ඉතිහාසයෙන් තැති නොගන්න පොලොන්නරුව ශිව දේවාලයෙන් මතුවන සැබෑ අතීත කතාව | සිළුමිණ

ඉතිහාසයෙන් තැති නොගන්න පොලොන්නරුව ශිව දේවාලයෙන් මතුවන සැබෑ අතීත කතාව

ඉතිහාසයට නව දැනුමක් එකතු වෙමින් තිබේ. ඒ පොලොන්නරුවේ අංක 1 පුරාණ ශිව දේවාලය සංරක්ෂණය අරභයා කළ පර්යේෂණ කැණීමෙන් අනතුරුවය.

මේ වන විට ශිව දේවාලයේ පුරාණ ගල්පුවරු මුළුමනින්ම ඉවත් කර ඇත. මණ්ඩපය අන්තරාලය හා ගර්භ ගෘහය යන කොටස් තුනෙන් සමන්විත කෝවිලේ ශිව ලිංගය පිහිටුවා ඇති ගර්භ ගෘහයේ ඇතුළතින් පාදමට යාබදව මවු පාෂාණය තෙක් දිවෙන පර්යේෂණ කැණීම නිමා වී තිබේ. එම කැණීමේදී පුරාණ ගඩොල් බැම්මක් හමු වී ඇත. ගර්භ ගෘහයේ බිත්තිවලට සමාන්තරව එම ගඩොල් බැම්ම විහිදී තිබේ. ශිවදේවාලයේ පාදම ඉදි වී ඇත්තේ කැණීමේදී මතු වූ එම බිත්තියට යාබදව පිටිනි. මතු වන බිත්ති කොටස සුදු පැහැති හුනු පිරියමෙන් යුතුය. නිල් පැහැයෙන් වර්ණ ගැන්වූ බවට සාක්ෂි ශේෂ වී ඇත.

එම ගඩොල් බිත්ති කොටස කඩා මට්ටම් කර ඒ මත ගඩොල් අතුරා එම ගඩොල් ආස්තරණය මත එළූ කළුගල් පුවරු සහිත පොළොවක පුරාණ ශිව දේවාලයේ ශිව ලිංගය පිහිටුවා තිබෙන බව පැහැදලි වී තිබේ.

පර්යේෂණ කැණීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවලයන්ගේ උපදෙස් ප්‍රකාරව කැණීම් දෙකක් සිදු විය. එක් කැණීමක් අලුතින් පාදාගත් පුරාණ ගඩොල් බැම්ම ආසන්නයේ මීටරයක් පළල, මීටරයක් දිග, මීටරයක් ගැඹුර කැණීමකි. එම කැණීම ගොඩනැගිල්ලේ නිරිත දිග බිත්තිය මුල්ලේ සිදු විය. ඉන් අනතුරුව ගොඩනැගිල්ලේ අහඹු ලෙස තෝරාගත් ස්ථාන හතරක සිදුරු හතරක් ලෙස කළ කැණීමකි.

ඒ කැණීම්වලින් පැහැදිලි වී ඇත්තේ පුරාණ බිත්තිය සහිත ගොඩනැගිල්ල තනා තිබී ඇත්තේ බොරළු පුරවා සකස් කළ බිමක බවය. එහෙත් ශිව දේවාලය ඉදි කර ඇති පාදමට බොරළු පුරවා ඇති බවක් වාර්තා වී නැත. එම ශිලාමය ගොඩනැගිල්ලේ හමුවන්නේ මඩ සහිත පාදමකි. ඉතා පැහැදිලි ගොඩනැගිලි අවධි දෙකක් දැන් නිරීක්ෂණය වී ඇත.

පුරාණ ගඩොල් බිත්තිය

මතු වී ඇති පුරාණ ගඩොල් බිත්තිය නව සංවාදයක් උපදවා තිබේ. රටේ ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළ ආකාරයට මේ ගඩොල් බිත්තිය ප්‍රකට කරන්නේ පුරාණ බුදු මැදුරක අවශේෂය. යම් අවධියකදී ගඩොලින් කළ එම බුදුමැදුර සිඳ ඒ මත ශිව දේවාලය සැදූ ආකාරය සම්බන්ධ බොහෝ විද්වත් පාර්ශ්ව අනුමාන කරයි.

ඔවුන්ට අනුව මේ මතුව ඇත්තේ පුරාණ ගන්ධකුටි සම්ප්‍රදායේ බුද්ධ මන්දිරයකි. ගන්ධකුටි සම්ප්‍රදාය යනු ලෝකයේ බිහි වන මුල්ම බුද්ධ මන්දිර ආකෘතිය ය. ගන්ධකුටි සම්ප්‍රදායේ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ සංගෘහිත කරන ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව එම බුද්ධ මන්දිරය ප්‍රධාන කොටම ගර්භගෘහය හා මණ්ඩපය යන අංග දෙකකින් සමන්විතව ඉදි වන ආකාරය දක්වයි. ගොඩනැගිල්ලේ පසුපසින් වූ කොටස සමචතුරාශ්‍රාකාර හැඩයෙන් යුතුය. ගර්භ ගෘහය නම් වූ එහි බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර ඇත. එය ප්‍රතිමා ගෘහයේ පූජනීය කොටසය. ගර්භ ගෘහයේ ඉදිරියෙන් නිර්මාණය කර ඇත්තේ ආයත චතුරශ්‍රාකාර හැඩයෙන් යුතු මණ්ඩපය කොටසය. එම ප්‍රතිමාගෘහ බොහෝ විට නිර්මාණය වී තිබුණේ පුලුස්සන ලද ගඩොලින් හා ලීවලිනි.

ගන්ධකුටි සම්ප්‍රදාය අනුරාධපුර යුගයේ බෙහෙවින්ම සම්භාවනාවට ලක් වන බුද්ධ ප්‍රතිමාගෘහ මාදිලිය වන අයුරු පෙනේ. අනුරාධපුර විජයාරාමය, තොලුවිල වැනි අතිශය සම්භාව්‍ය නිර්මාණ සේ සැලකෙන ප්‍රතිමා ගෘහ ගන්ධකුටි සම්ප්‍රදායේ අතීත ශේෂයන්ය.

බුදු ගෙයක්

දැනට කර ඇති මූලික හඳුනාගැනීමට අනුව පොලොන්නරුවේ අංක 1 ශිව දේවාලයේ පාදම යටින් මතු වන පුරාණ ගඩොල් බිත්තිය ගන්ධකුටි සම්ප්‍රදායේ බුදු කුටියක් බවට සාධක විද්වත්හු ඉදිරිපත් කරති. ඔවුන්ට අනුව එම ගඩොල් අනුරාධපුර යුගයේ ඉදිකිරීම්වලට නෑකම් කියන ගඩොල්ය. බිත්තියේ කපරාරුව අනුරාධපුර යුගයේ මුල් අවධියට යයි. බිත්තියේ මතු වී ඇති බොරදම් පුරාණ බෞද්ධ වාස්තුවිද්‍යා සම්ප්‍රදායට නෑකම් කියයි. මේ සාධක නිරීක්ෂණයන් උක්ත ඉදි කිරීම ක්‍රිස්තු වර්ෂ 4 හෝ 5 සියවස් තෙක් ගමන් කරන ආකාරය දක්වයි.

තවත් වැදගත් නිරීක්ෂණයක් වාර්තා වේ. ඒ ශිව දේවාලයට නුදුරින් එම භූමියේ විතැන්ව තිබුණු යන්ත්‍රගලක් සම්බන්ධවය. ප්‍රතිමා ගෘහයක ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ප්‍රථම සංකේතාත්මක ශුද්ධ වසතු නිධන් කර තබන කුටීර සහිත සෙල්මුවා පුවරුව යන්ත්‍රගලය. එම යන්ත්‍රගලේ කැබලි මේ වන විට ගලවන ලද ශිව දේවාලයේ සෙල් පුවරු සමඟ භූමියෙන් ඉවත් වී ඇති අයුරු පෙනේ. මේ නිරීක්ෂණ ප්‍රකාරව මෙතෙක් විශ්වාස කළ පරිදි මේ මතු වී ඇති ගඩොල්බැම්ම නියෝජනය කරන්නේ ගඩොලින් කළ ශිව කෝවිලක් නොවේ. බුදු ගෙයකි. කෝවිල ඉදි කිරීම සඳහා බුදු ගේ බිඳ දමා එය වට කොට කෝවිල ඉදි වී ඇත.

ශිව දේවාලයත් අනුරාධපුර යුගයේ

එමෙන්ම මෙතෙක් පැවති අනුමානයන්ට අනුව අංක 1 ශිව දේවාලය නිම වන්නේ 13 වන සියවසේය. එනම් මහා පැරකුම්බාවන්ට සමකාලීනවය. මධ්‍යම සංස්කෘතික අරමුදල කළ කැණීමකින් ලබාගත් අඟුරු සාම්පල කාලනිර්ණයේ දත්ත අනුව එම ඉදි කිරීමේ ඉතිහාසය 9 වැනි සියවස දක්වා යන ආකාරය දක්වා ඇත. මේ කියැවෙන්නේ චෝල බලය වර්ධනය වන අනුරාධපුර යුගයේ අවසන් වකවානුව ගැනය. පොලොන්නරු යුගයේ ආරම්භක සංක්‍රාන්ති අවධිය ගැනය. දැනට පැරණිම ශිවකෝවිල ලෙස සැලකෙන අංක 2 ශිව දේවාලයත් මේ වකවානුවට අයත්ය.

ඒ අනුව පුරාණ ගොඩනැගිල්ල කැඩීම හා ඒ මත ශිව කෝවිලක් ඉදි වීම පොලොන්නරු යුගයටත් එපිට අනුරාධපුර යුගයේ අවසන් වකවානුවක සිදු වන ඓතිහාසික සංසිද්ධියකි.

මෙතෙක් පවතින පිළිගැනීමට අනුව චෝල ආධිපත්‍යය පැවති වකවානුවේ ඉදි වන එම ශිව කෝවිල් නිර්මාණය කරන්නේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ශිල්පීහුය. එබැවින්ම එම කෝවිල් ඉදි කිරීම්වලින් ප්‍රකට වූයේ ලංකාවේ පෝෂණය වන ශිල්ප කලා සම්ප්‍රදාය නොව, දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදාය ය.

එහෙත් කෝවිලේ ගල් පුවරුවල දක්නට ඇති වැඩි අවධානයට ලක් නොවූ සාධක කීපයක් ඉන්දික මානවඩු නැමැති ස්වාධීන තරුණ ගවේෂකයෙක් පෙන්වා දෙයි. එකක් සිංහල කැටයම් සම්ප්‍රදායේ එන ලියවැලකි.

අනෙක පබළු වෙහෙරේ මැටියෙන් මූර්තිමත් කර ඇති සිංහ රුවෙහි ශෛලමය කැටයමකි. එම කැටයම් පල්ලව සම්ප්‍රදාය තුළ ප්‍රකට නොවන සිංහල සංස්කෘතික සම්ප්‍රදායේ ඇති කලා නිර්මාණ වෙයි. ඒ කරුණු පෙන්වා දෙන්නේ ශිව කෝවිල සම්බන්ධව යළිත් ශාස්ත්‍රීය කියැවීමක් සිදු කළ යුතුව බවය.

විමසිය යුතු යථාර්ථය

මතු වූ ගඩොල් බිත්තිය බුදු ගෙයක් මත ඉදි කළ ශිව දේවාලයක් සම්බන්ධව කථිකාව උපදවා ඇත. අනුරාධපුර යුගයේ ගඩොල්, ඒ වකවානුවට අයත් යැයි උපකල්පිත කපරාරුව, බොරදම්, මේ පුරාණ බුදුගෙයක් බවට වන නිරීක්ෂණයන්ය.

අලුත්ම දැනුම අනුව අංක 1 ශිව දේවාලයත් ඉදිවන්නේ අනුරාධපුර යුගයේ ය. එමෙන්ම ශිව දේවාලය යටින් මතුවන පුරාණ ගඩොල් බිත්ති සහිත ගොඩනැගිල්ලත් අනුරාධපුර යුගයේ මුල් අවධියේය.

ශෛලමය ශිව දේවාලය මත සිංහල කලා සම්ප්‍රදායේ ලියවැල්, සිංහරූප වැනි කැටයම් හමුවේ. ශිව දේවාල ඉදි කිරීමේදීත් බෞද්ධ කලා සම්ප්‍රදායේ ආභාසය ලැබී ඇති අයුරු පෙනේ. මහාවංශය පොලොන්නරුවේ ඉදිව තිබූ ගඩොලින් කළ ශිව දේවාල සම්බන්ධවත් සඳහන් කරයි. එමෙන්ම පසුකාලීනව රාජධානියක් වූ මේ භූමිය අනුරාධපුර යුගය වන විට තිවක්ක බමුණු ගමය.

ඒ බවට සාධක සපයන්නේ මේ භූමියේ ඇති ශිලා ලෙඛනයකි. ඒ සම්බන්ධව යළිත් පුළුල්ව විමසීම වැදගත් විය හැකි වන්නේ ඒ නිසාය. ඒ නැතත් බුදුමැදුර කැඩීම හා ඒ මත ශිව දේවාලය ඉදි කිරීම යන මේ සිදුවීම් දෙකම අනුරාධපුර යුගයේ සිදුවූ ඓතිහාසික සංසිද්ධීන්ය. ඉතිහාසය ගලාගෙන එන්නේ පස්පවින් තොර, හතරපෝයට සිල්ගත් සුශීල මනුෂ්‍යයන්ගේ ගලා හැලෙන කරුණාව අතරින් හෝ සංහිඳියාවේ මහෝඝය මතින් නොවේ.

අතිශය අමානුෂික ලේ වැගිරීම්, පාවාදීම්, ව්‍යභිචාර, කුමන්ත්‍රණ, බිහිසුණු ඝාතන සහිත බලය පිළිබඳ වූ අශිෂ්ටම යන්ත්‍රණක් ඔස්සේය. අහස උසට ගොඩනැඟෙන බොහෝ ඉදි කිරීම් ආගමික ශ්‍රද්ධාව පිළිබඳ සංවේදනාවන්ට වඩා දේශපාලන බලය ‍හා බැඳුණු තීව්‍ර ප්‍රකාශනයන්ය.

ආගමික මධ්‍යස්ථාන විතැන් කිරීම හෝ වන්දනාවට පත් පුදබිම්හි සංස්කෘතික හැඩය වෙනස්වීම ඇස් උඩ තබාගෙන පුදුම වන්නට කාරණාවක් නොව ඉතිහාසය අපට කියා දෙන යථාර්ථය ය. මහාවංශය අනුව ථූපාරාමය ඉදි වන්නේ මහෙජ යක්ෂයා වෙනුවෙන් වැඳුම් කළ භූමියේ ය.

ගෝකණ්ණ විහාරය මහසෙන් රජ දවස ඉදි වන්නේ එතැන එතෙක් පිහිටි තීර්ථකාරාමය මතය. අභයගිරිය ඉදි වූයේ ගිරි නිඝන්ඨයාගේ ආරාමය සුනු කිරීමෙනි. චෝල බලය පැවති අවධියක බුදු මැදුරක් සුන් කර ඒ මත හින්දු කෝවිලක් ඉදි වී ඇති නම් එය ඉතිහාසයේ යථාර්ථයට එකඟය.

ඉතිහාසය යනු වන්දනා කළ යුත්තක් හෝ බිය විය යුත්තක් නොවේ. ශිෂ්ට මිනිසුන් කරන්නේ ශාස්ත්‍රීයව හෙළි වන යථාර්ථය පිළිගැනීමය. පොලොන්නරුවේ අංක1 ශිවදේවාලය අබියසදී නම් ඒ යථාර්ථය පිළිගෙන සංරක්ෂණ මූලධර්මවලට එකඟව මේ මතු වන සංස්කෘතික අවධි දෙක සංරක්ෂණය කිරීමය. එම අවධි දෙකටම ගරු කිරීමට තරම් ශීලාචාර මනුෂ්‍යයන් පිරිසක් වීමය.

අදහස්