ලාච්චු­වට එන සල්ලි මගේ ම නෙමෙයි | සිළුමිණ

ලාච්චු­වට එන සල්ලි මගේ ම නෙමෙයි

 සූරිය ප්‍රකාශන, මේ රටේ කොහොම තැනෙක තිබෙන පොත් ව්‍යාපාරයක් ද...

මම තරග කරන්න පොත් ක්ෂේත්‍රයට ආපු කෙනෙක් නෙවෙයි. මේක හිතේ සතුටත් එක්ක කරන ව්‍යාපාරයක්. රාජ්‍ය සාහිත්‍ය, ස්වර්ණ පුස්තක, විද්‍යා ප්‍රබන්ධ සම්මාන ගණනාවක් අපේ පොත් දිනාගෙන තිබෙනවා. කෙනෙක් පොතක් අතට ගත්තත්, මේක සූරිය පොතක් කියන තරමට පිටකවරයේ පටන් අනන්‍යතාවක් හදා තිබෙනවා. ලංකා ඉතිහාසයේ සැඟව ගිය බොහෝ වටිනා කෘති අද පරම්පරාවට යළි ලබා දී තිබෙනවා... මෙහෙම බලද්දි අපි මේ රටේ පාඨකයාගේ හදවතේ රැඳී ඉන්න පොත් ව්‍යාපාරයක්. මිනිස්සුන්ගෙ හදවත් තරම් මට වෙන දෙයක් දැවැන්ත ලෙස පේන්නෙ නැහැ.

සූරිය පොත් සාප්පු කොයිතරම් ප්‍රමාණයක් තිබෙනවද...

මරදානේ මේ ප්‍රධාන මධ්‍යස්ථානය හැරෙන්න එකම ශාඛාවක්වත් නැහැ. නොදාන්නෙ බැරිකමට නෙවෙයි, මම කැමැති නැහැ. ලද දෙයින් සතුටු වීම සහ තිබෙන දේ හොඳින් පවත්වාගෙන යෑමයි මගේ විදිය. විසිරි පැතිරී බිස්නස් කරනවට වඩා මට එතැන සතුටක් තිබෙනවා.

ඔබ කරපු පොත් අතරින් වඩාත් කැමැති පොත් මොනවද...

මෑතදී ආනන්ද අමරසිංහ කළ යශෝධරා පොතට කැමැතියි. ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්මයගෙ පොත්වලට මං කොහොමත් කැමැතියි. අනුල ද සිල්වා මහත්මිය පරිවර්තනය කළ ‘දෙවියන්ගේ අඩවිය’ සහ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ස්වයංජාත පොත ඇතුළු ගණනාවක් තිබෙනවා.

පොත් ඔබට බිස්නස් එකක් විතරද...

මට පොත් හැඟීමක්. ඒ හැඟීම එන්නෙ ළමා කාලෙ පටන්. ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්න, මගේ බාප්පා. බාප්පා නිසා අපේ ගෙදර හරියට පොත් තිබුණා. අයියලා අක්කලා වගේ ම මමත් ඒ පොඩි කාලෙ හුඟක් පොත් කියෙව්වා. අටේ පන්තියෙ ඉඳන් කෝංගොඩ රජයේ පාසලේ පුස්තකාලය බාරව හිටි සහායකත් මං. අද බිස්නස් එකක් වුණාට, පොත් කියන්නෙ ජීවිතෙන් වැඩි කාලයක් මා එක්ක හිටපු දෙයක් සහ කෙනෙක්.

ළමා කාලයේ කියැවූ හොඳම පොත මොකක් ද...

සුදු වැද්දා සහ සුදු ගෝනා චිත්‍ර කතා පොත් දෙක. ඒ කාලෙ මං කෝංගොඩ ඉස්කෝලෙ හතේ පන්තියේ විතර. අදටත් මට පොත් ගැන මතක් කරද්දි මුලින් ම මතක් වෙන්නෙ ඒ පොත් දෙක.

සූරිය ප්‍රකාශන, පවුලේ ව්‍යාපාරයක් ද...

මගේ බිරිය, මට උදව් කරනවා. මගේ තෘප්තියට මම කරගෙන යනවා. මගේ එකම පුතා හරිත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. කවදහරි එයා කරනවා නම් කරයි. පොත් ක්ෂේත්‍රය අරභයා මං මගේ උපරිම සතුට විඳලා ඉවරයි. මං ඉන්න කල් මේ ගොඩනැඟිල්ලත්, ලස්සන පොත් සාප්පුවත් ඉතා ලස්සනට පවත්වාගෙන යනවා. මගෙන් පස්සෙ මොනවා වුණත් ඒකෙ දුකක් නැහැ.

තමන් දුක් මහන්සියෙන් හදපු ව්‍යාපාරයක් ගැන ඔහොම හිතන්න පුළුවන් ද...

ඕනෑ ම කෙනකුට ජීවිතයේ ඇතිවීමක් තිබෙන්න ඕනෙ. අසීමිත ලෙස මුදල් සහ ආශාවන් හඹා යෑමක් මගේ ජීවිතේ නැහැ. මං හැමවෙලාවෙ ම හිතන්නෙ එදා මං හිටියෙ කොතැන ද... අද ඉන්නෙ කොතැනද... කියන එක. මං හැදුණ වගේ ම රටටත් යමක් කළා ය කියන තෘප්තිය මට තිබෙනවා. මිනිහෙක් ජීවත් වෙලා ඉන්නකොට, තමන්ට පුළුවන් උපරිමය කළා නම් මැරුණට පස්සෙ අත් හරින දේ ගැන දුක් වෙන්න දෙයක් නැහැ.

පොතක් ගහන්න තෝරා ගනිද්දි ඔබ මුලින්ම හිතන්නෙ මොකක් ද...

මගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කාරයා තමයි ලේඛකයා සහ පාඨකයා. පාඨකයා පොත් නොගත්තොත් මායි ලේඛකයි දෙන්න ම අමාරුවේ. පොතක් ගහද්දි පළමු කොටම මං හිතන්නෙ මේක පාඨකයා කියවන හොඳ පොතක් ද කියන එක. ලාභ ලැබිය හැකි වැඩ පොත්, ළමා පොත් මං නොකරන්නෙ ඒ සීමාව මට තියාගන්න බැරි නිසා. පොතකින්, මුදලට වඩා මං හොයන්නෙ තෘප්තිය.

හුඟක් ප්‍රකාශකයො ලේඛකයන් රවටනවා. හිතුමතේ මුද්‍රණ වාර කළත් ඒ හැම වාරයක ම ලේඛකයාට දිය යුතු දේ දෙන්නෑ, මේ ගැන ඔබේ අදහස...

මාත් එක්ක එදා පටන් බැඳුණු ප්‍රවීණ ලේඛක පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ මුද්‍රණ වාර දහය ගහපු පොත් තිබෙනවා. ඒ සියල්ලන්ට මං සාධාරණය කරන ප්‍රකාශකයෙක්. එහෙම නොකර හොයන සල්ලි වැඩක් නැහැ.

සූරිය පොත් අනන්‍යතාව පිටකවරයේ විතර ද...

නැහැ. මීට අවුරුදු තිහ හතළිහකට එපිට මුද්‍රණය වූ නමුත් අද කිසිවකුත් ළඟ නැති, පාඨකයාට මතක තිබෙන, ඔවුන් හොයන සහ ඒ කාලයේ ඉතා හොඳ අලෙවියක් තිබූ වටිනා පොත් එකතුවක් තමයි සූරිය පොත් බහුතරය. මං පටන් ගත්තෙත් එවැනි පොත්වලින්. අද ව්‍යාපාරයට අනන්‍යතාවක් වෙලා තියෙන එවැනි පොත් තව තවත් සොයා මුද්‍රණය කරන එකයි මගේ ආසාව.

සූරිය ප්‍රකාශන බිහිවෙන්නෙත් මරදානෙන්ම ද...

ඔව්. 1994 දෙසැම්බරයේ. පියදාස සිරිසේන මාවතේ අඩි 10 x 12 පොඩි කඩ කාමරයකින්. සූරිය ප්‍රකාශකයෝ කියලා බෝඩ් එකකුත් දැම්මා. හැබැයි එක පොතක්වත් මුද්‍රණය කරලා නැහැ. පිට අයගෙ පොත් අරගෙන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් විදියටයි මාසයක් ම පවත්වාගෙන ගියේ. මාසෙකට පස්සෙයි ‘මැකී ගිය දඩ මං’ ප්‍රින්ට් කළේ. පත්තරවලින් හොඳ ප්‍රචාරයක් ලැබුණා. නොහිතපු විදියට පොත අලෙවි වුණා. ඊට ටික කලකට පස්සෙ අපි එස්. මහින්ද මාවතේ පාර මුලම තැනකට ගියා. ඒ ඉදිරිපස මේ විශාල ගොඩනැඟිල්ල හැදුවෙ මේ මෑත යුගයේ... මේ තමයි අපේ ස්ථිර නවාතැන.

කොහේද එතකොට ප්‍රෙස් එක හැදුවේ...

ව්‍යාපාරයට දැන් අවුරුදු විසි තුනයි. ප්‍රේස් එකක් එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. එදා පටන් අද දක්වා මගේ හැම පොතක් ම මුද්‍රණය කරන්නෙ මං එක ම තැනෙකින්. මට ම ප්‍රෙස් එකක් තිබුණා නම් මීට වඩා ලාභයක් තියෙයි. නමුත් මම මුදල් ම හඹා යන්නෑ. මේ ලැබෙන තරම... මේ කරන දේ හොඳට ම ප්‍රමාණවත්. ගොඩ බදාගෙන කරන බිස්නස්වලට මං කැමැතිත් නැහැ.

පොත් ලොව දැවැන්තයෙක් ළඟ වැඩ කරපු ඔබ, බිස්නස් එකක් හැටියට තෝරා ගත්නෙත් පොත්මයි. අවදානමක් දැනුණේ නැද්ද...

මම පොත් සාප්පුවෙ වැඩකරන කාලෙ ක්ෂේත්‍රයේ හිස් තැන් හඳුනාගත්තා. ඒවා පිළිබඳ යම් අධ්‍යයනයක් කළා. බොහෝ පාඨකයන් පැමිණියා, පැරැණි සිංහල පරිවර්තන සොයා ගෙන. ඒ.පී. ගුණරත්න මහත්මයා පරිවර්තනය කර තිබූ ස්පිට්ල් ගේ ‘මැකී ගිය දඩ මං’ කියන්නෙත් එහෙම පොතක්. ඒ අනුව, ගෙවුණු අවුරුදු තිහ ඇතුළත යළි මුද්‍රණය වී නොමැති වටිනා පරිවර්තන කෘති රැසක් මං හඳුනාගත්තා. මං පොත් මුද්‍රණයට එන්නෙ මෙන්න මේ හිඩැස පුරවමින්. එකම කර්මාන්තයක වුවත් කෙනෙක් කරන දේම නොකර වෙනස් පැත්තක් සොයාගෙන ආපු නිසා කවදාවත් මට අවදානමක් තිබුණෙ නැහැ.

මොනවද ඔබ මුල් යුගයෙ මුද්‍රණයට තෝරාගත් ඒ පැරැණි පරිවර්තන කෘතීන්...

අලි පාර, වන සරණ, ටිබෙට් රටේ සත් වසක්, වන නදිය, වානරයා.... වගේ පොත් හත අටක්. පළමු පොතේ කවරය කෙරුවෙ ප්‍රියන්ජන් සුරේෂ් සහ මෙත්ලාල් වීරසූරිය. මෙත්ලාල් හරහා ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්මයට මට මුණ ගැහෙනවා. ඊළඟට අසෝක ජයතිලකගේ, අභය හේවාවසම් සහ ප්‍රසාද් සමරසේකර ගේ හමුවීම. හොඳ මිනිසුන් හමුවීම, මහ විශාල ප්‍රාග්ධනයකටත් වඩා වටිනවා.

කොයි තරම් ප්‍රාග්ධනයක් අතේ තියාගෙනද බිස්නස් එක පටන් ගත්තෙ...

අවුරුදු දොළහක් රස්සාව කරලා එකතු කරගත්තු රුපියල් විසිපන්දාහක් තිබුණා. ඒ මුදල සෑහුණේ නැහැ. ‘මැකී ගිය දඩ මං’ විකුණලයි ප්‍රෙස් එකට සල්ලි ගෙව්වෙත්. නමුත් සිසිර රණසිංහ, දසනායක, මල්වැන්න, අසෝක ජයතිලක ඇතුළු මගේ සැබෑ මිත්‍රයො හතර පස් දෙනෙක් හිටියා ඕන දේකට උදව් කරන්න. ඇත්තට ම ඒ අයගෙ උදව් මට ලැබුණා.

පොත් සාප්පුවක වැඩකරන අය පොත් කියැවිම අනිවාර්යය ද...

කාටවත් ඒක අනිවාර්ය කරන්න බැහැ. නමුත් මම පොත කියවලා තිබෙනවා නම්, ගන්න පාඨකයාට පොත ගැන මට හඳුන්වාදීමක් කළෑකි. එයාව පොත ගන්න තැනට ආසාව ඇති කළෑකි. පොත් අලෙවියේදී පාඨක සංවාදය ඉතා වැදගත්. පාඨකයා හොයන්නෙ මොනවද කියලා අවබෝධයක් ගත්තෑකි. මං එහෙම කරලා තියෙනවා. මට සාර්ථක වූ ක්‍රමයත් ඒකමයි.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

දඟ වැඩ කළා. හැබැයි දඩබ්බරයෙක් නෙවෙයි. අපේ ගෙයි ඉස්තෝප්පුවෙ වාඩි වුණාම කළු ගඟ පේනවා. කළු ගඟට මායිං වෙච්චි පළාතොට පාරේ ‘කෝංගොඩ’ අපේ ගම, කළුතර එක කෙළවරක්. අවුරුද්දට සැරයක් දෙසැරයක් කළු ගඟ පිටාර ගලනවා. අපේ ගමට ගං වතුර එනවා. ගංවතුර එනකල් ආස‍ාවෙන් බලා හිටි දරුවෙක් මං. මං වගේ ම කොලු නඩයක් හිටියා ගංවතුර එනකල් ලක ලෑස්ති වෙන. රබර් කන්දෙ වෙල් එළියෙ... දිය කඩිතිවල ඇති තරම් දුව පැන නටපු අපිට තිබුණෙ පරිසරය සොබා දහම හොඳ හැටි විඳපු ළමා වියක්.

ඇයි ගංවතුර එනකල් බලා හිටියෙ...

කෙහෙල්කොට පහුරු පදින්න, වතුරෙ නටන්න. අපේ ගෙට පහළින් පාර, ගංවතුර ගලනකොට යට වෙනවා. බස් යන්නෙ නැහැ. කෙහෙල්කොට පහුරු හදාගෙන අපි ඉතින් කලින් ම ලෑස්තිවෙලා ඉන්නවා. කුරුම්බැට්ටි පියන් ගලවලා ඉරටුවල ගහලා, වතුර හරස් කරලා අල්ලන් ඉන්නවා. සැඩ පහරට කුරුම්බැට්ටි පියන් කැරකෙන්නෙ මෝටරයක් වගේ. ඒ ළමා කාලෙ අපිට හැම වෙලාවෙ ම පෙනුණෙ ගම යට කරගෙන ගලන ගංවතුර, හරිම සුන්දර දෙයක් ගාණ.ට

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම කෝංගොඩ රජයේ විද්‍යාලයේ. ඊළඟට අල්ලපු ගමේ, බෝම්ඹුවල මහා විද්‍යාලයේ. මං සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙක ම කරන්නෙ ඒ ඉස්කෝලෙදි.

මොනවද ඒ ළමා කාලෙ ඔබට තිබුණු හීන සහ අරමුණු...

පොඩි ම කාලෙ තිබුණෙ, ‘කවදද ගංවතුර එන්නෙ... කියලා බලා හිටපු ආසාව. හැබැයි උසස් පෙළ කරනකොට ප්‍රින්ටින් විෂයට ආසා කළා. බාප්පත් මට නිතර ඒ ගැන කිව්වා. ප්‍රින්ටින් පැත්තෙන් ඉගෙන ගෙන උඩට යන්න ඕනෙ කියන සිතිවිල්ල මේ කාලෙ වෙන‍කොට තදින් ම හිතට කාවැදිලා තිබුණා.

අරපිරිමැස්ම, දරා ගැනීම... අත් විඳ තිබෙනවද?

ඔව්. පවුලෙ දරුවො හත් දෙනෙක්. අක්කයි අයියලා තුන්දෙනකුටයි පස්සෙ මම. මට පස්සෙ නංගියි - මල්ලියි. තාත්තා කළේ වඩු වැඩ. අම්මා කිරි කපාපු පොඩි රබර් කට්ටියක් හැරෙන්න ලොකු අමතර ආදායම් තිබුණෙ නැහැ. තාත්තා හම්බ කළ දේ අම්මා වියදම් කළේ බොහොම අරපිරිමැස්මෙන්. අයියලාගේ ඇඳුම්, පොඩි වුණාම මල්ලිලා ඇඳිය යුතු වුණා. පොත් පත් වුණත් එහෙමයි. ගම තමයි අපි දැකපු ලස්සන ම ලෝකෙ. ඉන් එහා ලෝකයක් අපි දැනගෙන හිටියෙත් නැහැ.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

උසස් පෙළ ඉවර වෙනවත් එක්ක ම බාප්පා මාව දයාවංශ ‍ජයකොඩි සමාගමට බාර දුන්නා. මට ලැබුණෙ පොත් සාප්පුවෙ වැඩ කරන්න. ප්‍රින්ටින් පැත්තට ආසා වුණාට, දයාවංශ ජයකොඩි මහත්තයා මගේ ඔළුව වෙනස් කළා. ‘ප්‍රෙස් එකට ගියොත් හැමදාම තීන්ත අතේ ගාගෙනම තමයි ඉන්න වෙන්නෙ. ඊට වඩා නරකද පොත් විකුණන රස්සාව ඉගෙන ගත්තොත්. ඉහළට යන්න පුළුවන් මෙතැනින්...’ මං ඉතින් ආසාවෙන් සාප්පුවෙ වැඩ කළා. නිකම් ඉන්න වෙලාවට පොත්වලට අවශ්‍ය කොළත් නැව්වා. පොත් පාඨකයාට දිය හැකි හොඳම විදිය මං ඉගෙන ගත්තා. ලේඛකයො හඳුනා ගත්තා. පාඨක පිරිසක් හදා ගත්තා. කඩදාසිය තෝරන තැන ඉඳන් ක්ෂේත්‍රයට අදාළ හැම දේම ඉගෙන ගත්තා. ඔය විදියට ගත කරපු අවුරුදු දොළහක්.

එතකොට ‘සූරිය ප්‍රකාශන’ බිහිවෙන්නෙ කොහොමද...

දයාවංශ එකේ ගත කරපු අවුරුදු දොළහකට පස්සෙ, දවසක් මම තීරණයකට ආවා. මං තීරණය කළා, දැන් මං මගේම පොතක් කරනවා කියලා. මං දයාවංශ එකෙන් ඉවත් වුණා. දයාවංශ ජයකොඩි මහත්තයා මට ආශිර්වාද කළා. අකුරු අමුණන, ‘ලෙට් ප්‍රෙස්’ යුගයේ දයාවංශ ජයකොඩි සමාගමට ගිය මං, ආපහු එතැනින් එළියට ආවෙ ඕෆ්සෙට් මුද්‍රණ යුගයේ. ඒ ගැම්ම තමයි සූරිය ප්‍රකාශනයේ ආරම්භය.

එතකොට ‘සූරිය’ නමේ අර්ථය...

මගේ ලග්නෙ ධනු. ඒ වෙලාවෙ මගේ කේන්දර කොපිය බලපු කෙනා දීපු අකුරු, මම ම ඇඳපු ලාංඡනයට ගළපලා මම ම දාපු නමක්. මම හිරුගෙ ලාංඡනය කලින් ම ඇඳලා තිබුණේ. හොඳ පොතක් කියන්නෙ පායන හිරු ව‍ෙග්. ලෝකෙට ආලෝකය දෙනවා. මඟ පෙන්වනවා. හැමදාම පවතිනවා. ඒ අර්ථයෙනුයි, ‘සූරිය’ නම යෙදුවේ.

පොත් ජීවිතයට කළ ලොකු ම බලපෑම මොකක් ද...

මං දයාවංශ ජයකොඩි සමාගමේ වැඩ කරපු කාලේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කරපු ජෝන් ද සිල්වා සමරු ග්‍රන්ථයකට මගේ නම දැම්මා. මගේ නම මුද්‍රණ ද්වාරයෙන් පොතක දැකපු දා මට හරි සතුටක් දැනුණා ‘කවද හරි මගේ නමින් මාත් පොත් මුද්‍රණය කරන්න ඕනේ...’ එදා මං අධිෂ්ඨාන කරගත්තා. ඒ තමයි පොතක් මගේ ජීවිතයට කළ ලොකු ම බලපෑම. ඒ බලපෑමම තමයි මාව මේ තැනට ගෙනාවෙත්.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කුමක් ද...

දෙකයි තියෙන්නෙ. එක, දයාවංශ ‍ජයකොඩි සමාගමට පැමිණීම. දෙක, දොළොස් අවුරුද්දකට පස්සෙ එතැනින් පිටවීම. පොත් කර්මාන්තය ගැන සියල්ල ඉගෙන ගැනීම, මගේ ම බිස්නස් එකක් සහ පොත් ක්ෂේත්‍රයේ අනන්‍යතාවක් හදා ගැනීම... ඇතුළු මේ සියල්ල සිදුවන්නේ ඒ හැරවුම් ලක්ෂ දෙක හරහා. වෘත්තීය ජීවිතයට පිවිසෙන වෙලාව අහම්බයක් වෙන්න පුළුවන්. නමුත් එතැනින් පිටවීම තීරණය කරන්නෙ තමන්. හරිම වෙලාවට හරිම තීරණය ගැනීමත් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

ආත්ම විශ්වාසය, හිතට ගෙනෙන ප්‍රබෝධය අත්විඳලා තියෙනවද...

මං දයාවංශ එකෙන් අයින් වෙනවා කියලා දැනගත්තම කිහිප දෙනෙක් ම මට කතා කළා ඒ අය සල්ලි දාන්නම් ඒ අයගෙ නමින් මට ඉදිරිපත්වෙලා ව්‍යාපාරය කරන්න කියලා. වාහනයක් ගෙවල් ‍දොරවල් මේ හැමදේමත් දෙන්නම් කියලා. අතේ තිබුණෙ විසිපන්දාහ වුණත් මං අධෛර්ය වුණේ නැහැ. අනෙක් කිසිවකටත් වඩා මා තුළ ආත්ම විශ්වාසය තිබුණා. මං මගේ ම දෙයක් කරනවා. ඒ සිතිවිල්ලෙන් වැඩ කළා. අද ඒ සිතිවිල්ලෙ ප්‍රබෝධය සහ ප්‍රතිඵල මං විඳිනවා.

ඔබ ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද...

පණහට පණහා. හොඳ කටයුත්තකදි අනිවාර්යෙන් වෙලාව බලනවා. දයාවංශ එකෙන් අයින් වෙන්න තීරණය කළාට පස්සෙ මං හඳහනත් බැලෙව්වා. වෙලාව බැලුවෙ දසනායක කියන මගේ මිත්‍රයෙක්. ‘මේ වෙලාව ඉතා ‍හොඳයි. අතගහන ව්‍යාපාරය කවදාවත් වැටෙන්නෙ නැහැ, පඩිපෙළක් වගේ උඩටම යයි...’ ඒ මිත්‍රයා කියපු අනාවැකිය මට වැරැදුණේ නැහැ. මං උඩට ම ආවා. එහෙම වුණා කියලා ජ්‍යෙතිෂ්‍යයේ ම එල්බ ගත් ජීවිතයක් මට නැහැ. කොයිදේක වුණත් හොඳ පැත්ත දකින්න පුරුදු වුණාම ජීවිතය හරි ලේසියි. පහසුයි.

ඔබ වාසනාවන්තයි. මේ ව්‍යාපාරය ගොඩ නඟන්න මහා ගැහැට විඳ නැහැ නේද...

මැකී ගිය දඩ මං, කරන්න අවසර ගන්න මං නුගේගොඩ ඒ.පී. ගුණරත්න මහත්තයලගෙ ගෙදර ගියා. එතුමා මිය ගිහින් නිසා මං එතුමාගේ පුතා සහ නෝනා මුණගැහුණා. මට තිබුණෙ මෝටර් සයිකලයක් විතරයි. වැස්ස නිසා මං ගියේ බස් එකේ. ආපහු එද්දි නුගේගොඩ දණක් යටවෙලා. මං වැස්සට තෙමිලා ඇඳුම් තෙත බරිත වෙලා ඒ වතුරෙ බැහැගෙන මං ආපහු ආවේ. ඔය එකක් විතරයි. ගෙවුණු ජීවිතේ පහුකරපු දුෂ්කර අවධි ඕනෑතරම් තිබෙනවා. ඒවා මං කවදාවත් ලොකුවට ගත්තෙ නැහැ. ප්‍රශ්න මොන තරම් ආවත් ඒවට මුහුණ දීලා මොකක් හරි උත්තරයක් හොයා ගන්න විදියයි මම බලන්නෙ. මනසින් වැටිලා ළතැවිලා විඳවන සිරිතක් මගේ නැහැ.

ව්‍යාපාරිකයෙක් ලෙස ඔබ සාර්ථක ද...

අදටත් මට රක්ෂණයක් නැහැ. මගේ බිස්නස් එකට රක්ෂණ අවශ්‍ය නැහැ. යමක් වුණොත් මම ආපහු ගොඩනඟනවා. අනෙක් අතට ඉතින් හැම දේම නැති වෙනවනේ. ඒක ස්ථිරයි. හැම ව්‍යාපාරිකයකුටම මං වගේ හිතන්න පුළුවන් ද... ඒ අතින් මම සාර්ථකයි.

ව්‍යාපාරිකයකුට රක්ෂණය, හිතට හයියක්නේ...

මං වෙනස්. ඒ නිසා එහෙම හිතන්නෙ නැහැ. මුල් කාලෙ පටන් මං බිස්නස් එක වෙනුවෙන් යමක් ඉතිරි කළා. අවශ්‍ය විටෙක බැංකු ණයක් ගත්තා. පුංචි කාලෙ පටන් ඒ ඉතිරි කිරීමේ පුරුද්ද මට තිබුණා. ඒක මං මුලින් ම ඉගෙන ගත්තෙ අම්මගෙන්. රස්සාවට ආවට පස්සෙ දයාවංශ මහත්තයත් කිව්වා කීය කීය හරි ඉතිරි කරන්න කියලා. මගේ බාප්පත් නිතර කිව්වා. අර රුපියල් විසිපන්දාහ එකතු කරගත්තෙ ඒ පුරුද්දෙන්. මං මගේ ම දේ කරන්න ගත්තට පස්සෙත් ඒ පුරුද්ද එහෙමමයි.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කුමක් ද...

පොතක් විකිණුනාම මගේ ලාච්චුවට එන සල්ලි තනිකර මගේ ම නෙවෙයි. යම් ප්‍රතිශතයයි මට අයිති. අනෙක් සියල්ල ම අයිති ඔවුන්ට. ලේඛකයාගේ 10%, ප්‍රෙස් එකේ සල්ලි, සේවක පඩිනඩි සියල්ල මං වෙලාවට ගෙවිය යුතුයි. ලද දෙයින් සතුටුවීම හැර අධික ලාභය සෙවීම මගේ ක්‍රමය නෙවෙයි. මේක මං විතරක් දියුණුවෙලා යන ගමනක් නොවිය යුතුයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.