හෙට අලුත් දවසක් | සිළුමිණ

හෙට අලුත් දවසක්

 

 ජයසිරි පේදුරුආරච්චි

 

බෝඩිමේ ඇඳට බරදුන් සවිනි කොට්ටය ළැමට තුරුලු කරගන්නාගමන් වහලය දෙස බැලුවා ය. වේගවත් සුළං රොදක් සමඟ කවුළුවෙන් ආ වෙරළු කොළයක් සිවිලිමේ රැඳි මකුළු දැලෙහි පැටලී සුළඟ සමඟ පොරබදන්නට විය. දැල මත බිත්තරය රකිමින් සිටි මකුළුවා බියට පත්ව දිවගොස් බිත්ති මුල්ලේ සැඟවුණේ ය. තමා ද මකුළුවා සේම නොවේදැයි සවිනිගේ සිත කීරි ගැසුණා ය. දිගු සුසුමක් හෙළු සවිනි දෑස් වේගයෙන් තදකර ගත්තා ය. දෑස් කොනින් බට ගිනියම් වූ කඳුළු කැට දෙකක් ගලාවිත් කන්පත්තේ ගැටී නැවතුණේ ය. සුළඟට හසුවූ කුරුලු පිහාටුවක් ඈතින් ඈතට ඇදී යන්නා සේ කඳුළු අතරින් ම සවිනිගේ සිත ද තම සුන්දර අතීතයට ඇදී ගියා ය.

 

“දුවේ තේ ටිකක් බොමු ද?”

සීතා නැන්දා කාමරයේ දොර රෙද්ද මෑත් කරමින් පවසද්දී සවිනි දෑස් විවර කර බැලුවේ මහත් විඩාබර බවකිනි.

“ඇයි දුවේ අසනීපයක් ද? මූහුණත් අමුතුවෙලා”

මුහුණේ ඉරියව්වලින් දරුවෙකුගේ වෙනස කීමේ පළපුරුද්දෙන් සීතා නැන්දා පැවසුවා ය.

“අනේ නෑ නැන්දේ හරි මහන්සියි”

සිතේ රැඳි මහා වේදනාව සඟවාගනිමින් සවිනි පැවසුව ද සීතා නැන්දා ඒ වඳන් පිළිගත් බවක් මුහුණෙන් පෙනෙන්නට නොතිබිණි.

“කමක් නෑ දුවේ ඔයා තව ටිකක් නිදාගන්න. අපි පස්සෙ තේ බොමු”

දොර රෙද්ද සකසමින් කාමරයෙන් පිටවන ගමන් සීතා නැන්දා පැවසුවා ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක ලෙසින් සුන්දර ජීවිතයක් ගතකළ සවිනි දුෂ්කර පෙදෙසක පාසල් ගුරවරියක ලෙස අද බෝඩිං කාමරයක තනිවී සිටින්නේ සුවිසල් මාලිගාවකට බිලිඳකුගේ හඬ එක්කරන්නට වාසනාව නොලැබීමේ වරදට ය. නුවන් තුළ ඇති දුර්වලතාව සවිනි මත පටවා දිගින් දිගටම අපවාද අවලාද නැගීම තුළ සවිනිගේ මුළු ජීවිතයම වේදනාවෙන් පුරවා දමා ඇත්තේ ය.

සවිනි සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට උපකාරක පන්ති යන සමයේ ආදරය ඉල්ලා නුවන් සෑම දිනකම පස්සෙන් ආ හැටිත් කොතෙකුත් ප්‍රතික්ෂේප කළ ද නොඑකුත් තෑගි බෝග ගෙන ආ හැටිත් සවිනිගේ මතකයට එන්නේ වේදනාව තීව්‍ර කරමිනි.

“නුවන් ඒ කාලේ කොච්චර අහිංසක කෙනෙක් ද? ඒත් එයා අද අම්මලයි කීම අහල මට මොනතරම් කෙනෙහිලිකම් කරනව ද?”.

විටෙක සවිනිගේ සිතට නැ‌ෙඟන්නේ කේන්තියකි. අඩුපාඩුව තමා තුළ ඇති බව දැන දැනත් නුවන් මෙලෙස හැසිරෙන්නේ මවගේ බලපෑමට බව සවිනි හොඳින් දනී. එහෙත් එදා තමාට අසීමිතව ආදරය කළ නුවන් මෙලෙස එක් දිනක්වත් තමන් නොමැතිව සිටින්නේ කෙලෙසදැයි සවිනිට විසඳුම් නැති ප්‍රශ්නයක්ව ඇත. ඔහුගේ දුරකථනය විසන්ධි කර තැබීම නිසා මේ කිසිදු ගැටලුවකට නුවන්ගෙන් පිළිතුරක් ලබාගන්නට සිවිනිට නොහැකිය. එය ඇයගේ වේදනාව වැඩිකිරීමට හේතුවක්වී ඇත්තේ, සැතපුම් සිය ගණනක දුරින් එකිනෙකා වෙන්ව සිටිනා බැවිනි.

නුවන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල් කාලය හමාර කරද්දී සවිනි සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්ව ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරන අවධියේදීත්, උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේත් කොතෙකුත් කොල්ලන් සවිනිගේ ආදරය පතා පසුපස ආව ද ඒ සියලු යෝජනා සිවිනි ප්‍රතික්ෂේප කළේ නුවන් හා බැදී තිබූ අසීමිත ආදරය නිසා ය.

ඔහුගේ මවුපියන් මෙන් නුවන් ද ව්‍යාපාරික ක්ෂේත්‍රයට ලොල්වී මුදලට ගිජු වද්දී තමන්ට තිබූ ආදරය අඩුවෙමින් යන බව වැටහුණ ද ඇය එය ගැටලුවක් කර නොගත්තේ ඔහුට ඇති දැඩි ආදරය නිසා ය.

වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු කාලයක ඉන් ප්‍රයෝජනයක් ගෙන තම කැදැල්ලට බිලිඳෙකු එක්කර ගැනීමට සිවිනි කැමැත්තෙන් සිටිය ද නුවන්ට අවශ්‍යවී ඇත්තේ සාමාන්‍ය ක්‍රමයට තම ලේ වලින්ම උපන් දරුවෙකු නිවසට රැගෙන ඒමට ය. එහෙත් සවිනි දිගින් දිගටම කරනා ලද ඉල්ලීම් හමුවේ නුවන්ගෙන් ලද කැමැත්ත මත තම විශ්වවිද්‍යාල මිතුරන් මඟින් හඳුනාගත් විෂයට ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් මඟින් අන්තර් දරාල තැන්පත්කිරීම් මඟින් දරුවකු සාදාගන්නට අවස්ථා කීපයකදීම උත්සාහ කළ ද ඒ සියලු උත්සාහයන් ව්‍යයර්ථ වූයේ දෛවයේ සරදමකට මෙනි. ඒ තුළ ජීවවිද්‍යාත්මක පෙළගැස්මක් සහිත කතාවක් ඇතත් එය කිසිදුවිටෙක නුවන් තේරුම් නොගැනීම දෙදෙනා දුරස්ථ කිරීමටත් මතගැටුම් ඇතිකිරීමටත් හේතුව වී ඇත.

කලක සිට ආයුර්වේද වෛද්‍යවරුන්, නක්ෂත්‍රකරුවන්, මන්ත්‍රාචාර්යවරුන් හමුවන්නට යමින් නැති ලෙඩකට තමාට ප්‍රතිකාර ලබාදෙන්නට නුවන් ගත් උත්සාහය මතකයට එද්දී සවිනිට ඇතිවන්නේ කෝපයකි. එම ප්‍රතිකාර දිගින් දිගටම ගත්තේ නම් නැති ලෙඩක් තමාට වැල­‌ෙඳන්නට ඉඩ තිබුණා නොවේදැයි සිවිනිට සිතෙන වාර අනන්ත ය. ප්‍රතිකාර ගතයුත්තේ නුවන් ය. එහෙත් එය ඔහු පිළිනොගැනීම මේ මහා වේදනාත්මක කාලපරිච්ඡේදයට පාර කපා ඇත.

“සවිනි බැදල දැන් ගොඩක් කල් නේද?.... බබෙක් හදාගන්න ආසාවක් නැන්ද?.. ඕනනම් අපි උදව්කරන්නම්”

දිනක් පාසලේ විවේක අවස්ථාවක රමේෂ් සර් කී කතාව සවිනිට අදට ද මතක ය. තරුණ කටකාර ගුරුවරයෙකුවූ රමේෂ් සර් සවිනිට හැමදාම හිතවත්ව කටයුතු කරන කෙනෙකි. උපන් දිනයට සවිනිට සුබපැතීම රමේෂ් සර් අමතක නොකර සෑම වසරකදීම සිදුකරයි. දුරකථන කෙටි පණිවුඩ මඟින් විහිළු කිරීම ද රමේෂ් සර්ගේ සිරිත ය. ඒ අතර ප්‍රේමවන්තයකු ප්‍රේමවන්තියකට යවන ආකාරයේ කෙටි පණිවුඩ ද එවන අවස්ථා ඇතත් හිතවත්කම නිසාම සවිනි එය ගැටළුවක් කර නොගත්තා ය.

නුවන්ගේම දරුවකුට උපත ලබාදීම සඳහා සාම්පල අන්තර් දරාල තැන්පත්කිරීම් වලදී දිගින් දිගටම ඒවා ප්‍රතික්ෂේපවීම නිසා හිතවත් වෛද්‍යවරුන් යෝජනා කළේ වෙනත් අයෙකුගේ අන්තර් දරාල තැන්පත් කිරීමක් සිදු කරනා ලෙසයි. නුවන්ගේ ගති සිරිත් දන්නා සවිනි ඒ සඳහා එකඟතාවයක් පළනොකළා ය. එහෙත් දිගින් දිගටම නුවන්ගේ පාර්ශ්වයෙන් තමාට නැගෙන අපවාද හමුවේ සවිනි දිනක් තමාට බොහෝ සෙයින් හිතවත් රමේෂ් සර්ට යෝජනා කළේ තමාට දරුවකු සාදාගැනීම සඳහා උදව් කරනා ලෙසයි. එයට එකපයින් කැමතිවූ කටකාරයකු වූ රමේෂ් සර් විහිළුවෙන්ම පැසූවේ “ඕව ඉතිං තැන්පත් කර කර කරදරවෙන්නේ මොකට ද?” යනුවෙනි. සවිනි ඊට සිනාවකින් පිළිතුරු දුන්නා මිස වචනයකුදු ප්‍රකාශ නොකළා ය. විද්‍යාවේදී උපාධි ගුරුවරයෙකු උගත්කමින් හා දැණුමෙන් පිරිපුන් නිසා සාමාන්‍ය කෙනෙකුගෙන් බිහිවන දරුවෙකුට වඩා එවැනි අයෙකුගෙන් බිහිවන දරුවකු ජානමය වශයෙන් වඩා හොඳ හා බුද්ධිමත් දරුවකු විය හැකිය යන සිතිවිල්ල සවිනිගේ සිතට තදින් කාවැදී තිබුණා ය. නුවන් අකමැති නිසා හොරෙන් හෝ එවැනි තැන්පත් කිරීමකට යාමට සවිනිගේ යටිසිත බල කළ ද නුවන් මෙය දැනගතහොත් භයානක ප්‍රතිඵල විදීමට සිදුවන බැවින් එවන් ක්‍රියාවකට නොගොස් සිවිනි රමේෂ්ගේ හිතවත්කම පලුදු නොකර ගනිමින් තවදුරටත් පවත්වා ගන්නට උත්සාහ කළේ කුමන හෝ මොහොතක නුවන්ගේ කැමැත්ත මත තම අරමුණට යාමේ බලාපොරොත්තුවෙනි.

“මේ මාලිගාවක් වගේ තියෙන ගෙදරට දරුවෙකුත් ඉන්නවනම් කොච්චර හොඳද. ඔයා කැමතිනම් විතරක් අපි වෙන කෙනෙකුගෙන් තැන්පත්කිරීමක් කරමුද? අර රමේෂ් සර් වගේ කෙනෙකුගෙන්”

“නෑ නෑ ඒව කවදාවත් වෙන්නෙ නෑ. ආයේ ඔය ගැන කතාකරන්න එපා එච්චරයි”

දිනක් නුවන් සවිනි සමඟ මහත් ආදරයෙන් සිටියදී කළ විමසීමට නුවන් කෝපයෙන් පිළිතුරු දුන් ආකාරය සවිනිගේ මතකයට නැගේ.

ඒ අතර නුවන් යූ ටියුබ් ඔස්සේ දුටු විකෘති ආශාවන් සවිනි ලවා ඉටුකරගන්නට උත්සාහ දැරීම එතෙක් දෙදෙනා අතර පැවති සමගිය දෙදරා යාමට හේතුවක් විය. නුවන් අවස්ථා කීපයකදීම විවිධ උත්සාහයන් හරහා තම අශාව ඉටුකර ගන්නට උත්සාහ දැරීමත් සවිනි ඊට තදින්ම විරුද්ධවිමත් දෙදෙනා අතර හිත් රිදවීම් දක්වා වර්ධනය වූයේ එතෙක් සමගිව ගෙනගිය පවුල් ජීවිතයේ මහා පිපිරීමක පෙරනිමිති පෙන්වමිනි.

කෙතරම් හැලහැප්පීම් සිදුවුණි ද නුවන් සවිනිගෙන් වෙන්ව සිටීමට උත්සාහ නොකළේ සවිනිගේ රූමත් බවට ඔහු වශීවී සිටි නිසා ය. මුදලට දැඩි සේ ගිජුව සිටි නුවන් සවිනිගේ පඩිය ද ඔහුගේ පාලනයට ගෙන තිබුණේ ය. ඒ නිසා සිවිනි තම දෙමාපියන් ගැන බැලුවේ ද නුවන් ට නොදැනෙන්නට ය. ඇය වෙනමම ඉතිරියක් කර ගන්නට සැලසුම් කර තිබුණේ ද මේ නිසා ය.

“තමුසෙගෙ ෆෝන් එකේ මොනවද මේ තියෙන එස්. එම්. එස්.? අර ගුරා එක්ක මොනවද මේ නටන නාඩගම්? මගේ සැකේ හරි. මේ තියෙන්නෙ නටපු නාඩගම් ඔක්කොම”

අද සවිනි ගතකරන මේ වේදනාකාරී පාළු ජීවිතයට මඟ කැපුණු ඒ අවාසනාවන්ත දිනය යළි මතකයට නැගුනේ කඳුළු වලින් සවිනිගේ දෑස් පුරවමිනි. එදා සවිනි පළමු වතාවට නුවන්ගේ පහරකෑමට ලක්වූයේ ය. නුවන් මහත් සේ ආදරය කළ සඳක් මෙන් බැබළුණු සවිනිගේ මුහුණ රක්තවර්ණ වුයේත් නුවන්ගේ ඇඟිලි පහර වලින් පාරවල් සිටියේත් එදා ය. මුහුණට එල්ලකළ ඇතැම් පහරවල කැලැල් අදට ද දක්නට ඇත්තේ කැඩපත ළඟට යන සෑම අවස්ථාවකදීම සවිනිගේ දෑස් කඳුළින් තෙත්කරමිනි. ඇය මහත් ආදරයෙන් හා ප්‍රවේශමෙන් භාවිත කළ ජංගම දුරකථනය නුවන්ගේ පහරෙන් කැඩී බිඳී හතර අත විසිරි ගිය හැටි සවිනිට අද මෙන් මතක ය. එදවස ජංගම දුරකථනයේ කෙටි පණිවුඩ දැක කිසිදු විමසීමකින් තොරව නුවන් තමන් වැරදිකාරියක ලෙස තීරණය කිරීම පිළිබඳ සවිනිට ඇතිවන වේදනාව කිව නොහැකි තරම් ය. වසර දොළහක් පුරා තමාට අසීමිතව ආදරය කළ නුවන් එක මොහොතින් මෙලෙස වෙනස් වුයේ කෙසේ ද යන්න සවිනිට විසඳුම් නැති ප්‍රශ්නයක්ව ඇත. “තමුසෙගෙ අම්මලට එන්න කියනව. මමත් අපෙ අම්මලට එන්න කීවා. මේකෙ දෙකෙන් එකක් බේරගන්න ඕන. එක්කො ගුරා ද මම ද? කියල තීරණය කරන්න ඕන. මාත් එක්ක ඉන්නවද යනව ද? අම්මල ආවම බලමු”

“ඇයි මට මෙහෙම කරන්නෙ. ඔයාම ප්‍රශ්න ඇතිකරල ඔයාම විසඳුම් දෙනවා. ඇයි මේ. මම කියන දේත් ටිකක් අහන්න”

සවිනි කළ ඉල්ලීම් තඹේකුදු නොසලකන නුවන් සියලු තීන්දු තීරණ ගත්තේ තම කැමැත්ත හා මවගෙන් විමසීමෙනි. නුවන් එලෙස හැසිරෙමින් තමන්ට කළේ කෙතරම් අසාධාරණයක් දැයි සවිනිට නිරතුරු සිතුණා ය. නුවන්ගේ සල්ලිකාර දෙමාපියන්ගේ ආඩම්බරකම් හමුවේ තම අහිංසක දෙමාපියන් අසරණ වෙද්දී තවදුරටත් දෙමාපියන් අසරණ නොකර සවිනි නුවන්ගෙන් වෙන්ව ගෙදර ආ හැටි සිනමා පටයක ජවනිකාවක් සේ ඇගේ මතකයට නැගේ. එදින තමාට මහත් අමාරුවෙන් ඉගැන්වූ හා රැකබලාගත් දෙමාපියන් අසරණවූ හැටි සිහිවන විට කිසිදු දිනක යළි නුවන්ගේ නිවසට යාමට නොයන්නේ යැයි තීරණ කළ වාර ගණන අනන්තය. තම පවුල් ජීවිතයේ මොනතරම් හැලහැප්පීම් තිබුණ ද තමා සිටිනා සමාජය එය නොදැන සිටීම සවිනිට යම් අස්වැසිල්ලක් වී ඇත.

“මගේ ප්‍රශ්න කොච්චර තිබුණත් මම ඉස්කෝලෙ පුංචි එවුන් ටික කවදාවත් අමාරුවේ දාන්නෙ නෑ. මම ඉගෙනගත් හැටි මට හොඳට මතකයි” සවිනි තමන්ටම කියා ගත්තා ය.

නුවන් සමඟ පාසල් වියේ පටන් ආදරයෙන් වෙළී ගතකළ ඒ සුන්දර අතීතය සවිනිට කිසිදා අමතක කළ නොහැක. අසාධාරණ චෝදනාවන්ට ලක්වුව ද පහර කා වේදනා විඳීමට සිදුවුව ද ඇය අදට ද නුවන්ට ආදරය කරන්නේ ඒ නිසාය. වෙනත් සේවාවක කෙනෙකු දික්කසාද වුවත් ගුරුවරියක දික්කසාදවී දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද? එවැනි කෙනෙකු හෙට දවසේ දරුවන්ට අනාගතය උගන්වන්නේ කෙසේද? සවිනිගේ හිතේ දැවෙන ප්‍රශ්නයන් ය. මේ නිසාම සවිනිගේ හිත තවදුරටත් බලකරන්නේ නුවන් සමඟ දිවිගෙවන්නට ය. එහෙත් නුවන් දෙමවුපියන්ගේ බසටම ක්‍රියාකිරීම සවිනිගේ උත්සාහය හීන කරන්නක් වී ඇත්තේ ය.

“දුවේ අපි දැන් තේ බොන්න ඕන නෑ. රෑට බත් ටිකක්ම කමු”

කාමරයට ඇතුළුවන ගමන් සීතා නැන්දා කීවා ය. හිරු අවරට ගොස් ඒ වන විටි රාත්‍රිය උදාවී ඇති බව සවිනිට දැනුණේ එවිට ය. ඇය තම අතීත මතකයන් සමඟ බොහෝ දුරක් හිතින් ගමන්ගත් නිසා පරිසරයේ සිදුවූ කිසිවක් සවිනිට නොදැනුණා ය.

“අනේ නැන්දා මට මහන්සියට ඔක්කොම අමතක වුණා”

“හොඳ නින්දක හිටිය නිසා මම ඇහැ අරවන්න ගියේ නෑ. මමත් ඔය එළියෙ තිබිච්ච වැඩක් කළා.

“මම ඇස්පියන් හිටියට නින්ද ගියේ නෑ. නැන්දා හිතන්න ඇති මම නිදි කියලා”

“ම්ම්ම්...මම ඒක හොඳටම දැක්කා” සවිනිට සිදුව ඇති දේ ඉඟියකින්වත් නොදන්නා සිතා නැන්දා කට කොනකින් සිනාවක් පාමින් පැවසුවා ය.

“හරි හරි අපි දැන් රෑට කන්න මොනවා හරි උයමුකො” ඇඳෙන් නැගිටින ගමන් සවිනි පැවසුවා ය.

සීතා නැන්දාගේ පසු පසින්ම කුස්සියට ගිය සවිනි රෑට කෑම පිළියෙල කරන්නට සූදානම්වූයේ තමා පත්ව සිටිනා වේදනාත්මක ජීවිතය පිළිබඳ බිඳක්වත් සීතා නැන්දාට නොදැනෙන්නට ය.

“බත් උයනකං නැන්දාට තේ ටිකක් හදල දෙන්න ද?” සවිනි විමසද්දී සීතා නැන්දාගෙන් එයට අකමැත්ක් පළ නොවූයෙන් කේතලයට වතුර දමා ගෑස් ලිපමත තබා ගිනි දැල්වූ සවිනි කෝප්ප සෝදන්නට වූවා ය.

“නැන්දයි මාමයි ඉස්සර හරි ආදරෙන් ඉන්න ඇති නේද?” සවිනි සිත සැහැල්ලු කර ගනිමින්විමසද්දී අසල තිබු පුටුවකට බරදුන් සීතා නැන්දා දිගු කතාවකට මුලපිරුවේ සිනාමුසු මුහුණින් යුතුවය.

“අනේ දුවේ එයා මට හරි ආදරෙයි. ඒක නේ මේ පුංචි මන්දිරේ මටම කියල හදල දුන්නේ”

“ආ.. ඒ කියන්නේ ඒ කාලේ නැන්දම්මා ලේලි ආරවුල් හොඳට තියෙන්න ඇති නේද? මාමා වෙනමම ගෙයක් හැදුවෙ” සවිනි කළ විමසීමට සීතා නැන්දාගෙන ලැබුනේ ක්ෂණික පිළිතුරකි.

“අපොයි නෑ දුවේ. මහත්තයගෙ අම්ම මට හරි ආදරෙයි. අපේ මහත්තය තමයි නිදහසේ ඉමු කියල මේ ගේ හැදුවෙ. අම්ම කැමතිවුණේ අපි එහේ ඉන්නවට. ඒ වුණාට මහත්තගෙ තාත්තා කිව්වෙ එවුන්ටත් අත්දැකීම් ගන්න වෙනම ඉන්න දෙන්න කියල. ඉතිං බැඳල වැඩි කලක් යන්න කලින් අපි මෙතනට ආවා” සීතා නැන්දා පැවසුවේ ඉතා සතුටිනි.

එම කතාව සවිනිගේ සිතට තදින්ම දැණුනාය. ඇය කිසිදු කතාවක් නැතිව දිගු නිහඬිතාවයකින් පසුවූයේ කල්පනා සයුරේ ගිලී සිටි බැවිනි. සවිනි නිහඬවම සීතා නැන්දා විඳි ජීවිත සතුට සිතින් මෙනෙහි කරමින් තමාට විඳින්ට සිදුව ඇති වේදනාකාරී ජීවිතය හා මුසුකළාය.

“අපේ මහත්තය වැඩට ගිහින් ආවට පස්සෙ ඉන්නෙ මාත් එක්කම තමා. මම උයනකොට මෙතනට වෙලා දවසේ වෙච්ච සිද්ධි හැම එකක්ම කියනවා. සමහර සිදුවීම් කිය කියා හිනාවෙනවා. ඒත් එයාට කලිංම යන්නවුනානේ” කතාව නවතා සීතා නැන්දා දිගු සුසුමක් හෙළුවාය. ක්ෂණයකින් සීතා නැන්දාගේ දෑස් අගින් වට කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා වැටෙද්දී ඇය එය දෑත් එක්කොට ඇඟිලි තුඩින් දෙපසට පිසදැමුවාය.

“අනේ නැන්දා මේ මොකද? අපි අතීතය ගැන කතානොකර ඉමු” සීතා නැන්දා ළඟට පැමිණි සවිනි හිස පිරිමදිමින් පවසද්දී සීතා සවිනිව තම සුරතින් තරුලුකරගත්තේ තම ආදරණීය දියණියක් තුරුලට ගන්නාසේය.

“නෑ දුවේ මම මගේ මහත්තය ගැන හිතල හැම වෙලාවෙම සතුටින් ඉන්නා කෙනෙක්. එයා මම හැමවෙලේම සතුටින් තැබුවා. මගේ දුවත් එහෙම වෙන්න ඕන” සීතා නැන්දා සවිනිව තව තවත් තුරුල්කරගනිමින් පැවසුවාය. සීතා නැන්දාගේ වදනින් සවිනිගේ සිත කීරිගැසුණාය. නෙතු අගින් කඳුළු කඩාවැටෙන්ට වූයේ ඇයටත් නොදැනීය. සීතා නැන්දා විඳි සතුටට තමන්ද අපේක්ෂා කළ ආකාරයත් ඒ වෙනුවෙන් සිහින මැවූ ආකාරයත් සවිනිට යළි යළිත් මතකයට ආවාය. ඇය සීතා නැන්දාගේ හිස පිරිමදිමින් තව තවත් ළංවෙද්දී සවිනිගේ දෑසින් වැටුණු කඳුළු සීතාගේ දෙවුර මත වැටෙද්දී ඇය සවිනිගේ මුහුණ දෙසට හැරී බැලුවේ සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමටය.

“ඈ... මොකද? දුවේ මේ අඬන්නෙ. මගේ කතාවට දුවටත් දුක හිතුනද? අනේ රත්තරං අපි ඔය පරණ කතා නවත්තල ඔන්න උයන්න කලින් තේ ටිකක් බිල ඉඳිමු. ඉන්නකො මම හදන්න”

“නෑ. නෑ. මම හදන්නම්. නැන්දා ඔහොමම වාඩිවෙලා ඉන්නකො” සවිනි යළි තේ පිළියෙලකරන්නට සූදානම්වද්දී සීතා නැන්දා රාත්‍රියට උයන්නට අවශ්‍ය කළමනා සූදානම්කරන්නට විය. ඒ අතර කාමරයේ තිබූ සවිනිගේ ජංගම දුරකථනය නාදවුව ද ඇයට එය නොඇසුනාය.

“අන්න දුවේ ඔයාගේ පෝන් එක සද්දෙවෙනවා” සීතකරණයේ තිබූ එළවළු එළියට ගනිමින් සීතා නැන්දා පවසද්දී සවිනි වහා කාමරය වෙත දිව ගියා ය.

“දෙවියනේ නුවන්” නාදවන දුරකථනයේ දිස්වෙන රූපය දුටු සිවිනිට කියවුනේ ඉබේටම ය. සති කීපයක් නිහඬව සිටි නුවන්ගෙන් ඇමතුමක් ලැබීම ගැන සවිනිට අසීමිත සතුටක් දැනුණද මේ හදිසියේ කතාකරන්නේ තමා හා යළි ගැටුමක් ඇතිකරගන්නදැයි යන සැකය ද ඇය තුළ තිබුණා ය. සවිනි ඇමතුම ගත්තේ ගැහෙන හදවතින් යුතුව ය.

“හෙහ්...හෙලෝ”

“ඔයා වැඩකද? හිටියෙ. මම පොඩි පණිවුඩයක් කියන්න ගත්තෙ”

සති කීපයකට පෙර යකෙකු සේ හැසිරුණ නුවන් අද මෙතරම් සන්සුන්ව කතාකරන්නේ ඇයි ද යන්න සවිනිගේ සිත තුළ ඇතිකළේ දැඩි කුතුහලයකි.

“නෑ. මම සීතා නැන්දා එක්ක රෑට උයන්න හැදුවෙ” සවිනි සන්සුන්ව පැවසුවා ය.

“මේ, මම හොඳ ඩොක්ටර් කෙනෙක් බැලුවා. එයා ඉන්දියන් ඩොක්ටර් කෙනෙක්. අපි වගේ අයට ගොඩාක් උදව්කරපු කෙනෙක්ලු. ඩොක්ටර් හමුවෙන්න වෙලාවක් දාගත්තා. මම හෙට එනව ඔයා එක්කගෙන යන්න. සූදානම්වෙලා ඉන්න”

නුවන් නොනවත්වා කියාගෙන ගිය වචන සවිනිගේ හෘද ස්පන්දනය වැඩිකරන්නක් විය. සවිනි අසා සිටියා මිස කිසිවක් නොකීවා ය.

“ඇයි කතා නැත්තෙ. විහිළු නොවෙයි. දැන් ඔයා සතුටින් ඉන්න. මම හෙට උදේ එනවා ලෑස්තිවෙලා ඉන්න. බුදුසරණයි!”

එම වචන කීපය සවිනිගේ දැවෙන සිතට එක්කළ මහා දිය ධාරාවක් සේ දැනුණි. දිගු සුසුමක් හෙළා සිත සැහැල්ලු කර ගත් සවිනි ඇඳමත වාඩිවී කීහිපවරක්ම අතරැදි දුරකථනය සිපගත්තා ය.

 

 

 

ඔබේ කෙටිකතා පහත ලිපිනයට

යොමුකළ හැකිය.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකතනය 011 2429264

විද්යුත් තැපෑල:

[email protected]

Comments