ලැයිස්තුගත සමාගම් හඳුනා ගනිමු | සිළුමිණ

ලැයිස්තුගත සමාගම් හඳුනා ගනිමු

Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ

පසුගිය සතියේ ලිපියෙන් අප කොටස් වෙළඳපොළ පිළිබඳ මූලික හැඳින්වීමක් ඉදිරිපත් කළෙමු. එහිදී කොටස් යනු කුමක්ද සහ සාමාන්‍ය කොටස් යනු කුමක්ද සහ සාමාන්‍ය වරණීය කොටස් පිළිබඳවද සාකච්ඡා කළෙමු. මේ සතියේ අප සාකච්ඡා කරන්නේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් පිළිබඳවයි.

සරල ලෙස හැඳින්වුවහොත් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වන්නේ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචිය ලබාගත් පොදු සමාගම්ය. බොහෝවිට මෙම සමාගම් මිල කළ සමාගම් ලෙස ද හැඳින්වේ. කිසියම් පොදු සමාගමකට කොටස් වෙළෙඳපොළේ කොටස් නිකුත් කිරීමට අවශ්‍ය නම් එම සමාගම පළමුව කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචිය ලබාගත යුතුය. එහිදී එම සමාගම ලැයිස්තුගත සමාගම් හෙවත් මිලකළ සමාගම් ගනයට අයත්වේ. එසේ ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමෙන් පසුව එම සමාගමට සිය ප්‍රාග්ධනය රැස්කර ගැනීමට අවශ්‍ය අරමුදල් ලබාගැනීමට කොටස් වෙළෙඳපොළ හරහා කොටස් නිකුත් කිරීම සිදුකළ හැකිය. කිසි විටක පුද්ගලික සමාගමකට කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමට අවකාශ නොලැබේ.

කොටස් නිකුතුව

යම් සමාගමක් කොටස් වෙළඳපොළේ ලියාපදිංචි කිරීමට ප්‍රථම එම සමාගම ‍කොටස් වෙළඳපොළේ අවසරය ඇතිව ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් සිදුකරනු ලබයි. ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් (Initial Public offer) යනු සමාගමක් විසින් ප්‍රසිද්ධියේ මහජනතාවට එම සමාගමේ කොටස් නිකුත් කිරීමයි. ඉන් පසු එම කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචිය සිදුකරනු ලබයි. ඇතැම් සමාගම් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කිරීමේ පරමාර්ථයෙන් තොරව පෞද්ගලික නිකුතුවක් (private placement) මඟින් ‍කොටස් නිකුතුවක් කරනු ලබයි. මෙහිදී අදාළ සමාගමේ කොටස් මිලදී ගන්නා ලෙස ප්‍රසිද්ධියේ මහජනයාට ආරාධනු කරනු නොලබයි. ඒ නිසා මෙය ප්‍රසිද්ධ කොටස් නිකුතුවකින් වෙනස් වේ. ප්‍රසිද්ධ කොටස් නිකුතුවකදී සමාගම විසින් ඉදිරියේදී එම කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කරන බව පැහැදිලිව ප්‍රකාශයට පත් කරනු ලබයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැනට ලියාපදිංචි වී ඇති සමාගම් මෙපමණකැයි අපට නිශ්චිතව සඳහන් කළ නොහැක. එනම් කලින් කලට කොටස් වෙළෙඳපොළට නව සමාගම් පැමිණෙන විට හා ඉන් ඉවත්ව යන විට මේ සංඛ්‍යාව වෙනස් විය හැකිය. නිසි අවශ්‍යතා සපුරා කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට (Listing) මෙන් ම ඉවත් විමටද (Delisting) සමාගමකට පූර්ණ හැකියාව පවතී, කෙසේ වෙතත් ‍කොටස් වෙළෙඳපොළේ නිතර නිතර කියැවෙන දිරිසවිපුවරුව (Dirisavi Board) ප්‍රධාන පුවරුව (Main Board කඩකල පුවරුව (Default Board) යනුවෙන් පුවරු කීපයක් ගැන සාකච්ඡා කෙරේ.

දිරිසවි පුවරුව (Dirisavi Board)

සමාගමක් දිරිසවි පුවරුවේ ලියාපදිංචි වීමට පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතුය.

සමාගම ලැයිස්තුගත කරන අවස්ථාවේ සමාගමේ ප්‍රකාශකළ ප්‍රාග්ධනය (stated capital) රුපියල් මිලියන 100 කට නොඅඩු විය යුතුය.

ලැයිස්තුගත කිරීමට ඉල්ලුම්පත්‍රය කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට ඉදිරිපත් කළ දිනට පෙර ගිණුම් වර්ෂය සඳහා ධනාත්මක ශුද්ධ වත්කම් (Net Assets) වටිනාකමක් සමාගමේ ඒකාබද්ධ ගිණුම් ප්‍රකාශනවල වාර්තා කර තිබීම.

මෙහිදී ශුද්ධ වත්කම් ලෙස හැඳින්වෙන්නේ සමාගමේ මුළු වත්කම්වල වටිනාකමින් සමාගමේ සියලුම වගකීම් අඩු කිරීමෙන් පසු ලැබෙන අගය ධන අගයක් විය යුතු බවයි. එනම් ව්‍යාපාරය සතු මුළුවත්කම් වලින් සිය වගකීම් පියවාගෙන තවත් වත්කම් ප්‍රමාණයක් ඉතිරිව පැවතිය යුතු බවයි. උදාහරණයක් ලෙස X නමැති සමාගම දිරිසවි පුවරුව යටතේ ලියාපදිංචි කිරීමට අපේක්ෂා කිරීමට ‍අපේක්ෂා කරයි. ඔවුන් සතුව මුළු වත්කම් රුපියල් මිලියන 400ක් සහ මුළු වගකීම් රුපියල් මිලියන 100ක් පැවතුනේ නම් ඔහුන්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 300ක (400 - 100) ධන අගයක් පවතින නිසා දිරිසවි පුවරුව තුළ ලියාපදිංචි කිරීමට හැකියාවක් ඇත.

ඒකාබද්ධ ගිණුම් ප්‍රකාශන යනුවෙන් සඳහන් කර ඇත්තේ වර්ෂය අවසානයේ පිළියෙල කරන ගිණුම්ප්‍රකාශනවල ලාභ උපයා තිබිය යුතු බවයි.

සමාගම නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් 10%ක් මහජනතාවට නිකුත් කර තිබිය යුතු අතර එය අවම සමාගමේ කොටස් හිමියන් 200ක් අතර බෙදී යා යුතුය.

මහජනතාවට නිකුත් කර ඇති ප්‍රාග්ධනයෙන් 50%කට නොවැඩි ප්‍රමාණයක් ප්‍රධාන කොටස් හිමියන් 03ක් අතර බෙදී පවතින බවද තහවුරු කළ යුතුය.

සමාගමේ ක්‍රියාකාරී කාලසීමාව අවම වශයෙන් වසරක් පිරී තිබීම.

ඉහත කොන්දේසි සියල්ල සපුරා ඇත්නම් පොදු සමාගමකට කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරිසවි පුවරුවේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබයි.

සමාගමක් ප්‍රධාන පුවරුවේ ලියාපදිංචි කිරීමට නම් පහත කොන්දේසි එම සමාගම විසින් සපුරා ලිය යුතුය.

ලැයිස්තුගත කරන අවස්ථාවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට රුපියල් මිලියන 500කට නොඅඩු වීම සහ අවම වසර තුනක කාලයක් ලාභදායිත්වය පෙන්නුම් කළ යුතුය.

ළඟම වර්ෂ දෙකක ඒකාබද්ධ ගිණුම් ප්‍රකාශනවල ශුද්ධ වත්කම් ධන අගයක් පැවතීම.

නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 25%ක් මහජනතාවට නිකුත් කර තිබිය යුතු අතර ඒ අතර කොටස් 100කට නොඅඩු කොටස් සංඛ්‍යාවක් හිමි කොටස් හිමියන් අවම පුද්ගලයින් 1000 ක් අතර බෙදී යා යුතුය.

ඉහත කොන්දේසි සපුරා ඇත්නම් එම පොදු සමාගමට කොළඹ ‍කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ ලියාපදිංචිය ලබාගත හැකිය. ඇතැම් අවස්ථාවලදී ඉහත කොන්දේසි 100%ක්ම සපුරා නොතිබුණත් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට අදාළ පොදු සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි නම් ප්‍රධාන පුවරුවේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදේ.

ප්‍රධාන පුවරුව තුළ හෝ දිරිසවි පුවරුව තුළ ලියාපදිංචි කර ඇති ඕනෑම පොදු සමාගමක් ඉහත සඳහන් කර ඇති කොන්දේසි දිගින් දිගටම කඩ කරන්නේ නම් එම සමාගම් “කඩකළ පුවරුවේ” (Default Board) ඇතුළත් කෙරේ.

වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර වේ. බොහෝ අයට භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව කතාකළත් හරිහැටිම භාණ්ඩාගාර බැඳුම්කර යන්න කුමක්ද පිළිබඳව ඔවුන්ටද අව‍‍බෝධයක් නොමැති අවස්ථාද දක්නට ලැබේ.

භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds)

භාණ්ඩාගාර බැඳුම්කරද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හරහා ගනුදෙනු කළ හැකි ලියවිල්ලකි. නමුත් මේ බැඳුම්කර නිකුත් කිරීමට බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට පමණි. සමාගම්වලට අරමුදල් අවශ්‍ය වූ විට කොටස් නිකුත් කරන ආකාරයටම රජයේ මූලික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා රජය නිකුත් කරනු ලබන්නේ “කොටස්” නොව භාණ්ඩාගර බැඳුම්කර වේ. මෙය රජයේ මහාභාණ්ඩාගාරය විසින් රාජ්‍ය මුද්‍රාව තබා නිකුත් කරන ලියවිල්ලකි. ආයෝජනයට කැමති පාර්ශ්වයන්ට මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන අවස්ථාවේ ඒවා මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. මේවා මිලට ගත් අයෙකුට ඊට ප්‍රතිලාභ ලෙස හිමිවන පොලිය මාස 06කට වරක් ගෙවනු ලබයි. භාණ්ඩාගාර බැඳුම්කරවල නිශ්චිත පරිණත කාලය අවසන් වීමෙන් පසුව එම බැඳුම්කරවල නාමික අගය (මිලදීගත් අගය) රජය විසින් එම ආයෝජකයාට නැවත ලබාදේ. බොහෝ විට භාණ්ඩාගාර බැඳුම්කරවල පරිණත කාලය වසර 2 සිට වසර 30 දක්වා පවතී. පරිණත කාලය අවසන් වූ පසුව රජය විසින් එම මුදල ආයෝජකයාට ලබාදීමෙන් ගනුදෙනුව අවසන් වේ.

භාණ්ඩාගාර බැඳුම්කර දෙපාර්ශ්වයට ම වාසිදායකය. එනම් රජ‍යේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන අතර ඒ සඳහා අරමුදල් ලබාදෙන ආයෝජකයනට ද පොලී ආදායමක් ලැබේ. රජය මඟින් මෙය නිකුත් කරන නිසා අයෝජකයාගේ සුරක්ෂිතතාවය ද තහවුරු වේ.

ලබන සතියේ කොටස් වෙළෙඳපොළේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

Comments

පිටු