ඌවේ සංචාරක ප්‍රවර්ධනයට රාමා-සීතා කතාව යොදා ගනිමු | සිළුමිණ

ඌවේ සංචාරක ප්‍රවර්ධනයට රාමා-සීතා කතාව යොදා ගනිමු

 වාල්මිකි රිසිවරයා විසින් රචිත රාමායණය අග්නිදිග ආසියාතික රටවල් ගණනාවක ප්‍රචලිය. රාමායණයෙන් කියැවෙන්නේ රාමා - රාවණ කතා පුවතයි. ක්‍රි.පු. 350 වන විට රාමායණය රචනා වී තිබුණ බව එක් මතයකි. තුඹසක වාසය කළ නිසා වාල්මිකි රිසිවරයාට ඒ නම ලැබුණි. සංස්කෘත භාෂාවෙන් වාල්මිකි යනු තුඹසයි.

සාහිත්‍ය හා භාෂා පෝෂණයට මෙන්ම උසස් පුරුෂාර්ථ සාධනයට ද රාමායණය මහ මෙහෙයක් කළ කෘතියකි. එහෙත් දැන් ඉන්දුනිසියාව රාම- රාවණ කතා පුවත ධනෝපායන මාර්ගයක් බවට පත් කරගෙන තිබේ. රාම රාවණ නාට්‍යය අද සංචාරකයන් අතර ජනප්‍රියය.

දූපත් ගණනාවකින් යුතු ඉන්දුනිසියාව අද මුස්ලිම් රාජ්‍යයක් වුවත් 7-8 සියවස් වලදී එය හින්දු හා බෞද්ධාගමික බලපැමට යටත් වූ ප්‍රදේශයකි. ඉන්දුනිසියාවේ ජාවා දුපත එරට කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සැලකේ. සුප්‍රකට බොරෝබදුර් බෞද්ධ නටබුන් සංකිර්ණය පිහිටියේ ද ජාවා දුපතේය.

රාම - රාවණ කතා පුවත දැක්වෙන ගල් කැටයම් රාශියක් ජාවා දුපතේ‍ යෝග්‍ය කර්තා නම් පැරැණි නගරයේ හින්දු දේවාලයන්හි දක්නට ලැබේ. ක්‍රි. ව. 8 වන සියවසේ දී මේ ගල් කැටයම් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාසයකි.

තායිලන්තය, මැලේසියාව, කාම්බෝජය, ලාඕසය, ඉන්දුනිසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල රාම- රාවණ කතාව පැතිර තිබේ. රාවණ ගේ චරිතයට සම්බන්ධ බොහෝ ස්ථාන හා කතා ප්‍රවාද ශ්‍රී ලංකාවේ ඇතත්, ඉහත කී රටවලට එවැනි භාග්‍යයක් ලැබී නැත. තිබෙන්නේ භාරතීය සංස්කෘතියේ ආභාෂය පමණි.

සංගී‍තය, ගායනය හා නැටුමෙන් අලංකාර වු ඉන්දුනිසියානු රාම- රාවණ නාටකයේ සීතා කුමරිය හැඳින්වෙන්නේ සින්තා යනුවෙනි. හින්දු කතාවක් රඟ දැක්වුවද නළු නිළියෝ 200-300 අතර ප්‍රමාණයක් මෙයට දායක වෙති. මාස ගණනක් එක දිගට රඟ දක්වන මේ නාටකය ඒ නිසාම 2014 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් කරන ලදි.

ඉන්දුනිසියා සංචාරක අමාත්‍යාංශය රාම - රාවණ නාටකය විවිධ අයුරින් එරට සංචාරක ප්‍රවර්ධනයට උපයෝගි කරගෙන එය ධනෝපායන මාර්ගයක් බවට පත්කරගෙන ඇත. මලයාසියාව, තායිලන්තය සහ ජපානයෙන් වැඩි වැඩියෙන් සංචාරකයන් ආකර්ෂණයට කටයුතු කරන නමුත් එය වැඩි වශයෙන් ජනප්‍රියව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු සංචාරකයන් අතරය. පසුගිය රාම - රාවණ නාට්‍ය දැක්ම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයෙන් සංචාරකයෝ ලක්ෂයක් පමණ එයට සහභාගි වුහ.

එසේම බොම්බාය, දිල්ලිය සහ ඉන්දියාවේ තවත් ප්‍රදේශ ගණනාවකින් සංචාරකයෝ පවුල් පිටින් මේ නාට්‍ය නැරඹීමට යෝග කර්තා නුවරට ඇදෙති. යෝග කර්තා නුවරට පිවිසෙන ඔවුන් සඳහා යෝග කර්තා නගරය සෑම පහසුකමක්ම සපයයි. විශේෂයෙන් කොයිම්බදුර් සිට ගුවන් මඟින් එන සංචාරකයන් අතර වෙළෙඳ ව්‍යාපාරිකයෝද වෙති. ඔවුහු ඉන්දිනිසියා වේවැල් භාණ්ඩ, බතික් රෙදි පිළි, හස්තකර්මාන්ත ආදිය තොග වශයෙන් මිලදී ගැනීම ද දක්නට ලැබේ. ඉන්දුනිසියා ලී භාණ්ඩ මෙට්‍රික් ටොන් 30 ක් වාර්ෂිකව මිලදී ගන්නා ආයතනයක් ඉන්දියාවේ ඇතැයි ටයිම්ස් ඔන් ඉන්දීය පුවත් පත කියයි.

ඉන්දියා සංචාරකයෝ රාම රාවණා නාට්‍යය බැලිමෙන් නො නැවතී අසල පිහිටි දැවැන්ත හින්දු දේවාල සමුහය නැරඹීමට ද ගති මේ දේවාල විශිෂ්ට ගල් කැටයම්වලින් යුක්තය. ප්‍රකට බොරෝබදුර් බෞද්ධ නටබුන් සංකිර්ණය ද ගල් ගුහා රාශියක් ද සංචාරක අවධානයට ලක්ව තිබේ.

රාම - සීතා කතාව ගල් කැටයමින් දක්වා ඇති PRAMBANAN හින්දු දේවාල භූමිය පසෙක රාම රාමණා නාටකය රඟ දක්වේ බාලි හි ULUWAT දේවාල භූමියේ ද බාලි සම්පුදායෙන් නිර්මාණය වූ රාම රාවණා නාට්‍යයක් රඟ දැක්වේ. එසේම HAYATT REGENCY YOKAKARTA හෝටලයේ සහාය ඇතිව ද රාම - රාවණා නාටකයක් රඟ දැක්වේ.

ප්‍රධාන කොටස් හතරකින් යුත් දැවැත්තම රාම රාවණා නාටකය සඳහා ඇතැම්විට ඉන්දියාවෙන්ද ශිල්පිහු සම්බන්ධ වෙති. එම කොටසින් නිරුපණය වන්නේ රාම රාවණා මහ සටන සහ රාවණගේ ලංකා පුරය ගින්නෙන් දැවෙන ආකාරයයි. මේ ගින්න සඳහා විදුලි බල තාක්ෂණය යොදා ගැනේ . විශේෂයෙන් විදේශ සංචාරකයන් වඩාත් ප්‍රිය කරන්නේ මේ දර්ශනය ඇතුළත් නාට්‍ය ‍කොටස රඟ දක්වනු නැරඹීමටය.

දැන් තායිලන්තය ද RAMAKIEN නමින් රාම- රාවණා නාටකයක් සංචාරක ආකර්ෂණය සඳහා නිර්මාණය කර ඇත. කාම්බෝජය ද REAKAR නමින් රාම -රාවණා කතාවක් සංචාරකයන් සඳහා ඉදිරිපත් කරයි. එහෙත් මේ එක නාටකයක්වත් PRAMBANAN රාම රාවණා නාටකය තරම් දැවැන්ත නැත. එසේම ජනප්‍රිය ද නැත.

තායිලන්ත රජ මාළිගය තුළ රාමායණයට අදාළ චිත්‍ර 150 දක්නට ලැබේ. මේ චිත්‍ර අතර තායිලන්තයේ 1 වන රාම (1785-1809 ) රජ සමයට අයත් චිත්‍ර ද වේ. එසේම බැංකොක් හි රාජකීය විහාරය ලෙස සැලකෙන WAT PHO තුළ ද රාමායණය පිළිබිඹුවන චිත්‍ර රාශියකි.

රාම රාවණා සිද්ධිය පිළිබිඹු වන දොර ජනෙල්, අද ජනප්‍රිය මෝස්තරයකි. මේ හැර රාමායණයේ එන සිද්ධි සහිත මුද්දර ද නිකුත් කර තිබේ. මුද්දර ව්‍යාපාරය තුළ තායිලන්තය නිරතුරුව රැඳී සිටී.

ජාත්‍යන්තර මුද්දර එකතු කරන්නන් අතර වඩාත් ඉල්ලුමක් ඇත්තේ වතිකානුවේ මුද්දර සඳහාය. මේ හා සමාන ඉල්ලුමක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් තායිලන්තය රාමායණ මුද්දර නිකුත් කරයි එසේම විවිධ වර්ණ ඡායාරූප ද සුබ පැතුම් පත් ද ජනප්‍රිය වෙ‍ෙළඳ භාණ්ඩයෝය. රාමායණයේ එන රාම සොයුරු ලක්ෂමන් කුමරු සිය සහෝදරයාට ඇති ප්‍රේමය නිසා ගැහැට විදි‍න‍්නෙකි. ලක්ෂන් කුමරුගේ පැරණි සිත්තම් සහිත වර්ණ සුබ පැතුම් පත් සහෝදරයන් අතර සුබ පතා ගැනීම්වල දී භාවිතා වනු දැකිය හැකිය.

තායිලන්ත‍යට ආවේනික KHON නම් නාට්‍ය සම්ප්‍රදායකි.වෙස් මුහුණු පැළද කරන මේ නැටුමින්ද රාමායණය ඉදිරිපත් කෙරේ.රාමාගේ චරිතය දැක්වෙන ළමා පොත් සහ කාටුන් පොත් ද ජනප්‍රියය. මේ සෑම නිෂ්පාදනයක් ම පාහේ දැන් ඉන්දියානු සංචාරකයන් ඉලක්ක කර ඇත.

ශ්‍රී ලංකාවටද ඉන්දියා සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් වැඩිවේ. ලංක‍ාවට 2017 පැමිණි සංචාරකයන්ගෙන් සියයට 17 ක් ඉන්දියාවෙනි. සියයට 13 ක් චීනයෙනි. ඉන්දියා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තයේ දරන උත්සාහය සාර්ථකවෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවට ද පාඩමකි.

වසර 2017 ජනවාරි ජුලි කාලය තුළ තායිලන්තය විසින් ආකර්ෂණය කරගන්නා ලද ඉන්දීය සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 8 කැයි පසුගිය අගෝස්තු 7 දා හින්දු බිස්නස් ලයින් අතිරේකය කියයි. මෙය 2016 ට සාපේක්ෂව සියයට 16 ක වැඩිවීමකි.

තායිලන්ත සංචාරක ප්‍රවර්ධන අංශ නිතර ඉන්දියාවේ සංචාරයන්‍හි යෙදෙති. දෙරට අතර දැන් ගුවන් ගමන් වාරද, වන ගුවන් සේවා ද ක්‍රියාත්මක වන බව බිස්නස් ලයින් කියයි.

රාමායන වෝටර් පාක් නම් සංචාරක මධ්‍යස්ථානය තායිලන්තයේ PATTAYA හි පිහිටුවා ඇත. මේ කෘතිම ජලාශය වර්ග මීටර් 160000 විශාලය. කෘතිම දිය රැළි, ආපනශාලා, ගිමන්හල්, ළමා පිහිනුම් ආදියෙන් යුත්තය. පැරැණි නටබුන් නගරයක පිහිටුවා ඇති නිසා රාමායණ යන නම තබා තිබේ. රාමා සීතා කතාවට සම්බන්ධ විවිධ ජන කත‍ා හා විශ්වාස අප රටේ ද තිබේ. ඉන්දියානු සංචාරකයන් මේ සඳහා දිරිමත් කරන ආයතන කීපයක් ගැන ව‍ාර්තා වුවත්, රාම සීතා කතාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ වෙනත් රටවල් ය.

මත්තල සහ හම්බන්තොට නව සංචාරක ප්‍රවේශ දොරටු ලෙස ක්‍රියාමක වූ පසු එම සංචාරකයන් වැල්ලවාය, ඇල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ ඔස්සේ ඌව දක්වා රැගෙන යන නව සංචාරක සැලැස්මක් ගැන දැන් කතා බහක් පවතී. රාම සීතා කතාව පිළිබඳ සිද්ධි රාශියකට ඌව සම්බන්ධ වේ. ඌවේ සංචාරක ව්‍යාපාර සංවර්ධනයට රාම සීතා කතාවෙන් ලබා ගත හැකි ව්‍යාපාරික අවස්ථා රාශියකි.

කරුණාරත්න අමරතුංග

Comments