ඔබේ ගෙව­ත්ත­ටත් අඩු මුද­ලට ස්වයං­ක්‍රීය ජල සැප­යුම් පද්ධ­ති­යක් | සිළුමිණ

ඔබේ ගෙව­ත්ත­ටත් අඩු මුද­ලට ස්වයං­ක්‍රීය ජල සැප­යුම් පද්ධ­ති­යක්

තම මල් පාත්තියට නැත් නම් ගෙවත්තේ සිටුවා ඇති වෙනත් පැළ වර්ගයකට උදේ සවස වතුර ටිකක් දමන්න කවුරුන් හෝ ඉන්නවා නම් කොයිතරම් හොඳදැයි ඔබට සිතුණු වාර ගණන අනන්තයි නේද? එහෙම කෙනකුට කීයක් හරි දෙන්න වුණත් ඔබ සූදානම් නේද? ඒත් එතකොට ගෙදරදොරේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතුවේවි. ඒත් යම් කෙනකුගේ මෙහෙයවීමක් නැතිව ඔබේ මල් පාත්තියට හෝ වෙනත් පැළවලට අවශ්‍ය ප්‍රමාණයට ඔබට අවශ්‍ය අවස්ථාවල පමණක් ගලා යන්න සැලැස්විය හැකි නම් කොතරම් පහසුවක් ඔබට ඇති වේවිද?

අවශ්‍ය ද්‍රව්‍ය

ඇත්තටම මෙබඳු ස්වයංක්‍රීය ජලසැපයුම් පද්ධතියක් සකස් කරගැනීමට ලොකු මුදලක් වැය වන්නේ නැතැයි කිවහොත් පුදුම විය යුතු නෑ. ඊට අවශ්‍ය මූලික උපකරණ වන යම් උසකින් ස්ථාපනය කරන ලද ජල ටැංකියක් සහ විදුලියෙන් ක්‍රියා කරන වතුර මෝටරයක් දැනටත් ඔබ සතුව ඇත් නම් අනෙකුත් දෑ සඳහා වැය කළ යුතු වන‍්නේ රුපියල් දෙතුන් දාහක පමණ සුළු මුදලක් පමණයි.

1. අවශ්‍ය දිගට පීවීසී ජල නළ

2. ජල නළ හැරවුම් සඳහා අවශ්‍ය 'ටී' ජොයින්ට්, බෙන්ඩ්/ එල්බෝ, එන්ඩ්කප් ආදි උපාංග

3. පීවීසී නළ අලවන ගම් වර්ගයක්

4. අවශ්‍ය ජල ප්‍රමාණයට සරිලන ටැංකියක් (මේ සඳහා ප්ලාස්ටික් ටැංකියක් වඩාත් යෝග්‍යයි.)

5. සම උස ලකුණු කර ගැනීම සඳහා විනිවිද පෙනෙන මීටර් 10 ක් පමණ දිග සිහින් ප්ලාස්ටික් 'ලෙවල්' නළයක්

6. පීවීසී 'ගේට් බොල්වෑල්ව්' කරාම දෙකක්

7. ජල නළ හැරවුම් උපාංග තුළ රැඳවිය හැකි, අඟල් 1/2 පීවීසී නළයක පිටත වට ප්‍රමාණයට සමාන වට ප්‍රමාණයකින් යුක්ත සිදුරු සහිත ඇඳුම්වලට ඇල්ලීමට ගන්නා බොත්තම් අවශ්‍ය ප්‍රමාණයට

 

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතිය  සකසන අයුරු

පළමුවෙන්ම ඔබ කළ යුත්තේ සැපයිය යුතු ජල පරිමාව ගණනය කරගැනීමයි. බිත්ති ආලේප කරන 'ඉමල්ෂන්' තීන්ත හිස් බඳුනක් මීට යොදාගන්න පුළුවන් (ලීටර් හතරේ තීන්ත බඳුනකට ජලය ලීටර් 5ක් අල්ලයි). එසේත් නොහැකි නම්, ජල ටැංකියේ ඉහළ සිට පහළට කෙතරම් ප්‍රමාණයකින් ජල මට්ටම බැස ඇත්දැයි සෙන්ටි මීටර්වලින් මැන බැලිය හැකියි.

සාමාන්‍ය වෙළෙඳපළින් ගත හැකි සාමාන්‍ය ප්ලාස්ටික් ජල ටැංකියක ඉහළින් හා පහළින් විවර පවතිනවා.

මෙහිදී, ස්වයංක්‍රීය ජලසැපයුම් පද්ධතිය සකස් කර ගැනීම සඳහා අප නවීකරණය කර ගත යුතු වන්නේ ටැංකියේ ඉහළින් ඇති සිදුරු දෙක පමණයි. පැහැදිලි කිරීමේ පහසුව සඳහා ටැංකියේ ඉහළින් ඇති සිදුරු දෙක A1 සහ A2 වශයෙන් නම් කරගනිමු.

එහි C, B, E සහ F යන අක්ෂරයන්ගෙන් සලකුණු කර ඇත්තේ 'පීවීසී එල්බෝ' හැරවුම් උපාංගයි. E සිට D දක්වා පීවීසී බට කැබැල්ලක් යොදා ඇත (එහි දිග පසුව විස්තර කෙරේ).

P සහ Q කඩඉරෙන් දැක්වෙන්නේ C සහ B 'එල්බෝ' සවි කර ඇති බට කැබැල්ල සහ E සහ F 'එල්බෝ' සවි කර ඇති බට කැබැල්ල සම-උසින් සවි කළ යුතු බවයි. R සහ S කඩඉරෙන් දැක්වෙන්නේ ටැංකියෙන් ජලය ඉවතට ගන්නා ප්‍රමාණයේ පහළ සීමාවයි. ඉහළ සීමාව වන්නේ P සහ Q කඩඉරයි.

ප්‍රධාන වතුර ටැංකියේ බට සවි කිරීම පිළිබඳ දැන් ඔබට අවබෝධයක් ලැබී ඇති බව නිසැකය.

එහෙත් තවමත් ගැටලුවක්ව ඇත්තේ A1 සහ A2 යන ස්ථානයන්ට බට සවි කිරීම පිළිබඳව විය යුතුය. වෙළෙඳපළේ ඇති ගෘහස්ථ ජල ටැංකිවල දෙපස ඉහළ සිදුරු දෙක අඟලක ප්‍රමාණයේ පීවීසී ජල නළ සවි කිරීමට ගන්නා ඉදිරියට නෙරා ගිය, පොට (ත්‍රේඩ්) සහිත උපාංග සවි කිරීමට හැකි වන පරිදි සකසා ඇත.

අපගේ ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සකස් කර ගැනීමට නම් මෙම සිදුරු දෙක තුළින් දෙපසට විහිදෙන පරිදි එක් නළ කැබැල්ල බැඟින් නළ කැබලි දෙකක් සවි කරගත යුතුය.

ඒ සඳහා අඟලක ප්‍රමාණයේ පීවීසී ජල නළ සවි කිරීමට ගන්නා ඉදිරියට නෙරා ගිය පොට සහිත වෑල්ව් සොකට්ටුව තුළින් යැවීම සඳහා අඟල් බාගයේ ජල නළ කැබැල්ලක් සිර කරගැනීමෙන් පහසුවෙන් සකසාගත හැකියි. එයට කැටලොයි හෝ ගල්තාර හෝ මී ඉටි වැනි ඝන ද්‍රව්‍යයක් යොදාගත හැකිය.

එසේත් නැති නම් රෙදි පටියක් වැනි කුමන හෝ ජලයේ දිය නොවන සහ ජලයට විෂ එක් නොකරන දෙයක් යොදා සිර කර ගත්තාට වරදක් නැත.

මෙහිදී රෙදි කැබැල්ලක් වැනි දෙයක් යොදා ගැනීමෙන් ජලය කාන්දු විය හැකි යයි ඔබට සැකයක් පහළ වනු ඇත. ඒත් මේ ස්ථානයේ උසින් ජලය රැඳී තිබෙන්නේ විනාඩි 2ක -3ක කාලයක් බැවින් කාන්දු වීමට ඉඩක් නොපවතී.

එවැනි නළ කොටස් දෙකක් සකස් කරගත් පසු ප්‍රධාන ජල සැපයුම් ටැංකියේ A1 සහ A2 යන ස්ථානයන්ට වෙන වෙනම සවි කර 'එල්බෝ' යොදාගනිමින් නළ සවි කරගන්න.

ඉන් පසු PQ කඩඉරට සමාන්තරව සිටින ලෙස ප්‍රධාන ජල ටැංකියේ ඉහළ සිදුරු දෙකට සවි කරන්න.

ඉන් එකක් ටැංකිය උතුරා යන ජලය ඉවත් කිරීමට යොදාගන්න. රූපසටහනේ දක්වා ඇති පරිදි නළයේ ටැංකිය ඇතුළත කොටස අගට උඩු අතට කැරකී සිටින පරිදි 'එල්බෝ' එකක් පමණක් සවි කරන්න. ඒ නළයේම අනෙක් අග්‍රයෙන් ජලය පිටතට වැටෙන්න සලස්වන්න.

ජලය පහතට වැටෙන ශබ්දයෙන් ටැංකිය ජලයෙන් පිරී ඇති බව ඔබට දන්වයි. එවිට වතුර මෝටරයේ ක්‍රියාකාරිත්වය නවතාලිය හැකිය.

අනෙක් සිදුරට (A1) සවි කළ නළය තමයි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සකස් කරගැනීමට අත්‍යවශ්‍ය මූලිකාංගය වන්නේ. එහි ටැංකිය ඇතුළත කොටස අගට පහළට කැරකී‍ සිටින පරිදි 'එල්බෝ' එකක් සවි කර ඊට නළ කැබැල්ලක් සවි කරන්න. එය රූපසටහනේ ED වශයෙන් පෙන්වා දී ඇත. එහි දිග තීරණය වන්නේ ඔබට අවශ්‍ය ජල ධාරිතාව මතයි.

ඒ නළයේ අ‍නෙක් කෙළවර ද්විකාර්ය ටැංකියට සවි වීමට පෙර රූපසටහන 04 පරිදි A නමැති 'ගේට් වෑල්ව්' කරාමයට සවි විය යුතුය.

ඔබට අවශ්‍ය ජල ප්‍රමාණය ජලය ලීටර් 100ක් යැයි සිතමු. ජලය ලීටර් 100 ලබාගැනීමට ED නළ කැබැල්ල කොපමණ දිග විය යුතුද යන්න සොයා බලමු. මුලින්ම කළ යුත්තේ ප්‍රධාන ජල ටැංකියේ බඳ වටා ප්‍රමාණය සෙන්ටි මීටරවලින් මැනගැනීමයි.

වෙළෙඳපළේ ඇති ජලය ලීටර 500ක ජල ටැංකියක වට ප්‍රමාණය සෙන්ටි මී‍ටර 270ක් පමණ වේ (මේ ප්‍රමාණයන් වෙනස් විය හැකිය). මේ දත්ත මත ගණනය කර බලමු. ඒ සඳහා පහත සමීකරණය අනුගමනය කරන්න.

මෙම ගණනය කිරීම අනුව එම ටැංකියේ සෙන්ටි මීටර 17ක උස ප්‍රමාණයකින් යුත් ජල පරිමාව ජලය ලීටර 100කට සමාන බවයි. නළ කැබැල්ල සවි කරන 'එල්බෝ' එක මඟින්ද සෙන්ටි මීටර 2ක උසක් එක් කරන බැවින්. ඔබ ගත යුත්තේ සෙන්ටි මීටර 15ක නළ කැබැල්ලකි.

මේ වන විට ඔබ ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියේ පළමු කොටස සම්පූර්ණ කර ඇති බව නිසැකය.

ඊළඟට සම්පූර්ණ කරගත යුතු වන්නේ දෙවන කොටසයි. ද්විකාර්ය ජල ටැංකියක් සහ 'ගේට් බෝල්වෑල්ව්' කරාම දෙකක් සවි කර ගැනීම කළ යුතුව ඇත.

 

ආචාර්ය ඩබ්ලිව්. ඩබ්ලිව්. දුටු­තිස්ස

Comments