ගැටලු හඳුනාගෙන කුකුළු පාලනයේ නිරතවන්න | සිළුමිණ

ගැටලු හඳුනාගෙන කුකුළු පාලනයේ නිරතවන්න

 සත්ත්ව පාලනයේ ප්‍රධාන අංශ‍යක් ලෙස කුකුළු පාලනය දැක්විය හැකි ය. මූලිකවම බිත්තර ලබාගැනීම අරමුණු කොට ගෙන ලේයර් කුකුළු පාලනයත් මස් ලබා ගැනීම අරමුණු කොට ගෙන බ්‍රොයිලර් කුකුළුපාලනයත් සිදු කරනු ලබයි. ව්‍යාපාරයක් ලෙස කුකුළු පාලනය ශ්‍රී ලංකාවේ දිනෙන් දින දියුණු වන්නේ ය. පසුගිය 2016 වසරේදී ද කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පෙන්වීය. සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව 2016 වසරේ දී කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 173, 830 ක් දක්වා සියයට 5.7 කින් ද බිත්තර නිෂ්පාදනය බිලියන 2.0 ක් දක්වා සියයට 8.5 කින් ද වර්ධනය විය‍. බිත්තර සහ මස් සඳහා වෙළෙඳපොළ තුළ හොඳ ඉල්ලුමක් ඇති හෙයින් ම මෙය හොඳ ව්‍යාපාර අවස්ථාවකි.

එහෙත් දිනෙන් දින වර්ධනය වන ලාභදායි ව්‍යාපාරයක් වන කුකුළු පාලනයට ඇති ප්‍රධාන ගැටලුවක් නම් කුකුළු පාලනයේ දී අතුරු ඵලයක් ලෙස එක් රැස් වෙන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමයි. මෙම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකොට විවිධ ස්ථානවල දැමීමෙන් ආර්ථික, සාමාජීය මෙන් ම පාරිසරික ගැටලු රාශියක් උද්ගත වේ. අපද්‍රව්‍යවලින් නිකුත් වන ඇමෝනියා වැනි වායූන්ගෙන් දුගඳ හමන අතර අවට පිරිසුදු වාතය දූෂණයට ලක් කරයි. එමෙන් ම මෙම අපද්‍රව්‍ය පිරිසුදු ජල ප්‍රභව හා මිශ්‍ර වීමෙන් ඒවා අපිරිසිදු කරවයි. එවැනි කාරණා මිනිසාට ලෙඩ රෝග ඇති කිරීමට බලපෑ හැකි ප්‍රධාන සිද්ධීන් ය. එහෙයින් ම මෙවැනි කරණා අරඹයා ඇති වන අසල්වාසී වි‍රෝධය නිසා සාමාජීය ප්‍රශ්න ද ඇතිවේ. එමෙන් ම මෙම අපද්‍රව්‍ය කුකුළු කූඩු අවට එක් රැස් වී අපිරිසිදු වීමෙන් කුකුලන්ට ‘ගම්බෝ‍රෝ’ වැනි රෝග වැලඳී‍ෙම් දැඩි අවධානයක් ද පවතී. එය නිෂ්පාදකයාට ආර්ථික පාඩු ගෙන දෙන්නෙකි.

එහෙත් සමාජීය, ආර්ථික මෙන් ම පාරිසරික ගැටලු රාශියකට මුල් වන මෙම කුකුල් පාලනයේ අපද්‍රව්‍ය අතිරේක ආදායමක් ද ලබා දෙමින් පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ හැකියාවක් ‍පවතී. ඒ කුකුළු පාලනයේදී එක් රැස් වන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොරක් වන කුකුළු පොහොර නිෂ්පාදනයට හුරුවීමයි.

කුකුළු පාලනයේ දී එක් රැස් වන ප්‍රධාන අපද්‍රව්‍ය මේ කුකුළු කොටුවල බිමට යොදන ආස්තරණයයි. මෙය ප්‍රධාන වශයෙන් දහයියා හෝ ලී කුඩු වලින් සමන්විතය. කුකුළු වසුරු, කුකුළු පිහාටු, ආහාරයට හා බීමට දී ඉවත වැටෙන කුකුළු කෑම හා ජලය මෙන් ම ක්ෂුද්‍ර ජීවීන් ගෙන් ද මේ ආස්තරණය පොහොසත් ය.

* කාබනික පොහොරක් ලෙස කුකුළු පොහොර භාවිතයේ වැදගත්කම.

කුකුළු පොහොර භෝගවලට අත්‍යවශ්‍ය සියලුම ශාක පෝෂක සංඝටකයන් පාහේ අන්තර්ගත අනර්ඝ පොහොරකි. සාමාන්‍යයෙන් ගොම පොහොරවල නයිට්‍රජන් සියයට 1.4 ක් ද, පොස්පරස් සියයට 0.7 ක් ද පොටෑසියම් සියයට 0.9 ක් ද අඩංගුවේ.

එම පෝෂ්‍ය පදාර්ථම බ්‍රොයිලර් කුකුළු පොහොරවල අන්තර්ගත වන්නේ මෙපරිදි ය. ඒ නයිට්‍රජන් සියයට 2.6 ක්, පොස්පරස් සියයට 1.2 ක් හා පොටෑසියම් සියයට 1.5 ක් ලෙස ය. ලේයර් කුකුළු පොහොරවල මෙම පෝෂ්‍ය පදාර්ථම මීට වඩා වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වේ. එහි නයිට්‍රජන් සියයට 3.0 ක් ද පොස්පරස් සියයට 1.5 ක් හා පොටෑසියම් සියයට 2.4 ක් අඩංගු වේ.

කුකුළු පොහොරවල හොඳ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයක් පවතී. එහෙයින් එම ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය හේතුවෙන් පාංශු පෝෂක ශාක වලට අවශෝෂණය කරගත හැකි ආකාරයන්ට පරිවර්තනය කරලයි.

එමෙන් ම පස් සවිවර කර පාංශු වාතනය මැනවින් පසට ඉඩ දෙයි. තවද පාංශු ව්‍යුහය වැනි දියුණු කිරීම හේතුවෙන් භෝගවල මුල් මැනවින් පස තුළට ගමන් කර භෝගවලට මනා සන්ධාරණයක් ලබාදෙයි. කුකුළු පොහොර කාබනික පොහොරක් ලෙස පසේ දීර්ඝ කාලීන සාර්ථකත්වය පවත්වා ගැනීමට ඉවහල් වේ.

එහෙත් විශේෂම කරුණ මේ කුකුල් පොහොර භෝග වගාවට යෙදීමේදී භෝග සිටුවීමට දින කිහිපයකට පෙර පස හා මිශ්‍ර කර ජලය දැමීමෙන් අනතුරුව භෝග සිටුවීමට පුරුදුවීමයි.

එමෙන් ම මේ කුකුළු පාලනයේ එක් රැස් වන අපද්‍රව්‍ය දිරාපත් වීමට සලස්වා කොම්පෝස්ට් පොහොර නිපදවීමේ හැකියාවක් ද පවතී. කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී උෂ්ණත්වය සෙ.අංශක 65 කට පමණ ඉහළ යන අවස්ථාවලදී ව්‍යාධිජනක ජීවීන් විනාශ වී යයි. තවද අවසන් කොම්පෝස්ට් නිෂ්පාදනය ඒකාකාර සංයුතියකින් යුත් කුඩා කොටස්වලින් සමන්විත ය. එහෙයින් කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මෙය කැබලිවලට කැඩීමට අවශ්‍ය නොවන අතර මෙහි අන්තර්ගත ක්ෂුද්‍රජීවීන්ගේ මනා ක්‍රියාකාරිත්වය නිසා දිරාපත්වීමේ ක්‍රියාවලිය වේගවත්වේ. මෙහි අවසන් ප්‍රතිඵලය භෝගවලට වටිනා පෝෂ්‍ය පදාර්ථවලින් අනූන ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය වීමයි. එහෙත් බ්‍රොයිලර් ආස්තරණයේ පවතින අධික කාබන් හා නයිට්‍රජන් අනුපාත හේතුවෙන් කොම්පෝස්ට් සෑදීමේ කාර්යක්ෂමතාව යම් හෙයකින් අඩු වන්නේ නම් එය ද ඉතා පහසු ලෙසින් ම මඟ හරවා ගත හැකි ය. ඒ යූරියා ස්වල්පයක් එක් කිරීමෙන් හෝ ක්ෂේත්‍රයේම වල් පැළෑටි ලෙස ඉවත් කරන අමු තණකොළ ආදිය එකතු කිරීමෙනි. තවද ගව මුත්‍රා ආදී වෙනත් පොහොර වර්ගයක් මේ හා සමඟ මිශ්‍ර කිරීම සිදු කළ හැකි ය. මෙලෙස කුකුළු පාලනයේ අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේදී යම් ප්‍රායෝගික ගැටලු ඇති වුවහොත් ඒවා ද පහසුවෙන් මඟ හරවා ගත හැකි ය.

මෙලෙස නිෂ්පාදනය කරන කාබනික පොහොර යොදාගෙන නිෂ්පාදකයින්ට අලුතෙන් භෝග වගාවකට ද යොමු විය හැකි ය. එවැනි කාබනික භෝගවලින් ලැබෙන ඵලදාවකට වෙළෙඳපොළේ ඇත්තේ හොඳ ව‍ටිනාකමකි. එමෙන් ම සෞඛ්‍යයට ද හිතකර ය. එසේත් නොමැති නම් කුකුළු පොහොර යොදාගෙන නිපදවන කොම්පෝස්ට් පොහොර අලෙවියෙන් වුව ද අමතර ආදායමක් ඉපයිය හැකි ය.

කුකුළු පාලනයේ යෙදී සිටින ව්‍යාපාරකයන්ට මෙන් ම සමාජයට ද ගැටලුවක් වන කුකුළු් පාලනයේ අපද්‍රව්‍ය මෙලෙස අතිරේක ආදායමක් උපයමින් පරිසර හිතකාමී ලෙස බැහැර කළ හැකි ය. මේ සඳහා වැඩිපුර මිනිස් ශ්‍රමයක් ‍හෝ අමතර වියදමක් වැය නොකර සාමාන්‍යයෙන් කුකුළු ‍පාලනයේ නිරත වී සිටින වැඩි ශ්‍රමිකයන්ටම මෙය සිදුකළ හැකි ය. එහෙයින් අමතර වියදමක් වැය නොකොට නිපදවන මෙම කාබනික පොහොර නිෂ්පාදකයාට ගෙන දෙන්නේ අමතර ආදායමකි.

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම විද්‍යා පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය. 

 

Comments