දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ ඇගැයුමට | සිළුමිණ

දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ ඇගැයුමට

නොවැම්බර් 23 වැනිදා ලංකාවේ පළමු වරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයුමට ලක්කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘දන්ත සම්මාන - 2018’ (Dental Awards - 2018) සම්මාන උළෙල 2018 නොවැම්බර් මස 23 වැනි දින සවස 6.00 ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ. ඕරම් (පුද්ගලික) සමාගම, (Oram [Pvt] Ltd), පුද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (General Dental Practitioners Association [GDPA]) සමගින් එක්ව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කළ දන්ත වෛද්‍යවරු ඇතුළුව දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය කාණ්ඩ 13 ක් යටතේ ඇගයුමට ලක් කරමින් සම්මාන පිරිනැමේ. ඊට අමතරව දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ විශිෂ්ටයන් තුන් දෙනකුද ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානයෙන් (lifetime achievement award) මෙහිදී පිදුම් ලබති.

ශ්‍රී ලංකාවේ සතු විශිෂ්ටත්වය තවදුරටත් වැඩිදියුණු කරමින්, එම හැකියාවන් ජාත්‍යන්තර තලයේද අවධානයට ලක්කිරීම අරමුණු කරගෙන Going Global යන තේමාව යටතේ සම්මාන උළෙල පැවැත්වේ. ලින්ක් සුදන්ත මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

2018 නොවැම්බර් 5 වැනි දින කොළඹ, ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති විශේෂ මාධ්යට හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. ‘‘රජයේ සහ පුද්ගලික අංශයේ දන්ත වෛද්‍යවරුන් ඇතුළුව දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන් අතරින් විවිධ අංශයන්හි විශිෂ්ටයන් තෝරාගෙන ඔවුන් ඇගයුමට ලක් කරමින් සම්මාන පිරිනැමීම සිදු වන්නේ පළමු වරටයි.

දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් කණ්ඩායමකින් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානලාභීන් තෝරා ගැනීම සිදුවේ. මෙම සම්මාන සඳහා අයැදුම්පත් භාරගැනීම 2018 නොවැම්බර් 10 වැනිදා දක්වා සිදුකෙරේ. මේ සඳහා අයැදුම් කරන ආකාරය ඇතුළුව සම්මාන උළෙල පිළිබඳ වැඩි විස්තර www.srilnkadentalawards.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ඡායාරූපය - සාලිය රූපසිංහ

Comments