නවසීලන්තයේ ප්‍රචණ්ඩත්වය ලිහිල් සංක්‍රමණික නීති නිසාද? | සිළුමිණ

නවසීලන්තයේ ප්‍රචණ්ඩත්වය ලිහිල් සංක්‍රමණික නීති නිසාද?

ලොව ජීවත් වීමට වඩාත්ම සුදුසු රටක් ලෙස පිළිගැනෙන සුන්දර භූමිය හිටිවනම දෙදරුම් කෑවේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවකය. බොහෝ සාමකාමී මෙන්ම ජනහිතකාමී රටක් ලෙස ප්‍රකට නවසීලන්තයම බියෙන් ඇළලී ගියේ සැණෙකිනි. පනස් දෙනකුගේ දිවි අහිමි කරමින් මෙන්ම ඊට ආසන්න පිරිසකට මරණාසන්න තුවාල සිදු කරමින් යාච්ඥාවේ යෙදී සිටි ඉස්ලාම් බැතිමතුන් වෙත එල්ල වූ එම ප්‍රහාරය දැඩි ම්ලේඡ ස්වභාවයක් පෙන්නුම් කළේය.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් එම ප්‍රහාර‍ය එල්ල වූ දිනය රටේ අඳුරුතම දිනයක් ලෙස ප්‍රකාශ කළාය.

එම සිදු වීමත් සමඟම ජාතිවාදී දක්ෂිණාංශික මතවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෝලීය සටනක අවශ්‍යතාව ඇය අවධාරණය කරයි. එහෙත් සංක්‍රමණ ඉහළ යෑම ජාතිවාදය වර්ධනය වීමට බලපා ඇති බවට වන අදහස බැහැර කරන බව පවසන්නීය.

එම ප්‍රහාරය එල්ල කළ විසි අට හැවිරිදි ඕස්ට්‍රේලියා ජාතික බ්‍රෙන්ටන් ටරන්ට් වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරය සිය ගිනි අවියේ සවි කරනු ලැබූ කැමරාවක් මඟින් සජීවීව සමාජ ජාලා වෙත මුදා හරිනු දක්නට ලැබිණි. එය තව දුරටත් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස නවසීලන්ත රජය ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩත්වය වැපිරිය යුතු දෙයක් නොවන බව අවධාරණය කරමිනි.

මුස්ලිම් ජාතිකයන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු නවසීලන්ත ජාතිකයන්ගේ ප්‍රතිචාර අතිශය මානුෂීය විය. ඕනෑම අයකුට තමා අනාරක්ෂිත යැයි හැඟේ නම් ඕනෑ අවස්ථාවක තම ආරක්ෂාව ලබා දිය හැකි බවට ඔවුහු සමාජ ජාලයන්හි සටහන් කළහ. ඉතිරි කරගත් මුදල් ටිකක් තමා සතු බවත් අසරණ වූ අයකුට සහාය විය හැකි බවත් තවත් ‍අයෙක් සටහන් කළහ. ඇඳුම් පැලඳුම්, ආහාර පාන මෙන්ම ඉඳුම් හිටුම් ලබා දීමට ඔවුහු ඉදිරිපත් වූහ. වෙනකක් ලබා මුස්ලිම් දේවස්ථාන ඉදිරිපස ජන පවුරු ඉදි කළහ.

මුස්ලිම් ජාතිකයන් මිය ගොස් පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කිරීම චාරිත්‍රය වුවත්, මේ වන තුරු නිදහස් කර ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගියවුන්ගෙන් කිහිප දෙනකුගේ සිරුරු පමණකි. සිරියානු යුද්ධයෙන් බැට කෑ පිය පුතු දෙපළක් රැකවරණ පතා පැමිණි භූමියේ දී මැරුම් කෑම අතිශය සංවේග ජනකය. එම පවුලේ තවත් පුතකු තම පියාගේ සහ සහෝදරයාගේ අවසන් කටයුතුවලට සහභාගි වූයේ එදා ප්‍රහාරයෙන් ලත් තුවාල සමඟ රෝද පුටුවකිනි. ප්‍රහාරයේ ඉලක්ක බවට පත් ස්ථාන දෙකෙන් එකක් වන ක්‍රයිස්ට්චර්ච්හි ලින්වුඩ් ඉස්ලාමීය මධ්‍යස්ථානය අසල සුසාන භූමිය වෙත ශෝකයට පත් සිය ගණනක් එක් රැස්ව සිටියහ.

අවමංගල්‍යය සඳහා එක්ව සිටි පිරිස ඇමතූ අගමැතිනිය පැවසුවේ " මේක සිදු කළේ ඔස්ට්‍රේලියා පුරවැසියෙක්. නමුත් ඉන් කියවෙන්නේ නැහැ නවසීලන්ත ජාතිකයන්ගෙන් බහුතරයකට නින්දාවක් විය හැකි එවැනි මතයක් නවසීලන්තයේ ඇති බව" යනුවෙනි. කොතැනක පැවතියත් එවැනි මත මුලිනුපුටා දැමීමටත් එවැනි මතවලට සමෘධිමත්ව වැඩිය හැකි පරිසරයක් නිර්මාණය නොකිරීමටත් වගකීමක් ඇති බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. "වෙනත් කොතැනක හෝ හැදීවැඩී ඔවුන්ගේ මතවාදය ඉගෙන ගෙන නවසීලන්තයට එරෙහිව ප්‍රචණ්ඩත්වය ගෙන ආ පුද්ගලයෙකු" ලෙස නවසීලන්ත අගමැතිනිය ප්‍රහාරකයා හඳුන්වනු ලැබීය.

කෙසේ වුවත් විශේෂයෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නමින් ඔහු හැඳින්‍වීමෙන් වැළකී සිටින්නට ඇය කටයුතු කළාය. එවන් ම්ලේච්ඡ ක්‍රියාවක් මඟින් වුව තම නම ප්‍රසිද්ධ කරගැනීමේ ඔහුගේ අවශ්‍යතාවට ඉඩ ලබා නොදෙන බව අගමැතිනිය අවධාරණය කළාය.

මේ ප්‍රහාරය හමුවේ නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ගන්ගේ ක්‍රියා කලාපය ලොව පුරා ඇගයීමට ලක්වෙමින් තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව හිජාබයකින් සැරසුණු ඇය විපතට පත් වූවන් වෙත ශක්තිමත් පණිවුඩයක් ලබා දීම ප්‍රශංසාවට ලක් විය. එසේම "අපේ ගිනි අවි නීති වෙනස් වනු ඇති" බවට සිදු කළ ප්‍රකාශයත් සමග ගිනි අවි නීති සංශෝධනය කළ යුතු බවට නවසීලන්තය තුළ මතයක් නිර්මාණය විය.

ඒ අනුව සියලු වර්ගයේ අර්ධ-ස්වයංක්‍රීය ගිනිඅවි සහ ප්‍රහාරක රයිෆල් තහනම් කරන බව අගමැතිනිය සිදු කළ නවතම ප්‍රකාශයේ සඳහන් වේ. ඊට අදාළ නව ව්‍යවස්ථාව අ‍ප්‍රියෙල් 11 වැනි දා ඉදිරිපත් කරන බව ඇය ප්‍රකාශයට පත් කර ඇත.

" අපේ ඉතිහාසය හැමදාම වෙනස් වුණා. දැන්, අපේ නීති ද එසේ වනු ඇත" අගමැතිනි ජසින්ඩා අර්ගන් පවසන්නේ සැබෑ අවශ්‍යතාව ඇති නායකත්වය ක්‍රියාත්මක වීමට නොපසුබට බවට සැබෑ සාක්ෂියක් වෙමිනි. ඒ ඇය එදා පැවසූ පරිදි "මේ ක්‍රෑර ත්‍රස්තවාදී ක්‍රියාව වී දින 10ක් තුළ අපේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංශෝධන නිවේදනය කරනවා" යන්න වචනයට පමණක් සීමා නොකරය.

සති අන්තයේදී මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සැකකරු 2017 වසරේ නොවැම්බර් මාසයේදී ගිනි අවි බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඔහු සතුව ගිනි අවි 5ක් තිබී ඇති බවය.

සැකකරුට ගිනි අවියක් අලෙවි කළ ගිනිඅවි අලෙවිසල වන 'ගන් සිටි' ආයතනය පැවසුවේ, සිය ආයතනය සැකකරුට ගිනි අවි අලෙවි කර ඇතත් සිකුරාදා වෙඩි ප්‍රහාරයට යොදාගත් ආකාරයේ අධිබල ගිනිඅවි අලෙවි නොකළ බවය.

අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනම් කරන ලෙස නවසීලන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කර ඇති බව රේඩියෝ නිව්සීලන්ඩ් ගුවන් විදුලි සේවය මේ අතර වාර්තා කළේය.

‍එම ප්‍රහරය ලොව පුරා රාජ්‍ය නායකයන් ඇතුළු ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත් වෙද්දී එය සාධාරණීයකරණය කළ ඕස්ට්‍රේලියාවේ ස්වාධින සෙනට් සභිකයෙකුට 17 හැවිරිදි තරුණයෙකු විසින් බිත්තර ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

ඕස්ට්‍රේලියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කරනු ලබන ෆ්රේසර් ඇනින්ග් ප්‍රකාශ කර සිටියේ

දැඩි අන්තගාමි මත දරන්නෙකු වශයෙන් නම් දරා සිටින එම සෙනට් සභිකයාගේ ප්‍රකාශයත් සමඟ නවසිලන්ත ප්‍රහාරය සිදු කළ ප්‍රහාරකයාට සහය පළ කරමින් සිදුකරමින් කළ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් අසල සිටි තරුණයෙකු ඔහුගේ පිටුපසින් සිට හිසට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන අයුරු විදෙස් මාධ්‍ය ඔස්සේ විකාශය ක‍රනු දක්නට ලැබිණි.

බිත්තර ප්‍රහාරය එල්ල වීමත් සමග අදාළ සෙනට් සභිකයා විසින් එම තරුණයාට පහර කිහිපයක් එල්ල කරන අයුරු ද ආරක්ෂක නිලධාරින් මැදිහත්ව අදාළ තරුණයා අත්අඩංගුවට ගත් අයුරුද එහිදී දැකගත හැකි විය. අත්අඩංගුවට පත් තරුණයා ඇප මත නිදහස් වූ බව පසුව වාර්තා කරන ලදී .

කෙසේ වෙතත් සෙනට් සභික ෆ්රේසර් ඇනින්ග්ගේ ප්‍රකාශය ලොව පුරා ප්‍රබල අප්‍රසාදයට ලක් වී තිබේ. ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් පවා ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරමින් ප්‍රකාශ කළේ ෆ්රේසර් ඇනින්ගේ ප්‍රකාශය ඕස්ට්‍රේලියාවේ මතය නොවන බවයි.

Comments