විදුලි බිලේ සැර අඩු වෙයි! | සිළුමිණ

විදුලි බිලේ සැර අඩු වෙයි!

විදුලි බිලට සහනයක් සැලසෙන, පරිසර හානිය අවම වන දැවැන්ත බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටී. 2020 දී එළැඹෙන විදුලි අර්බුදය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය මඟින් ජල විදුලිබලයට අමතරව, සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට මුල් තැන ලැබෙනු ඇත.

මෙහිදී සුර්ය බල සංග්‍රාමය යටතේ 2020 දී මෙගාවොට් 200ක් විදුලි බල පර්ධතියට එක් වීමට නියමිත අතර, 'වහල මිලියනයක්' ව්‍යාපෘතිය යටතේ තවත් දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. එසේම පුනර්ජනනීය බලශක්ති බලාගාර මඟින් මෙගා‍වොට් 10 බැගින් වන සූර්ය බලාගාර දෙකක් හා මෙගාවොට් 10 බැගින් වන සුළං බලාගාර දෙකක් එකතු වීමට නියමිතය. ඒ සමඟම පහසු ගෙවීමේ ක්‍රමයට එල්ඊඩී බල්බ මිලියන 10ක් විදුලි පාරි‍භෝගිකයන් අතර බෙදා දීමටද කටයුතු කෙරේ.

මෙලෙස ජල විදුලිබලය, පුනර්ජනනීය බලශක්තිය, එල්එන්ජී බලාගාර ආදිය එකතු වූ විට බලශක්ති අර්බුදයක් ඇති නොවන අතරම, බලශක්ති කළමනාකරණයටත් විධිමත් වැඩපිළිවෙළක් සකසා තිබේ.

මේ සමස්ත ක්‍රියාදාමය අවසානයේ ජනතා‍වගේ විදුලි මිලටත් සහනයක් ලැබීම ස්ථිර බව රජයේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් කියා සිටියේය. මීට සමාන්තරව අධික පිරිවැයක් දරන්නට සිදු වන හා පරිසර හානිය ඉහළ දමන තාප බලාගාර ඉදි කිරීමද ක්‍රමානුකූලව නතර කෙරෙනු ඇතැයි වාර්තා වේ. 

Comments

පිටු