අබේසේකර) වෙඩි තබා සිරිපාල ගෙදර පැමිණි අවස්ථාව මට කිසිදා අමතක වන්නේ නෑ.

“ජනේලය“ (1987) චිත්‍රපටයේ මමත් අනෝජා වීරසිංහත් එක්ව මිනිහෙක් මරණවා. අපි පදිංචි සිටි බම්බලපිටියේ නිවාස සංකීර්ණයේ ඉදිරි නිවාස පේළියේ සිටින දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් මෙය යාන්තමට දකිනවා. එය ඇසින් දුටු සාක්ෂියක්. මම මේ ළමයා (රාසි අන්වර්) පසුපස ලුහුබඳිනවා. විශාල බිල්ඩිමකදී මම මේ ළමයා ලුහු බැඳගෙන යනවා. ඒක අලුතින් හදන තට්ටු ගණනක ගොඩනැඟිල්ලක්.

ළමයා කොහොම හරි බේරි බේරි වෙන තට්ටුවකට පැන ගන්නවා. සමබරතාව නැතිව මම දෝංකාර දෙමින් බිමට වැටෙනවා. බිම් මහලේ තියෙන්නෙ ගොඩනැඟිලි උපකරණ. මේ උද්වේගකර දර්ශනය දිග එකක්. මට සිදු වූ දේ ගැන අමුතුවෙන් කිව යුතු නෑ. එය දකින විට අදත් ඇඟ කිළි පොළා යනවා. රූපගත කළේ බම්බලපිටියේ ඕෂන් ටවර් එකේ. ඒ කාලේ ඒක හදාගෙන යනවා. මේ දර්ශන රූපගත කළේ ඇමරිකාවේ ජීවත්වන උපතින් ජපන් ජාතිකයකු වූ ඩැරන් ඔකාඩාට හොඳම කැමරා අධ්‍යක්ෂකට හිමි සරසවි සම්මානයත් ලැබුණා.“

රවීන්ද්‍ර මිනී මැරීමට තැත් කර ඇත්තේ පිරිමි ළමයකු පමණක් නොවේ. “මායා“ (1984) චිත්‍රපටයේ ආනන්දගේ චරිතය රඟපාන ඔහු තම අනියම් බිරිඳ (ගීතා කුමාරසිංහ) මරා දමන අයුරු දකින ඇගේ කුඩා දියණිය (දිමුතු චාන්දනී කුරුප්පු) මැරීම සඳහා, ඔහු ඇය ලුහුබැඳ යයි. මේ කුඩා දරුවා ඔහුට බියවී කලබල වී උඩුමහලේ සිට බිමට වැටී මිය යයි. ආනන්ද මිනීමැරුමෙන් බේරුණත්, මේ කුඩා දරුවා ඈත ගමක ඉපිද පෙර ආත්මය ගැනත් මිනීමැරුම ගැනත් කියන ආරංචිය නිසා ඇය ද ලුහුබැඳ යන චරිතයක් මේ.

ත්‍රිකුණාමලය මුහුදේ සැතැපුම් 4 ක් පමණ මුහුද යට කිමිදීම රවීන්ද්‍ර කළ තවත් ත්‍රාසජනක අවස්ථාවක්. ඒ “සීතාදේවි“ චිත්‍රපටයේය. එහිදී ඔහු අඩි 20 ක් යට සටන් දර්ශනයකට ද පෙනී සිටී.

රවීන්ද්‍රට අනාගත සහකාරිය හමු වන්නේ දෑස නිසා“ චිත්‍රපටයේ මාධව තවුසා ලෙස රඟපෑමට අනුරාධපුරයේ ඇහැටුවැව දර්ශනයට ගිය විටය. එම චිත්‍රපටයේ රඟපෑමට ගිය රවීන්ද්‍රට එහි රඟපෑමට පැමිණි තවත් රූබර යුවතියකට සිත් ගියේය. ඇය කවුරුන්දැයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එනම් සුන්දරී නම් අන්ධ තරුණිය ලෙස රඟ පෑ ශ්‍රියානි අමරසේනගෙන් විමසා ඇත. මේ නවක නිළිය ප්‍රීති ප්‍රමිලා සෙනෙවිරත්නය. ඇයට ද රවීන්ද්‍ර නම් මේ නැගී එන කඩවසම් තරුණයා ගැන පිළිබඳ සිතක් ඇති විණි.

1974 ඔක්තෝබර් 31 වෙනිදා ඔවුහු අතිනත් ගත්හ. සචේන්ද්‍ර නිර්මාල්, උමයංගනා ඉන්ද්‍රචාපා හා සමීර මානභරණ ඔවුන්ගේ දූ පුතුන් ය.

ප්‍රීති රන්දෙනිය කිවිඳියකි. ළමා පොත් රචිකාවියකි. දයාබර සෙනෙහෙබර බිරිඳකි. ආදරණීය කාරුණික මවකි.

රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑ දුෂ්කරම චිත්‍රපට චරිතය සිරි මැදුරය. සම්පත් හාමු නම් වලව්කාරයාගේ මේ චරිතය එකදු වචනය නොදොඩන, හදිසි අනතුරකින් පසු රෝද පුටුවකට වී මුළු ශරීරයම ‘ස්ට්‍රක්චර්‘ එකකින් වෙළී හිස පවා සෙලවීමට නොහැකිව සිටි ආබාධිතයෙකි.

මහා ඛේදවාචකයකින් අවසන් වන මේ චිත්‍රපටයේ සම්පත් හාමුගේ චරිතය සඳහා 1999 වසරේ හොඳම නළුවා ලෙස සරසවිය සම්මානය දිනා ගත්තේ මුල්වරට නිර්දේශ නාම රහිතව ජුරියේ ඒකමතික තීරණය ලෙස ඔහු නම් කිරීමෙනි. මහාචාර්ය ජී.ඇල්. පීරිස් ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් විසින් ගත් මේ තීරණය සම්මාන ඉතිහාසයේ ඉතාම දුර්ලභම අවස්ථාවකි.

Comments