නව ව්‍යවසායකයින්ට ඇති තරම් මුදල් දෙන්න සූදානම් | සිළුමිණ

නව ව්‍යවසායකයින්ට ඇති තරම් මුදල් දෙන්න සූදානම්

දුප්පත්කමත්, විරැකියාවත් දුරු කොට සුළු හා මධ්‍ය පරිමාණ අංශයේන් නව රැකියා අවස්ථා බහුල කිරීම බලගැන්වෙන යෝජනා මාලාවක් අයවැයෙන් ඉදිරිපත් කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු මහතා ප්‍රකාශ කරයි. ගොවි, ධීවර, පශු සම්පත්, සංචාරක, වෙළෙඳාම, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ ඇතුළු කෘෂි, කාර්මික සහ සේවා යන ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනේම දියුණුවට නව ව්‍යවසායකයින් බළකායක් එකවර බිහි කරන මේ යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවීම තම දෙපාර්තමේන්තුවේ අරමුණ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා නව ව්‍යවසායකයන් බිහි කිරීමට අයවැයෙන් කළ යෝජනා පැහැදිලි කරමින් ප්‍රියංක අතපත්තු මහතා දැක්වූ අදහස් මෙසේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවට පැවැරී ඇති ප්‍රධාන කාර්යයන් පිළිබඳ මුලින්ම යම් කරුණු පැහැදිලි කර ගැනීමක් කළොත් හොඳයි?

ඔව්! ඇත්තටම අපේ දෙපාර්තමේන්තුවට තමයි රටේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ සියලුදෙනා බලගැන්වීම පැවැරිලා තිබෙන්නේ කිව්වොත් එය නිවැරදියි කියා මා සිතනවා. එය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තටම රජය, රටේ සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ දියුණුවට ගන්නා වූ ප්‍රතිපත්තිමය තීන්දු, තීරණ, වැඩසටහන්, ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම අපටයි භාරවී තිබෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් අපි ඒ දේ ඉටුකරන්න සූදානම්. කෘෂිකර්මාන්තයේ දියුණුවට අදාළව රජය ගන්නා තීන්දු තීරණ අතර කැපී පෙනෙන එකක් පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීම. ඒ කටයුත්ත ක්‍රියාවට නැංවීම අපේ කාර්යයක්.

ඊට අමතරව කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු විදේශීය මුල්‍ය ආයතන මඟින් රජය සමඟ එකතු වී ක්‍රියාත්මක කරන ප්‍රතිමුල්‍ය ණය යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීම අපි කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාගේ කටයුතු ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීම සම්බන්ධ වැඩසටහන්, ලෝක ආහාර වැඩසටහනට සහල් පරිත්‍යාග කිරීම, රජයේ ගබඩා ධාන්‍ය ඉදිකිරීම්, අත්‍යවශ්‍ය ආහාර බෝග වගා ප්‍රවර්ධනය, ඉලක්කගත කණ්ඩායම්වලට විශේෂ දිරිදීමනා ලබාදීම වැනි දේත් අපි තමයි ඉටු කරන්නේ. මේ අපේ අමාත්‍යාංශය යටතේ අපේ දෙපාර්තමේන්තුව ඉටුකරන කාර්යන් පිළිබඳ සරල හැඳින්වීමක් පමණයි.

අපේ රටේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධානම අභියෝග මොනවාද?

අපේ රටේ මේ අංශයේ පිරිස් මුහුණදෙන ප්‍රධානම අභියෝගය තමයි අරමුදල්, ප්‍රාග්ධනය හිඟකම, ව්‍යාපාර ආරම්භ කරන්න අඩු පිරිවැයකින් ප්‍රාග්ධනය සපයා ගැනීම. ඒ සඳහා ඇප තැබීමට වත්කම් හෝ දේපළ නොමැතිකම.

ඒවාගේමයි, අපේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා අංශ යාන්ත්‍රිකකරණය නොවීම, නව තාක්ෂණික දැනුම, නවීන පරිපාලන, කළමනාකරණ, ක්‍රම විධි, වෙළෙඳපොළ දිනා ගන්නා ක්‍රමවේද උපායමාර්ගික සැලසුම් ගැන දැනුම, අවබෝධය අඩුකම, තවත් කරුණක් තමයි අතදීමට සූදානම් ආයතන, සංවිධාන ගැන දැනුවත් නොවීම.

මේවාගේ අභියෝගවලට විසඳුම් ලබාදීම ඔබ අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් නේද?

අනිවාර්යෙන්ම ඔව්! අපි ඒ සඳහා සෑමවිටම පියවර ගෙන තිබෙනවා. ගනිමින් ඉන්නවා. අපි රජයට මේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට, වැඩපිළිවෙළ සකස් කිරීමට යම් යම් නිර්දේශ, මඟපෙන්වීම් සිදු කරනවා. ඒවා පිළිගනිමින් රජය තවත් අලුත්අදහස්, යෝජනා එක්කරමින් තමයි අවසානයේ ප්‍රතිපත්ති තීන්දු ගන්නේ.

එසේ තීන්දු ගත් අවස්ථා ගැන උදාහරණ සහිතව කථා කළොත්?

අපේ ‍රටේ දිගුකාලයක් තිස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කරන්න වැඩපිළිවෙළ යොදා තිබෙනවා. ගොවීන්ට වගා ණය, ධීවරයින්ට ධීවර ණය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කර්මාන්ත ණය ඉන් ප්‍රධානයි. නමුත්! ඒවා සාම්ප්‍රදායිකව සිදු කරන්නන් කරනවාට වඩා වෙනස් විදිහට සිතා සිදු කිරීමටයි, මෙවර අයවැයෙන් රජය පියවර ගෙන තිබෙන්නේ.

අපේ රටේ නව ව්‍යවසායක පරපුරක් බිහි කරන්න 2017 අයවැයෙන් ණය යෝජනා ක්‍රම 12ක් හඳුන්වා දුන්නා. පසුව එය තවත් සරල කොට 08 ක් ලෙස හඳුන්වා දුන්නා. ඒවා දැනටමත් ක්‍රියාත්මකද?

ඔව්! ඔව්! 2017 අයවැයෙන් තමයි කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය වැඩි කරන්න, කෘෂිකර්මාන්තය නව්‍යකරණයට ලක් කරන්න “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නේ. රුපියල් මිලියන 750ක් උපරිම ණය මුදලක් ඒ යටතේ ගන්න පුළුවන්කම තිබුණා. ණය ආපසු ගෙවන්න අවුරුදු පහක උපරිම කාල සීමාවක් ලබා දුන්නා.

දෙක “ගොවි නවෝදා ණය ක්‍රමය” ඒ යටතේ ගොවියෙකුට හෝ ගොවි සංවිධානයකට රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව ණයක් දුන්නා. පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස්රථ මිල දී ගන්න රිය ශක්ති ණය ක්‍රමය නිවාස, සූර්යබලශක්තියෙන් බලගන්වන්න රිවි බල සවිය ණය ක්‍රමය, ගමේ ජනතාවගේ ආදායම් ඉහළ නංවන්න “දිරි සවිය” කෘෂිකර්ම, ධීවර අංශ ඇතුළු සියලු කර්මාන්ත, සේවා දියුණු කරන්න “ජය ඉසුර”, නිවාස හදාගන්න අඩු ආදායම්ලාභීන්ට “සොඳුරු පියස” නමින් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළා.

ජනමාධ්‍යවේදීන්ටත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළා නේද?

ඔව්! මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය ඒ යටතේ මාධ්‍යවේදීන්ට නව තාක්ෂණික උපකරණ මෙවලම් ලබා ගන්න කිසිඳු පොලියක් නැතිව රුපියල් ලක්ෂ 03ක මුදලකුත්, මාධ්‍ය උපකරණ අලුත්වැඩියා කරගන්න සියයට 50 පොලී සහනයක් ඇතිව ලක්ෂ 1 ½ ක මුදලකුත් ලබා දෙන්න කටයුතු කළා. මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ මහජන බැංකුවයි.

මේ අන්දමේ ණය යෝජනා ක්‍රම අටෙන් මේ වන විට රටේ කී දෙනෙකුට සහනයක්, ප්‍රතිලාභයක් ලැබී තිබෙනවාද?

හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. අපි මේ ණය යෝජනා ක්‍රම අට ක්‍රියාත්මක කළේ මේ අවුරුද්දේ සැප්තැම්බර් දෙවැනි සතියේ. අද නොවැම්බර් තුන් වැනි සතිය. දැන් මාස දෙක හමාරක කාලය තුළ අපි රුපියල් මිලියන 13, 000 ණය මුදල් පිරිනමා තිබෙනවා. ජය ඉසුර ණය යෝනා ක්‍රමයෙන් ප්‍රතිලාභීන් අටදහසක් නව දහසක් දෙනා ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. රියශක්ති වැඩසටහනින් ප්‍රතිලාභීන් 300ක් දෙනා සහන ලබා ගෙන තිබෙනවා. මේ ණය යෝජනා ක්‍රමවලින් ණය ලබාගත් අය වෙනුවෙන් මහාභාණ්ඩාගාරය පොලී සහනාධාර ගෙවනවා.

ඔබ කියූ ණය යෝජනා ක්‍රම අට ගිය වසරේ අය-වැය යෝජනා මත ක්‍රියාත්මක කළ ඒවායි. මෙවර වසර 2018 වන අලුත් යෝජනා මොනවාද?

ඔව්! මෙවර අයවැයෙන් ගිය වසරේ ක්‍රියාත්මක කළ යෝජනා තවත් පුළුල් කොට ක්‍රියාත්මක කරන්න ශක්තිය ලබා දී තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 15000ක් වෙන් කොට තිබෙනවා. ඊට අමතරව අලුතින්ම ණය යෝජනා ක්‍රම ගණනාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ තුළින් රටේ නව ව්‍යවසායක තරුණ පිරිසක් බිහි කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඉතාම කෙටියෙන් පැහැදිලි කළොත් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 13500ක මුදල් වෙන් කිරීම් සහිතව ප්‍රධාන වැඩසටහන් 18ක් අපේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තිබෙනවා.

ඒවා ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

අපේ රටේ කෘෂිකර්මාන්තය, බිංදු ජල සම්පාදනය ඇතුළත් කෘෂි සැලසුම් කර්මාන්ත, කුකුළු පාලනය, ටින් කිරීම, වැවිලි කර්මාන්ත, හෝටල් කර්මාන්ත ආදියේ යෙදෙන නිෂ්පාදනායතනවලට සූර්ය බලශක්තිය යොදා ගැනීම දියුණු කරන්න සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඊට රුපියල් මිලියන 5300ක් අයවැයෙන් අපට ලබා දුන්නා. ගොවි රක්ෂණය ක්‍රියාත්මක කරන්න රුපියල් මිලියන 3000ක් ලබා දුන්නා. ඉන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යවසායක සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් තරුණ ව්‍යවසායක පරපුරක් බිහි කරන්න කළ යෝජනා අප තමයි ක්‍රියාත්මක කරන්නේ.

සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්වලට උදව් කිරීමට කළ යෝජනාව පැහැදිලි කළ හැකිද?

ඔව්! අවම වශයෙන් කොටස් හිමියන් 10 දෙනෙකුගෙන් සමන්විත සහ අවම වශයෙන් එක් කොටස් හිමියෙක් රුපියල් 10, 000 ස්කන්ධ ප්‍රාග්ධනයක් සහිත සමාගම්, ඒ කියන්නේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ස්ථාපිත කර තිබෙන ඒවා සුළු හා මධ්‍යම පරිමාණයේ සමාගම් ලෙස සැලකෙනවා. මෙවැනි සමාගම් කෘෂිකාර්මික, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ අංශයන්හි ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවා නම්, ඔවුන්ට අවශ්‍ය උපකරණ, යන්ත්‍රසූත්‍ර, අමුද්‍රව්‍ය ලබාගන්න කල්බදු ක්‍රමය යටතේ ක්‍රියා කරනවා නම්, ඒවායේ වාරිකයෙන් සියයට 75ක ප්‍රමාණයක් දැරීමට රජය ක්‍රියා කරනවා. මේ සමාගම්වල කාන්තා නියෝජනය වැඩියි නම් වාරික සහනාධාරය සියයට 85ක් රජය දරනවා. වෙනස් අවශ්‍යතා ඇති අය වැඩියෙන් ඉන්නවා නම් තවත් සියයට 10ක වැඩි වගකීමක් රජය භාර ගන්නවා. එවැනි අය ගෙවන්න වෙන්නේ කල් බදු වාරිකයෙන් සියයට 05 යි.

අපි මේවාගේම සංචාරක ව්‍යාපාරයේ දියුණුවට කළ Homestay වැඩසටහනේ සහනත් ආයෝජකයින්ට ලබා දෙන්න සූදානම්.

උතුරු පළාතේ සමාජ, ආර්ථික දියුණුවට අදාළ යෝජනා ක්‍රමත් ඔබ දෙපාර්තමේන්තුවට පැවැරී තිබෙනවා නේද?

ඔව්! උතුරේ කුඩා කර්මාන්ත දියුණු කිරීමට අය-වැය යෝජනා කළා. ඒ පළාතේ තිබෙන ප්‍රශ්නය ග්‍රාමීය ණයගැතිභාවයයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සමුපකාර සමිති බලගැන්වීම කරන්නට කළ යෝජනා වටිනවා. මේ යටතේ රුපියල් මිලියන 2000 වැඩසටහන් අපිට ක්‍රියාවට නැංවීමට පැවැරී තිබෙනවා.

 ජයසිරි මුණසිංහ
ඡායාරූප - සුලෝචන ගමගේ

Comments