ජෛව විවිධත්ව මූලාශ්‍ර විනාශය | සිළුමිණ

ජෛව විවිධත්ව මූලාශ්‍ර විනාශය

වායූ ගෝලයේ ඇතිවන වෙනස්කම් අනුව සිදුවන ස්වභාවික දේශගුණ විපර්යාස මෙන්ම තම භෞතික පරිසරයේ ස්වභාවික සම්පත්, මිනිසා විසින්ම අසීමිතව භාවිතා කරන නිසා අද අපි බලවත් දේශගුණික විපර්යාසයකට ගොදුරු වෙමින් සිටිමු. දේශගුණික විපර්යාසය අයහපත් ලෙස බලපාන්නේ මිනිසාට පමණක්ම නොවේ. එය මිහිතලයේ ඇති සියලු සජීවී සතුන්ටත්, අජීවී වස්තූන්ටත් බලපාන්නකි.

ජෛව විවිධත්වය අතිශය සංකීර්ණ එකකි. පළමුවෙන්ම එම සංකීර්ණත්වය පැහැදිලිව තේරුම් නොගතහොත්, සජීවී සහ අජීවී වස්තූන් අතර ඇති අන්‍යෝන්‍ය සබඳතා මෙන්ම ඒ සබඳතා නිසාම ජීවීන්ගේ පැවැත්ම අපට තේරුම් ගත නොහැක වනු ඇත. ජෛව විවිධත්වය යනු කුමක්දැයි තේරුම් කර දීමත්, තේරුම් ගැනීමත් අද අපැහැදිලිව සිදුවෙත්.

මෙහි දක්වා ඇති රූපයෙන් පෙන්නුම් කරනුයේ, මිහිතලයේ ඇති සියලුම සජීවීන්ගෙත්, අජීවී වස්තු වලත් ඇති සබඳතාවයි. එකකට එකක් එක එල්ලේම සම්බන්ධතා දක්වන අතර, සජීවී සහ අජීවී වස්තු කිහිපයකම සම්බන්ධතාද එය දක්වා ඇත.

මේ සියලු සම්බන්ධතා මූලිකවම රඳා පවතින්නේ සූර්ය තාපයේ බලපෑම මතය. ඒ බලපැවැත්ම විවිධ ආකාරයෙන් විවිධ අවස්ථා වලදී විවිධ තැන්වලදී විවිධ ජීවීන්ටත්, විවිධ අජීවී වස්තූන්ටත් බලපැම් කෙරේ. සියල්ලම පවතින්නේ සූර්ය තාපය කේන්ද්‍ර කරගෙනය.

මෙම රූපයෙහි ප්‍රධාන සෘජු සම්බන්ධතා පහළොවකි.

1. මිනිසා සහ ජලය

2. මානවයා සහ භූමිය

3. භූමිය සහ වායුව

4. වායුව සහ ශාක

5. සත්ත්වයින් සහ ශාක

6. ජලය සහ සත්ත්වයින්

7. ජලය සහ භූමිය

8. භූමිය සහ ශාක

9. ජලය සහ ශාක

10. මිනිසා සහ සත්ත්වයින්

11. මිනිසා සහ ශාක

12. මිනිසා සහ වායුව

13. වායුව සහ සත්ත්වයින්

14. සත්ත්වයින් සහ භූමිය

15. වායුව සහ ජලය අතර සම්බන්ධතා පෙන්නුම් කෙරේ.

මේ සියලු සබඳතා ගැන දීර්ඝ වර්ණනා අනවශ්‍යය. එහෙත් මහ පෙන්වීමක් වශයෙන් පළමු වැනි සහ දෙවැනි සබඳතා උදාහරණ වශයෙන් ගනිමු. පළමුවැනි සබඳතාව, එනම් මිනිසා සහ ජලය අතර දැඩි සබඳතාවක් පවතී. මිනිසාගේ ගොවි කටයුතු සාර්ථක කර ගැනීමට ජලය සැපයීම අවශ්‍යය. ඔහුට බීම සහ නෑම ඇතුළු සියළු ගෙදර දොර අවශ්‍යතා සඳහා ජලය අත්‍යවශ්‍යය.

සංස්කෘතික වශයෙන් ජලයට පුදසන් කිරීම අනාදිමත් කාලයක සිටම මිනිසා විසින් කර ඇත්තකි, අදත් කරන්නකි. බොහෝ බලාපොරොත්තු සහිතව වැවක ජලය එක් රැස් කිරීම, සොරොව් වලින් ජලය ක්‍රමවත්ව පිට කිරීම, වේලි වලින් ජලය හරවා අවශ්‍ය තැනට ගෙන යෑම සහ වගා කළ ලියැදිවල ජලය විසුරුව තබා ගැනීම ඉතා විධිමත්ව කරන්නේ මිනිසා විසිනි. මිනිසා ජලය ප්‍රවේසම් කරමින් පරිහරණය කරන අතර එය දූෂිතද කරන්නේය.

මෙහි දක්වා ඇති දෙවැනි සබඳතාව; එනම් භූමිය සහ මිනිසා අතර සබඳතාවද අතිශයින්ම වැදගත් එකකි. මිනිසාට ඛණිජ වර්ග, ඛණිජ තෙල්, පස් සහ වැලි සපයන්නේ භූමියයි.

මිනිසා බිජු වපුරන්නේ භූමියෙහිය. ඔහු ජීවත් වීමට නිවාස තනන්න්නේද භූමියේය. භූමිය අජීවී වන අතර මිනිසා ජීවියෙකු වීම, අජීවී වස්තු සහ ජීවීන් අතර ඇති සබඳතාව දැක්වීමට කදිම උදාහරණයකි.

ඒ ආකාරයෙන් මෙම රූපයෙහි දක්වා ඇති සෙසු සෘජු සබඳතා ගැන මෙය කියවන ඔබට දහසක් වුවත් උදාහරණ සපයා ගත හැක. ඒ අනුසාරයෙන් සියලු ජීවීන් සහ අජීවී වස්තූන් අතර ඇති, සෘජු සම්බන්ධතා ගැන ඔබටම මනා අවබෝධයක් ඇති කර ගැනීමට හැකි වනු ඇත.

ඒ කෙසේ වෙතත්, ජීවීන්-ජීවීන් අතරත්, අජීවී වස්තූන් අජීවී වස්තූන් අතරත්, ජීවී සහ අජීවී වස්තුන් අතරත් සැම විටම ඇත්තේ සෘජු සබදතා නොවෙත්. ඒවා අතර අතිශය සංකීර්ණ ඇලීම්, වෙළීම්, බැඳීම් මෙන්ම පටලැවිලිද තිබේ. මේ රූප සටහනෙහි 7 සිට 15 සම්බඳතා එකිනෙක අතර ඇති ඇලීම්, වෙළීම්. බැඳීම් සහ පටලැවිලිද පෙන්වා දී ඇත.

මේ සංකීර්ණ සබඳතා අතර ප්‍රධාන සංකීර්ණ සබඳතා පහක් දක්වා තිබේ. එනම්;

1. මිනිසාත්, ජලයත්, භූමියත්, සියලු සත්ත්වයිනුත්, ශාකත්, වායුවත් දක්වන අන්තර් සම්බන්ධතා

2. භූමියත් මිනිසාත් වායූවත් (සුළගත්), ජලයත් සත්වයිනුත්, ශාක වර්ගත් අතර ඇති සම්බන්ධතා

3. ජලය, මිනිසා සත්ත්වයින්, භූමිය වායුව සහ ශාක වර්ග අතර ඇති සබඳතා.

4. ශාක වර්ගත්, සත්ත්වයිනුත්, වායුවත් ජලයත් මිනිසාත් භූමියත් අතර ඇති සම්බඳතාව සහ

5. වායුවත්, ශාක වර්ගත්, භූමියත් සත්ත්වයිනුත්, ජලයත් මිනිසාත් අතර ඇති සබඳතා වෙත්.

මේ ඕනෑම සංකීර්ණ සබැඳියාවකදී එක් එක් කාරකයා තනිව හෝ තවත් කාරකයින් සමග හෝ එකතුවී, එක් කාරකයකට හෝ කාරක දෙක තුනකටම යහපත් මෙන්ම අයහපත් දෑ සිදු කරත්. සූර්යයාගේ බලතාපය සහ එහි වක්‍ර බලපෑම් හැරුණු විට මේ සංකීර්ණත්වයේ හිතකර මෙන්ම අහිතකර ප්‍රතිපල ගෙනදිය හැකි දෙවන බලවතා මිනිසාය.

මිනිසාගේ යහපත් බලපෑම් බොහෝය. ඔහු බොහෝ අවස්ථා වලදී ජලය, භූමිය, වායුව, ශාක මෙන්ම සත්ත්වයින් රැක බලමින් ප්‍රෞඪ මානව ශිෂ්ටාචාර ආශ්‍රිත ක්‍රියාවලි බිහිකර ඇත. කර්මාන්ත මෙන්ම අති උත්කෘෂ්ඨ තාක්ෂණ ක්‍රමද බිහි කර තිබේ. මෙවන් යහපත් දේ කල මිනිසාම ජලයට, භූමියට, සුළඟට, ශාක වර්ග වලට, සමහර සතුන්ට ඉතා බරපතල ලෙස හානි කර ඇත; කරමින්ද සිටී. එමගින් මෙහි දක්වා ඇති සමතුලිත අන්තර් සබඳතා බිඳ දමමින් සිටී. මිනිසාම ඇතුළු සම්බන්ධීකාරකයනට නොයෙකුත් හානි පමුණුවමින් සිටී. එයිනුත් ජෛව විවිධත්ව ගෙනදෙන සියලු ජීවීන්ටත්, අජීවී ශාක වර්ග වලටත්, දැනුවත්ව හෝ නොදැනුවත්වම දැනටමත් කර ඇති හානි බරපතලය. එකී නොකී සියලු හානි නිසා වායුගෝලයේ ඇතිවූ වෙනස්කම් හේතු කොට ගෙන උෂ්ණත්වය වැඩිවී හිම කඳු දියවී සාගර ජල මට්ටම් ඉහළ යමින් නොයෙකුත් දේශ දේශාන්තර වල අහිතකර දේශගුණ විපර්යාස ඇතිවී මිනිසාගෙත් ජලයේත් භූමියේත් වායුවේත් ශාකවලත් සත්ත්වයින්ගේත් පැවැත්මට තර්ජන එල්ල වී ඇත. විසි එක්වන සියවස අවසාන වන විට සමහර දූපත් සහ පහත් බිම් ඒවායේ ජීවීන් මෙන්ම ශාක වර්ගත් සමගම මුහුදටම යටවී යනු ඇත. ඒ පුළුල් වශයෙන් ලෝක වේදිකාවේ තත්වයන්ය.

මෙවන් හානි තවත් මැනවින් අපි අපිටම ඇති අපේ වටපිටාවෙහිදීම (immediate environment) දකිමු. සමහර සත්ත්ව වර්ග දැන් වඳවී හමාරය. තවත් සමහරක් වඳ වෙමින් පවතී. සමහර මත්ස්‍ය වර්ග ඊට දිය හැකි උදාහරණයෝය.

මිනිසාගේම කැලෑ සංහාරය නිසා කැලෑ බිම් හීන වී, විපරීත වී එමගින් සත්ත්වයින්ගේත් මිනිසාගේත් පැවැත්මට තදබල ලෙස තර්ජන එල්ල කර ඇත. සත්ත්වයින්ගේත් ශාක වර්ග වල තිබූ දැඩි සම්බන්ධතා කැඩී ගොස් තිබේ. ඒ දෙපාර්ශ්වයේම පාරාදීස (habitats) කැඩී බිඳී අවුල් වී ගොස්ය. මේවායේ අහිතකර බලපෑම් ද දිනෙන් දින මිනිසාට එරෙහිව යමින් පවතී.

ජෛව විවිධත්ව චක්‍රයම අවුල් වීමට ඉඩ නොදිය යුතුය. එකම කෝෂයේ පංගුකාරයින්ගේ පැවැත්ම අවුල් කිරීම යනු ජෛව විවිධත්වය විනාශ කොට එමගින් කවදා හෝ දිනක මිනිසාගේද විනාශය සිදු කරගනු ඇත. අපි එයින් වැළකී සිටිය යුතුය.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන්

Comments