අධ්‍යක්ෂවරයෙක් සමඟ එක්ව නාට්‍යයක් ලිව්වා ඒත් මගෙ නමවත් සඳහන් වුණේ නෑ | සිළුමිණ

අධ්‍යක්ෂවරයෙක් සමඟ එක්ව නාට්‍යයක් ලිව්වා ඒත් මගෙ නමවත් සඳහන් වුණේ නෑ

- මගෙ නම කිව්වාම මම කරන වැඩ ටික මතක් වෙනව නම් ඒ මට ඇති පාර දිගේ
- නිර්මාණයේ තේමාවේ අපූර්වත්වය තමයි ජනප්‍රියතාවට වැඩිපුරම බලපෑවේ

පාර දිගේ යනු මෑතකදී විකාශය අවසන් කෙරුණු වැඩි රසික සහ විචාරක ආකර්ෂණයක් දිනාගත් ටෙලි නාට්‍යයක්. බුද්ධික සේමසිංහ කියන්නෙ පාර දිගේ ටෙලි නාට්‍යයේ සම තිර රචකයෙක්.එමෙන්ම ඔහු රංගන ශිල්පියෙක්, වේදිකා නාට්‍යකරුවෙක්, ගීත රචකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ අතිරේක පංති ගුරුවරයෙක් ලෙසත් බහුවිධ කාර්‍යයන්හි යෙදෙන තරුණයෙක්.

පාර දිගේ ලියන්න පටන් ගන්නෙ කොතනින්ද.?

මුලින්ම පාර දිගේ පිටපත ලිව්වෙ සද්ධාමංගල සූරියබණ්ඩාර. හාරසීය දාසය වන එපිසෝඩ් එකේ සිට පන්සිය පනහ, අවසන් කොටස දක්වා මම රචනයෙන් දායක වුණා.

නාට්‍යය මේ තරමටම ප්‍රේක්ෂකයන් වැලඳගන්න හේතුව මොකක්ද.?

ඕනෑම නිර්මාණයක් මිට කලින් දැකල නැති තේමාවක් යටතේ හැදුණොත් ඒක ප්‍රේක්ෂකයන් අතරට යන ප්‍රවණතාව වැඩියි. මේ කතාවෙදි තරමක් වැඩිහිටි පුද්ගලයෙක් අඩු වයසෙ කෙනෙක් එක්ක විවාහ වෙනවා. හැබැයි එතැන රැවටීමකුත් තිබුණා. නිර්මාණයේ තේමාවේ අපූර්වත්වය තමයි ජනප්‍රියතාට වැඩිපුරම බලපාන්න ඇත්තෙ.

ඒ තේමාව සාර්ථකව නරඹන්නන් අතරට ගෙනියන්න අනෙකුත් ශිල්පීන්ගේ දායකත්වය බලපෑවෙ කොයි විදිහටද.?

පාර දිගේ පිටපත කියන බ්ලොක් එක හැඩ කරන්න හැමෝගෙම සහයෝගය නොඅඩුව ලැබුණා. ඒ චරිත ඇතුළේ තමයි ශිල්පීන් අදාල කාලය තුළ ජීවත් වුණේ. උදාහරණයක් විදිහට රෙහාන්ගෙ චරිතය කරපු උද්දික ප්‍රේමරත්න අවුරුදු දෙකක් උඩු රැවුල කැපුවෙ නෑ. සියලුම ශිල්පීන් පිටපතට උපරිම සාධාරණයක් කළා. ඇතැම් චරිතවල වෙනස්කම්වලදි ප්‍රේක්ෂක හිත් රිදවගන්න තරමටම ඒ චරිත ප්‍රේක්ෂක මනසට කාවැදිල තිබුණා.

රෙහාන් සහ බන්ටිගෙ වෙන්වීම තුළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔබට දැනුණේ කොහොමද .?

ඒ වෙලාවෙ ප්‍රේක්ෂකයො ටිකක් කලබල වුණා. හැබැයි බොරුව එළි නොවී ඉදිරියට යාමක් නැහැ. විරහව කියන්නෙත් ආදරයේ සුන්දරම පරිච්ඡේදයක්. මට ඒ කාලය තුළ ඒ චරිත තුළින් විරහව හොඳින් ඉස්මතු කරන්න අවස්ථාවක් ලැබුණා.

කොටස් පන්සිය පනහක් කියන්නෙ දීර්ඝ ටෙලි නාට්‍යයක්. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් දිග නාට්‍යය ප්‍රතික්ෂේප කළත් අපිට එහෙම වුණේ නැහැ. පාර දිගේ ටෙලි නාට්‍යය ගෞරවනීය විදියට නිමා කළා. චරිතවලට හොඳ අවසානයක් ලබා දෙන්න හැකි වුණ එක ගැන සතුටුයි.

ඔබ කලාවට අත් පොත් තබන්නෙ කොහොමද?

මගෙ ගම නුවර අමුණුගම. නරේන්ද්‍රසිංහ ප්‍රාථමික පාසලේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයටත් උසස් පෙළින් පස්සෙ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු කළා. පාසල් කාලයේ සිටම මම වේදිකා නාට්‍යය සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම තරඟවලටත් ඉදිරිපත් වුණා. අපේ ස්කෝලෙ පිරිමි පාසලක්. 2005 අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරපු නාට්‍යය උළෙලේ හොඳම නිළිය වුණේ මම. මධ්‍යම පළාත් 2011 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේදි අධ්‍යක්ෂණය, පිටපත, හොඳම සහය නළුවා ඇතුළු සම්මාන හතක් මම නිර්මාණය කරපු “කුමාරපටබැඳිහේවා“ කියන නාට්‍යයට හිමි වුණා. 

ඔබ කොහොමද රූපවාහිනියට එකතු වෙන්නෙ.?

සිංහල අතිරේක පන්ති ගුරුවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්න අතරේ සමරෙ & සමරෙ පිටපත ලියන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ චාමර ජනරාජ් පීරිස්ගෙ බටහිර අහස ටෙලි නාට්‍යයට පිටපත ලියමින් සම්බන්ධ වෙලා ඉන්න කාලෙ එහි චරිතයක් රඟපාන්න ලැබුණා. ඉන් පස්සෙ තමයි ටෙලි නාට්‍යෙවල රඟපාන්න සහ පිටපත් රචනයට යොමු වුණේ.

ඔබේ පිටපත්වලින් හැඩවුණ නිර්මාණ පිළිබඳව මතක් කළොත්.?

ස්වර්ණවාහිනියේ විකාශය කෙරුණ සිහින සමාගම සහ පැකේජ් ටෙලි නාට්‍යයවල පිටපත ලිව්වෙ මම. සම රචකයෙක් ලෙස බස් එකේ ඉස්කෝලෙ, දඩයම් බඹරු, වීදුරු මල් සඳහා එක් උණා.

ක්ෂේත්‍රය තුළ හිත රිදුණු තැන් තියෙන්න ඇති.?

එහෙම ලොකු අත්දැකීමක් තියෙනවා. සම්මානයට පාත්‍ර වුණ එක්තරා ටෙලි නාට්‍යක අධ්‍යක්ෂවරයා සමඟ එකතු වෙලා මම පිටපතක් ලිව්වා. නමුත් නිර්මාණය විකාශය වෙනකොට මගෙ නමවත් සඳහන් වෙලා තිබුණෙ නැහැ. අදාළ ගෙවීම් කළෙත් නැහැ. මගෙ වචන, අදහස් ඇතැම් තැන්වල ඒ විදියටමත් සමහර තැන්වල පොඩි වෙනස්කම් එක්කත් ටෙලි නාට්‍යයට යොදාගෙන තිබුණා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ සිදුවීම ගැන දන්නවා.

වැඩිපුර කැමැති ඔබව කොහොම හඳුන්වනවටද?

නමේ ඉදිරියට තිර රචක, අධ්‍යක්ෂ හෝ වෙනත් කොටසක් එකතු කරනවට වඩා මගෙ නමින් මාව හඳුන්වනවට තමයි මම කැමති. මගෙ නම කිව්වාම මම කරන වැඩ ටික මතක් වෙනව නම් ඒ මට ඇති.

Comments