
එදා තමා හරි හුළඟ. හුළඟ පමණක් නම් මැදෑ, අතරින් පතර මොර සූරන වැස්ස! අපා, දෙපා, සිවුපා බුහුපා සියලු සත්තු සැඟැවුම් ගත්හ.
වනයට වගේ ම නෙරළුව ගමටත්, කුකුළාගවුවටත් හිවලාවලටත් මේ වැස්ස පොදුය. නෙරළුව කනිටු පාසලට පාඩම් මහත්තය එන දවසත් අදය. වැස්ස නැවතිණ. උදේ අට වෙන කොට පාඩම් මහත්තය නෙරළුව කනිටු පාසලට පැමිණියේය. මුල් ගුරුතුමා විසින් ඔහුව පිළිගන්නා ලදී. මඳ කතාබහකින් පසු පාඩම් මහත්තය අටේ පන්තියට ගොඩ වැදුණි. පන්තිය භාර ගුරුවරයා සහ සිසුහු සිය අසුන්වලින් නැඟිට ඔහුට ආචාර කළහ. ඔහු ද පෙරළා ඔවුනට ආචාර කළේය.
පාඩම් මහත්තය උස මහත මනා පෞරුෂයකින් සහ මුහුණෙන් උඩු තොල උඩින් වූ ඝන රැවුලකින් යුක්ත වූවෙකි. ඔහු යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි අතර අටේ පන්තිය භාර ගුරු මහතා හැඳ සිටියේ ආරිය සිංහල ඇඳුම් කට්ටලයකි. අපේ මහත්තයා ගුරු පුටුවේ හිඳුවා පාඩම් මහත්තය ගුරු මේසය ඉදිරියේ හිට ගෙනම පාඩම ආරම්භ කළේ අද පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව විමසමිනි.
‘විසි තුනයි’
පන්ති නායක සිසුවා පිළිතුරු දුන්නේය.
හොඳයි. ඔබේ පන්තිය භාර ගුරු මහත්තයත් මගේ ගුරු ශිෂ්‍යයෙක්. නිට්ටඹුව ගුරු විද්‍යාලයේදී මම ඔහුට උගන්නල තියෙනව. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනව. මෙතන ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? ගුරු සංඛ්‍යාව කීයද?
පාඩම් මහත්තයා අපේ මුහුණු දෙස දෑස් යොමු කරමින් විමසීය. මඳ නිහැඬියාවක් පන්තිය පුරා පැතිරිණ. එක් වරම පිටිපස පේළියේ වාඩි වී සිටි ටිකිරිමලී නැගිට්ටාය. ශිෂ්‍ය සංඛ්‍යාව විසි හතරයි. ගුරුවරුන් දෙදෙනයි. ඒ කොහොමද? දැන් මෙතන ඉන්නෙ විසි පස්දෙනා නෙ. පාඩම් මහත්තයා යළිත් ගැටලුවක් මතු කළේය. අපේ මහත්තය චරිත දෙකක්. භූමිකා දෙකක් ටිකිරි මලී පිළිතුරු දුන්නාය.
බොහොම හරි. හොඳයි අපි දැන් කවියක් කියමු. පාඩම් මහත්තය ඇඟිල්ල දිගු කළේ කිරිහාමි වෙතය.
හඳපානේ වැලි තලා
සුර කුමරියො මල් සලා
නටති මෙදෙස බල බලා
ගිගිරි වළලු පය නොලා
අගේට ගායනා කළා කාටද කියන්න පුළුවන් නැළවිල්ල කියන පැදි පෙළේ සඳහන් මේ කවියේ සුර කුමරියො නටන කොට පයට ගිගිරි ගෙජ්ජි දාන්නෙ නැත්තෙ ඇයි කියල.
එවර පිළිතුරු දීමට නැඟී සිටියේ රන් බණ්ඩාය.
ගිගිරි දාල නැටුවොත් ඒ සද්දෙට දරුවා ඇහැරෙන හින්දා.
හොඳයි. මෙන්න මේකයි මගෙ අන්තිම ප්‍රශ්නෙ. ඔබ කතන්දර පොත් කියවල ඇතිනෙ. මොකක්ද කියවල තියෙන හොඳම පොත. ඇයි ඒකට වඩා කැමැති? පාඩම් මහත්තය සියල්ලන්ට ම ප්‍රශ්න යොමු කළේය.
හීන්සැරය... හීන්සැරය
ළමෝ එකහඬින් කීහ.
ඇයි ඒ පොතට විශේෂයෙන් කැමති?
පාඩම් මහත්තයා දෙවන ප්‍රශ්නය සිහිපත් කළේය.
ඊට පිළිතුරු දුන්නේ පන්ති නායක ශිෂ්‍යයාය.
හීන්සැරය කතාවෙ හැටියට අලි, කොටි, නරි ඔක්කොම පරදිනව පුංචි කටුස්සට. පුංචි මිනිස්සු ජය ගන්නවට අපි කැමතියි.
පන්තිය පුරාම අත්පොළසන් නාදයක් මතු විය.
එහෙනම් දරුවනේ මං වෙනත් පන්තියක් බලන්න යන්නම්. ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා. පාඩම් මහත්තය සමුගන්නට සූදානම් විය. එවිට ම අපේ මහත්තය නැගිට්ටේය.
දරුවනේ දන්නවද මේ පාඩම් මහත්තය කවුද කියල. මේ තමයි මගේත් ගුරු දෙවි, කුමාරතුංග මුනිදාස මහත්තය. ළමෝ තරමක විමතියෙන් නැඟිට පාඩම් මහත්තයට ආචාර කළහ. මේ අතර ටිකිරිමලී ශිෂ්‍යාව මහත්තය අපට අද ජීවිතයේ වටිනා අවස්ථාවක් උදාවුණා. ඒක මතක් වෙන්නත් එක්ක අලුත් කවියක් කියල දෙන්න.
පාඩම් මහත්තයා හුණු ලෑල්ලේ කවියක් ලියා එය පැහැදිලි කරන ලෙස පන්ති භාර ගුරුවරයාට පවරා වෙනත් පන්තියක් පරීක්ෂා කිරීම සඳහා සතුටින් නික්ම ගියේ ය. ඔහු හුණුලෑල්ලේ ලියූ කවිය මෙසේය.
අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නඟී
හිඟා කෑම බැරි වුණ තැන ළඟී ගයා මර ගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නො නැඟී
මහ දෑ දන ගණ උපදින කලැ පර දැ අනැ ගී
අලුත් දේ නිර්මාණය හෙවත් නවෝත්පාදනය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන අදහස දේශීය ජාතික සංවර්ධනය සඳහා පරමාදර්ශී සර්වකාලීන චින්තනයකි. පර දැ හෙවත් විදේශ ආනයනයන් අගය කිරීම ලොකු, නායක කාරකාදීන්ගේ දුර්වලකමක් වන අතර ගැමි ජනතා අපේක්ෂා හා ගැමි වහරේ අරුත් රසය නො හඳුනන්නා මෝඩයෙක් බව ද පැවසේ.
ඉංග්‍රීසි පාලන සමයේ මෙරට ඉපිද ජීවත්වූ කුමාරතුංගයෝ විදේශීය සුදු අධිරාජ්‍යවාදය හෙළා දුටහ. ඔහුගේ සුරපුර සැරසිලි පැදි පෙළ උපහාසය ව්‍යංග්‍යයෙන් දැනවූ කදිම අවස්ථා නිරූපණයකි. පස්වැනි ජෝර්ජ් රජ මිය ගොස් ‘සුරපුරට යන දිනයේ’ රජ පිළිගන්නට සභාවේ ආසන වෙන් කරන ආකාරය කුමාරතුංගයන් මෙසේ දක්වයි.
නළල් නුවන් සිටින්නැ මුල් පෙළේ
නිවක් වුවත් වනින් එහෙන් පිනා
කමල් නුවන් කමක්නැ මේ පෙළේ
ඔබත් වුවොත් සතොස් නොවෙයි මනා
නළල් නුවන් යනු නළල මැද ඇස් ඇති ඊශ්වරයා. ඔහු සළු පිළි නොහඳී. නිරුවත් ය. එහෙත් හේ සුදු ය. සුදු ජාතිකයකු වූ ජෝර්ජ් රජුට පෙනෙන්නට මුලින් සිටිය යුත්තේ ඊශ්වර ය. කමල් නුවන් නම්වූ විෂ්ණු වස්ත්‍ර හඳින්නාමුත් හේ පැහැයෙන් කළු ය. සළු පිළි හඳින්නට තරම් ශිෂ්ට වුව ද කළුවන් ඔහු දැක්ම සුදු රජුගේ සතුටට හේතු නොවන නිසා විෂ්ණුට හිමි වන්නේ පසු පෙළ අසුනකි.
පරාධීන සමයේ ජීවත්වූ අනෙකුත් කවින් මෙන් ම කුමාරතුංගයෝ ද ජාතික හැඟීමෙන් යුක්තව ජාතිය අවදි කිරීමේ කාර්යය සඳහා කවිය අවියක් කොට ගත්හ. මේ ඊට එක් උදාහරණයකි.
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ නොපා
කළ මෙහෙයක් නැති ද ෙපා
හෙළයෙකු දැකුමත් එපා
දරු පරපුරේ සාහිත්‍ය රසාස්වාදය උදෙසා ඔහු නිර්මාණය කළ ‘කුමර ගී’ නැළවිල්ල, හාවාගෙ වග, දොරට වැඩුම, ලේනා හා උදය වැනි කවි නාටකීය, ගීතවත් බවකින් යුක්තය.
‘උදය’ කවි පෙළ වූ කලි ගැමි පරිසරයක හිරු උදාවේ චමත්කාරය රසිකයාගේ ගතට මෙන් ම සිතට ද සන්නිවේදනය කරයි. සිහිල් සුළං ආයුබෝවන් කීම, රෝස ගස සිනාසීම, ලණු මෙන් ඇදෙන හිරු රැස් ආදී වශයෙන් උදයේ සිදුවීම්වලට පණ පිහිටුවා සචේතනිකත්වය ආරෝපණය කරන්නේ මෙසේය.
සෙමින් සෙමින් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී ගෙනයි එන්නේ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ
දිසායෙනැයි මේ හිරු එන්නෙ පායා
හැරී සිටී සූරිය කත් ගසේ මල්
රැසුයි දිලෙන්නේ ලණු මෙන් ඇදිලා
මඟුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ
ජනකවි රීතිය ගුරු කොට ගත් මෙම නිර්මාණයෙහි මඟුල් ගෙයක සිරිය ගත් ආකාරය දැක්වෙන ආකාරය කදිමය.
සුදෝ සුදු වැ වලා කුළෙහි
ඇයි මේ සිල් ගත්තා වැනි?
මඟුලට කළු නො නිසි බැවිනි
එය හැර අපි යමු මෙ වෙසිනි
ඉරු දෙවි බබළවයි පහන
වලා ඉහළ කෙරෙයි වියන
මෙම මඟුල් ගෙදර මංගල පහන මත්තේ සූර්යා ය. වියන් බැඳ ඇත්තේ වලාකුළුවලිනි. ඒවා සුදු පැහැ ගැන්වී ඇත. හිරු රැස් වැටී සූරිය කාන්ත මල් පිපුණු පරිසරය මඟුල් ගෙයක සුන්දරත්වය තීව්‍ර කරන බව කවියා පවසයි.
කාව්‍ය රචනා පමණක් නොව කුමාරතුංගයන් ලියූ ළමා කතන්දර පවා හාස්‍යය. උපහාසය දනවයි. කිරිහාමි ගැන කියන ‘හත්පණ උපදේශයත් වැරදියට වටහා ගෙන මෝඩ ගැමියකු කරන ක්‍රියා ළමුන්ගේ හාස්‍යයට ලක් කරවයි. ‘මඟුල් කෑම’ නො ගැළපෙන්නන් අතර ඇසුර අපලදායක බව පැහැදිලි කරයි.
‘හීන්සැරය’ කතන්දරයේ අවසන් අදියරෙදි කුමාරතුංගයන් ලියන මතු සඳහන් ප්‍රකාශ එහි සමුදයාර්ථය, පණිවුඩය හා ආදර්ශ තේමාව මෙසේ සටහන් කරයි.
“කටුසු හාමි අලි රාලහාමිගෙ නාහෙ අස්සේ ගියා. කුඩා සතුන් සමඟ පොරට යන්න නරකයි රාලහාමි. රාලහාමිගෙ මහ සැරයට කුඩා සතුන්ගෙ හීන්සැරය අහුවන්නෙ නැහැ”
හිවල් හාමි අලි රාලහාමිට කීවේය.
“ළමයා දුටු කොටි රාළහාමි අලි රාලහාමිත් මතක නැති කොට හිවල් හාමිත් මතක නැති කොට, තමා ද මතක නැති කොට, ගොරවා ගෙන ගසට පැන්නේය. මහත් භයට පැමිණි ළමයා ‘කටුස්සා’, ‘කටුස්සා’, ‘කටුස්සා’ යැයි කියමින් මහ හඬ නැඟීය. කොටි රාලහාමිට හොඳ සිහිය ආයේය. ගසින් බිමට පැන කිසිත් නො බලා දිවීය.
එක් දහස් අටසිය අසූහත ජූලි විසිතුන (23) සිට එක්දහස් නවසිය හතළිස් හතරේ මාර්තු දෙක දක්වා වූ සිය දිවි ගමනේ වසර තිස් පහක් පමණ කාලයක් ළමා මිතුරන්ට සාහිත රස පෙවුවා වූද පැරණි සාහිත පොත පත සංස්කරණය කරවීම බස වැඩුවා වූද දෙස - බස - රැස තෙරුවන වෙනුවෙන් අනගි මෙහෙවරක යෙදුණු කුමාරතුංග මුනිදාසයන් ශ්‍රී ලංකා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ උදාර යුග පුරුෂයෙකි.