උඩ දියලුමේදී තරුණියකට දිවි අහිමි කළ අලි ගැහිල්ලේ ශෝකාන්තය | සිළුමිණ

උඩ දියලුමේදී තරුණියකට දිවි අහිමි කළ අලි ගැහිල්ලේ ශෝකාන්තය

ජීවිතය අනියත බව සැබෑය. එහෙත් නොසැලකිල්ල නිසා අකාලයේ ජීවිත විනාශ වීම ශෝකාන්තයකි. කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩදියලුම ප්‍රදේශයෙන් ඉකුත් 11 වැනිදා වාර්තා වූයේ එවැනි ශෝකාන්තයකි. එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණියට ජීවිතය අහිමි වූ අතර තරුණයාට ද බරපතළ තුවාල සිදු විය. අවාසනාවන්ත අයුරින් එසේ ජීවිතය අහිමි වූයේ මාතර කැකුණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. තරුෂි කවීෂා නම් 23 හැවිරිදි යුවතියකටය. සිය ජීවිතය එලෙස අවාසනාවන්ත අයුරින් නිමා කරන්නට ඇය උඩදියලුමට පැමිණ තිබුණේ සිය පෙම්වතා වන කුරුණෑගල පදිංචි ධනුෂ්ක මධුශාන් කළුආරච්චි සමඟය. කුරුණෑගල හෙදි පුහුණු ආයතනයක ඉගෙනුම ලබමින් සිටි තරුෂි ඉකුත් 11 වැනිදා අලුයම කුරුණෑගල සිට ධනුෂ්ක සමඟ හපුතලේට පැමිණ ධනුෂ්කගේ මිතුරකුගේ නිවෙසට ගොස් ඇත. එහිදී දිවා ආහාරය ගත් පෙම්වතුන් යුවළ මිතුරා ද සමඟ පස්වරු 3ට පමණ හපුතලෙන් පිටත්ව ඇත්තේ උඩදියලුම ප්‍රදේශයට පැමිණීමටය.

“අපි උඩ දියලුමට එනකොට හවස පහහමාරට විතර ඇති. අපි දෙන්නත් එක්ක යාළුවෝ දෙන්නත් ආවා. අපි බයික්වලින් එතැනට ගියේ. බයික් නවත්තපු ගමන් එතනට එක්කෙනෙක් දුවගෙන ආවා. ඔහු අපේ ගයිඩ් විදිහට අපිව පහළට එක්කගෙන ගියා. පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එතැන සුද්ද කළේ එයා කියලා, එතන ටෙන්ට් එක ගහන්න කිවුවා. උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න. ටෙන්ට් එක ගහන හරියට එන්නේ නැහැ කිවුවා. යාළුවො දෙන්නත් එක්ක එකතුවෙලා අපි කූඩාරම හැදුවා. ඊට පස්සේ අපි මෙතැන ඉන්නම් කියලා එයාලට යන්න කිවුවා.

ඉන්පසු ධනුෂ්කටත් කවීෂාටත් මුහුණ දෙන්නට සිදු වන්නේ ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු කළ ඒ ත්‍රාසජනක සිදු වීමටයි. 

අලියා ටෙන්ට් එකට කඩාගෙන ආවා. ටෙන්ට් එක ඉරුණා. අලියා අපි වටේම කැරකෙන්න ගත්තා. මට මොනවා වුණත් කමක් නැහැ එයාට මුකුත් වෙන්න එපා කියලා මම එයාව බදාගෙන එයාගේ උඩට ආවා. අලියා මාව පාගනවා දැනුණත් මම සද්ද නැතුව එහෙමම හිටියා. අපිව පාගලා අලියා ගියා. කවීෂගෙ බඩයි පපුවයි පාගලා තිබුණා. එයාගේ වම් කකුල කැඩිලා තිබුණා. මගේ වම් අත උරිස්ස පැත්ත පොඩි වෙලා වගේ තිබුණා. මම යාළුවන්ට කෝල් කරන්න සෑහෙන්න උත්සාහ කළා. ඒත් බැරි වුණා. අපි හිටපු තැනට ෆෝන්වලට සිග්නල් තිබුණේ නැහැ. කවීෂා මගෙන් ඇහුවෙම ඇවිදින්න කකුල හදාගන්න පුළුවන් වෙයි නේද කියලා. මම ආයෙමත් යාළුවට කෝල් කළා. කෝල් එක ගන්න යන්න කලින් ටිකක් එළිය තිබුණා. මම එයාව බැලුවා. එයා කතා කළේ නැහැ. මම නාඩි බැලුවා. නාඩි වැටෙන්නේ නැහැ. එයාගේ ඇස් දෙක යට කළුවෙලා. එතකොට තමයි දැනගත්තේ එයා මගේ ළඟ නැහැ කියලා.”

සිය දෙනෙත් හමුවේ පෙම්වතිය අවසන් සුසුම් හෙළා ඇති බව දැනගත් මොහො‍ෙත ධනුෂ්කගේ හදවත සසල වන්නට ඇත.

"මම අමාරුවෙන් බඩගාගෙන ගල් තලාවට ගිහින් කෝල් ගත්තා. යාළුවා කිවුවා මට 1990ට කතා කරන්න කියලා. මම ඒකට කතා කරලා විස්තරේ කිව්වා. පාන්දර පහයි තිහට විතර ඒ අය අපිව හොයාගෙන ආවා. යාළුවොත් ආවා. ඒ වෙද්දි මටත් හුඟක් අමාරුවෙලා හිටියෙ. එයාලා මාව රෝහලට අරගෙන ගියා.”

කොස්ලන්ද රෝහලෙන් දියතලාව රෝහලට මාරු කර එවනු ලැබූ ධනුෂ්ක එම රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන සිටි ඔහුගේ පෙම්වතිය කවීෂාගේ මරණ පරීක්ෂණය ද එම රෝහලේදීම සිදුවීම දෛවයේ සරදමක් වැනිය. ඒ, හල්දුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ. ආර්. රත්නවීර ඉදිරියේදීය. එහිදී කවීෂාගේ මෘත දේහය හඳුනා ගන්නට පැමිණි ඇයගේ පියා වී. ජී. රත්නසිරි පවසා තිබුණේ මෙවැන්නකි.

"මියගිය දුව කුරුණෑගල නර්සින් හෝම් එකේ දැනට අවුරුද්දක විතර ඉඳලා පාඨමාලාවක් කරමින් හිටියා. මේ 14 වෙනිදා එයාට ආයතනයක රැකියාවක් භාර ගන්න තිබුණා. එහෙම තියෙද්දී තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ගැන අපි කිසිම දෙයක් දන්නේ නෑ. අපට කිවුවෙත් නෑ. "

කවීෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ විසින් සිදු කරනු ලැබූ අතර, වන අලි ප්‍රහාරය හේතුවෙන් පපුවට හා උදරයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදු වී ඇති බව තීන්දු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොස්ලන්ද පොලිසිය විසින් සිදු කරයි.

ඇතැම්හු මෙම ස්ථානය රක්ෂිත ප්‍රදේශයක් බව පැවසුවත් එම ප්‍රදේශය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් නොවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේය. උසින් ලංකාවේ තුන් වැනි දියඇල්ල වන දියලුම ඇල්ල පටන් ගන්නා ස්ථානය වන මෙම උඩදියලුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 14ක භූමි ප්‍රදේශයකි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට අයත් මෙම ප්‍රදේශය ඉතාම සුන්දර සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි වුවත් මෙය වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා තිබී ඇත්තේ එහි අයිතිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති භූමියක් නිසා බව අප කළ විමසුමේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් වයි. එම්. උපුල් යාපා පැවසීය. එහෙත් මෙම ප්‍රදේශයට සංචාරකයන් පැමිණෙන බැවින් ඉකුත් පෙබරවාරි මාසයේදී ප්‍රාදේශීය සභාවේ වියදමින් මෙහි වැසිකිළි දෙකක් සහ ජල පහසුකම් ස්ථාපිත කළ බවත් කීවේය. දිනපතා පෙරවරු 8 සිට සවස 6 දක්වා එම ස්ථානය නැරඹිය හැකි අතර, සවස 6න් පසු ඊට ඇතුළු වීම තහනම් කර ඇත. භූමියේ අයිතිය තම ප්‍රාදේශීය සභාවට නීත්‍යානුකූලව පවරා දෙන්නේ නම් මෙම ස්ථානය පහසුකම් සහ ආරක්ෂා සහිත සංචාරක කලාපයක් බවට පත්කර ආදායම් ලැබිය හැකි තත්ත්වයට පත් කළ හැකි බව ද හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් වයි. එම්. උපුල් යාපා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙදියක ලෙස සුවහසක් දෙනා සුවපත් කරන්නට බලාපො‍ෙරාත්තුවෙන් සිටි කවීෂා අවසන් ගමන් ගියේ අලි - මිනිස් ගැටුමේ තවත් එක් අවාසනාවන්ත කතාවක් සනිටුහන් කරමිනි. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වසරේ මුල් මාස තුන තුළ දිනකට මෙරට එක් අලියෙකු මියගොස් ඇති අතර, එම මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයකට හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. 

ලෝකයේ ආසියානු අලි 35,000ක් පමණ ජීවත් වන අතර, එහි උප විශේෂයක් වන මෙරට අලි ගහනය 7,000ක් පමණ බව රජයේ දත්තවලින් කියවුණේ කලකට පෙරය. එහෙත් අලි ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් අහිමි වීම සහ මිනිසුන් සමඟ ගැටුමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ලංකාව් සැබෑ අලි සංඛ්‍යාව ඊට වඩා අඩු විය හැකි බව වනජීවී සංරක්ෂකයන්ගේ අදහසයි. ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ්ගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළෙමු.

“ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රදේශයෙන් සියයට 44ක අලි හා මිනිසුන් එකට ජීවත් වෙනවා. එම නිසා අලින්ගේ හැසිරීම ගැන අවබෝධය අත්‍යවශ්‍යයි. වන අලි ප්‍රහාරයෙන් තරුණිය මියගිය උඩදියලුම ප්‍රදේශයත් එවැනි එක් ස්ථානයක්. එය රක්ෂිත ස්ථානයක් නෙවෙයි. එවැනි ස්ථානයකට යන අයට ඒ ස්ථානය ගැන, එවැනි ස්ථානයක සිටිය හැකි සතුන් ගැන අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන් අලි ඇතුන්ගේ චර්යා ගැන අවබෝධයක් තිබිය යුතුයි. අලි මිනිස් ගැටුම්වලින් ලෝකයේ දෙවැනියට මිනිසුන් මැරෙන්නෙ ලංකාවෙයි. ඒ මරණ වළක්වා ගන්න නම් අලි ඇතුන්ගේ හැසිරීම ගැන අවබෝධය අවශ්‍යයි. අලියා කියන්නේ වේගයෙන් ක්‍රියාත්මක වෙන සත්ත්වයෙක්. බුද්ධිමත් සහ උපක්‍රමශීලියි. දුරක සිට වුවත් යමකින් ඉලක්කයට දමා ගැසිය හැකි සතෙක්. ඒ නිසා අලි සමඟ කටයුතු කළ යුත්තේ ඒ කරුණු ගැන සැලකිලිමත් වෙමින්”අලි ඇතුන්ගෙන් සිදුවන ජීවිත හා ශාරීරික හානි අවම කිරීම සඳහා යෝජනාවලියක් ද ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය වෙනුවෙන් ඔහු යෝජනා කළේය.

අලි සම්බන්ධව විශාල පරාසයක පරීක්ෂණ කළ විද්වතකු වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මෙරටට ආවේණික උප විශේෂයක් වන ආසියානු අලි සංරක්ෂණය කිරීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කරයි. උඩදියලුම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයක් හේතුවෙන් තරුණ ජීවිතයක් අකාලයේ අහිමි වීම අවාසනාවන්ත තත්ත්වයක් බව පවසමින්ම ඔහු ඒ සිදු වීමට තුඩු දුන් හේතු ගැන ද පැහැදිලි කළේය.

“ කැලෑවට ගිහින් කඳවුරු බැඳීම අනාරක්ෂිතයි. විශේෂයෙන් එවැනි තැනක කඳවුරු ගැසිය යුත්තේ හොඳින් සොයා බලලයි. තමන් නොදන්නා තැනක කෑම්පින් කරනවා නම් ඒ ප්‍රදේශය ගැන හොඳින් දන්නා ගයිඩ් කෙනකුගේ සහාය ලබා ගත යුතුයි. පරිසරය රස විඳින්න යනවා වගේම තමන්ගේ ආරක්ෂාව ගැනත් සිතිය යුතුයි. ලංකාවේ අලි ඇතුන් ඉන්න රක්ෂිත ප්‍රදේශ තිබෙන්නේ සියයට 30යි. සියයට 70ක් තියෙන්නේ රක්ෂත නොවන ප්‍රදේශ. රක්ෂිත ප්‍රදේශවලට යෑමේදී යම් යම් සීමාවන් පනවා තිබෙන නිසා මෙවැනි අනතුරු සිදු වීමට තිබෙන අවස්ථාව අවමයි. එම නිසා රක්ෂිත නොවන මෙවැනි විශේෂ ස්ථාන හඳුනාගෙන බලපත්‍ර සහිත මාර්ගෝපදේශකයන් සහිතව නියමිත ආකාරයට කඳවුරු බිම් පවත්වාගෙන යෑමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වාගත හැකියි”

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු පවසන්නේ ඉකුත් වසර 5ක කාලය තුළ ඉවක් බවක් නැතිව සංචාරය කිරීමට පුරුදු වූ ඇතැම් තරුණ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය තුළ ඇති කළ රැල්ල ද මෙවැනි සිදු වීම්වලට හේතුවක් වී ඇති බවය. 

“සංචාරය මානව ශිෂ්ටාචාරයට ආගන්තුක දෙයක් නෙවෙයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතේ යටත් විජිත රාජ්‍ය්‍යක් වුණාට පස්සේ ගොඩනැඟුණු අපේ රටේ වතු ආර්ථිකය සමඟ කඳු නැඟීම, ඇවිදීම සහ කඳවුරු බැඳීම ආරම්භ වුණා. නමුත් සුදු ජාතිකයන් ඒවා කළේ යම්කිසි ප්‍රමාණාත්මක දැනුමක් සහ අවදානමට පෙර සූදානමක් ඇතිව වුවත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. කිසිම අවබෝධයක් නැතිව කඳු නඟිනවා, කෑම්පින් කරනවා. රක්ෂිත භූමියකට ඇතුළු වෙද්දි අපේ නිදහස සීමා කිරීමට සිදු වෙනවා. සතුන්ගේ නිජබිම් අපි පරිහරණය කළ යුත්තේ ඒ භූමියේ ජීවත් වන කෘමීන්, උරගයන්, අපාදෙපා, බහු පා, සිවුපා ආදී සතුන්ට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය විනාශ නොකරමින්"

වන සතුන් ගැවසෙන ප්‍රදේශවල ආරක්ෂිතව සංචාරය කරන්නේ කෙසේද යන කරුණ පිළිබඳ ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. “කඳවුරු බැඳීම කළ යුත්තේ විධිමත්වයි. අවම වශයෙන් බිම ගල් සමතලා කර හදා ගත යුතුයි. සිමෙන්ති දාලා හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අලි ඇතුන් වගේ සතුන්ට පේන්න ගිනි මැළයක් ගහන්න පුළුවන්. එවිට සත්තු මඟහැරලා යනවා මිසක් කූඩාරමට ළං වෙන්නෙ නැහැ. විශේෂයෙන් මේ වෙද්දි මධ්‍යම කඳුකරයේ දේශගුණික වෙනස්කම් නිසා සතුන්ගේ චර්යාවනුත් වෙනස් වී තිබෙනවා. දිවියා, හඳුන් දිවියා, බළල් දිවියා ආදී බළල් පවුලේ සතුන් විශාල වශයෙන් එහෙ මෙහෙ සැරිසරනවා. ඔවුන් මිනිසුන්ට පහර දෙනවා. වාහනවල ලයිට් එළියට සතුන් කුපිත වෙනවා. මේවා ගැන දැනුම්වත් භාවය සහ පෙර සූදානමක් ඇතිව යෑම මිනිස්සුන්ට වගේම සතුන්ටත් හිතකරයි. මේ වෙද්දි පළාත් 9ම පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා. මධ්‍යම හා ඌව පළාත්වල ගම් මට්ටමින් මාර්ගෝපදේශකයන් පුහුණු කරලා ඔවුන්ගේ සේවය ලබා ගත හැකි නම් හොඳයි. එසේ නැතිව කිසිදු පුහුණුවක් නැති මාර්ගෝපදේශකයන් නිසා සංචාරකයන් අනතුරේ වැටෙනවා. ඕනෑම පරිසර පද්ධතියකට ඇතුළු වෙද්දි මිනිසුන් තමන්ගේ සමාජීය වගකීම් සහ යුතුකම් ගැන සිතිය යුතුයි. ඇතැම් සුවඳ විලවුන් සුවඳට කෘමින්, බඹරුන්, මී මැස්සන් වැනි සතුන් කුපිත වෙලා පහර දෙනවා. නිතරම සිහි කල්පනාව සහ පූර්ව සූදානමක් තිබිය යුතුයි. ඒ වගේම ඒ ප්‍රදේශයේ ගැමියන් කියන උපදෙස් පිළිපැදීමට තරම් නිහතමානී විය යුතුයි. මොකද ඒ පරිසරය ගැන හොඳින්ම දන්නේ ඔවුන්. විවිධ කාලවලදී සතුන්ගේ හැසිරීම්, චර්යාවන් වෙනස්වීම් ගැන වනජීවී දෙපාර්තමේන්තුව විසින් පොදු දැනුම්වත් කිරීමක් කළ හැකි නම් එයත් මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඉවහල් වෙනවා. සංවේදී පරිසර කලාපවලින් ඡායාරූපයක් ඇරෙන්න කිසි දෙයක් රැගෙන එන්න එපා, තමන්ගේ පා සලකුණු හැර කිසි දෙයක් එහි තබා එන්නත් එපා කියන න්‍යායත් මතක තබා ගන්න. "

Comments