අයි.ටී.එන්. රන්තරු තර­ගා­ව­ලියේ ජන­ප්‍රි­යම සංගීත කණ්ඩා­යම | Page 3 | සිළුමිණ

අයි.ටී.එන්. රන්තරු තර­ගා­ව­ලියේ ජන­ප්‍රි­යම සංගීත කණ්ඩා­යම

 අයි.ටී.එන් රන්තරු තරගාවලියේ ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස කිරුළු පැලැඳි ‘මාතර සී‘ සංගීත කණ්ඩායම මෙවර අපි BAND OF THE WEEK කතාබහට එක්කර ගත්තෙමු. සිය සංගීත කණ්ඩාමේ ආරම්භයේ සිට මෙතෙක් පැමිණි ගමන් මග ගැන එහි නායක ලංකා නිරෝෂන් සමඟ කළ කතාබහයි මේ.

 ඔබ කවුරුද?

මගේ නම ලංකා නිරෝෂන්. ඒ කියන්නේ මාතර සී සංගීත කණ්ඩායමේ නායකයා වගේම ලීඩ් ගිටාර් ශිල්පියා විදියටත් කටයුතු කරනවා.

පාසල් ගියේ?

මාතර ධර්මරාජ විද්‍යාලයට සහ මාතර රාහුල විද්‍යාලය යන පාසල් දෙකෙන්ම අධ්‍යාපනය හැදෑරුවා.

පාසලේ දී විෂයයක් විදියට සංගීතය හදෑරුවාද?

ඇත්තටම පාසලේ දී, විෂයයක් විදියට සංගීතය හදාරා නැහැ.

එතකොට සංගීතයට යොමු වුණේ කොහොමද?

අපේ මාමා කෙනෙක් බොක්ස් ගිටාර් එකක් ගෙනත් අයියට දුන්නා පුරුදු වෙන්න කියළා. හැබැයි අයිය නම් පුරුදු වුණේ නැහැ. මම ඒ බොක්ස් ගිටාර් එක වාදනය කරන්න පුරුදු වුණා. ඒ කියන්නේ මගේ ඇඟේ සංගීතය තිබෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති බොක්ස් ගිටාර් එක වාදනය කරන්න ඉගෙන ගන්න හිතෙන්න ඇත්තේ.

මුලින්ම ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නේ කොයි කාලේද?

උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් ඉද්දි තමයි මුලින්ම වේදිකාවට ගොඩ වුණේ.

ඔබේ සංගීත කණ්ඩායම මුලින්ම හඳුනගෙන තිබුණේ ‘සී‘ කියලා?

ඔව් ඇත්තටම අපි ‘සී‘ කියන නමින් තමයි මුලින්ම කණ්ඩායම කරගෙන ගියේ. ‘සී‘ කියන්නේ මියුසික්වල මුල් නෝට් එක. ඒකයි ‘සී‘ යොදාගත්තේ.

එතකොට සී ‘මාතර සී‘ කියලා ප්‍රසිද්ධ වුණේ කොහොමද?

2006 වසරේදී අයි.ටී.එන් මාධ්‍ය ආයතනය විසින් ‘ අයි.ටී. එන් රන්තරු‘ නමින් සංගීත කණ්ඩායම් අතර තරගයක් පැවැත්වුවා. ඒ සඳහා අපිත් ඉදිරිපත් වුණා. ලංකාව පුරා ඉන්න කණ්ඩායම් 850ක් විතර මේ තරගය සඳහා ඉදිරිපත් වෙලා හිටියා. එහිදි බොහෝ කණ්ඩායම් හඳුන්වා දුන්නේ ඔවුන් පැමිණි ප්‍රදේශයේ නමින්. ඒ අනුව අපිවත් දිගින් දිගටම හඳුන්වා දුන්නේ ‘මාතර සී‘ කියලා. ඒ නම තමයි මිනිස්සු අතර ගියේ. ඒ නිසා අපිත් ඒ නම දිගටම අරන් ආවා.

ම තරගයෙන් මාතර සී ජනප්‍රියම සංගීත කණ්ඩායම බවට පත් වෙනවා?

ඔව් එහිදි අපි සියලු කණ්ඩායම් අබිබවා ජනප්‍රිය කණ්ඩායම බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ කණ්ඩායමේ සමීර එදිරිසිංහ දක්ෂතම ගායන ශිල්පියා ලෙසත් සම්මාන ලබනවා.

ඔබේ සාමාජිකයන් ගැනත් කියමු බලන්න?

ලීඩ් ගිටාර්- ලංකා නිරෝෂන්, බේස් ගිටාර්-චන්දන ප්‍රදීප්, ඩ්‍රම්ස්- තිලංක ඉඳුනිල්, ඔක්ටර් ෆෑඩ්- එරංග සංජීව, කී බෝඩ්-ජනකාන්ත, රිදම් චානු සුදේශ් ගායකයන් ලෙස සමීර එදිරිසිංහ සහ ජුඩ් කාරියකරවන කටයුතු කරනවා. ජුඩ්ම තමයි නිවේදන ශිල්පියා විදියටත් කටයුතු කරන්නේ.

සංගීතය පැත්තකට දාලා වෙනත් රැකියාවක් කරන්න කියලා ගෙදරින් බලපෑමක් ආවේ නැද්ද?

කිසිම දවසක ගෙදර අය එහෙම කිව්වේ නැහැ. ඒ අයත් පුළුවන් විදියට උදව් කළා. මම විවාහ වෙද්දි සංගීත ක්ෂේත්‍රයේ හිටපු නිසා බිරියගෙන් එහෙම ගැටුලු ඇති වුණෙත් නැහැ. දැනට වුණත් මට සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යන්න බිරියගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

වෘත්තියක් විදියටද සංගීත කණ්ඩායම කරගෙන යන්නේ?

ඔව්. සියයට අනූනවයක්ම ඒ කියන්නේ එක් කෙනෙයි වෙනත් රැකියාවක් කරන්නේ. ඔහුත් කණ්ඩායමේ වැඩවලට කිසි බාධාවක් නොවන විදියටයි එම රැකියාව කරන්නේ.

වෙනත් කණ්ඩායම්වල ඉන්න සාමාජිකයන් ඉන් කඩල ගන්න කෙනෙක් කියන චෝදනා ඔබට එල්ල වෙලා නැද්ද?

මම කිසිම දවසක වෙන කණ්ඩායම් සාමාජිකයෝ අරගෙනත් නැහැ. මගේ ගාව හිටිය අය කවුරු හරි ගියා නම් ඒ අය ගියෙත් වෙනත් රැකියාවකට මිසක් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නෙවෙයි.

අපේ රටේ සංගීත කණ්ඩායම් රැසක් තිබෙනවා, එය ඔබේ කණ්ඩායමට අභියෝගයක් නෙවෙයිද?

එහෙම අභියෝගයක් නම් නැහැ. ඒත් කණ්ඩායම් වැඩි වීමත් එක්ක වෙනද ලැබුණ වැඩ ප්‍රමාණය යම් තරමක් බෙදී ගොස් තිබෙනවා. එහෙම නැතුව විශේෂ අභියෝගයක් නම් ඇති වෙලා නැහැ.

ඔබේ කණ්ඩායම කවුරුන්ද අනුකරණය කළේ?

අපි පටන් ගත්ත දවසේ ඉදලා අපිට අනන්‍ය වූ ක්‍රමවේදයක් සහ රටාවක් තමයි කරගෙන ආවේ. එහෙම නැතුව කිසිම දවසක වෙනත් කණ්ඩායමක් අනුකරණය කිරීමක් හෝ කොපි කිරීමක් කරල නැහැ.

ඔබේ ගමනට කවුද අතහිත දුන්නේ?

මගේ අම්මා, තාත්තා, බිරිය ඇතුළු පවුලේ සියලුම දෙනා, සංගීත කන්ඩායමේ සමාජිකයන් සහ ඒ අයගේ පවුල්වල අය, ඒ වගේම මෙය ආරම්භ කළ දවසේ ඉදලා අයි.ටී.එන් රන්තරු වැඩසටහනෙන් ජයග්‍රහණය කරන තෙක් විතරක් නෙවෙයි මේ වෙනතෙක් බොහෝ දෙනෙක් උදව් කරලා තිබෙනවා. එක නමක් දෙකක් කියන්න ගියොත් ඒකෙන් අනිත් අයට අසාධාරණයක් වෙනවා. ඒ නිසා නම් ගම් නොකිවුවත් උදව් කළ සැමට ස්තූතිය පුද කර සිටිනවා.

අනාගත බලාපොරොත්තු?

දැනට කරගෙන යන සංගීත රටාවත් සමඟම එකෝස්ටික් පැත්තටත් යොමු වෙන්න තමයි ඊළග බලාපොරොත්තුව. 

Comments