සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අතදෙන ණය යෝජනාවලියක් | සිළුමිණ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අතදෙන ණය යෝජනාවලියක්

රන් අස්වැන්න, දිරි සවිය, ජය ඉසුර, රිය ශක්ති, සොඳුරු පියස, මෙහෙසර සහ රිවිබල සවි ණය යෝජනා රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වැඩි දියුණු කිරීම සඳහා වන නවතම ණය යෝජනා ක්‍රම කීපයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කෙළේය. මේ ණය ක්‍රම දැනට ඇති ණය ක්‍රම තිබියදීම ක්‍රියාත්මක වේ.

ණය යෝජනා ක්‍රම අතරින් ගොවි ජනතාව සඳහා ම වෙන්වූ ණය යෝජනා ක්‍රමය “රන් අස්වැන්න” නම් වේ.

ගොවීන්, ගොවි සංවිධාන, කෘෂි සැකසුම් ආයතන, සහල් මෝල් හිමියන්, කුකුළන් ඇති කරන්නන්, විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සහ මල් වගා කරුවන්ට ද “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමයෙන් ඉදිරියේ දී ණය පහසුකම් ලබාගෙන සිය ව්‍යවසායයන් සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

ආර්ථික සංවර්ධනය උදෙසා දැනට ක්‍රියාත්මක වන ණය ක්‍රම රාශියකි. කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන නැංවීම එමඟින් සිදුවේ. වී සහ කෙටිකාලීන බෝග වගාවන්හි නියුතු ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ගොවීනගේ සමාජ හා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා වූ නව සපිරි ණය යෝජනා ක්‍රමය මොනතරම් සාර්ථක වී ද කිවහොත් ඒ සඳහා 2015 මුදාහල මුදල රුපියල් දසලක්ෂ 7,135.5 කි. මේ ණය මුදල සඳහා වන පොලිය සියයට 7කි. “රන් අස්වනු” ණය ක්‍රමය ක්‍රියාත්මක වන්නේ පවතින ණය ක්‍රමවලට අමතරවය.

ගොවීන් නිෂ්පාදකයන් බවටත් නිෂ්පාදකයන් ගොවි ව්‍යවසායකයන් බවටත් පත්කිරීම සංවර්ධනය වන රටවල අත්දැක ඇති ක්‍රමයකි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වවන පාරම්පරික සහල්වර්ග වන දහනල, හැටදා වී, රත්දැල් වර්ග පැකට් කර අලෙවි කිරීමේ ව්‍යාපාර පවතී. මින්නේරි ව්‍යාපාරයේ ගොවීහු දැන් මෙසේ ගොවි ව්‍යාපාරිකයන් බවට පත්වීමේ ලකුණු පෙන්නුම් කරති. හතමුණ බෙදුම් ඇළ ගොවි සමිතියේ ලේකම් තිස්ස සාරනාත් ගොවි මහතා පවසන පරිදි වැලිකන්ද ප්‍රදේශයේ පාරම්පරික වී ප්‍රභේද වගාකරුවෝ ද සුළු වශයෙන් සිය වී සහල් බවට පත්කර අලෙවි කිරීමට ඉදිරිපත්ව සිටිති. කිසියම් පාරම්පරික වී වර්ග වගා කරන ගොවි මහතෙකුට කෘෂි සැකසුම් කර්මාන්තයට පිවිසීමට අවශ්‍ය නම් ඒ සඳහා නව ණය ක්‍රමයේ පිහිට පැතීමට පිළිවන.

විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ලොව විශාලතම ව්‍යාපාරයකි. එහි ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණේ මෙයට මාසයකට පෙරදීය. විසිතුරු මත්ස්‍ය අපනයන ආයතන 80ක් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සම්බන්ධව සිටියත්, ඇමෙරිකාව, ජපානය සහ යු‍රෝපා හවුලේ විසිතුරු මත්ස්‍ය ඉල්ලුම සැපයීමට තවතවත් ශ්‍රී ලාංකික ව්‍යවසායක අංශය පුළුල් කළ යුතුව ඇතැයි එහිදී කියැවිණි. එසේ ම ග්‍රාමීය ප්‍රදේශයන්හි විසිතුරු මත්ස්‍ය අභිජනනය ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතු යැයි ද එහිදී අදහස් ප්‍රකාශ විය.

ශ්‍රී ලංකාව 2016 දී විසිතුරු මත්ස්‍ය අපනයෙන් ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 13ක් උපයාගත් නමුත් එම කර්මාන්තය තවතවත් දියුණු කර ගත යුතුය.

කුඩා පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන සඳහා වෙන්වූ නවතම ණය ක්‍රමය ගොවි නවෝදා නමින් හැඳින්වේ.

ගොවි සංවිධාන පිහිටුවීම මේ වන විට විශාල පෙරළියකට ලක්ව තිබේ. ගොවි සංවිධානයනට කුඩා වාරිකර්මාන්ත අලුත්වැඩියා කිරීමට පවා ඉදිරිපත් වීමට පිළිවන. එසේ ම කිසියම් බෝගයක් වෙනුවෙන් පවා සංවිධානයක් පිහිටුවා ගැනීමට නිදහස තිබේ. උදාහරණ ලෙස ගතහොත් ලොකු ලූනු බීජ නිපදවාගන්නන් 60 ක් එක්ව දිගම්පතහ බීජ නිපදවන්නන්ගේ ගොවි සංවිධානය නමින් ගොවි සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. එම ගොවි සංවිධානයට මධ්‍යම පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංයට අවශ්‍ය ලොකු ලූනු බීජ සැපයීමේ ටෙන්ඩරයට ඉදිරිපත්වීමට අවකාශ තිබේ. නැගෙනහිර පළාතෙත් රතුලූනු නිපදවන්නෝ රතුලූනු බෝගය වෙනුවෙන් සංවිධානයක් පිහිටුවා ගෙන සිටිති. එම සංවිධානය මඟින් ඔවුහු සිය අස්වැන්න සමූපකාර සමිතිවලට අලෙවි කරති. මෙවැනි ගොවි සංවිධානයකට සිය නිෂ්පාදන බෙදාහැරීම සඳහා වාහනයක් මිලදී ගැන්මට අවශ්‍ය නම් ඉහත කී ණය ක්‍රමයෙන් අයදුම් කළ හැකිය.

ග්‍රාමීය ජනතාව අතරට විදුලිබල පහසුව නැතිකම බලවත් ප්‍රශ්නයකි. මේ නිසා මෑතක සිට සූර්ය විදුලිබල පහසුකම් සැපයේ. එහෙත් ප්‍රශ්නය ඒ සඳහා අවශ්‍ය මුදල් නැතිකමය. මෙයට පිළියමක් ලෙස රිවි බළ සවි නම් නව ණය යෝජනා ක්‍රමයකි. එහිලා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 3 1/2කි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන දැනට ක්‍රියාත්මක සෞභාග්‍යා ණය ක්‍රමය මඟින් ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, ඒවා වැඩි දියුණු කිරීමටත් ණය ලබා ගැනීමට පිළිවන. 2015 මුදාහල මුදල රුපියල් දසලක්ෂ 2889.6 කි.

මේ ණය මුදල මුදාහරින ලද්දේ ව්‍යවසායකයන් 12317 අතරය. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අන්දමට නව්‍ය හා න‍වෝත්පාදන ව්‍යාපාර, කාන්තාවන් හා තරුණ ව්‍යවසායකයන් වෙත විශේෂ අවධානයක් යෙදවීම මෙම ණය ක්‍රමයේ විශේෂත්වයයි.ඉහත කී සෞභාග්‍යා ණය ක්‍රමයට අමතරව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ (14.03.2017) අනුමතිය ලත් ණය යෝජනා ක්‍රමය හැඳින්වෙන්නේ “ජය ඉසුර” නමිනි.

කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය, පශු සම්පත් මල් වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ අංශය, නිෂ්පාදන කර්මාන්තය, පන් කර්මාන්තය, අත්කම් හා ඇඟලුම් වැනි ක්ෂේත්‍රයන්හි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකය.

මෙහිලා විශේෂත්වය වන්නේ රුපියල් දස ලක්ෂ 400 දක්වා වන ණය මුදලක් ව්‍යවසායක පුද්ගලයාට එමඟින් ලබා ගැනීමට හැකියාව ලැබීමය. සුළු හා මධ්‍යම පරිමාණ අංශය දියුණු කිරීම සඳහා ලොව බොහෝ රටවල් ඉදිරිපත් වන්නේ ආර්ථික වශයෙන් එහි ඇති ඵලදායකත්වය ඉතා පුළුල් බැවිනි. ඉන්දියාවේ රැකියා උත්පාදනයෙන් සියයට 45ක්ම අයත් වන්නේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ටය. ජාතික නිෂ්පාදනයෙන් සියයට 90 කට දායකත්වය සැපයෙන්නේ ද එම අංශයෙනි. පිලිපීනය හා දකුණු අප්‍රිකාවේ රැකියාවන්ගෙන් සියයට 60ක් එම අංශයෙනි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ කොදු නාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍යම පරිමාණ අංශය ජාතික නිෂ්පාදනයෙන් සියයට 52 කට හිමිකම් කියයි. සමස්ත ව්‍යවසායයන්ගෙන් සියයට 75ක් එම අංශය සතුය. එම නිසා මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශය සවිමත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අවහිරයකින් තොරව ණය පහසුකම් සැපයීමත්, අවහිරතා දුරු කිරීමත් ඒ සඳහා කළ යුතුවේ. ණය පහසුව තවත් ලිහිල් කිරීම “ජය ඉසුර” ණය ක්‍රමයේ අරමුණයි. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ අපේ හස්ත කර්මාන්ත දියුණු කිරී‍මේ අවශ්‍යතාවක් තිබේ. පිත්තල කර්මාන්තය, ලාකඩ කර්මාන්තය, දේශීය අත්යන්ත්‍ර, පේෂකර්මාන්තය, බීරළු කර්මාන්තය, බතික් රෙදිපිළි කර්මාන්තය, පන්කොළ කර්මාන්තය ආදිය කලක් දියුණුව තිබුණ ද දැන් වැහැරෙමින් පවතින කර්මාන්තයෝය.

උදාහරණයක් ලෙස බතික් රෙදිපිළි කර්මාන්තය සඳහන් කළ හැකිය. කලකට පෙර ග්‍රාමීය කර්මාන්තයක් ලෙස බතික් රෙදිපිළි කර්මාන්තය දියුණු විය. ගෘහස්ත කර්මාන්තයක් ලෙස සැම ගමකම බතික් රෙදිපිළි ඇඟලුම් නිෂ්පාදන දියුණු වූ අතර සේවකයන් සිය ගණනක් සේවය කළ දැවැන්ත සමාගම් ද පහළ විය. එහෙත් අද ලියාපදිංචි බතික් කර්මාන්තකරුවනගේ සංඛ්‍යාව අඩුවී තිබේ. බතික් කර්මාන්තය දියුණු කරවීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය දැනට මූලික පියවර අරඹා තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ බතික් නිෂ්පාදනයේ නියුතු ව්‍යවසායකින් සමඟ පසුගිය ඔක්තෝබරයේ මේ වැඩසටහන අරඹන ලදී. දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බතික් නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 327 කි. පියවර තුන්මත යුක්තව බතික් කර්මාන්තය විදේශීය වෙළෙඳ පොළට සම්බන්ධ කිරීම නව වැඩපිළිවෙළයි. ජයඉසුර ණය ක්‍රමයෙන් සිය කර්මාන්ත නගා සිටුවීමට දැන් දේශීය හස්ත කර්මාන්තකරුවනට අවස්ථාව හිමිවේ. කුකුළන් ආශ්‍රිත නිෂ්පාදන සඳහා “දිරි සවිය” නම් ණය යෝජනා ක්‍රමයකි.

ස්වශක්තිකයන් තම නිවස ඉදිකර ගැනීමට නොහැකි ජනතාවට රුපියල් ලක්ෂ 2 උපරිමයට යටත්වන “සොඳුරු පියස” නම් ණය ක්‍රමයක් ද, ලියාපදිංචි මාධ්‍යවේදීන් සඳහා වන “මෙහෙවර” නම් උපරිම වශයෙන් රුපියල් ලක්ෂ 3 දක්වා ද වූ ණය ක්‍රමයක් ද හඳුන්වා දී ඇති අතර පාසල් සිසුන් ප්‍රවාහනයේ යෙදෙන්නන්ට මිලියන 4 දක්වා වූ ණය ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. එය රිය ශක්ති ණය ක්‍රමයයි.

රන් අස්වැන්න, දිරි සවිය, ජය ඉසුර රිය ශක්ති සොඳුරු පියස මෙහෙසර සහ රිවිබල සවි ණය යෝජනා රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සියල්ල 2017 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමකි.

කරුණාරත්න අමරතුංග

Comments