මුදල් නොව මිනි­සුන් දිනූ වෛද්‍ය ජය­ලත් ජය­ව­ර්ධන | සිළුමිණ

මුදල් නොව මිනි­සුන් දිනූ වෛද්‍ය ජය­ලත් ජය­ව­ර්ධන

• වෛද්‍ය කාවින්ද ජයවර්ධන

 

කෘතහස්ත දේශපාලඥයකු සහ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස මෙරට ජනතාව අතර ප්‍රකටව සිටි මගේ ආදරණීය පියාණන් වන දොස්තර ජයලත් ජයවර්ධනයන් දිවංගත වී මැයි 30දාට අට වසරක් සපිරේ. අභාවප්‍රාප්ත වන විට ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙසත් කටයුතු කරමින් සිටි එතුමා දේශපාලනයෙන් සහ වෛද්‍ය වෘත්තියෙන් ඔබ්බට ගිය ක්‍රියාකාරී සමාජ සේවකයකු විය. පියාණන්ගේ ජීවිතය තුළින් මා දුටු සුවිශේෂී ගුණාංගය වන්නේ ඔහු වෙතින් නිරන්තරයෙන් ප්‍රකට වූ මානව හිතවාදී බවයි. එම නිසාම එතුමාගේ අභාවයෙන් අට වසරක් ඉක්ම ගියද එදා මෙන්ම අදත් මතුවටත් ඒ ගුණ කදම්භයේ රශ්මි මාලාව අප ජීවිත ආලෝකවත් කරනු නිසැකය.

ජාඇල වැලිගම්පිටියේ සමූහ ව්‍යාපාර අධිපතිව සිටි (නැසීගිය) බැසිල් ජයවර්ධන සහ ඩේසි වයලට්‌ ජයවර්ධන යුවතිපතින්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස 1953 වසරේ අගෝස්තු මස 16 වැනි දින උපත ලැබූ ජයලත් ජයවර්ධනයන් මූලික අධ්‍යාපනය ලැබුවේ කඳාන ද මැසනද් විද්‍යාලයෙනි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබාගත් හෙතෙම ඒ පිළිබඳ පශ්චාත් උපාධි හිමිකර ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ රුසියාවෙනි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියදී දේශපාලන කටයුතු සහ සමාජ සේවා කටයුතු පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඔහු එකල රතු කුරුස සංවිධානයේ සහ සෞඛ්‍යාදාන සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ද විය. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිටි දොස්තර ජයලත් ජයවර්ධනයන්, දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පවුලේ වෛද්‍යවරයා ද විය.

1994 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වූ දොස්තර ජයලත් ජයවර්ධනයන් එවකට එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී . බී. විජේතුංගයන්ගේ නායකත්වය යටතේ පක්ෂයේ වගකිව යුතු තනතුරු කිහිපයක්ම දරනු ලැබීය. 1998 වර්ෂයේදී ජාඇළ ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වූ එතුමා 2001 වර්ෂයේදී පැවැත්වූ මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්ෂයෙන් ජාඇළ ආසනය ජයගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, එක්සත් ජාතික පක්ෂයේ අතිරේක ලේකම් ආදී තනතුරු ද දරමින් දොස්තර ජයලත් ජයවර්ධනයන් ඉටුකළ මෙහෙවර සදානුස්මරණීයය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ ජාත්‍යන්තර මට්ටමින් ද හඬක් නැගූ දොස්තර ජයලත් ජයවර්ධන පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අන්තර් පාර්ලිමේන්තු සැසිවාරවලට අඛණ්ඩව සහභාගී වෙමින් ජාත්‍යන්තර තුළ සිය හඬ අවදි කළේ මෙරට සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමිනි. 2002- 2004 දක්වා කාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා සරණාගතයන් පිළිබඳ අමාත්‍ය ධුරය හොඹවමින් දොස්තර ජයලත් ජයවර්ධනයන් ඉටු කළ කාර්යභාරය එතුමාගේ දේශපාලන ජීවිතය තුළ වඩාත් සුවිශේෂී විය. එකල උතුරු නැඟෙනහිර ජනතාවට සාමය ඇතිව නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟීම සඳහා පමණක් නොව එම ජනතාවගේ මානව අයිතිවාසිකම් උදෙසා ද එතුමා මහත් කැපවීමෙන් කටයුතු කළේය. උතුර දකුණ යා කෙරුණු සාමයේ පෙර ගමන්කරු ලෙස කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධනයන් උතුරු නැඟෙනහිර මායිම් ගම්මානවල ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරීය. පියාගේ කාර්යබහුල ජීවිතය අප ආදරණීය මෑණියන් වූ උජිතා ජයවර්ධනයට මෙන්ම එවකට කුඩා දරුවන් වූ මට සහ නැඟණිය වින්ද්‍යාට ද අරුමයක් නොවීය. ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස තුවාල ලැබූ මායිම් ගම්මානයක ජීවත් වූ කුඩා දරුවන් පිරිසකගේ ඡායාරූප පෙළක් පෙන්වමින් පියා කම්පා වූ අයුරු අදත් මගේ මතකයේ වේ. ˝තාත්තව අපි ගෙදරදි දකිනවට වැඩිය දකින්නේ ටීවී එකෙන්˝ යැයි වරක් මගේ නැඟණිය වින්ද්‍යා පවසද්දී පියා ආදරයෙන් අප දෙදෙනා වැලඳගෙන පැවසුවේ ˝ඔයාලව බලාගන්න අම්මා, ආච්චි පවුලේ හැමෝම ඉන්නවා. ඒත් මේ ළමයි බලාගන්න තියා පැරසිටමෝල් පෙත්තක්වත් දෙන්න කෙනෙක් නැහැ˝ කියාය. පියාගේ ඒ මානව හිතවාදී බව ඔහුගේ හදවත සුන්දර කළ අනර්ඝම ගුණාංගය යැයි අදත් මට හැඟේ.

උතුරු නැඟෙනහිර මායිම් ගම්මානවල ජනතාවට ආරක්ෂාව සැලසීම සඳහා සයිරන් නලා බෙදාදීමට මෙන්ම බෞද්ධ සහ කතෝලික සිද්ධස්ථානවලටත් හින්දු කෝවිල්වලටත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නට ද එතුමා කටයුතු කළේය. ජාතික සහ ආගමික සහජීවනය ප්‍රමුඛ කොට සැලකූ දොස්තර ජයලත් ජයවර්ධනයන් බෞද්ධයන්ගේ මුඳුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මන්දිරයට සයිරන් නළා ලබාදීමටත් බොහෝ විහාරවලට බෞද්ධ ප්‍රතිමා ලබා දීමටත් ඇතැම් විහාරස්‌ථාන අලුත්වැඩියා කිරීමටත් මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළේය. එතුමා තම උපන් ගම වන ජාඇළ, වැලිගම්පිටියේ කොළඹ මීගමු මහා මාර්ගයේ සාන්ත ආනා දෙව් මැදුරට පිවිසෙන මංසන්ධියේ ශ්‍රී ලංකාවේ විශාලතම ශාන්ත ආනා මෑණියන්ගේ පිළිරුව ස්‌ථාපිත කිරීමට ද මූලිකව කටයුතු කළේය. කතෝලික බැතිමතකු ලෙස මරුද මඩු සිද්ධස්ථානය හා සම්බන්ධ වෙමින් ජාඇළ හා මීගමුව කතෝලික ජනතාවට සුවිශේෂ වූ මරුද මඩු මංගල්‍යයට දින ලබා දෙමින් මරුද මඩු බැතිය ප්‍රචලිත කිරීමටත් පුරෝගාමී විය.

වෛද්‍යවරයකු මෙන්ම ක්‍රියාකාරී සමාජ සේවකයකු ලෙස 'නෙත් පහන්' වැඩසටහන ආරම්භ කරමින් සුවහසක් ජනතාවගේ දෑස් පාදන්නට කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධනයන් 14 වසරක් අඛණ්ඩව රූපවාහිනී වෛද්‍ය වැඩසටහන් පවත්වමින් ජනතාවට ලබාදුන් දැනුම හේතුවෙන් 2010 වසරේදී ගිනස්‌ වාර්තාවකට ද හිමිකම් කීවේය. රූපවාහිනි සෞඛ්‍ය වැඩසටහන්වලට අමතරව පුවත්පත් ඔස්සේ සෞඛ්‍ය ලිපි මඟින් ජනතාවට දැනුම ලබාදීම ද එතුමා බොහෝ කැමැත්තෙන් සිදු කළේය.

සිය ජීවිතයේ අවසානය දක්වාම මානව හිතවාදියකු හා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ මගේ පියාණන්ගේ ඒකායන අරමුණ වූයේ මෙරට සියලු ජාති, ආගම්වලට අයත් ජනතාව ශ්‍රී ලාංකේය මවගේ එකම දරු කැලක් ලෙස එකම ධජයක් යටතේ ජීවත් වීම සඳහා අවශ්‍ය සාමකාමී පසුබිම නිර්මාණය කිරීමයි. ඒ අරමුණින් පිරිසුදු දේශපාලන ගමනක නිරත වූ එතුමා යුක්තිය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, භෞමික අඛණ්ඩතාව හා සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් නොබියව හඬ අවදි කළේය. ඒ වෙනුවෙන් පෙනී සිටියේය. ඒ නිසාම ඇතැම් පාර්ශ්වයන් එතුමාට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට උත්සාහ කළද එතුමා කිසිවිටෙකත් එල්ටීටීඊ සංවිධානයට උදවු කළ පුද්ගලයකු නොවූ අතර වරක් එල්.ටී ටී ඊ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ එතුමාගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි. තමන්ට එල්ල වූ චෝදනා, අපහාස උපහාස උපේක්ෂාවෙන් බැහැර කළ එතුමා, තමන්ට අවමන් කළ කිසිවකුට පෙරළා අවමන් කිරීමට හෝ මඩ ප්‍රකාශ කිරීමට කටයුතු නොකළේය. ˝ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ˝ යැයි කියමින් මඳ සිනහවෙන් ඒ සියල්ලට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ අව්‍යාජ සිනහවත් සරල දිවි පැවැත්මත් මගේ මතකයෙන් කිසිදිනෙක බැහැර නොවේ. එතුමා නිතර පැවසූ වදන් පෙළ වූයේ ˝මම හම්බ කළේ මුදල් නොව මිනිසුන්˝ බවය. ඒ වදන්වල අරුත සැබෑ ලෙසම වටහා ගන්නට මට හැකිවූයේ 2013.05.30 වැනි දින එතුමා මෙලොවින් නික්ම ගිය පසුවය. තම ආදරණීය මහජන නියෝජිතයාට, මානව හිතවාදී සමාජ සේවකයාට, දයානුකම්පාවෙන් පිරිපුන් වෛද්‍යවරයාට අවසන් ගෞරව දක්වන්නට වැල නොකැඩී ඇදී ආ මහා ජන ගඟ මගේ පියා දේශපාලනයෙන් රැස්කරගත් අමිල ධනය පොදු ජනතාවගේ ආදරය බව නිහඬවම සනාථ කළේය. පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අතර මෙන්ම විදෙස් දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අතර ද මගේ පියා කෙතරම් ජනප්‍රියව සිටියාද යන්න සනාථ වූයේ ඔහුගේ වියෝවෙන් කම්පාවට පත් පිරිස දකිද්දීය.

පියාගේ අභාවයෙන් පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මා තරග කළ පළමු මැතිවරණය වූ 2014 පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් දෙවැනියා බවට පත්කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌ ජනතාව මා හට ලබාදුන් සුවිශාල ජයග්‍රහණයෙන් සනාථ වන්නේ ද ඔවුන් මගේ පියාණන් වෙනුවෙන් දැක්වූ කෘතවේදී බවයි.

මගේ පියාණන්ගේ පිරිසුදු, ඍජු දේශපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් ඔහු අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කිරීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් බව මම විශ්වාස කරමි.

Comments