
‘අයියණ්ඩිය බිය නොවන්න. මැරෙන සැටි මම පෙන්වමි.’ මවුබස පොතේ තිබෙන පාඩම නාට්‍යානුසාරයෙන් රඟ දක්වමින් කිය වූ පොඩිත්තා දෙස බලා සිටි පන්ති භාර ගුරුවරයා අනාගතයේ බිහිවන විශිෂ්ට රංගවේදියා ගැන සිත යටින් සතුටු වන්නට ඇති. ගෙදර දී මේ පොඩිත්තා තුළ තිබූ නිසඟ රංගන කුසලතාව දුටු අම්මාත්, තාත්තාත්, මේ පුංචි නළුවා ගැන උදම් අනන්න වූහ.
“පොඩි උන්නැහේ“ යයි දෙමව්පියන් මේ සිඟිත්තා ඇමතූහ.
දිනක් පන්තිභාර ගුරුතුමා හමු වූ දෙමාපියෝ මෙසේ කීහ.
“අපේ පොඩි උන්නැහේට අගේට රඟපාන්න පුළුවන්. ඉස්කෝලේ මහත්තයා උදව් කළොත්....“
“මමත් පොඩි උන්නැහේගේ දස්කම් දකිමින් ඉන්නේ. මම සතිස්ව රේඩියෝ සිලෝන් එකේ “ළමා පිටිය“ ට එක්ක යන්න ඉන්නේ.“
“අනේ, හොඳයි ඉස්කෝලේ මහත්තයෝ....“ අම්මා සතුටින් කීවා ය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් දොළොස් හැවිරිදි ළමා නළුවා සරත් විමලවීර අයියා මෙහෙය වූ “ළමා පිටියට“ යන්නේ අර පන්ති භාර ගුරුතුමාගේ මඟ පෙන්වීමෙනි.
“කවුද.... මේ ගුරුවරයා?“
ආර්.ඇල්. විමලධර්ම. වෙන විදිහට කියනවා නම් රවි ලාල් විමලධර්ම මහතා ය. (පසු කලෙක සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, හින්දි භාෂා කථිකාචාර්යවරයකු වූ ඔහු ප්‍රවීණ රංගවේදිනි යශෝධා විමලධර්මගේ පියා ය.)
ඒ මීට වසර 68 පමණ ඉහත එනම් 1953 වසරේ දී සිදු වූ සිද්ධියකි.
ස්වයංජාත ටෙලිනාට්‍යයේ හාමුදුරුවෝ
එදා කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මේ පොඩි උන්නැහේට, දිනක් “ළමා පිටියට“ ගොස් ගුවන් විදුලියේ 10 වන මැදිරියේ දී ඇබැද්දියක් විය. ඔහු මේ ගැන අපට කිව්වේ මේ ආකාරයට ය.
“අපේ විමලධර්ම සර් ‘කඳා වළලු‘ කතාව ඇසුරෙන් පුංචි නාට්‍යයක් ලියලා දුන්නා. මේ නාට්‍යයේ දේව දත්තට රඟපෑවේ මම. එහි එක්තරා දෙබසක් තිබුණා දේවදත්තට කියන්න.“
“මම මහා පොළෙවෙන් ගත් වැලි ඇටයක් පාසා නුඹෙන් පළිගන්නවා.“
මේ දෙබස කියමින් මම බිම වැටුණා. මට ඉහළින් ඉබ්බෙක් වැනි මයික්‍රෆෝනය තිබුණෙ. මැදිරියේ බිම දාල තිබුණ ලණු පාපිසි පැදුරේ පාපිස්ස මත වැටී මගේ දණ හිසත්, වැලමිටත් හොඳටම තුවාල වුණා. හැමෝම හඬ නොනගා කට වසාගෙන හිනා වුණ. මාව අන්දමන්ද වුණා. මම හැඳ සිටියේ ජාතික ඇඳුමේ සරමෙන් ලේ පිසදාගෙන නැගිට්ටා. වැඩසටහන ඉවර වුණාට පස්සේ මගේ රඟපෑම අගය කළා. සරත් අයියා (සරත් විමලවීර) මගේ ඔළුව අතගෑවා. එදා මගේ ජීවිතයේ අමතක නොවන දවසක්. විමලධර්ම සර් නාට්‍ය රඟපෑ අපි හතර දෙනාම මරදානේ බුහාරි හෝටලයට එක්ක ගිහිං වටලප්පන් සංග්‍රහයක් කළා. එදා තමයි මම මුල්වරට දැක්කේ මරදාන පාරේ ට්‍රෑම් කාර් දුවනවා.“
පොඩි උන්නැහේ නොහොත් සතිස්චන්ද්‍ර ප්‍රසිද්ධ වේදිකාවේ මුල්වරට රඟපෑවේ “සුදෝ සුදු“ නම් පාසල් නාට්‍යයේ බබා මාමාගේ චරිතයයි. කේයස්ගේ ‘සුදෝ සුදු‘ කාව්‍ය ඇසුරෙන් යූස්ටස් විජේතුංග ගුරුතුමා නිෂ්පාදනය කළ මේ නාට්‍යයේ ප්‍රධාන පිරිමි චරිත දෙක වූ අදිරි හා ටිකිරි ට වඩා සතිස් උස නිසා බබා මාමා නම් අලුත් චරිතයක් ඔහු වෙනුවෙන්ම සර් ලියා දී ඇත.
“මම මගේ අනාගත සහකාරිය හොයා ගත්තේ මේ පාසල් නාට්‍යයේ රඟපෑමෙන්. ගැමි ලියක් ලෙස රඟ පෑ ශ්‍රියා කාරියප්පෙරුම ශිෂ්‍යාව මගේ හොඳම මිතුරිය වුණා. පසුව මගේ හොඳම රසිකාවිය ද වුණා. පසු කලෙක මගේ ජීවන ගමනේ සහකාරිය වුණේ ශ්‍රියා.“
පාසල් වියේම තවත් නාට්‍යයක රඟ පෑ සතිස්චන්ද්‍ර අලි අමාරුවක වැටුණේය. ඒ 1956 මහ මැතිවරණයෙන් පසු 1957 වසරේ අග හරියේය. පාසලේ ඉගැන්වූ රැඩිකල් සමසමාජ පාක්ෂික ගුරුවරයකු සතිස් කැඳවා මෙසේ ඇසීය.
“සතිස් අපි 56 ඡන්දේ ගැන නාට්‍යයක් කරමු ද?“
“කොහොමද සර් ඡන්දයෙන් නාට්‍යයක් හදන්නේ?“
“සුළු වැඩක්. වළව්වක් තියෙනවා. ඒකේ හාමු කෙනෙක් ඉන්නවා. හාමු තමයි ඡන්දෙන් දිනන්නේ. රේඩියෝ එකේ නිව්ස් කියනවා. ‘ඡන්දේ දිනුම් අපි කිරිබත් කමු‘ කියලා. ඉතුරු ටික මම කියන්නං හෙට. සතිස්ට තියෙන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා කතා කරන විදිහට රඟපාන්න. එතුමා වගේම සතිස් උසයි, කෙට්ටුයි. ජාතික ඇඳුම අන්දලා ඇට් කළාම බණ්ඩාරනායකම තමයි.“
සතිස් උද්දාමයෙන් ගුරුවරයා කී දේ හිතට අරං රඟපෑවේය. ඒ කාලයේ ඔහු බණ්ඩාරනායක මහත්තයා රේඩියෝවෙන් කරන කතා අහලා උච්චාරණය, හාස්‍යජනක උපහැරණ අසා හොඳින් චරිතය පෝෂණය කර ගත්තේය. මේ නාට්‍යයේ චරිතවල සත්‍ය නම් සඟවා තිබුණි.
“මේ නාට්‍යයේ හිටපු මන්ත්‍රී එම්.එස්. තේමිස් ගේ චරිතය නම් කර තිබුණේ ‘ජේමිස්‘ කියලා. පිලිප්ගේ නම ‘දිලිප්‘. විමලාගේ නම ‘කමලා‘. මේ නාට්‍ය රඟ දැක්වුණේ කැලණි විශ්වවිද්‍යාල භූමියේ. එදා එතැන තිබුණෙ මයින කෑම්ප් එක. මම බණ්ඩාරනායක මහත්තයා අනුකරණයමින් රඟපෑවා. නරඹන අයත් මගේ රඟපෑම අගය කරමින් ප්‍රතිචාර දක්වනවා. ඉදිරි අසුන්වල හිටියේ මගේ පියාත්, එවකට ධීවර ඇමති ජිම් මුණසිංහ මහතා. ටික ටික කලබලකාරි බවක් ඈත පිටුපස ඇසුණා. වැලි බෝතල් වේදිකාවට ආවා. “සතිස්... සතිස්... ඉක්මනට තිරය වහන්න. ලොකු තෝප්පියක්. වහන්න... වහන්න තිරේ... ලොකු තොප්පියක්. නාට්‍ය නවත්වන්න.“ කවුදෝ කෑගැසුවා.
තාත්තා වේදිකාව පිටුපසට ඇවිත් මාවත් ඇඳගෙන ‘යමු යමු ඉක්මනට ගෙදර‘ කියා කාර් එකට නංවා ගෙන හොර පාරකින් ගෙදර ගියා.
“ඔය ළමයාගෙ රඟපෑම හොඳයි. මීට පස්සේ ඔය විදිහට යන්න එපා, චරිත තෝරා බේරා ගන්නේ නැතිව. කිසිවෙකුට අපහාසයක් උපහාස වන චරිත රඟපාන්න එපා.“
නත්තල් නාට්‍යයකදී
“තාත්තා දුටු මම රඟපෑ එකම නාට්‍යයයි ඒ. ඒ සිද්ධියෙන් පස්සේ තාත්තා මාව ඇල්පිටියේ ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් කළා. ඒ 1957 අවුරුද්දේ. මේ පාසලේ දී මම “වෙස් මුහුණ, රෝහිණී“ නාට්‍යවල රඟපෑවා. එතැනින් කොළඹ ස්ටැෆර්ඩ් විද්‍යාලයට ආවා. එහිදී පත්‍රකලාවේදී අධිනීතිඥ ආර්. පල්ලෙවෙල මහතාගෙන් මම සාහිත්‍ය ගැන ඉගෙන ගත්තා. එතැනින් මාලිගාකන්දේ විද්‍යෙදය පිරිවෙනට ගියා. එහිදී මැන්දිස් රෝහණදීර හා එම්.එච්. ගුණතිලක ගුරුවරුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. 1962 මගේ පියා මිය ගියා.
මගේ පියා මට දුන් අවවාදයක් මම හැමදාම දිවිමතුරක් සේ සලකනවා.“
කියන්න පුළුවන් තැනකට යන්න.
කියන්න පුළුවන් දෙයක් කරන්න.
කියන්න පුළුවන් දෙයක් කතා කරන්න.
පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ 1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේ උපත ලැබීය. ඔහුගේ පියා පැටිකිරිගේ එදිරිසිංහ ය. මව උස්හෙට්ටිගේ එලිසබෙත් පෙරේරාය. ඔහුට ධර්මසිරි නම් අයියා කෙනකු ද, ටෙක්ලා, ෆොලෝරිඩා, මර්ෂියා, මේරි යන අක්කලා ද, නිමල් හා සුනිල් (ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ) යන මල්ලිලා දෙදෙනෙකු ද සිටියහ.
ගුත්තිල කාව්‍ය චිත්‍රපටයේ
“මගේ තාත්තා ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා ලෙස සේවය කළා. ඊට කලින් තාත්තා සර් ඩී. බී. ජයතිලක මහත්තයා විදුහල්පතිව සිටි කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක්.“ ඔහු කීය.
සතිස් කලා ජීවිතයේ සුවිශේෂ අවස්ථා ලෙස සඳහන් කරන්නේ මහකලා ගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගේ “වෙස්සන්තර“ නාට්‍යයේ රුක්මණි දේවි, එම්.ඩී. කුලතිලක, ජෙසිකා වික්‍රමසිංහ, ශීලා පීරිස් සමඟ රඟපෑම එදා තමාට දැනුණේ සිහිනයක් වගෙ බවය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ නාට්‍ය රචකයෙක්, නිෂ්පාදකයෙක්, නාට්‍යය ටෙලි නාට්‍ය චිත්‍රපට නළුවකු, චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරයකු බව කලා ලෝකයම දන්නා කරුණකි. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යය “බකතපස් ය. ඒ 1963 වසරේදීය. අත්තිකා මල්, හොටබරි යුද්දේ, තහංචි, සොක්කානෝ රජානෝ, අහසේ අවුරුදු සෙසු වේදිකා නාට්‍යයයි. ඒ අතර මෙරට සිටි ඉහළම නාට්‍යකරුවන්ගේ විශිෂ්ට නාට්‍යවලට රංගනයෙන් දායකව ඇත. චිත්‍රපට රංගනය සතිස් අරඹන්නේ “සම්පත“ චිත්‍රපටයෙනි. එතැන් සිට ඔහු මෙරට නිෂ්පාදිත විශිෂ්ට චිත්‍රපට කිහිපයක රඟපෑවේය.
“මම මුල් වරට හාමුදුරු චරිතයක් රඟපෑවේ 1966 වසරේ. මේ සඳහා පසුබිම සකස් වුණේ මා රඟපෑ හෙන්රි ජයසේන ගේ “මනරංජන වැඩවර්ජනය‘ කියන වේදිකා ගතවූ මුල්ම දර්ශනය දා. නාට්‍ය බලන්න එකල සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී රෙජී පෙරේරා මහතා ආවා. නාට්‍ය අවසානයේ ඒ මහතා අපිව ඔහුගේ ‘සඳැල්ල‘ නම් විවේක නිකේතනයට කැඳවා ගිහින් සංග්‍රහයක් පැවැත්තුවා. මා සිටින තැනට ඇවිත් රෙජී මහත්තයා කතා කරන්න පටන් ගත්තා.
“සතිස්ගේ රඟපෑම මම අගේ කරනවා. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. “සැඩොල් කඳුළු“ කියලා. චිත්‍රපටයේ ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ නමකගේ චරිතය තමයි සතිස්ට රඟපාන්න තියෙන්නේ. කැමතිද රඟපාන්න.“
මට දැනුණේ ඉබ්බා දියට දාන්නද කියලා අහනව වගේ වැඩක්.
“මම කැමතියි රඟපාන්න...“
ලියතඹරා නාට්‍යයේ සතිස් සහ සෝමලතා සුබසිංහ
“හැබැයි රජෝ, ඔය කොණ්ඩය කපලා තට්ටෙ ගාන්න වෙනවා“ රෙජී මහතා සිනාසෙමින් කිව්වා.
“කැමතියි. මේක හොඳ චිත්‍රපටයක්. හොඳ අවස්ථාවක්. මගේ විවාහයට තියෙන්නේ මාස තුනයි. ඒකට කමක් නෑ. චිත්‍රපටයේ එන ගෞරවනීය චරිතය වෙනුවෙන් මම හිස කෙස් දන් දෙන්න කැමතියි මිස්ටර් රෙජී.“
සිංහල සිනමාවේ මුල්වරට ස්වාමින්වහන්සේ නමකට කෙස් දන් දී රඟපෑවේ මම. පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවනේ දී ඒ. පරිවෙණාධිපති මැදගොඩ සුමනතිස්ස නායක හිමියෝ මගේ හිස කෙස් කපා, හිස මුඩු කොට, මට සිවුරු පෙරවීමට මට හුරු කළා. සිවුරු පෙරවීමෙන් මම නිරාමිස ප්‍රීතියක් ලැබුවා. මම නිර්මාංශ ආහාර ගනිමින් මේ චරිතෙට ප්‍රවේශ වුණා.“ සතිස් කීවේය.
ස්වාමීන්වහන්සේ චරිතය චිත්‍රපටවල හා ටෙලිනාට්‍යය කිහිපයක රඟ පෑ සතිස් ‘කොටි වලිගය‘ චිත්‍රපටයේ තප්පර 90 ක රංගනය සඳහා සම්මානය ලබා ලෝක සිනමාවේ වාර්තාවක් තැබූ චිත්‍රපට නළුවෙක් බව ඔබ දැන සිටියා ද? “ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටිවලිගය‘ චිත්‍රපටයේ රඟපෑමට මට කතා කරලා කිව්වා,
“සතිස් මේ ෆිල්ම් එකේ රඟපාන්න තියෙන්නේ එක දර්ශනයක සුළු මොහොතක් කියලා. ඒක හොඳ නළුවෙකුට හොඳ අභියෝගයක්.“
“මම කැමතියි“
“කොටිවලිගය“ චිත්‍රපටයේ මම රඟපාන්නේ 1985 වසරේ. ජාතිවාදි ගිනිකෙළි දැඩිව තිබූ කාලයක් ඒ. චිත්‍රපටය තිරගත වුණේ 1987 වසරේ. මට තිබුණේ සිංහල අන්තවාදින් අතින් තුවාල ලබන කොටි අන්තවාදී තරුණයකුට තම පන්සලේ රැකවරණය ලබා දුන් හාමුදුරු චරිතයක්.
“හාමුදුරුවනේ මෙතනින් දෙමළෙක් දිව්ව ද?“
“දිව්වේ නෑ“
“එහෙනං මේ ලේ තියෙන්නේ“ පන්සලේ වැලි මළුවේ තිබූ ලේ පැල්ලම් දැක මැරයෝ අසනවා.
“මේව සිංහල ලේ ද, දෙමළ ලේ ද කියලා කියන්නේ කොහොම ද?“ හාමුදුරුවෝ (මම) අහනවා.
මැරයෝ තරහෙන් පිටව යනවා.
මේ චරිතය මම රඟපෑවේ තත්පර 90 ක රඟපෑමක්.
මේ චරිතයේ රංගනය උදෙසා 1987 වසරේ සරසවි සම්මාන උලෙළේ දී ජූරියේ විශේෂ සම්මානයක් මට හිමි වුණා. ඒක ලෝක වාර්තාවක් ද මම දන්නේ නැහැ. එහෙම සම්මානයක් දිනූ එකම නළුවා මම ද?“ සතිස් එදා අපෙන් ප්‍රශ්න කළේය.
සතිස් රඟපෑ “හිමකතර“ චිත්‍රපටයේ වයෝවෘධ චරිතයට දක්ෂතම සහාය නළුවා ලෙස 1984 ජනාධිපති සම්මාන උලෙළේදි ජනාධිපති සම්මානය දිනා ගත්තේය. සතිස් අධ්‍යක්ෂණය කළ “අධිෂ්ඨාන“ චිත්‍රපටය සඳහා 1982 ජර්මනියේ මෑන්හයිම් ජාත්‍යන්තර සම්මාන උලෙළේ ඩිප්ලෝමා සම්මානය දිනා ගත්තේය. ඒ හැර දේශීය සම්මාන කිහිපයක් ඔහුගේ ටෙලි නාට්‍යය රංගනය සඳහා ලැබී ඇත.
සතිස්චන්ද්‍ර දෙවන වරටත් හිස මුඩු කොට සිවුරු පොරවා රඟපාන්නේ “හරි මඟ“ චිත්‍රපටයේ ය. එහිදී ද වූ රසවත් සිද්ධියක් ගැන සතිස් මතක් කළේය.
“හරි මඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මරියදාසන් සැඩොල් කඳුළු චිත්‍රපටයේ මා රඟ පෑ හාමුදුරුවන්ගේ චරිතය දැකලා එයාගේ චිත්‍රපටයට එවැනි චරිතයකට මාව තෝරා ගෙන මා සිටි කැලණියේ නුංගමුගොඩ නිවස සොයා ඇවිත් තියෙනවා. පස්සේ මට ආරංචි වුණා වංහුං සොයා පැමිණි ඔහු කඩයකින් මං ගැන අහල තියෙනවා කියලා.
ස්වයංජාත ටෙලිනාට්‍යය රූගත කරන අතරතුරදී සතිස් සිය බිරිඳ, දරුවන්, බෑණාවරුන්, ලේලිවරුන් සහ මුණුබුරු මිණිබිරියන් සමඟින්
“මුදලාලි, අර “සැඩොල් කඳුළු“ පික්චර් එකේ පොඩි බුදු හාමුදුරුවන්ට ඇට් කරන එක්කෙනාගේ ගෙදර කොහේද?“
“අර සතිස්චන්ද්‍ර මහත්තයා නේ. මහත්තයා පව් සිද්ධවෙන කතා කරන්න එපා. එයා රඟපෑවේ පොඩි බුදු හාමුදුරුවන් හැටියට නෙවෙයි. හාමුදුරුවන් නමකට.“
“සොරි... සොරි... මුදලාලි...“
“ඒ මහත්තයා ඉන්නේ අර පැරගන් ග්‍රොසරිය ළඟ ගෙදර.“
පස්සේ මරියදාසන් මගේ ගේ හොයාගෙන ආවා.“
සතිස් සිනාසෙමින් කිව්වේය. එහෙත් සතිස් රඟ පෑ ප්‍රබල ලෙස රඟ පෑ නායක ස්වාමින්වහන්සේගේ චරිතය රඟපෑවේ ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ “පළිඟු මැණිකේ“ ටෙලි නාට්‍යයේ ය.
සතිස්ගේ බාල මල්ලීට සුනිල් එදිරිසිංහට හොඳ ගායන කුසලතාවක් තිබුණි. තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “මාතර ආච්චි“ කරන සමයේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස නවකයකු වූ වික්ටර් රත්නායකව ඔහු තෝරා ගත්තේය. මෙය වික්ටර්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයයි. සතිස් දිනක් වික්ටර්ට මෙසේ කියා ඇත.
“වික්ටර්, අපි එක සින්දුවක් කියන්න මගේ සුනිල් මල්ලිට දෙමු.“
“සතිස් මේ චිත්‍රපටයේ එන හොඳම ගීතය මේ. අපි මේක ප්‍රවීණ ගායකයකුට දෙමු. මේ ගීතය ලිව්ව වොලී නානායක්කාරත්, මමත් නවකයෝ. ඔයාගේ මල්ලිත් නවකයෙක්....“
“එහෙම නෙවෙයි වික්ටර්, අපි සුනිල් මල්ලිට කියන්න දෙමු. එයාට කියන්න බැරි වුණොත් අපි පළපුරුදු කෙනෙක් ගම්මු.“
සුනිල් එදිසිරිංහ ඒ ගීතය රහට ගැයුවේය. වික්ටර් පවසා තිබුණේ සුනිල් හොඳටම කියා ඇති බවය.
“සඳකඩ පහණක කැටයම් ඔප ලා“ නම් ගීතය බිහිවී ඇත්තේ එලෙසය.
“මගේ සුනිල් මල්ලී ගැන මට එදා ආඩම්බරයක් ඇති වුණා. අද ඔහු සම්මානලාභි ගායකයෙක්.“ සතිස් කීය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ විදේශීය ඉංග්‍රීසි චිත්‍රපට තුනක රඟ පා ඇත. ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ෆැබ්‍රිසියෝ කොස්තාගේ “මදර් තෙරේසා“ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ෂික් ජාතික පොලිස් නිලධාරියකුගේ චරිතයකි. ඉතාලි ජාතික සර්ජියෝ සොලීමා ගේ “සන් ඔෆ් සැන්චෝකාන්“ චිත්‍රපටයේත් තවත් විදේශ චිත්‍රපටයක් වූ “හොස්ටේජස්“ චිත්‍රපටයේ ද ඔහු රඟපා ඇත.
තම ජීවිතයේ අමතක නොවන සිද්ධියට “සිළුමිණ“ පුවත්පත සම්බන්ධ බව සතිස් කීවේය.
“මම 1964 වසරේ දවසක ලේක්හවුස් එකට ගියා “සිළුමිණ“ පුවත්පතට මගේ “අත්තික්කා මල් පිපිලා“ කියන නාට්‍යයේ ප්‍රවෘත්තියත්, පින්තූරෙත් පළ කර ගන්න. ඒ කාලේ “සිළුමිණ“ පත්‍රයේ ප්‍රධාන කර්තෘ මීමන ප්‍රේමතිලක මහත්තයා. ලේක් හවුසියේ ආරක්ෂක අංශයේ හිටියේ සුදු සරමයි, කාකි කෝට් එකක් ඇඳ ගත්තු තලතුනා කෙනෙක්.
“මට පුළුවන්ද මීමන මහත්තයා හමුවෙන්න“
“ඒ මහත්තයා කෑමට එළියට ගිහිං“
මම තව ටිකක් වෙලා ඉන්න කොට මීමන මහත්තයා පඩිපෙළ දිගේ නැඟලා ඇවිත්, මම හිටිය තැන තිබූ අනිත් පඩිපෙළ නගින කොටම මම ඔහු පසුපස ගියා.
“මීමන මහත්තයා“ ඔහු හැරී බැලුවා.
“මහත්තයා මම කරපු නාට්‍යයේ ප්‍රවෘත්තියත්, පින්තූරයත් අරන් ආවා. මට උදව්වක් කරන්න.“
ඔහු එය රැගෙන “හොඳයි මම බලන්නම්“ කියලා උඩුමහළට ගියා. එදා සිකුරාදා දවසක්. මම දන්නවා එය ‘සිළුමිණ‘ පත්‍රයට දාන්න බැරි බව කල්නැති නිසා. ඊළඟ සතියේ ගියත් ඇති කියලා මම හිතුවා. ඉරිදා උදේම බයිසිකලයක නැගී වෙන වැඩකට පාරේ යන කොට කඩේක තිබූ පත්‍රයක මුල් පිටුවේ මට සුපුරුදු පින්තූරයක් තිබුණ දැකලා නැවතුනා. දෙයියනේ මම එදා මීමන මහත්තයාට දුන්න පින්තූරේ සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේම පළවෙලා. කිසිම හැඳුනුමක් නැතුව මං වගේ ආධුනික තරුණයෙකුට කළ මේ උදව්ව ගැන මම මීමන මහතාගේ පුතා සුනිල් මාධවට කිව්වා. ඔහු කිව්වේ “සතිස් ඒ අපේ තාත්තගේ හැටි“ කියායි.“
සතිස්චන්ද්‍රට හා ශ්‍රියාට දූ පුතුන් තිදෙනෙකි. උදය හා උදාර පුතුන් ය. ශෂිනි දියණියයි. ඔවුන්ගේ දරු මුනුපුරු මිනිබිරියන්ගේ උපරිම ආදරය මැද මේ දෙදෙනා සතුටින් ජීවත් වෙති. ඊටත් වඩා සැපතක් කොයින්ද?
සතිස්චන්ද්‍ර, මිහිඳු සංස්කෘතික පදනමේ සභාපති ලෙස ‘සුවඳ පද්ම‘ සම්මාන උලෙළ කාලයක සිට පවත්වා ගෙන එමින් කලාකරුවන් අගය කරති. එමෙන්ම ආර්ථික ශක්තිය අඩු කලාකරුවන්ට මුදලින් ද උදව් කරති. සතිස් මේ සත් ක්‍රියාවෙන් උපරිම තෘප්තිය සතුට ලබා ජීවත් වෙයි.