සිංහල සිනමාවේ ‘ලස්සන කෙල්ල’ | සිළුමිණ

සිංහල සිනමාවේ ‘ලස්සන කෙල්ල’

 

යකඩ පාලම දෙදරවා ගෙන උමතු වෙසින් දුවන වාහනවල ගොරහැඬි හඬත්, ඉවුරු තලා නොනැවත ගලන ගංගාවේ සුසුම් ලෑමත් අබිබවාගෙන මවකගේ දුක් හඬක් පැල්පතකින් නික්තු විය.

‘මොකද බං කෑ ගහන්නෙ?“ යාබද ගෙදර මැගී නැන්දා ඩොටීගේ කටහඬ ඇසුණු කෙණෙහිම උස් හඬින් ඇසුවාය.

“කොලු පැටියට ආයිත් අසනීපෙ හැදීගෙන එනව වගෙ. කළු ඉංගිරියාවත් ගිලිලා.“ ඩොටී කෑගැසුවාය.

ඩොටී එක පාරට සෝමසිරිගේ දත් ඇඳි දෙක අතරට දබරැඟිල්ල එබුවාය. එහෙත්, ඈ පමා වූවා වැඩිය. කොලුවාගේ දත් ඇඳි පූට්ටු වී හමාරය.

කුලසේන ෆොන්සේකා විසින් ලියන ලද ‘පාලම යට‘ නවකතාවේ එන පාතල ලෝකයේ අපාගත වූ ගැහැනියක ; ඩොටී ගේ දුක්බර කතාව රිදී තිරයේ මැවූ ගීතා කුමාරසිංහ නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනිය ගේ වාසනාවන්ත, වසර වූයේ 1990 ය. 1991 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සරසවි සම්මාන උලෙළේදී සම්මාන 10ක්, ස්වර්ණ සංඛ සම්මාන උලෙළේදී සම්මාන 09ක්ද, ඕ. සී. අයි. සී. උත්තමාචාර සම්මාන 07 කින්ද, සම්පූර්ණ සම්මාන 26 කින් පුද ලැබූ එකම චිත්‍රපටයේ හොඳම නිළිය පමණක් නොව හොඳම නිෂ්පාදිකාව වූයේ ගීතා ය. එපමණක් නොව රීගල් සිනමාහලේ දින 100ක් නොකඩවා එතෙක් තිබූ සියලුම ආදායම් වාර්තා බිඳ හෙළූ මේ චිත්‍රපටය ද එය විය. අවුරුදු ගණනාවකින් තමා දුටු හොඳම චිත්‍රපටය යයි මහාචාර්ය සරච්චන්ද්‍රගේ රෙකමදාරුවක් ද, ලෝ පසිඳු චිත්‍රපට විචාරක ඩොනල්ඩ් රිචී ගේ ප්‍රශංසාවට ද ලක්වූයේ “පාලම යට“ ය.

අවුරුදු රූප සුන්දරී තරගයකින් මුල්තැන දිනූ ළාබාල තරුණියක් වූ ගීතා තමන් රඟපෑ එක චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වීමට පෙර චිත්‍රපට පහකට ගිවිසුම් අත්සන් කිරීමට සමත් වූවාය.

“මම පුංචි කාලේ ඉඳලම රඟපෑම ගැන මගේ හැඟීමක් තිබුණෙම නෑ. තාත්තා චිත්‍රපට බලන්න අවසර දුන්නේ නැහැ. මම පවුලේ ලොකු දුව නිසා තාත්තගේ ආදරය වැඩියෙන් තිබුණා. මගේ පියා විජේපාල කුමාරසිංහ මුලින්ම නාවික හමුදාවේ ප්‍රධාන කාර්යාලයේ ගබඩා පාලකවරයෙක් හැටියට වැඩ කළා. පොත්පත්, සඟරා කියවන්න තාත්තා රුසියෙක්. පුවත්පත්වලට ලිපි ලිව්වා. විශේෂයෙන් බෞද්ධ ලිපි. මේ නිසා තාත්තා “සිංහල බෞද්ධයා“ පුවත්පතේ උප කර්තෘවරයෙක් හැටියට කාලෙක කටයුතු කළා. මම නිළියක් හැටියට පාසල් වේදිකාවේ කැපී පෙනුණා. මගේ ගම බෙන්තොට හබුරුගල. ඇල්පිටියේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත් කාලේ පාසල් වේදිකාවේ ‘චෝර පබ්බත‘ නාට්‍යයේ කුණ්ඩල කේසිගේ චරිතය රඟපෑම දැකල විදුහල්පතිතුමාත් ගුරුවර ගුරුවරියන් මම අනාගතයේ හොඳම නිළියක් වෙනවා කියලා අනවැකි කිව්වා. මට එතකොට තමයි චිත්‍රපටයක් මුලින්ම බලන්න ආස හිතුණේ. අසල්වැසි අක්කා කෙනෙක් එක්ක එකල තිරගත වූ ‘සංදේශය‘ උදේ දර්ශනය බලන්න අලුත්ගම ලිඩ්චයි සිනමාහලට ගියේ ගැහෙන හදවතකින්. මොකද ගෙදරට හොරෙන් ගිය නිසා. එදා ඒ චිත්‍රපටයේ රඟ පෑ කාන්ති ගුණතුංගගේ රඟපෑමට මගේ හිත ගියා.“

“ඔය කාන්ති ගුණතුංග අපේ ගමට කිට්ටු අම්බලන්ගොඩ උපන් කෙනෙක්. පංච කල්‍යාණි තරගයෙනුත් මුලට තෙරුණා.“ කාන්ති ගැන අසල්වැසි අක්කා මට කිව්වේ ආඩම්බරයෙන්.

තම ලොකු දුව චිත්‍රපටය හොරෙන් බලන්න ගිය බව ඇසූ ගීතාගේ තාත්තා ගෙදර දෙවනත් කළේය. එහෙත් මේ තාත්තා ලොකු දුවට දුන් දඬුවම සුන්දර එකකි.

“ලොකු දුව ගෙදරින් අවසර නොගෙන ගිය මේ ගමන බරපතළ වරදක්. දැන් බිම දණ ගහගෙන බලපු බයිස්කෝප් එකේ කතාව අම්මටයි මටයි ඇහෙන්න කියන්න.“

ලොකු දුව කතාව කීවේ ආලවට්ටම් දමා දෙබස් කියා රඟපාමිනි. ඒ චිත්‍රපටි කතාව ඇසූ අම්මාටත්, තාත්තාටත් ‘සංදේශය‘ චිත්‍රපටය බලන්න සිතුණා.

“මීට පස්සේ ලොකු දුව බයිස්කෝප් බලන්න යන්නේ අම්මා එක්ක විතරයි.“ පියා නීතියක් පැනවූයේ සිනාසෙමිනි.

ගීතා පුංචි කාලයේ සිහින මවා ඇත්තේ ගුවන් සේවිකාවක් වීමටය. අම්මාත්, තාත්තාත් සමඟ ගිය මුල්ම ගුවන් ගමනක් නිසාය. මේ අතර ‘සවස‘ පුවත්පත බෙන්තොට සංවිධානය කළ ‘අවුරුදු රූප සුන්දරී‘ තරගයට ගීතා ඉදිරිපත් කරන ලෙස අසල්වැසියෝ ඇගේ දෙමාපියන්ට බලකර සිටියෝය. මෙහිදී තාත්තා වඩාත් ඇහුම්කන් දුන්නේ පවුලේ හිතවෙතකු වූ අමිත අබේසේකරගේ ඉල්ලීමය. ගීතාට ගෙදරින් අවසර ලැබිණ.

“මට එතකොට වයස 16 විතර ඇති. එදා ‘අවුරුදු රූප සුන්දරී‘ තරගයෙන් ජය ගන්නා ජයග්‍රාහිකාවට යස පාලිත නානායක්කාර ගේ අලුත්ම චිත්‍රපටයේ නිළි වරම් ලැබෙන බවද ප්‍රචාරය වී තිබුණා. මා ඉදිරිපත් වුණේ ඒ නිළිවරම ලබා ගැනීමට ද? යන ප්‍රශ්නය මට තවමත් හිතෙනවා. එදා විනිශ්චය මණ්ඩලයට යස පාලිත, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොනල්ඩ් ප්‍රනාන්දුත් හිටියා. මම තරගයෙන් ජයගත්තා.

මම පාසලට ගියාම හුඟ දෙනෙක් අපේ පාසලට කීර්තියක් ලබා දුන්නාට සතුටු වුණා. මම ඒ කාලේ ඉගෙන ගත් හඹුරුගල පාසලේම කලාවට ළැදි ශිෂ්‍යයෙක් හිටිය. ඔහුගේ නම පද්මසේන අතුකෝරාළ. ඔහු පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘මඩොල් දූව‘ චිත්‍රපටයේ ජින්නා ලෙස රඟපෑවා. ඉහළ පන්තියක හිටි කවි ලියන්න දක්ෂතා ඇති කුලරත්න ආරියවංශ පසුව සරසවිය සම්මාන දිනූ ගීත රචකයෙක් වුණා. පසුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා .“ ගීතා රූප සුන්දරී වූ හැටි කීවාය.

“නයනා“ චිත්‍රපටයේ රඟපෑමට ගාමිණී ෆොන්සේකාත්, මාලිනී ෆොන්සේකාත් පැමිණ සිටි ආරංචිය ඇසූ අමිත අබේසේකර මාමා තමා ඉගෙන ගත් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දී දැන හැඳින සිටි ගාමිණි හමුවීමට ගියේය. අමිත අබේසේකර දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු විසින් අඳින ලද විකට චිත්‍ර ලංකාදීපයේ පළ වූයේ ‘රාලහාමි‘ චරිතය මුල් කර ගෙනය. පසු කලෙක ඉංග්‍රීසි තීරු ලිපි රචකයෙකුව සිටි ඔහු මෙරට සිටි උගතෙකු වූ ඊ.ඒ. අබේසේකර මුදලිතුමාගේ පුතා ය.

“ගාමිණී, අපේ ගමෙත් ලස්සන කෙල්ලෙක් ඉන්නවා. මේ ළඟදි ‘රූප සුන්දරි‘ තරගයෙන් දිනපු. රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්“

“අයියේ, අපි යන්න ඉස්සර වෙලා එයාව මෙහාට එක්ක එන්න පුළුවන් ද?“

අමිත මාමාගේ ආරංචිය ඇසූ ගීතාට නිළියක් වීමටත් වඩා හිතුනේ තම ප්‍රියතම නළු නිළි යුවළ වූ ගාමිණී හා මාලිනී දැක බලා ගැනීම ය. ඒ ගමනින් ගාමිණී ඇයට චිත්‍රපට දෙකක නිළි වරම් දීමට උපකාර කළේය. ගාමිණී කඩදාසියක් ගෙන චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහට ලිපියක් ලියා දුන්නේය. මේ අනුව නීල්ගේ ‘ලස්සන කෙල්ල‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට ගීතාට අවස්ථාව ලැබුණා. මේ කාලයේම කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘වාසනා‘ හා යස පාලිත නානායක්කාරගේ ‘ඇගේ ආදර කතාව‘ චිත්‍රපටවල ගීතා රඟපෑවත් 1975 වසරේ මුලින්ම තිර ගත වූයේ ‘ලස්සන කෙල්ල‘ චිත්‍රපටයයි.

ගීතාගේ කුඩා අවදිය රසවත් සිද්ධීන්ගෙන් පිරී තිබුණාය.

“ මගේ අම්මා උදුලාවතී සිරිවර්ධන. මම පවුලේ වැඩිමල් දුව. මට නයනා, කෝකිලා, දම්මිකා, දිනූෂා, ශ්‍යාමා කියලා නංගිලා පස් දෙනෙකුත් තිලක් නම් මල්ලී කෙනෙක් ඉන්නවා. තව මල්ලී කෙනෙක් වූ උපේන්ද්‍ර කලකට ඉහත මිය ගියා. පොඩි කාලේ ඉඳලා මම භය නැහැ. සෑම තැනදීම නායකත්වය ගත්තා. 1960 මහා මැතිවරණයට බෙන්තර ඇල්පිටිය ආසනයට තරග කළ ආර්. ජී. සමරනායක අපේ තාත්තාගේ යාළුවෙක්. ඔහුගේ රැස්වීමට ඩඩ්ලි සේනානායක මහත්තයා එන දවසේ එතුමාට මල්මාලාවක් දාලා පිළිගත්තේ මම. ඩඩ්ලි මහත්තය කටේ තිබුණ දුම් පයිප්පය ඉවතට ගෙන හිස පාත් කරලා මගේ මල්මාලාව පිළිගත්තා. මේක මට අමතක නොවන සිද්ධියක්. මම කලක් අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ නෙට්බෝල් කණ්ඩායමේත් දක්ෂ සාමාජිකාවක්.

මගේ මුල්ම චිත්‍රපටය වූ ‘ලස්සන කෙල්ල‘ චිත්‍රපටයේ මුල්ම රඟපෑම කරන්න ගිය වෙලාවේ අකරතැබ්බකට මුහුණ දුන්නා. මම රඟපෑවේ තිස්ස විජේසුරේන්ද්‍ර සමඟ. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ‘මා ලස්සන කෙල්ලක් ලොව පුරා සෙව්වෙමි“ පසුබිමින් වාදනය වෙද්දී තිස්ස මා ළඟට ඇද මුහුණ ළං කර ගත්තා. මට අත්දැකීම් නැති නිසා ඔහුගෙන් මුහුණ ඉවතට ගත්තේ නොරිස්සුමින්. යළිත් තිස්ස මා ළඟට එනකොට මුහුණ ඒ විදිහටම තරහින් ප්‍රතිචාර දැක්වූවා.

“කට්.... කට්.....“ අධ්‍යක්ෂ නීල් කෑගැසුවා.

“ඔයා තිස්සගේ පෙම්වතී. හිනාවෙලා ආදරෙන් ඒකට ප්‍රතිචාර දක්වන්න“ නීල් මට සන්සුන්ව කිව්වා.

“අනේ සොරි, මිස්ටර් නීල්. මට දැන් තේරුණේ.“

ඊට පස්සේ මම නියම ප්‍රේමවන්තියක් හැටියට තිස්සට කරදරයක් වන තරමට ප්‍රතිචාර දැක්වූවා.“ ගීතා සිනාසෙමින් කීවාය.

ගීතාගේ චිත්‍රපට රංගනය ඇරඹෙන්නේ 1975 වසරේ සිට ය. ඉන්පසු ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට රැසක ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, තිස්ස විජේසුරේන්ද්‍ර, ශෂි විජේන්ද්‍ර සමඟ ඕ රඟපෑවාය. ඒවා අතර චණ්ඩි පුතා, අංජනා, ජය අපටයි, ජය සිකුරුයි, රජ වැඩකාරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ, ඔන්න මාමේ කෙල්ල පැනපි, සාරා, කෝලංකාරයෝ, ඉන්ස්පෙක්ටර් ගීතා, සළඹක් හඬයි කැපී පෙනෙයි. ඇය රඟ පෑ සුවෙසෙස් සිනමා චිත්‍රපට ඉහත කී වාණිජ චිත්‍රපට අබිබවා නැගී සිටියාය. මරුවා සමඟ වාසේ (රන්මැණිකා), පොඩි මල්ලී (නාලිකා), කරුමක්කාරයෝ (සෝමා අක්කා), සිරිබෝ අයියා (එමා නෝනා), සතර දිගන්තය (රඟා), මහගෙදර (කුමාරි), පාලම යට (ඩොටී), අඹු සැමියෝ, වාලම්පුරි, දමයන්ති, රාජ්‍ය සේවය පිණිසයි, රන් දිය දහර මේ චිත්‍රපට අතර කැපී පෙනෙයි. පෙම්බර මධූ චිත්‍රපටයේ ඩල්සිගේ චරිතය හා කරුමක්කාරයෝ හි සෝමා අක්කා ලිංගිකත්වය මතු කළ අනුරාගී මත භේදයට තුඩු දුන් ඇය රඟ පෑ චිත්‍රපටය.

“මම ‘සිරිබෝ අයියා‘ චිත්‍රපටයේ රඟ පෑ එමා නෝනාගේ චරිතය මා මුල් යුගයේ රඟ පෑ මගේ රංගන වෙනස් කළ චරිතයක්. සිරිබෝ හාමිගේ කරත්තය නවත්වන ප්‍රසිද්ධ උඩවෙල කඩය භාර තලතුනා මුදලාලිගේ තරුණ දඟකාර බිරිඳ එමා නෝනා සිරිබෝ හාමි හා අනියම් සබඳතාවක් ඇති ඔහු එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. සිරිබෝ හාමි ගමේ නවාතැන් ගෙන සිටින ගමේ කපුරුහාමිගේ ගෙදර. ඔහුගේ දියණිය බිසෝ සිරිබෝ හාමිගේ සිත දිනා ගන්නවා. ඇය කරකාර බඳිනවාට දෙමාපියොත් කැමතියි. එමා නෝනාගේ කඩය බංකොලොත් වෙලා මුදලාලිත් මිය ගිය පසු ඇය බලං ඉන්නේ සිරිබෝ හාමි සෙනෙහස ලබන්න. සිරිබෝ හාමි වැඩි මුදල් හොයන්න ගල්වැඩපළේ වැඩට යනවා. ගල් බෝරේ වෙඩි බෙහෙත් පුපුරා සිරිබෝ හාමි අන්ධ වුණාම බිසෝව දෙමාපියන් වෙනත් කෙනෙකුට විවාහ කර දෙන්නේ ඇගේ බලවත් අකමැත්තෙන්. කාගෙත් පිළිසරණක් නැති අන්ධ සිරිබෝ හාමි අත් වාරුවෙන් ගාට ගාටා එමා නෝනා සොයා යනවා. කඩය විවෘත කොට සීවලි හාමුදුරුවන්ට පහන තබා වැඳ මිදුලට එන එමා නෝනා හිමිදිරි පාන්දර සැරයටියත් බිම අනිමින් කඩය දෙසට එන අමුත්තෙක් දකිනවා. කොතරම් ජරා ජීර්ණව ඇතත් ඇය ඒ රුව හඳුනා ගත්තා. ‘සිරිබෝ හාමි‘ ඇගේ තොල් මිමිණුවේ ඇයට හොරා. ඇගේ නෙත් කඳුළු පිරුණා. මඟට දිව ගොස් ඔහුගේ සැරයටිය අතින් අල්ලා ගත්තා. මේ එමා නෝනාගේ චරිතය රඟපාද්දි අන්තිම දර්ශනයේ මට ඇත්තටම ඇඬුනා. මනුෂ්‍යත්වය මතුවී රාගි අබිබවමින් මා රඟ පෑ අනුවේදනීය චරිතයක් මේ. මේ චරිතය වඩාත් මතු වූයේ ජෝ අබේවික්‍රම කියන විශිෂ්ට නළුවා ගෙන් මට ලැබුණු සහාය නිසා.“ ගීතා වරක් අපට කීවාය.

ගීතා ඩොටීගේ ප්‍රධාන චරිතය රඟපාමින් ඒ චිත්‍රපටය නිෂ්පාදනය කොට ‘සම්මාන වැස්සක්‘ ලැබූ ‘පාලම යට‘ චිත්‍රපටයේ රඟපෑමට පෙර ග්‍රෑන්ඩ්පාස් තොටළඟ පාලම යට ජීවත් වූ මිනිසුන් හැඳින, මිත්‍ර වී, ඔවුනගේ ගඳ, සුවඳ, ආදරය හැඳින අත්දැකීම් ලබා ගැනීමට කිහිප වතාවක්ම ගියාය. ඒ යන ගමන්වලදි තෑගි බෝග, කුඩා දරුවන්ට චොකලට්, ඇඳුම් ගෙන යාමට ද අමතක නොකළාය. වරෙක කාන්තාවන්ගෙන් ඉගෙන රෙද්ද හැට්ටය පරිසරයට උචිත ලෙස ඇඳ ගෙන පාලම යට ගෙවල් පේළියේ මිනිසුන් හමුවීමට ගොස් කතාබහ ගති පැවතුම්, රළු දෙබස් ඛණ්ඩ අසා මතක තබා ගත්තාය. ඇය ඔවුන්ගේ අමුත්තියකට වඩා සහෝදරියක් වන පමණට පදම්ව සිටියාය.

1990 සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘පාලම යට‘ චිත්‍රපටය සමඟ ගීතා ද සහභාගි වූවාය. මේ උලෙළ වෙනුවෙන් ‘සරසවිය‘ පත්‍රය නියෝජනය කිරීමට මට ද, ‘ද අයිලන්ඩ්‘ පත්‍රය නියෝජනය කරමින් බී.සී. පෙරේරා ද සහභාගි වූහ. චිත්‍රපට උලෙළේ ආරම්භක දිනයේ ප්‍රධාන අමුත්තා වූයේ සිංගප්පූරු රජයේ මාධ්‍ය ඇමතිවරයාය. උලෙළෙන් පසු විදේශ රටවලින් සහභාගි වූ රූමත් නිළියන් සිටිය දී ඇමතිවරයා ගීතා දැක ඇය අසලට පැමිණියේය.

“ඔබ පැමිණියේ කොයි රටින් ද?“

“මම ශ්‍රී ලංකාවෙන්.“

“ඔබ රඟපාන චිත්‍රපටය නරඹන්න අනිවාර්යෙන්ම මම එනවා.“

“බොහොම ස්තුතියි.“

ගීතා එදා හැඳ සිටි සුදු හා දම් පැහැති සාරිය මනා රූ සපුව මතුවන ලෙස හැඳ ඇමතිවරයා සමඟ සිටි අයුරු දැක්වෙන ඡායාරූප ශිල්පීන් ගත් ඡායාරූප පසුදා සිංගප්පූරුවේ ඉංග්‍රීසි පත්‍රවල මුල් පිටුවේ පළ වී තිබුණි.

“ලකී ලේඩි....“ බී. සී. පෙරේරා මට කොඳුරා කීවේය.

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටි වලිගය‘ චිත්‍රපටයේ නිල්මිණි ගේ චරිතය තමාට අභියෝගයක් වූ බව ගීතා අපට කියා ඇත. ඇයට රඟපෑමට ලැබුණ සැමියාට ද්‍රෝහි වන නපුරු චරිතය සිනමා රසික රසිකාවියන්ගෙන් දොස් අසන්නට වේදෝයි සැකයෙන් දෙගිඩියාවෙන් ඇය සිටියාය. ගාමිණී ඇය ධෛර්ය කළේය.

“ගීතා ඔයා චිත්‍රපටයේ රඟපාන්නේ චරිතයක්. මනුස්සයෝ චිත්‍රපටවල සුදු පිරුවට අඳින චරිත වගෙම අනික් චරිතත් රඟපාන්න ඕනෑ.“ ගාමිණී කීවේය.

චිත්‍රපටය නැරඹූ රසික රසිකාවියන් 90%ක් ගීතාට ලියා එව්වේ ‘ඔයා කරපු හොඳ චරිතයක්‘ කියාය.

“මම රඟපෑ ‘පොඩි මල්ලී‘ චිත්‍රපටයේ නුවරඑළියේ බඹරකැලේ දී (1976) රූප ගත වන අවස්ථාවේ මා ගමන්ගත් මෝටර් රිය ලොකු අනතුරකට ලක් වුණා. මම හිතුවා ‘මළා‘ ම කියලා. මුහුණෙ ප්ලාස්ටික් සර්ජරියක් කළා. ඒත් චිත්‍රපටයේ චරිතයට ආදරය කළ නිසා. මේ අනතුරත් ජීවිතේට අමතක නෑ. මම කැමතිම චිත්‍රපටයක් ‘ලොකු දුව‘. එහි නිෂ්පාදිකාවත් ප්‍රධාන නිළියත් මම. මම මගේ පවුලේ ලොකු දුව නේ. පුණ්ණා කියන මේ චරිතයට මම ආදරය කළා. ජීවිතයේ නොලද සුඛ විහරණවලට වඩා පුංචි කාලේ වගේ එක වේලක් හරි කාලා පවුලේ අය සමඟ සතුටින් සිටීම පරම සතුට බව වටහා ගන්නා චරිතයක් පුණ්ණා. මේ චිත්‍රපටයේ පුණ්ණා මාරසිංහ නම් ධනවත් මුදලාලි (ගාමිණී ෆොන්සේකා) කෙනෙකුගේ අනියම් බිරිඳ වුවත් ඒ ඔහුගේ සැප සම්පත් හමුවේ තවදුරටත් වහලියක් වන්නේ නැහැ. මා වඩාත් දුෂ්කර ක්‍රියා කළේ ‘මරුවා සමඟ වාසේ‘ චිත්‍රපටය සඳහා මහ කැලේ විජය කුමාරතුංග සොයා යන ගමන සහිත දර්ශනය මට කිසිදා අමතක වෙන්නේ නැහැ. ‘මහ ගෙදර‘ චිත්‍රපටයේ මම රඟ පෑ කුමාරි මල්වැත්ත විප්ලවකාරි චරිතයක්. වලව්වක උපන්නත්, වලව්වට එරෙහි විප්ලවවාදි, කුල භේදවලට එරෙහි වන මේ චරිතයට මම කැමති මමත් ඒ වගේ චරිතයක් නිසා මගේ ජීවිතයේ සැඟවී ඇති නිසා ද?“ ගීතා ඇසුවාය.

1955 ජූලි 05 වෙනිදා බෙන්තොට හඹුරුගල උපන් කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ ගේ පියා වූ විජේපාල කුමාරතුංගගේ ලොකු අක්කා වූ අරුණා වික්‍රමපාල විවාහ වී සිටියේ ‘මැලිබන් මුදලාලි‘ නමින් ප්‍රකටව සිටි හින්නි අප්පුහාමි මහතාගේ සොහොයුුරු ඒ.ජී. වික්‍රමපාල මහතා සමඟය. ගීතාගේ පියා 1983 දී ද, මව 2016 දී ද මිය ගිය අතර සොහොයුරු උපේන්ද්‍රත් අද ජීවතුන් අතර නැත.

ගීතා තමා ඉපදි, හැදී වැඩුණ බෙන්තර කිසිදා අමතක නොකළාය. අද ඇය බෙන්තර නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තම ගමේ ජනතාවට හා ගාලු දිස්ත්‍රික්කයටම සේවය කොට උපරිම සතුටක් ලබන්නීය. වරක් ඇය ද්විත්ව පුරවැසිකම් දැරීම නිසා තම මන්ත්‍රීකම අහිමි කර ගත්තාය. ඒ කිසිවකින් නොසැලී ඉන්ද්‍රඛීලයක් සේ ජනතා සේවයට කැපවන්නි ඕ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිගටම කටයුතු කරන්නීය.

 

Comments