ජල සම්පත් කළ­ම­නා­ක­ර­ණය අත්‍යා­වශ්‍ය ද? | සිළුමිණ

ජල සම්පත් කළ­ම­නා­ක­ර­ණය අත්‍යා­වශ්‍ය ද?

මිහිතලය මත සිටින සියලු ජීවීන්ගේ පැවැත්ම හා ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය සම්පතකි, ජලය. ජලය නොමැති තැන ජීවය නොපවතින බවද ජලය ජීවයේ උපත ලෙසද හැඳින්වෙන්නේ එබැවිනි. ලෝක ගෝලයෙන් හතරෙන් තුනකටත් වැඩි ප්‍රමාණයක් (76% ක් පමණ) ජලයෙන් වැසී ඇතත් මිනිසා ඇතුළු සත්ත්ව හා ජීව පද්ධති බොහොමයකට සාපේක්ෂ වශයෙන් පහසුවෙන් ප්‍රයෝජනය පිණිස යොදා ගත හැක්කේ 0.004% කට ආසන්න ජල ප්‍රතිශතයක් පමණි.මිනිසාට ජීවය පවත්වාගෙන යාමට මෙන්ම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වන කෘෂිකර්මය සඳහාත් අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස ජලය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි. ස්වභාව ධර්මය විසින් අපට අඛණ්ඩව හා ප්‍රමාණවත් අයුරින් නොමිලයේම සපයන ලද ආරක්‍ෂිත, අවර්ණිත, පිරිසුදු ජලයට තවත් ආදේශක නොමැත.

මෙලෙස සොබාදහමෙන් නොමිලයේම සපයන මහඟු ජල සම්පතෙන් වැඩිම ප්‍රතිශතයක් මෙන්ම වැඩිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ මිනිසා විසින්මය.ජලය චක්‍රීයව අලුත් වන , එමෙන්ම නිසි කළමනාකරණය සඳහා පියවර අනුගමනය කිරීමෙන් ක්‍ෂය වීම වැළැක්විය හැකි මහඟු ස්වභාවික සම්පතකි.

ජල අර්බුදය හා කෘෂිකර්මාන්තය

ලෝක ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ස්වභාවික සම්පතක් වන පිරිසුදු ජලයට ඇති තරඟකාරීත්වය සහ ඉල්ලුම අධික වීම වැළක්විය නොහැකිය. එම ඉල්ලුම්කරුවන් වන්නේ මිනිසුන් පමණක්ම නොවේ. සතුන්, ගහකොළ මෙන්ම පස හා අනෙකුත් පරිසර පද්ධතීන් ද ඊට අයත් වේ. විශේෂයෙන්ම කෘෂිකර්මය සඳහා අවශ්‍ය වන ජල සම්පත බොහෝ සෙයින් තරඟකාරී ලෙස පරිභෝජනයට ලක්වේ.

කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත රටක් වන ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 11.2% ක දායකත්වයක් කෘෂිකර්මය මඟින් ලබා දෙයි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජ ස්ථාවරත්වය මෙන්ම රටේ ආහාර සුරක්‍ෂිතතාවයේ වගකීම දරනු ලබන්නේ

කෘෂිකාර්මික අංශය මඟිනි. කෘෂිකර්මාන්තය සඳහා බලපාන ප්‍රධානතම හා තීරණාත්මක සාධකය වන්නේ ජලයයි. එම ජල අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සපයනු ලබන්නේ වර්ෂා ජලයෙන් හා භූගත ජලයෙනි.

සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස හමුවේ වර්ෂාපතනයේ තීව්‍රතාවය හා වර්ෂාපතන රටාවේ විචල්‍යතාවයන් සිදුවීම, ප්‍රයෝජනයට ගතහැකි ජල ප්‍රමාණය සීමාවීම මෙන්ම නියඟ තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වය ගොවිතැන් කටයුතු සාර්ථක කරගැනීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව පැහැදිලි කරුණකි.

ජල හිඟය භෝග වගාවන්හි අසාර්ථකත්වයට හේතුවන අතර අධික ලෙස ජලය ලැබීම බෝග වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වීමටද හේතුවිය හැකිය.එපමණක් නොව රට තුළ ජල සම්පත් බෙදී යාමේ විෂමතාවන් ද, කෘෂිකාර්මික හා කාර්මික රසායනික අපද්‍රව්‍ය සම්මිශ්‍රණය වීම හේතුවෙන් ජලය ආශ්‍රිත සෞඛ්‍යාරක්ෂිත ගැටලු පැනනැගීම ද ජල අර්බුදයේ අනෙකුත් පැතිකඩ ලෙස ගෙනහැර දැක්විය හැකිය. එසේනම් සීමිතව ඇති ජල සම්පතට ඇති ඉල්ලුම වැඩි වීම පමණක් නොව එම සීමිත ජලයද

දූෂණය වීම නිසා ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩුවී යාම ජල අර්බුදයේ පැහැදිලි තත්ත්වය වේ.

ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය

ඉහත සඳහන් සියලු කරුණු හේතුවෙන් කෘෂිකාර්මික පසුබිමක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක ජල අර්බුදය ග්‍රාමීය ප්‍රජාවට පුද්ගලික හා සමාජයීය වශයෙන් දැඩි බලපෑම් ඇති කරන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. එම බලපෑම් හේතුවෙන් ඇතිවන දරිද්‍රතාවය හා ආහාර සුරක්ෂිතතාවය ගිලිහීයාමෙන් තවත් බොහෝ සමාජ-ආර්ථිකමය ගැටලු රාශියකට මඟ හෙළිකරයි.ස්වාභාවික හේතුන් අභිබවා බොහෝදුරට මිනිසා විසින්ම නිර්මාණය කර ගන්නා ලද ජල අර්බුදය, මිනිසාට පමණක් බලපාන්නා වූ ප්‍රශ්නයක් යන දැක්මෙන් ඊට විසඳූම් සෙවීම

අසාර්ථක ක්‍රියාවලියකි. උදාහරණයක් ලෙස යම් ප්‍රදේශයක ගොවිතැන් කටයුතු සඳහා වාරි ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගොවීන්ට මුහුණපෑමට සිදුවන ජල අර්බුදයට ලබාදිය හැකි ක්ෂණික හා පහසුම විසඳුම වශයෙන් වගා ළිං කපා භූගත ජලය ප්‍රයෝජනයට ගතහැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් ගොවි අසහනය දුරු කිරීමට සැලසුම් කිරීම කිසිසේත්ම තිරසාර විසඳුමක් නොවනු ඇත. මන්ද යත් , ජල සම්පත මිනිසා සතු වගාවන්ට පමණක් නොව ගහකොළ හා සතුන්ගේ පැවැත්මට මෙන්ම පසේ සාරවත් බවට හා පරිසර පද්ධතීන්ගේ පැවැත්මටද අත්‍යාවශ්‍ය බැවිනි. එබැවින් සියලු ආර්ථික හා සමාජයීය ක්‍රියාදාමයන්ට පසුබිම් වන මිනිසාගේ පරිසර පසුබිම හා ජීවී අජීවී පරිසර පද්ධතීන් අමතක කර ජල අර්බුදයට විසඳුම් සෙවීමට යාමෙන්

තත්ත්වය තවත් උග්‍ර ගැටලුු රාශියකට මඟ පාදනු ඇත. එබැවින් සැබෑ තත්ත්වය වටහා ගනිමින් මිනිසාගේ සමාජ ආර්ථිකමය අභිවෘද්ධිය සඳහා වන පරමාර්ථ මෙන්ම ස්වාභාවික පරිසරයේ තිරසාරභාවය සුරැකීම යන කරුණු නිසි ලෙස සංකලනය කළ ක්‍රියාදාමයක් අත්‍යාවශ්‍ය වේ. එවන් විසඳුමක් සහිත ක්‍රියාදාමයක් ලෙස "ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය" හැඳින්විය හැකිය. ජීව පද්ධතියේ තිරසාර පැවැත්ම, සමාජ සාධාරණත්වය

මෙන්ම ආර්ථික ඵලදායීත්වය අරමුණු කොටගෙන අන්‍යොන්‍ය වශයෙන් යැපෙන පද්ධතීන් ඒකාබද්ධ කිරීම මෙහිදී සිදුවිය යුතුය. උදාහරණ ලෙස ජලය හා භූමිය පරිහරණය කිරීමේ රටා අතර ඇති සබඳතා හඳුනාගැනීම, භූගත හා භූමත ජලය අතර ඇති සම්බන්ධතාවය, ජලයේ පරිමානාත්මක හා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමුකිරීම, ගංගා නිම්නයන්හි උඩුගම් කොටස හා යටිගම් අතර ඇති ජල පරිභෝජන රටාවන්හි සබඳතා හඳුනාගැනීම ආදී කරුණු පිළිබඳ මනා අධ්‍යනයක් සිදුකිරීම ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණයේදී අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම ස්වාභාවික පරිසර පද්ධති කළමනාකරණය හා මිනිසාගේ පරිහරණ පද්ධති ඒකාබද්ධකරණයේදී, ජලය කෘෂිකාර්මික ආර්ථිකයේ ප්‍රධාන සාධකය ලෙස හඳුනා ගැනීම, විවිධ ජල

පරිහරණ කොට්ඨාස අතර මනා සම්බන්ධීකරණය මෙන්ම සැළසුම් හා ක්‍රියාත්මක කිරීමේ පියවර වලදී අදාළ සියලු පාර්ශව සහභාගී කරවා ගැනීම ඉතා වැදගත් වේ.

නවීන තාක්ෂණික හා කාර්මික දියුණුව සමඟ ජලයේ ගුණාත්මක භාවය පිරිහීම සහ අසමතුලිත සම්පත් පරිහරණය හේතුවෙන් නිසියාකාර ජල සම්පත් කළමනාකරණය කෙරෙහි ජගත් ප්‍රජාව විවිධ සම්මුතීන් පවා ඇතිකරගෙන ඇත. ඒ අතරින් සහශ්‍ර වර්ෂයේ සංවර්ධන ඉදිරි දැක්ම (Millenium Development Goals) ක්‍රියාත්මක කරවීමේ වැඩපිළිවෙලට ද මූලිකවම පදනම් වූ , 1992 දී ඇතිකරගත් "ඩබ්ලින්, රියෝ මූලධර්ම" ප්‍රධාන වේ.

එම මූලධර්මයන්ද පදනම් කරගත් සංකල්පයක් ලෙස "ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය" හැඳින්විය හැකිය.මේ අනුව, "ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය" යනු ජලය, භූමිය හා අනුබද්ධිත අනෙකුත් සම්පත් මනා සම්බන්ධීකරණයක් තුළින් සංවර්ධනය හා කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියයි. එමඟින් ජනිත වන ආර්ථික හා සමාජයීය සුභසාධනය, සමානාත්මක පදනමක් මත බෙදී යා යුතු අතර ජීව පද්ධතියේ පැවැත්මට කිසිසේත් අභියෝගයක් ද නොවිය යුතුය.

මේ සඳහා ජාතික මට්ටමෙන් ජල ප්‍රතිපත්ති සකස් කිරීම, ජල සම්පත් කළමනාකරණය ආශ්‍රිත නීති පද්ධති ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය - පෞද්ගලික හෝ රාජ්‍ය නොවන අංශයන්හි මැදිහත්වීම නිසිලෙස හැසිරවීම සිදුවිය යුතුය. එපමණක් නොව, ජල සම්පත් ඇගයීම සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිතය,පාරිසරික බලපෑම් අගයන ක්‍රමවේද භාවිතය, ස්වාභාවික විපත් හා අවදානම් කළමනාකරණ මෙවලම් හඳුන්වාදීම මෙන්ම ජල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය පිළිබඳ දැනුම්වත් බව ඉහළ නැංවීම හා සන්නිවේදනය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආදී ප්‍රායෝගික පියවර නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.

අනගි පැරැණි වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් වර්තමාන සන්දර්භය තුළ ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය ක්‍රියාවට නැංවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ක්‍රියාකාරී අවධානය යොමු කිරීමට කාලය දැන් එළඹ ඇත. ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් හා බොහෝ දෙනකුගේ ජීවනෝපායට රුකුල් දෙන සම්පතක් ලෙසින් ජලය පරිහරණයේදී සියලු පද්ධතින් අතර සම්බන්ධතා සංවේදීව තුලනය කිරීම මිනිස් වර්ගයා අහිමුව ඇති අභියෝගයයි. 

 කුමුදු ආරි­ය­වංශ
කෘෂි­කර්ම පීඨය,
පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලය. 

 

 

Comments