දිළිඳු ජන­යාට කොකා පෙන්වන අලි සංර­ක්ෂ­ණය හා කළ­ම­නා­ක­ර­ණය | සිළුමිණ

දිළිඳු ජන­යාට කොකා පෙන්වන අලි සංර­ක්ෂ­ණය හා කළ­ම­නා­ක­ර­ණය

දිනපතා ජන මාධ්‍යයන්හි අඛණ්ඩව පළ වන මිනිස් / අලි ගැටුම නිසා ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත ලෙස සිදුවන අසරණ ,දිළිඳු මිනිසුන්ගේ සහ වන අලින්ගේ ජීවිත විනාශය, ඉමහත් සංවේගයෙන් හා කලකිරීමෙන් යුතුව සටහන් කරමු. මිනිස් හා වන අලි ජීවිත ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් වහාම කටයුතු කළ යුතු බව ගරු ජනාධිපතිතුමාද විටින් විට අවධාරණය කර ඇත. තවද, ගොවිතැන තම එකම ජීවනෝපායය කර ගත් අසරණ, දිළිඳු ගොවීන්ගේ දේපළ, අස්වනු හා දැඩි ශ්‍රමයෙන් වගා කරන ලද බිම් කැබලි වලට සිදුවන හානිය දැකීමද එවන් ශෝකයක් හා දැඩි කලකිරීමක් දනවන්නකි. අලි වෙඩි සහ විදුලි වැටවල් මෙම කුසගින්නෙන් පෙළෙන, නුවණැති, වල් අලි, හමුවේ වේගයෙන් නාස්ති වන ආයෝජන බවට පත්වෙමින් තිබේ. ඒනිසා,මෙම දිළිඳු ගොවීන්ගේ හා වන අලින්ගේ ඛේදවාචකය බලධාරීන්ගේ ක්ෂණික අවධානයට ලක්විය යුතුය.

2019 වසරේදී, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන අදහස් ඉල්ලා ඉහත විෂය පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශයක් පුවත්පත්වල පළ කරන ලදී.

ඊට මවිසින් දෙපාර්තමේන්තුවට දැක්වූ ප්‍රතිචාරය බිහිරි කන් මත වැටී ඇති බව පෙනී යන හෙයින් එහි අඩංගු අදහස් හා යෝජනා, අදාළ බලධාරීන්ගේ හා මහජනතාවගේ දැනගැනීම සඳහා නැවත උපුටා දක්වමි.

“දෙපාර්තමේන්තුවේ මාර්ග සිතියම සකස් කිරීමේදී පහත දැක්වෙන පොළවේ යථාර්ථයන් සහ දීර්ඝ කාලීන ප්‍රතිකර්ම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් යයි හඟිමි .

1) ශ්‍රී ලංකාව ඉතා කුඩා දූපත් රටක් වීම නිසා, උපත් පාලන ක්‍රියාවලියකින් තොරව සිදුවන මිනිසුන්ගේ හා වන ජීවීන්ගේ අඛණ්ඩ වර්ධනය මෙන්ම ශාක ව්‍යාප්තිය සඳහා එහි ඇති ඉඩකඩ ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතියි .

2) එම තිත්ත යථාර්ථයට සමගාමීව, ජීවීන්ගේ පරිභෝජනය සඳහා මෙම කුඩා භූමිය සතු ආහාර හා පාරිසරික සම්පත්ද ක්ෂය වීම නිසා, මිනිස් අලි ගැටුම (HEC) නොවිසිඳෙන ගැටලුවක් ලෙස ඔඩු දුවමින් පවතියි.

3) එලෙසම,අලි සංරක්ෂණය (EC) ද පැහැර හැරිය නොහැකි වැදගත්කමක් උසුලන හෙයින්, මිනිසුන් සහ අලි ඇතුන් ගහනය අතර සියුම් තුලනයක් ඇති කිරීම අනිවාර්ය වී ඇත .

4) එනිසා, පර්යේෂණ ප්‍රමුඛතාවය විය යුත්තේ වර්තමාන අලි ගහණය (හීලෑ හා වන අලීන්) ඇති ප්‍රදේශ නිශ්චිතව හඳුනා ගෙන, ඉන්පසු උන්ගේ ආහාර,වාසස්ථාන,දේශගුණික හා පරිසරාත්මක සාධක වැනි ප්‍රධාන විචල්‍යයන් සැලකිල්ලට ගනිමින්, භූගෝලීය වශයෙන්,රටතුළ ස්ථානගත කළහැකි පූර්ණ වන අලි ධාරිතාව(Total carrying capacity)තීරණය කිරීමය.මෙහිදී, අනාගත අලි සහ මිනිස් ප්‍රවර්ධනය, මරණ අනුපාතය, මිනිස් වාසස්ථාන වැඩි කිරීම සඳහා වනාන්තර ඉවත් කිරීම සහ නැවත වනවගාව ඇතුළු ආහාර වගාව වැනි සාධකද සැලකිල්ලට ගැනීමද අනිවාර්යය .

මෙම පර්යේෂණ සොයා ගැනීම් තුළින්, අවම වශයෙන් අවුරුදු 10 ක කාල පරාසයක් සඳහා, රටේ EC අවශ්‍යතාවය සපුරාලන උපරිම වන අලින්ගේ සංඛ්‍යාව තීරණය කිරීමට හැකි විය යුතුය. අලි ගහනය මෙම නියතය ඉක්මවා ගියහොත්, අතිරික්ත සංඛ්‍යාව, අවශ්‍යතා ඇති රටවලට අපනයනය කළ හැකි අතර එමඟින් දිගු කාලීනව රටේ ණය ආපසු ගෙවීමේ ගැටලුව සමනය කිරීමටද උපකාරී වේ. ”

පහත සඳහන් ප්‍රතිලාභද ජනතාවට සහ රටට වැදගත්ය.

1) පර්යේෂණ කටයුතුවල මූලික පියවරක් වශයෙන්, අලි ඇතුන් කෙටිකාලීනව හෝ නැවත ස්ථානගත කිරීම තුළ, අසරණ,දුප්පත් ගොවීන් ඔවුන්ගේ වර්තමාන දුඛිත තත්වයෙන් මුදවා ගැනීමට හැකි වීම .

2) මධ්‍යම හා දිගු කාලීනව වැඩිවන ජනගහනයට, ආරක්ෂිත වාසස්ථාන හා වගා කළ හැකි ඉඩම් ලැබීම.

3) වන ආවරණය විධිමත්ව ආරක්ෂා වීම.

4) විද්‍යාත්මකව ආහාර බෝග නිෂ්පාදනය සඳහා ඉඩකඩ පුළුල් වීම හා බෝග විනාශය අවම වීම තුළින්, රටෙහි හා ග්‍රාමීය දුප්පතුන්ගේ ආර්ථිකය වැඩි දියුණු වීම.

5) විදුලි වැටවල්, අලි වෙඩි, නිර්වින්දන ද්‍රව්‍ය හා ආම්පන්න හා මිනිස් ශ්‍රමය ආදියෙහි නාස්තිය වැළකී, විදේශ විනිමයද ඉතිරි වීම.

6) වන අලි අල්ලා ගැනීම(Catch), හීලෑ කිරීම(Tame) සහ අපනයනය(Export)- (CTE ) අභ්‍යාසය සඳහා මෙම ඉතිරිකිරීම් භාවිතා කිරීමට හැකිවීම.

ඉහත සඳහන් අපනයන ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමෙන් , මධ්‍යම හා දිගු කාලීනව HEC සහ EC හි බොහෝ ගැටලු ප්‍රායෝගිකව විසඳිය හැකි බව අවධාරණය කරමු..

 

බර්නාඩ් ප්‍රනාන්දු,  මොරටුව.

 

Comments