
ගුරුවරයෙක් නැතිව, ගුවන් විදුලියේ ‘ආධුනික පැය‘ හා එතැනින් “ජයග්‍රාහික පෙළපාළිය “වැඩ සටහන්වලටත්, එතැනින් චිත්‍රපට පසුබිම් ගායනයටත්, පැමිණි ජෝතිපාලයන්ගේ ජීවිත වෘතාන්තය ඔහු ගැයූ කඳුළින් නෑවුණු සිහින් සෝබර ගීතයක් වැනිය.
තමන්ට නොතිබුණු, නො ලැබුණු, නො පැමිණි වාසනාව තමන් ළඟට දිවා රෑ වෙහෙසී බලවත් උත්සාහයෙන් ගෙන්වා ගත් ගායකයෙකි ඔහු.
“මගේ ජීවිතය රෝසමල් යායක් නොව කටු කොහොල්, උගුල්, බොරු වළවල් සහිත ගොහුරු බිමක මඩ තවරාගෙන ලිස්සා ගිය අසීරු ගමනක්. මගේ තාත්තා දක්ෂ ටේලර් කෙනෙක්. අපි පදිංචිව සිටි කොළඹ දෙමටගොඩ කුප්පියවත්තේ කැටවලමුල්ලේ පුංචි ගෙදර ඉස්තෝප්පුවේ මහන මැෂිම තබා ගෙන තාත්තා ඇඳුම් මැහැව්වා. කොළඹ වයිට් වේස් කොම්පැණි ඇඳුම් මහලයි තාත්තා අපිව ජීවත් කළේ. අම්මා පොඩි රැකියාවක් කළා. මාව තාත්තා මුලින්ම ඇතුල් කෙල් දෙමටගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට. මගේ සම වයසේ පන්ති යාළුවන් එක්ක ඉන්ටර්වල් එකේ හින්දි චිත්‍රපට ගීත ගැයුවා. විශේෂයෙන් මොහොමඩ් රාෆි, මුකේෂ්, මන්නාඩේ, තලාත් මෙහෙමුඩ්ගේ ගීත ගැයුවේ.“ ජෝතිපාල වරක් අපට කුඩා කාලය ගැන කීවේය. 1936 වසරේ පෙබරවාරි 12 වෙනිදා හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල උපන්නේ සහෝදර සහෝදරියන් හතර දෙනෙකුෙග් වැඩිමලා හැටියට ය.
ජෝතිපාලගේ පියා එච්. ආර්. ජේමිස් මාතර උපත ලැබුවෙකි. මව වූ එච්. කේ. පොඩිනෝනා ගේ ගම ඇහැලියගොඩය. දෙමටගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙත්, පසුව කොළඹ පංචිකාවත්තේ ලෝරන්ස් විද්‍යාලයේ හත්වැනි පන්තිය දක්වා ඉගෙන ගත් හිතුවක්කාර ජීවිතයක් ගත කළ ජෝතිපාලයන් සුළු සුළු රැකියාවන් කළ බව නිහතමානිව අපට කියා ඇත. ඔහු චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීම නිසා ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යා හැකිව තිබිණ.
“මම කොළඹ ආමර් වීදියේ සුලයිමන් රෝහලේ බෙහෙත් බෝතල් සුද්ද කළා. පසුව පිටකොටුවේ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ පියන් වැඩෙත් කළා.“
ජෝතිපාල අව්‍යාජව නිහතමානිව කියූ ඒ කතාව සටහන් කරන්නේ ඔහුට අපහාසයක්, උපහාසයක් කිරීමට නොව “ඒවා රටම දැන ගන්න ඕනෑ“ ඔහු විසින්ම කියූ නිසාය.
ඒ කාලයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී කොස්ගස් හන්දියේ පදිංචිව සිටි ගුවන් විදුලියේ දක්ෂතම තබ්ලා වාදකයකු වූ නඩරාජා දිනක් ජෝතිපාලගේ ගායනා අසා ඔහු කොළඹ ප්‍රභූවරයන්ගේ මංගල උත්සවවල හින්දි ගීත ගැයීමට තෝරා ගත්තේය. ජෝතිපාලගේ දක්ෂතා මුලින්ම හඳුනාගෙන තිබූ ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියාව සිටි ප්‍රකට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ බී.එස්. පෙරේරා විසින් නඩරාජාට ඔහු ගැන කළ රෙකමදාරුව නිසාය ඒ.
එක්තරා ධනවත් ප්‍රභූවරයකුගේ මැඳුරක ජෝතිපාලයන් විසින් ගැයූ හින්දි ගීත කිහිපයකට එකෝඩිනය වාදනය කළේ බී.එස්. පෙරේරා ය.
“එදා මම සින්දු කිව්වේ කොටුවේ නාගින්දාස් සාරි සාප්පුවේ ලොක්කාගේ ගෙදර. මගේ වගතුග අහල මට ඒ සාප්පුවේ සුළු රැකියාවක් දුන්නා. මාසික වැටුප රු. 37යි ශ. 50යි. මම හිතුවා පොඩි පොඩි වැඩ කරලා බැහැ. ගුවන් විදුලියේ කොහොම හරි සින්දුවක් කියල ජනප්‍රිය වෙන්න. මේ 1952 අවුරුද්ද. ගුවන් විදුලියේ ඒ කාලේ රැජින ලොසිංජර් කොම්පැණියේ අනුග්‍රහයෙන් ආධුනික ගායක ගායිකාවන්ගේ හැකියාවන් උරගා බලන වැඩසටහනක් තිබුණා “ආධුනික පැය“ කියලා. මම මේ තරගයට ඉදිරිපත් වෙලා අවසාන වටයට තේරුණා. මේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනලා රංජනී ලොසිංජර් ලොකු බෝතලයක් මට තෑගි ලැබුණා. එතැනින් මම ගුවන් විදුලියේ “ජයග්‍රාහී පෙළපාළිය“ වැඩසටහනට ගොස් මුල්තැන දිනා පාකර් 51 පෑනක් දිනා ගත්තා.“ ජෝතිපාල තම සෝබර ජීවිතයේ මුල් අදියර අපට විස්තර කර ඇත.
එවකට ගුවන් විදුලි ගායිකාවක් ලෙස ජය කෙහෙළි නැංවූ වසන්තා සන්දනායක ගැයූ (H.M.V ග්‍රැමෆොන් ගීතයක්) “මහවැලි නදියේ“ ගීතයේ එන “තොටියෝ නම් කොටස පමණක් ගයන්න දී පසුව තවත් යුග ගීත දෙකක් ගායනා කිරීමට දුන් බව ඔහු කෘතඥතා පූර්වකව කියා තිබුණි.
“මට මුලින්ම චිත්‍රපටයක පසුබිම් ගායකයා වීමේ අවස්ථාව තුන්වරක්ම වැළකී ගියේ අවාසනාවන්ත ලෙසයි. පළමුවැනි අවස්ථාව මට ලැබුණේ සංගීත අධ්‍යක්ෂවරයකු වූ ටී.එෆ්. ලතීෆ්ගේ මාර්ගයෙන් 1955 වසරේ ජනවාරි මාසේ.
“ජෝති, මම සිරිසේන විමලවීර මාස්ටර්ගේ “පොඩිපුතා“ ෆිල්ම් එකේ මියුසික් කරනවා. මම ජෝතිව රෙක්මන්ඩ් කළා. මාස්ටර් කිව්වා හෙට කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට එන්න කියලා. අපි ගිහින් බලමු. මොකද? මාස්ටර් එක විදියක මනුස්සයෙක්. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා.“
පහුවෙනිදා මම අම්මා බලන්න ගිහින් වැඳලා අවසර ගන්න ගියා. අම්මා මගේ හිස සිඹ “මගේ පුතාට තුරුණුවන්ගේ සරණයි“ කියලා ආශිර්වාද කළා. නවජීවන චිත්‍රාගාරයට ගිය ගමනේ කෙළවරදී මට දිවි නහ ගන්න හිතුණා.
“මේ ලෝකේ නවතැන වේ
දෙදිනයි එහි වාසේ“
මේ ගීතය මම ගායනා කළේ එයට පාදකවූ ‘අමර්‘ චිත්‍රපටයේ මොහොමඩ් රාෆි ගැයූ ගීයක අනුවාදනයක් හැටියටයි. මම මේ ගීතය කිහිප වතාවක්ම ගැයුවා.
“ළමයා, තමුසෙගේ කට හඬ හරි නෑ. හඬ දෙදරනවා. හඬත් මිහිරි නැහැ.“ විමලවීර මාස්ටර් මාව කැඳවා කිව්වාම මට කලාන්ත වී බිම වැටෙයි කියලා හිතල අසල තිබූ තාප්පය අල්ලා ගත්තා. මට තව එකවරක් ගීය කියන්න ලතීෆ් කන්නලව් කළා. කිසිම උත්තරයක් නැහැ.
ලතීෆ් මාව එළියට අරං ගියා.
“ජෝති, මේ ස්ටුඩියේ එකේ යන්ත්‍ර සූත්‍ර පරණයි. අබලන්. ඒවායින් හඬ දෙදරුම් කන එක අහන්න දෙයක් ද? ජෝති, හිත නරක් කර ගන්න එපා. ඉදිරියට ඔයාට චාන්ස් එකක් ලැබේවි.“ පසුව මා ගැයූ ගීතය ගැයීමට සිසිර සේනාරත්නට අවස්ථාව ලැබුණා.“ ජෝති ‘සරසවිය‘ පත්‍රයට මෙසේ කියා ඇත.
ජෝතිපාලයන්ට වැරදුණු දෙවන අවස්ථාවද සනිටුහන් වන්නේ 1955 වසරේම පෙබරවාරි මාසයේය. ගායන කුසලතා ඇති තරුණයන්ට නොමසුරුව උදවු කරන චිත්‍රපට සංගීතඥයක වූ ආර්. ඒ. චන්ද්‍රෙස්න විසින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ “මතභේදය“ චිත්‍රපටයේ ගීත පටිගත කිරීමට මදුරාසියට යාමට සූදානම්ව සිටියේය. මහනුවර ලේක් ක්ලබ් එකේ ජෝතිපාලයන් ගී ගයන විට සංගීතය මෙහෙයවූ චන්ද්‍රසේන මාස්ටර් මේ තරුණයාට අවස්ථාවක් දීමට සිතීය. ජෝතිපාලව කැඳවා ගෙන චන්ද්‍රසේන මාස්ටර් මීගමුවේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නිවසට ගියහ. එදා එඩී ජයමාන්න හා රුක්මණි දේවි ඉදිරියේ චන්ද්‍රසේන මාස්ටර් පියානෝව වාදනය කළ අතර ජෝතිපාල ගැයීමට සිටි යුග ගීතය ගායනා කළේ රුක්මණී සමඟය. හැමෝම ජෝතිපාලගේ හඬ ගැන සෑහීමකට පත්වූහ.
“එහෙනං චන්ද්‍රසේන, මේ ළමයත් අරං ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්න.“ බී. ඒ. ඩබ්ලිව්. කීය.
ජෝතිපාලට කිව නොහැකි සතුටක් ඇති විය. හරියට රටක් රාජ්ජයක් ලැබුණා සේය. ඔහු ඉන්දියාවට යාමට ඇලුත් ඇඳුම් මිල දී ගත්තේ විවාහ මඟුලකට යාමට සැරසෙවා මෙන්ය. චන්ද්‍රසේන මාස්ටර් කී පරිදි ජෝතිපාල රත්මලානේ ගුවන් තොටුපොළට කල් ඇතුවම ගියේය. එඩී, රුක්මණී ද පැමිණ සිටියෝය. චන්ද්‍රසේන මාස්ටර් පැමිණ ජෝතිපාල ළඟට ගියේය.
“ජෝති හරි නේද? ඔක්කෝම.“
“ඔව්, මාස්ටර්.“
“එහෙනං පාස්පෝට් එක එළියට ගන්න.“
ජෝතිපාලට එළොව පොල් පෙනුණි.
“මාස්ටර් මට පාස්පෝට් එකක් නැහැනේ.“
මාස්ටර්ට යකා නැග්ගේය.
“යෝධයෝ, පාස්පොට් එකක් නැතිව කොහොමද රටකින් රටකට යන්නේ. ඒකවත් දන්නේ නැද්ද? තමුසෙට මේ ගමන යන්න ලැබෙන්නේ නෑ.“ කී චන්ද්‍රසේන මාස්ටර්, ‘මැදෑ මම තමුසෙව චිත්‍රපටි ගායකයෙක් කරන්න ගියා‘ කියමින් යන්නට ගියේය.
ඔහුට එදා මුළු ගුවන් තොටුපළම අමු සොහොනක් ලෙස පෙනුණ බව ජෝතිපාලයන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේට කියා තිබුණි.
ජෝතිපාලට වරක්, දෙවරක් පමණක් නොව තුන්වැනි අවස්ථාවත් 1955 දීම ගිලිහී ගියේ දෛවයට සරදම් කරමිනි. ජෝතිපාලගේ කුසලතා හැඳින සිටි සංගීතඥ බී. එස්. පෙරේරා “පෙරකදෝරු බෑනා“ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඒ. බී. රාජ්ට හඳුන්වා දුන්නේය. එදා නවකයකු වූ කරුණාරත්න අබේසේකර රචනා කළ ගීතයත්, නවක ගායක ජෝතිපාලගේ හඬටත් අකමැති වූ රාජ් නම් ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයා මුරණ්ඩු ලෙස චිත්‍රපටයේ සියලු ගී ලිවීමට සරත් විමලවීරටත්, ගායනා මොහිදීන් බෙග්ටත් පැවරුවේය.
ජෝතිගේ කළා ජීවිතයේ විවිධ අවස්ථා
“මම තුන්වන අවස්ථාවත් නැති වුණාට නොසැලී ඉන්ද්‍රඛීලයක් වගේ ඉදිරියටම යන්න හිතහදා ගත්තා. ඒ කාලයේ “සුරංගනී“ හා “සැඩසුළං“ චිත්‍රපට දෙකේ රඟ පෑ ඇම්. පී. ගැමුණු මම හඳුනා ගත්තේ ස්ටැන්ලි ඔමාර් නම් සත් ගුණවත් අහිංසක සංගීත අධ්‍යක්ෂවරයාගේ මාර්ගයෙන්. ගැමුණු මාව සිරිල් පී. අබේරත්න නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හඳුන්වා දුන්නා. ඒ 1956 අවුරුද්දේ. ඔහු මගේ කුසලතා දැකලා ඉන්දීය සංගීත අධ්‍යක්ෂ ටී.ආර්. පාපාට හඳුන්වා දුන්නා. ඒ “සුරතලී“ චිත්‍රපටයට. විල්ප්‍රඩ් සිල්වා ගීතය ලිව්වා. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ආනන්ද ජයරත්න වෙනුවෙන් මේ ගීතය ඉන්දියාවේ පටිගත කළාට පස්සේ මට ඉන්දීය ජාතිකයෝත් ප්‍රශංසා කළා. “මා චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස උපත ලැබුවේ ඉන්දියාවේදී.“ මේ ඒ වාසනාවන්ත ගීතය.
“සිරියාමේ සාරා
නැගෙවි හද මෝරා
දී ප්‍රේමෙ අමධාරා
හෝ ප්‍රේම අම ධාරා
“මට තව යුග ගීත දෙකක්, ස්වර්ණා අබේරත්න, ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි සමඟත් ගයන්න අවස්ථාව ලැබුණා. එතැන් සිට “දෙයියන්ගේ රටේ“ චිත්‍රපටයේ “සීත සුනිල් දිය දහරා“, “දස්කම“ චිත්‍රපටයේ “වාසනාව පෑදේවි“, “ගැහැනු ගැට“ චිත්‍රපටයේ “ආලේ මිහිර පෙන්නා“, “සංදේශය“ චිත්‍රපටයේ “පුර්තුගීසිකාරයා“ (වල්පොල, සිඩ්නි ආටිගල සමඟ) ගීත ගැයුවා.“ ජෝතිපාල කීවේය.
ජෝතිපාල එතැන් සිට සිංහල චිත්‍රපටවල නැතිව බැරි ගායකයකු විය. ඔහු සමඟ වැඩිපුරම යුග ගී ගැයුවේ ඇන්ජලීන් ගුණතිලකය. එපමණක් නොව ඔහු චිත්‍රපට නළුවෙකු ලෙස ද මතු විය. 1963 දී “සුදු සඳේ කළු වලා“ චිත්‍රපටයේ කොර චරිතයකින් සිනමාවට පිවිසි ඔහු වැඩි හරියක් දුෂ්ට චරිත රඟපෑවේය.
“සුජීවා චිත්‍රපටයේ රෝයි ද සිල්වා සමඟ සටන් දර්ශනයකට ගිහිල්ලා අමාරුවේ වැටුණා. වත්තල සමාරා හෝටලයේ තට්ටු හතක් උඩ සිට. අපි දෙන්නා දිගටම ෆයිට් කළා. චිත්‍රපටයේ අන්තිම දර්ශනය මේ. වරෙක රෝයිගෙන් පහරක් කාලා මම අපි සටන් කරමින් සිටි උඩ තට්ටුවෙන් පහළට පැන්නා. පඩි පේළි කිහිපයක් පැන පැන පහළ මාලයේ කැමරාව තියෙන තැන දී මගේ පය ලෙස්සලා ගියා. මම තුවාල නොලබා බේරුණේ අධ්‍යක්ෂ ජෝ දේව් ආනනද් පැනලා අල්ලා ගත් නිසා. දුෂ්ට චරිත රඟපාන නළුවන් මොන අවදානමක් ද ගන්නේ කියලා මට එදා හිතුණා. “සුනේත්‍රා“ චිත්‍රපටයෙත් මම පියදාස විජේකෝන් කියන දක්ෂ සටන් නළුවාගෙන් බේරුණේ අනූ නවයෙන්.“
චිත්‍රපට නළුවෙකු වීමට ජෝතිපාල නොසිතීය. ඔහු රඟපෑමට තිබුණේ බියකි. “නළුකමට වඩා දන්න සින්දුවක් කියා ගෙන ඉම්මු.“ ඔහු සිතුවේය.
“මම ‘සත පනහ‘ චිත්‍රපටයේ සින්දුවක් කියන්න ගිය අවස්ථාවේ අධ්‍යක්ෂ එම්. එස්. ආනන්දන් හා ගීත රචක ඒ. ජේ. ද සොයිසා ‘කුටුකුටු‘ ගානව මා දිහා බලාගෙන.
“මොකද මචං මගේ සින්දුව හොඳ නැද්ද?“ ජෝති ආනන්දන්ගෙන් ඇසීය.
“නැහැ ජෝති, මචං අපි කතා කළේ උඹව අපේ අලුත් ෆිල්ම් එකේ සන්ධ්‍ය කුමාරිත් එක්ක ප්‍රධාන චරිතවලට දාන්න. උඹ සින්දු කියන්නෙත් රඟපානව වගෙ. අපිට ඕනෑ ඒ වගේ චරිතයක්.“
ආනන්දන් මගේ හොඳම මිත්‍රයෙක්. මේ ගැන ආනන්දන් නිෂ්පාදක එම්. විලියම්ස්ගෙන් අහල තියෙනවා. එයා අකමැති වෙලා. පස්සේ ආනන්දන් කියලා තියෙනවා. “ජෝතිව මේකට නොගත්තොත් මම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නෑ“ කියලා. පස්සේ කැමති වෙලා. චිත්‍රපටය “ඇතුල්වීම තහනම්“. මේ චිත්‍රපටයේ මමත් සුජාතාත් ගීත දෙකක් කිව්වා. “තරුණ නෙත් ජය මංගල්“, “ජීවිතේ වසන්තේ“, “ලැසි ගමනින් යන හනිකේ“.“ ජෝතිපාල අතීතයට යොමු වෙමින් කීවේය.
සුජාතා අත්තනායක හා ලතා වල්පොල සමඟ යුග ගීත රැසක් ගැයූ ජෝතිපාලගේ හින්දි ගී මෙන්ම ස්වතන්ත්‍ර ගී ද අතිශයින්ම ජනප්‍රිය වීමද විශේෂ සිද්ධියකි.
ජෝතිපාල තරම් ජනප්‍රිය ගායකයෙක් එකල නොසිටි බව කීම අතිශයෝක්තියක් නොවේ. එක්තරා සංගීත සංදර්ශනයක ගීත ගැයූ ජෝතිපාල වට කර ගත් තරුණියෝ පිරිසක් තම සමරු පොත්වල අත්සන් තැබීමට පැයකට ආසන්න කාලයක් ගත වූ අතර එක්තරා තරුණියක් තම ලය මත අත්සන් කරන්නැයි බලකර කියූ නිසා එය කිරීමට ජෝතිපාල දෙවරක් සිතා නොබැලුවේය. ජෝතිපාලයන් පිටු පස යන රසිකයෝ වට කර ගත්හ.
“ජෝති අයියා අද “මෝරා“ ගේ සින්දුව කියන්නම ඕනෑ.“ රසිකයෝ ඉල්ලති.
“මල්ලී මම ‘මෝරා‘ ගැන සින්දුවක් කියලා නැහැනේ.“
“ඇයි? ජෝති අයියා ‘නැගෙවි හද මෝරා‘ කියන සින්දුව.“
“ඔව්.... ඔව්... ඒකෙන් තමයි පටන් ගන්නේ“ ජෝතිපාල සිනාසෙමින් කීවේය.
ජෝතිපාලයන්ගේ ගජ මිතුරාව සිටියේ එවකට ජනප්‍රිය ගායකයකුව සිටි ජේ.ඒ. මිල්ටන් පෙරේරාය. එකදාස් නවසිය පනස් ගණන්වල අග භාගයේ මේ දෙදෙනා “අනංගයා“ තේමා කොට ගීත වලින් කළ වාදය එකල ගුවන් විදුලියේ වෙළඳ සේවයේ නොමැකෙන සේ සටහන්ව ඇත. අනංගයා හොඳ යයි කීවේ ජෝති ය. මේ ගීතය ජෝතිපාලට රචනා කර දුන්නේ ගුණරත්න අබේසේකරයන්ය. ඔහු ජනප්‍රිය ගීත රචක කරුණාරත්න අබේසේකරගේ මල්ලී ය. අනංගයා ගේ ගීතය ගුවන් විදුලියේ ජනප්‍රිය විය. මේ ගීතයට පිළිතුරු ගීයක් “සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා“ කරු එය මිල්ටන් පෙරේරාට ලියා දුන්නේය.
එතැනින් මේ ගීත වාදයකට පෙරැළුණු පසු ගුණරත්න එයට පිළිතුරක් ජෝතිට ලියා දුන්නේය. ඒ “පෙම්වතුන්ට සරණේ අනංගයා මම නේ “යන ගීතයයි.
හොඳම ගායකයාට හිමි සම්මානය ජෝතිපාල දිනා ගත්තේ 1974 තිරගත වූ “ඔන්න බබෝ බිල්ලෝ එනවා“ චිත්‍රපටයේ ගැයූ “මේ ජීවනේ“ ගීතය වෙනුවෙන් පාඨක ඡන්ද දහස් ගණනක් ලබා ගෙනය. 1983 වසරේ සරසවි සම්මාන උලෙළේදී “මීදුම් සිහින“ චිත්‍රපටයේ ‘සරා සඳේ‘ ගීතය සඳහාත් 1986 වසරේ ‘ඔබට දිවුරා කියන්නම්‘ චිත්‍රපටයේ ‘පාළු සුසානේ‘ ගීත වසරේ හොඳම ගායකයා ලෙස ජෝතිපාල සරසවි සම්මාන දිනා ගත්තේය.
ජෝතිපාල තම මවට ආදරය දැක් වූවේ අසීමිතවය. “මේ ජීවනේ“ ගීතයෙන් මවු ගීයක් ගැයූ ජෝති වඩාත් ප්‍රිය කළේ තිස්ස ඩයස් රචනා කළ ‘මේ ජීවිත දිවි ගමනේ‘ ගීතය පටිගත කළ පසු සංගීත අධ්‍යක්ෂ සරත් වික්‍රමට මෙසේ කීවේය.
“මචං මේ සින්දුව මික්ස් කළාට පස්සේ කැසට් එකකට ගහලා දීපන්. මට මේක අම්මට අහන්න දෙනකං ඉස්පාසුවක් නැහැ. මේක අහල අම්මා හුඟක් සතුටු වේවි.“
ජෝති මානව දයාවෙන් යුතු සෑම මනුෂ්‍යයකුටම සම මෙත් දැක්වූ සමාජවාදියෙකි. ජෝති යූ.ඇන්.පී. වේදිකාවල ගී ගැයුවද ඔහුට යොවුන් වියේ වාමාංශික අදහස් තිබුණේය. දිනක් ජෝති හමුවීමට මාලිගාවත්ත මහල් නිවසට මම ගියෙම්. ඔහු සිටියේ දොර රෙද්දක් ඇඳගෙනය.
“මොකද? ජෝති අයියා මේ....“
“නෑ මල්ලී අසරණ මනුෂ්‍යයෙක් ආවා. මගෙන් සරමක් ඉල්ලාගෙන. මට තිබුණ සරම මම එයාට දුන්නා.“
ඒ ජෝතිගේ හැටිය. ඔහු මිතුරන්ට හදවතින්ම ආදරය කළේය. ඔහුගේ සමීප මිතුරන් අතර ෂෙල්ටන් ජයසිංහ, ජයසේන ද අල්විස් (ජයනන්ද), පද්මසිරි කොඩිකාර හා අජන්තා රණසිංහ ඒ අතර ප්‍රමුඛ විය. විජය කුමාරතුංග ජෝතිටත්, ජෝති විජයටත් හදවතින්ම ආදරය කළේය. 1977 මහ මැතිවරණයේ යු.ඇන්.පී. වේදිකාවල ගීත ගැයුවත් විජය ශ්‍රි.ල.නි. පක්ෂයෙන් තරග කළා. කටාන ආසනය පැත්තේ ගීත ගැයීමට නොගියේ ඒ මිත්‍රත්වය නිසා. විජයට ද චිත්‍රපටවල ගී ගැයීමේ අවස්ථාව කොතෙක් ලැබුණත් තමාගේ හඬට ගැළපෙන හඬ ජෝතිගේ යයි නිෂ්පාදකයන් කී අවස්ථා රැසකි. ජෝති මිය ගිය පසු විජය තමා වෙනුවෙන් ගී ගැයුවේ. වරෙක රවීන්ද්‍ර රන්දෙනිය වෙනුවෙන් ද විජය චිත්‍රපට ගීත ගැයුවේය.
1987 ජූලි 07 වැනිදා මිය ගියේය. ජීවත් වූ ජෝතිට වඩා මිය ගිය ජෝති අප අතර ජීවත් වන්නේය. ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියූ මේ වැකියෙන් මේ ලිපිය අවසන් කිරීමට සිත් විය. “ජෝතිපාල කිසි දිනෙක මා රුචි වූ ගායකයකු නොවේ. එහෙත් ඒ මගේ පෞද්ගලික රුචිය විනා ජෝතිපාල ගැන කරන්නා වූ පිළිගත හැකි පොදු විනිශ්චයක් නොවේ. පුරා තිස් වසරක් නොඅඩු ජනප්‍රියත්වයක් රැක ගැනීම සංගීතය වැනි නිරතුරු වෙනස් වන ක්ෂේත්‍රයක අසීරු කරුණකි. අප අතරට ආ ජෝතිපාල ආනන්ද ජයරත්න ජනප්‍රියත්වයෙන් වියකෙත්ම ගාමිණිගේ හඬ වූවා. ගාමිණි වියපත්ව චරිතාංග රංගනයට මාරුවෙත්ම විජයගේ කටහඬ වුනා. අද ඔහු සිටියා නම් හැම නවක නළුවකුටමත් අපූරුවට පසුබිම් ගී ගයනවා.“