
උදෑසන කාර්යාලය බලා දුම්රියෙන් පැමිණෙමින් සිටි මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේ මහාචාර්ය සමන්ත හේරත් මිතුරාගෙනි.‘‘මචං, සුනිල් මිහිඳුකුල අද උදේ නැතිවෙලා.‘‘ ඔහු කීවේ දුක්බර හඬකිනි. එම ආරංචියත් සමඟ මගේ හදවතටද දැඩි දුකක් දැනුණි.
මම පුවත්පත් කලාවට පිවිසෙන විට සුනිල් මිහිඳුකුල ගැන ලේඛකයකු ලෙස දැන සිටියද සමීපව ඇසුරු කරන්නට ලැබුණේ ඔහු ලේක්හවුසියට සේවයට පැමිණියාට පසුවය.එවකට මම තරුණී පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වූ අතර මට සුනිල් මිහිඳුකුල හඳුන්වා දුන්නේ තරුණී කර්තෘ ගාමිණී සමරසිංහ සොයුරායි. සරසවිය කර්තෘ මණ්ඩලයේ සේවයට පැමිණි සුනිල් පසුව එහි කර්තෘ ධූරයට පත්විය. මම තරුණී කර්තෘ ධූරයට පත්වන විට සුනිල් අයියා සිටියේ සිළුමිණ සම කර්තෘ වරයා ලෙසය. කෙසේ හෝ මම තරුණී කර්තෘ පදවියෙන් ඉවත්ව රසඳුන පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධූරයට පත්වන විට එහි කර්තෘ වරයා වූයේ රෝහණ වෙත්තසිංහ ය.සුනිල් අයියාත් රෝහණ අයියාත් සිනමාව ගැන දැක්වූයේ දැඩි උනන්දුවකි. ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාටම තිබුණේ ඉහළම දැනුමකි. මේ දෙදෙනා නිතර හමූවූ විට පවා කතා කළේ සිනමාව පිළිබඳව නිසා මේ දෙදෙනාගේ කතාබහ සංවාද තුළින් සිනමාව පිළිබඳව නොදන්නා බොහෝ දේද සිනමාවේ අතීත තොරතුරු පිළිබඳව දැනුවත්වන්නට මට හැකිවිය. එසේම මම රසඳුනට ලියූ සංචාරක ලිපියක ඇති සුන්දර තැන් පිළිබඳව සුනිල් අයියා විස්තර අසන්නට පුරුදුව සිටි නිසා අප දෙදෙනා අතර මිතුරු දමක් ගොඩ නැඟුණේ නිරායාසයෙනි.
රෝහණ වෙත්තසිංහ රසඳුන කර්තෘ ධූරයෙන් විශ්‍රාම ගියවිට එම තනතුර හිමිවුණේ සුනිල් මිහිඳුකුලටය.එදා සිට මට සුනිල් මිහිඳුකුල සමඟ ඉතා සමීපව ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණි.
සුනිල් අයියා පික්චර් පිස්සෙකි.තරුණ වියේදී පිස්සුවෙන් මෙන් චිත්‍රපට නැරඹූ ඔහු, ඒවා පිළිබඳව පැවැති සම්මන්ත්‍රණ, සංවාද වලට සහභාගිවී තර්ක විතර්ක කර ඒ ඔස්සේ දැනුම රැස්කර ගෙන තිබුණි.චිත්‍රපට පිළිබඳව ඔහු තුළ තිබූ මෙම පිස්සුව නිසා ඒවා අධ්‍යයනය කරන්නට පෙළඹුණු ඔහු ඒ නිසාම ක්‍රමයෙන් දැනුම වර්ධනය කරගත්තේය. මේ දැනුම අපේ රටේ සිනමාව පිළිබඳව පමණක් නොව හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, ප්‍රංශ, ජර්මන් අතුළු ලෝක සිනමාව පිළිබඳවද එකසේ විය. මේ පිළිබඳව අසීමිත මතක ශත්කියක් තිබුණු සුනිල් අයියා සිනමාව පිළිබඳව කිසියම් දෙයක් ලියද්දී ඒ පිළිබඳව මූලාශ්‍ර තමන් ළඟ තබාගැනීමට අමතක නොකළේය.ඔහු මේ සියලු දේ පිළිබඳව ඇති පොත් පත් ලිපි ලේඛන රැස්කළේය. ඒවා පිළිවෙළට තබා ගත්තේය. මා දන්නා තරමින් මේ සියලු ලිපි වර්ග කර ෆයිල් වලට දමන්නට කටයුතු කළේය.
සිළුමිණ කර්තෘ මණ්ඩලයට ලැබෙන දිනපතා පුවත්පත් සහ සතිඅන්ත පුවත් පත් එකට ගැටගසා තැබෙන අතර ඒවා සෑම මාසයක් අවසානයේම ඉවතට දමයි. එසේ ඉවතට දමන පත්තර මිටි ටික රසඳුනට රැගෙන එන අපි දෙදෙනා අවශ්‍ය ලිපි කපා වෙන් කරගැනීමට පුරුදුව සිටියෙමු.මම ක්‍රීඩා, සංචාරක ලිපි කපා ගනිද්දී සුනිල් අයියා සිනමාව සහ ශ්‍රාස්ත්‍රීය ලිපි කපා වෙන් කරගත්තේය.
ඔහු සරල චාම් පුද්ගලයෙකි. රැකියාවට එන්නේ පාසල් සිසුවකු මෙන් පොත් කීපයක් අතේ රැගෙනය. බසයේ පැමිණෙන්නට ගත වන කාලයෙන් නිසි ප්‍රයෝජන ගත් ඔහුට පොතක් කියවන්නට ගත වන්නේ දිනක් හෝ දෙකකි. මෙලෙස ලබාගත් දැනුමින් රසවත් ලිපියක් ලියන්නට හෝ පිටපතක් ලියන්නට ඔහුට ගතවන්නේද සුළු කාලයකි.
ඔහු තීරු ලිපි ලියන්නට සමතෙකි. ඔහුගේ ජනප්‍රියම කොලම වූයේ ‘සු මි ගෙන් අහන්න‘ප්‍රශ්න තීරයයි.එයට කිසියම් පාඨකයකු ප්‍රශ්නයක් යොමු කළවිට එයට කෙසේ හෝ පිළිතුරු ලබා දෙන්නට ඔහු උත්සාහ ගනී. දිනපතා පොත් කියවන ඔහු එහි ඇති කිසියම් රසවත් කොටසක් පිළිබඳව කියන්නට ‘පොතකින් පෙත්තක්‘ කොලම භාවිතා කළේය. චිත්‍රපට පිළිබඳව රසවත් තොරතුරු කිව්වේ ‘පික්චර් පිස්සා‘ කොලමෙනි. පසුව එය පොතක් ලෙසද එළිදැක්වූයේය.
සුනිල් අයියා රසඳුනෙන් විශ්‍රාම ගිය පසු මම ඔහුට අලුත් කොලමක් ලියන්නට ආරාධනා කළෙමි.‘ආලින්දය‘ තීරුලිපිය රසඳුනේ ඇරැඹුණේ ඒ අනුවය. එය ඔහු නිර්මාණය කළ අවසන් තීරුලිපිය යි. පුවත්පත් කලාවේ වෙලාවට ලිපිලබානොදීමෙන් ඇතිවන අපහසුව පිළිබඳව හොඳින් දන්නා නිසා ‘ආලින්දය‘ ලිපිය වෙලාවට මා අතට ලැබෙන්නට සලස්වන ඔහු එය ලැබුණු බව සැකහැර දැනගන්නට දුරකතන ඇමතුමක් දෙන්නට අමතක නොකරයි. ටික දිනක සිට අසනීපයෙන් සිටියදී පවා එම ලිපිය ලියූ ඔහු පසුගිය දිනක මට කතා කළේ දැන් ලියන්නට අපහසු බව කියන්නටය. ඒ සඳහා මම විකල්පයක් යෝජනා කළෙමි. ඒ ඔහු කියන විට පුතකුට ලියන්නට හැකිබවය. ඒ අනුව පසුගිය කලාපයේ පළවුණු ‘ආලින්දය‘ තීරුලිපිය මට ලැබුණි. එහි මාතෘකාව ලියන්නට ඔහු උත්සාහ ගෙන තිබූ අතර අනෙක් කොටස සුනිල් අයියා කියද්දී ලියා තිබුණේ බිරිය සරෝජි අක්කා විසිනි.මෙය සුනිල් අයියා ලියූ අවසන් ලිපියයි.එසේම ජවයෙන් පිරී තිබූ ඔහුගේ පුවත්පත් කලා ජීවිත කාලය පුරා ගරු මර්සලීන් ජයකොඩි පියනමගෙන් පටන් ගත්විට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ලිපි අසීමිත සංඛ්‍යාවක් ලියා ඇති සුනිල් අයියා ප්‍රවීණ කලාකරු හේමසිරි ලියනගේ පිළිබඳව රසඳුනට ලියූ ලිපිය සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ඔහු ලියූ අවසන් ලිපිය බව මගේ විශ්වාසයයි.
රසඳුනේ ඔහු සමඟ ගත කළ වසර කීපය අතිශයින් සුන්දරය. සිකුරාදා හැන්දෑවට ඔහු අඟලක ප්‍රමාණයේ ‘ඩමියක්‘ හදයි. එය පෙන්වා සිනාසෙමින් මෙසේ කියයි. ‘‘ඔන්න මම ඩමිය හැදුවා .මම හිතන්නේ ලෝකයේ කුඩාම ඩමිය මේක වෙන්නැති.‘‘ එලෙස ඩමි කීපයක් හදන ඔහු අඟහරුවාදා පිටු හදන්නට දෙන්නේ වෙනස්ම ඩමියකි. ‘‘උදේ හදපු ඩමිය හවසට වෙනස් වෙන්න පුළුවන්. අපි එළියට දාන්න ඕනෑ අලුත්ම පත්තරයක්‘‘ ඒ ඔහුගේ හැටිය. සුනිල් අයියා සමඟ රසඳුනේ එකට වැඩකළ වසර කීපයපුරා ඔහු කළ කී දෑ පිළිබඳව රසවත් මතක සටහන් රාශියක් තිබේ. මේ ඒ ගැන සටහන් කරන්නට අවස්ථාව නොවේ. එහෙත් ඔහු පුවත්පත් කලාවේදීන්ට තිබිය යුතු නිදහස වෙනුවෙන් ඍජුව පෙනීසිටි අයකු බව මෙහි සටහන් කළ යුතුමය.
සිනමාව පිළිබඳව පමණක් නොව බොහෝ විෂයයන් පිළිබඳව හොඳින් කියවා අධ්‍යයනය කළ, ඒ පිළිබඳව නිවැරැදි මතක ශක්තියක් තිබුණු ,එලෙස රැස්කරගත් දැනුම රසවත්ව, හරවත්ව අකුරු කරන්නට තරම් හොඳ නිර්මාණශීලී දක්ෂයකු මෙලෙස අකාලයේ මියයාම පිරිමසාලිය නොහැකි පාඩුවකි. මෙය ප්‍රබල ලෙස ඔහුගේ බිරියට, දරුවන්ට, ඥාතීන්ට දරාගන්නට අපහසු බව දනිමු. එසේම ඔහුගෙන් හිස්වන මෙම අඩුව අපට මෙන්ම මේරටේ සිනමා ලේඛන කලාවටම හෙට දවසේ දැනෙනු ඇත.
දයාබර සුනිල් අයියේ, ඔබට නිවන්සුව