ඉන්ෙන කී දෙනාද අදාළ නෑ අපි අපේ වැඩේ කරනවා | සිළුමිණ

ඉන්ෙන කී දෙනාද අදාළ නෑ අපි අපේ වැඩේ කරනවා

පොඩ්ඩන්ට පුළුවන් රූපවාහිනී වැඩසටහනෙන් කලඑළි බැස්ස, ලාංකීය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරපු නම් දෙකක් තමයි "සරිත් සහ සුරිත් " කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ නිවුස් සංගීත කණ්ඩාම විශාල දෙස් විදෙස් රසික ජනාදරයට පත්වුණ බෑන්ඩ් එකක්. ඔවුන්ගේ අලුත්ම සිංදුව මේ වනවිට යූටියුබ් අවකාශයේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. ඒ නිසාම අද රසඳුන සමඟ කතාබහකට අපි එකතු කර ගත්තා සරිත් ජයවර්ධනව.

මුලින්ම ඔයාලගේ ජීවන තොරතුරු ටිකක් කියමු.

මේ දවස්වල සුපුරුදු විදිහට අපේ වැඩකටයුතු ටික කරගෙන, සංගීත වැඩ වගේම අධ්‍යාපන කටයුතු ටිකක් බොහොම අමාරුවෙන් බැලන්ස් කරගෙන සතුටින් ඉන්නවා.

 

පවුලේ විස්තර ටිකක් කියමු.

මගෙ අම්මා නිලුකා ජයවර්ධන, තාත්තා ජගත් ජයවර්ධන, නංගී තරුෂි. තාත්තී කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයෙක්. දැන් විශ්‍රාමිකයි. අපි දෙන්නා නිවුන්නු. මම අයියා. සුරිත් මල්ලි.

 

පාසැල් කාලයේද ඔබ දෙදෙනා සංගීතය පැත්තට යොමු වුණේ.

අපි මුලින්ම පාසැල් යන්නේ මාතර රාහුල විදුහලට. ඊට පස්සේ කොළඹ ආනන්ද විදුහලට. ඒ කාලේ අපි ඉස්කෝලේ මියුසික් වලින් කැපී පෙනෙන චරිත දෙකක් නෙමෙයි. හැබැයි අපි ඔය සමස්ත ලංකා තරඟවලට ගිහින් ජයග්‍රහණය කරලත් තියනවා. සිරස පොඩ්ඩන්ට පුළුවන් තරගයට සහභාගි වුණාට පස්සේ තමයි අපි සංගීතය පැත්තට හුඟක්ම නැඹුරු වුණේ.

 

නමුත් උසස් අධ්‍යාපනය ලබන්නේ වෙනම ක්ෂේත්‍රයක නේද ?

මම කරන්නේ ෆැෂන් ඩිසයින්, සුරිත් කරන්නේ ඉන්ටීරියල් ඩිසයිනින්.

 

පොඩ්ඩන්ට පුළුවන් තරගය ඔබේ ජීවිතය වෙනස් කරනවා නේද ?

අපේ ලයිෆ් එකේ ලොකුම ටර්නින් පොයින්ට් එක කියලා කියන්න පුළුවන්. කමර්ෂල් මියුසික් වල්‍ඩ් එකට අපි දෙන්නා හරියටම එන්නේ ඒ තරගයෙන් පස්සේ. ඒ තරගය අපිට ලොකු අවස්ථාවක් වුණා.

 

සරිත් සුරිත් ඇන්ඩ් ද නිවුස් සංගීත කණ්ඩායම පටන් ගන්නේ කොයි කාලේද ? කොහොමද ?

පොඩ්ඩන්ට පුළුවන් තරගයෙන් පස්සේ අපි දෙන්නා ගොඩක් ප්‍රසංග වලදී යුගලයක් විදිහට සහභාගී වුණා. කාලයක් යනකොට අපි දෙන්නටම අවශ්‍ය වුණා මියුසික් බෑන්ඩ් එකක් දාන්න. එතකොට අපි 10 ශ්‍රේණියේ හිටියේ. ඊට පස්සේ අපි පාසැලෙන්ම කීප දෙනෙක් තෝරා ගත්තා අපේ බෑන්ඩ් එකට. ඒ විදිහට තමයි නිවුස් බෑන්ඩ් එක 2015දී පටන් ගන්නේ.

 

එහෙම නමක් දාන්න හේතුවක් තිබුණද?

අපේ තාත්තී තමයි බෑන්ඩ් එකට නම දැම්මේ. නිවුස් එකක් කියන්නේ අපි හැම වෙලාවෙම කුතුහලයෙන් හොයන දෙයක්. ඒ වගේම නිතරම අලුත් දෙයක් දෙන්න තමයි අපි හදන්නේ.

 

ජාතික තලයෙන් ජාත්‍යන්තර වේදීකාවට යන්න අදහසක් නැද්ද ?

අපි හුඟක් විදෙස් සංචාරවලට සහභාගී වෙනවා. ඒත් අපි තාම පටන් ගත්තා විතරයි. තව සංගීතය ගැන ඉගෙන ගන්න ඕනේ. මුලින්ම අපිට අවශ්‍ය වුණේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් ලබා දෙන්න.

 

ඔබ දෙදෙනාට ලොකු හීන ඇති අනාගතය ගැන?

අපි දෙන්නට මූලිකවම අවශ්‍ය සතුටින් ජීවත් වීම තමයි. ලංකාවේ තියෙන හොඳම බෑන්ඩ් එක වෙනවා කියන හීනයක් අපිට නෑ. අපිට කැමති දේ අපි කරනවා, ඒ වටේ ඉන්න ප්‍රේක්ෂකයන්ට අපි මාර ආදරෙයි. ඉන්නේ කී දෙනාද කියලා වැඩක් නෑ. අපේ නිර්මාණ රස විඳින හැමෝටම අපි ආදරය කරනවා. ඒ කියන්නේ අනිත් අයට ආදරය නෑ කියන එක නෙමෙයි. අපිට ලොකු පිරිසක් ඉන්න ඕනේ කියන තැන අපි නෑ. සංගීතය තේරෙන පිරිසක් ඉන්න එක තමයි අපිට තියන ලොකුම සතුට.

 

සල්ලි ගීතය මේ වෙනකොට යූටියුබ් අවකාශයේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. අපි ඒ ගැනත් කියමු.

ඒ ගීතය ඔරිජිනල් එකක් විදිහට අපේ ටර්නින් පොයින්ට් එක කියලා කියන්න පුළුවන්. සෑහෙන ජනප්‍රිය වෙලා තියනවා. මම හරිම සතුටින් ඒ ගැන. අපේ අධිමාත්‍රා මෙලඩීස් ගොඩක් ජනප්‍රිය වුණා ලංකාවේ හැමතැනම. ඒ ගීතවල මුල් අයිතිකරුවන්ට, පද සහ තනු නිර්මාණය කළ අයට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.මොකද ඒ වගේ නිර්මාණ කරලා තිබුණ නිසා තමයි අපිට ඒ ගීතවලට අපේ නව සංයෝජනයන් කරන්න හැකියාව ලැබුණේ. සල්ලි ගීතය සම්පූර්ණයෙන්ම අපේ වැඩක් ඒ නිසා අපට දැනෙන සතුට වැඩියි.

 

මෙතෙක් දුර ආව ගමනේ විශේෂයෙන්ම ස්තුති කරන්නේ කාටද ?

මුලින්ම අම්මටයි තාත්තටයි, නංගිටයි මගේ පවුලේ සියලුම දෙනාටයි ස්තුති කරන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්නා ගිය පාසැල් දෙකේ සියලුම ගුරුවරුන්ට සහ අපේ ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යය වුණ " පොඩ්ඩන්ට පුළුවන් " තරඟය සංවිධානය කළ සිරස ටීවී ආයතනයටත්, ජාතික රූපවාහිනියේ කරපු වැඩ සටහන් වලින් අපිට මෑත කාලයේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. ජාතික නාලිකාවේ රවින්ද්‍ර මුණසිංහ මහතාටත්, සිරස මාධ්‍ය ආයතනයේ සුසාර දිනාල් මහතාටත්, ප්‍රදීප් මහේෂ් ලියනගේ මහතාටත් විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. රසිකයන්ට කියන්නේ අපිත් එක්ක මෙච්චර දවසක් හිටියා වගේම දිගටම ඉන්න ඉදිරියේදී අපි ඔය හැමෝටම සතුටු වෙන්න පුළුවන් ලස්සන වැඩ කීපයක් අනිවාර්යයෙන්ම කරනවා.

Comments