ලොවම පැටලුණු ගැටලුවක ශ්‍රි ලංකාවත් පැටල වූ රුසියානු ගුවන් යානාව | සිළුමිණ

ලොවම පැටලුණු ගැටලුවක ශ්‍රි ලංකාවත් පැටල වූ රුසියානු ගුවන් යානාව

අර්බුදයට තුඩු දුන් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ නවතා තිබූ අන්දම සහ අර්බුදයට තුඩු දුන් ගුවන් යානය කටුනායකින් මොස්කව් බලා පිටත් වූ අයුරු

සාගරයෙන් වටවූ වර්ග කිලෝමීටර් 65610ක කුඩා බිම් ප්‍රමාණයක ජීවත් වෙමින් සිටින අපට මේ දූපතෙන් පිටව යෑමට ඇත්තේ කාර්ය බහුල එක් ගුවන් තොටුපොළක් පමණි. එබැවින්ම අපට සෙසු ලෝකය සමඟ පවතින සබඳතා එතරම් යාවත්කාලීන නොවේ. එබැවින්ම පසුගිය දිනවල විශේෂ කතාබහට ලක්වූ රුසියානු ගුවන් යානයේ සිදුවීම් මාලාව අපට බෙහෙවින් ආගන්තුකය. එහෙත් ලෝකයේ අතිශයින් කාර්යබහුල ගුවන් තොටුපොළවල සිදුවන සංකීර්ණ සිදුවීම් බොහෝය. ඒ පිළිබඳ නීති රීති ද බොහෝය.

එහෙත් ආර්ථීක අර්බුදයක සිටින අප රට මේ මොහොතේ සුළඟට සැලෙනා ගසක කොළයකට වුවද බියපත් වන්නේය. අනික් අතට රුසියාව මේ සිටින්නේ යුද්ධය පාර්ශ්වකරුවකු වෙමිනි. එබැවින් මේ සිදුවීම් සුළු කොට සැලකීමට ද නොහැකිය.

සැබවින්ම රුසියානු ගුවන් යානය සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද?

රුසියාවේ නිල ගුවන් සේවය එරෙෆ්ලොට් ය. එය ලෝකයේ රටවල් රැසකට ගුවන් සේවා සපයන ශක්තිමත් ගුවන් සේවයකි. එහෙත් ලොව සෙසු බොහෝ ගුවන් සමාගම්වල මෙන්ම එරෙෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානා බහුතරයක් පවතින්නේ ලීසිං හෙවත් කල්බදු පහසුකම් යටතේය.

මේ ගුවන් යානා ලීසිං හෙවත් කල්බදු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ අප වාහනයක් කල්බදු ක්‍රමයට ලබා ගත් විට ක්‍රියාත්මක වන නීතිරීති සමඟ බොහෝ සමානවය. එනම්, වාහනයේ අයිතිය සමාගම සතුවන නමුත් වාහනය භාවිත කිරීමේ හැකියාව අපට ලැබේ. ගුවන් යානයක් කල්බදු පහසුකම යටතේ ගුවන් සමාගමක් විසින් මිලදී ගත්විට ගුවන් යානයේ අයිතිය කල්බදු සමාගම සතුවන නමුත් යානය භාවිත කිරීමේ හැකියාව අදාළ ගුවන් සමාගමට හිමි වේ. මේ අන්දමින් කල්බදු පහසුකම් යටතේ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගමත් යානා රාශියක් භාවිත කරයි.

පසුගිය මාර්තු මාසයේදී යුක්රේන රුසියා යුද්ධය ආරම්භ වීමත් සමඟ යුරෝපය සහ ඇමරිකාව විසින් රුසියාවට විවිධ අන්දමේ සම්බාධක රාශියක් පනවනු ලැබීය. මෙලෙස පැනවූ සම්බාධක අතර ගුවන් පහසුකම්වලට අදාළ සම්බාධක ද පවතී. උදාහරණයක් ලෙස යුක්රේන යුද්ධයට අදාළව රුසියාවට පැනවූ සම්බාධක අතරට බටහිර රටවල් විසින් රුසියානු සමාගම්වලට හෝ රුසියානු ජාතිකයන්ට ගුවන් යානා අලෙවිය හෝ කල්බදු පහසුකම් ලබා දීම, ගුවන් යානා අමතර කොටස් සැපයීම හෝ නඩත්තු උපකරණ සැපයීම යනාදී ක්‍රියාවන් තහනම් කරනු ලැබීය. මේ තහනම අදාළ වන්නේ යුරෝපා සමාගම්වලටයි. එම තහනම හෙවත් සම්බාධක නියෝග පැණවීම සහ ඒවා ක්‍රියාත්මක වන්නේද යන්න විමසීම සිදු කරන ලද්දේ යුරෝපා සංගමය විසිනි. යුද්ධය ආරම්භ වූ සැණින් පනවන ලද මේ සම්බාධක ක්‍රියාත්මක කිරීමේ දී කිසියම් සහන කාලයක් යුරෝපා සංගමය විසින් අදාළ සමාගම්වලට ලබා දී තිබුණි. මාර්තු මාසය අවසානයේ මේ සහන කාලය අවසන් වීමෙන් පසුව සම්බාධක ක්‍රියාක්මක වීම ඇරඹුණු අතර, ලොව පුරා රුසියානු ගුවන් සේවාවන්ට ගැටලුවලට මුහුණ දීමට සිදු වූයේ එයින් පසුවයි.

එරෙෆ්ලොට් ගුවන් සේවය මෙන්ම රුසියාවේ භාවිත කරන ගුවන් යානාවලින් අති බහුතරය බටහිර රටවල නිෂ්පාදනය කරන විශාලා ගුවන් යානා ය. මේ ගුවන් යානා නොමැතිව කිසිදු ගුවන් සේවයකට ක්‍රියාත්මක විය නොහැකිය. විශේෂයෙන්ම දීර්ඝ ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නම් පහසුකම් සහිත විශාල ගුවන් යානා අවශ්‍ය වන බැවින් යුරෝපා සමාගම් සමඟ සම්බන්ධ වෙමින් එරොෆ්ලොට් ගුවන් සේවය ද යානා රාශියක් කල්බදු ක්‍රමයට ලබාගෙන තිබුණි. ඒ අතරින් වැඩිම ගනුදෙනු සිදු කර තිබුණේ අයර්ලන්තයේ ලියාපදිංචි එයාර්කැප් සමාගම සමඟයි. එයාර්කැප් සමාගම ලෝකයේ ගුවන් යානා කල්බදු පහසුකම් සපයන ප්‍රමුඛ පෙළේ සමාගමකි. එම සමාගමේ දත්ත වාර්තා අනුව රුසියාවේ විවිධ ගුවන් සේවාවන්ට පමණක් එයාර් කැප් සමාගම ගුවන් යානා 150කට අධික ප්‍රමාණයකට කල්බදු පහසුකම් සපයා තිබේ. එහෙත් සම්බාධක පැනවීමෙන් පසු මේ සමාගම සහ රුසියාව අතර ගැටුම් ආරම්භ විය.

එයට හේතුව වුයේ කල්බදු ලබා ගැනීමේදී දෙපාර්ශ්වය එකඟ වන්නා වූ කොන්දේසි කිහිපයක් සම්බාධක හේතුවෙන් උල්ලංඝනය වීමයි. අප සාමාන්‍ය මෝටර් රථයක් සඳහා කල්බදු පහසුකම් ලබා ගැනීමේදී ‘සම්බාධක පැනවුවහොත්’ යන කරුණ අදාළ වන්නේ නැහැ. එහෙත් රටරටවල් අතර කල්බදු පහසුකම් සැපයීමේදී මේ ‘සම්බාධක පැනවීම්’ යන කොන්දේසිය විශේෂයෙන් අදාළ වේ. එයට හේතුව අන්තර්ජාතික ගැටලු සහ අර්බුද කිනම් මොහොතක පැන නැගේදැයි යන අවිනිශ්චිතතාව පවතින බැවිනි. මේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ රටවල් එක්ව ගිවිසුම් ගත වී තිබෙන අතර මේ ගිවිසුම හඳුන්වන්නේ ‘කේප්ටවුන් ගිවිසුම’ යනුවෙනි. කේප් ටවුල් ගිවිසුමට අත්සන් තැබූ රටවල් කිසියම් සම්බාධක පැනවීමේ අවස්ථාවකට මුහුණ දුන්නේ නම් තම රට සතුව පවතින කල්බදු පහසුකම ලබාගෙන ඇති වත්කම් යළිත් අදාළ සමාගම්වලට ලබා දිය යුතු වේ. රුසියාව මේ කේප්ටවුන් ගිවිසුමට අත්සන් තබා ඇති නමුත් ශ්‍රී ලංකාව මේ ගිවිසුමට අත්සන් තබා නොමැති බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

රුසියානු සමාගම්වලට ගුවන් යානා කල්බදු පහසුකම් ලබා දීමේදී ද අයර්ලන්ත සමාගම විසින් මේ සම්බාධක පැනවීම යන කරුණ අදාළ කර ගනිමින් කොන්දේසි ගත වී තිබිණි. ඒ කොන්දේසියට අනුව යම් හෙයකින් ගනුදෙනු පියවා අවසන් වීමට පෙර ආදාළ ගුවන් යානා ලබා දෙන රටට සම්බාධක පැනවීමක් කෙරුණේ නම් අදාළ රට විසින් ගුවන් යානා අයර්ලන්ත සමාගමට ලබා දිය යුතු විය. මේ කොන්දේසියට අදාළව යුරෝපා සංගමය විසින් රුසියාවට සම්බාධක පැනවීමෙන් පසුව තම සමාගම විසින් කල්බදු පහසුකම් ලබා දී ඇති ගුවන් යානා යළිත් තම සමාගමට ලබා දෙන මෙන් අයර්ලන්තයේ ලියාපදිංචි එයාර්කැප් සමාගම විසින් රුසියානු ගුවන් සමාගම්වලට දැනුම් දී තිබිණි. එහෙත් එම දැනුම්දීම අනුව කල්බදු පහසුකම් යටතේ පවතින ගුවන් යානා යළි ලබා දීමට රුසියානු ගුවන් සමාගම් කටයුතු කර තිබුණේ නැත. රුසියාව සතු දිගු දුරක් ධාවනය කළ හැකි විශාල ගුවන් යානා අතරින් බහුතරය කල්බදු පහසුකම යටතේ ලබාගත් ඒවා වන බැවින් එම ගුවන් යානා බාර දීමෙන් පසු ගුවන් සේවා කඩා වැටීමට ඉඩකඩ පැවතීම එසේ කිරීමට ප්‍රධාන හේතුවක් විය හැකිය.

කෙසේ වුවද එයාර් කැප් සමාගම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් ලොව පුරා රටවල් කිහිපයකදීම රුසියානු ගුවන් යානා අත්පත් කර ගැනීමට පසුගිය දිනවලදී කටයුතු කර සිටියේය. ඒ යටතේ පසුගිය පෙබරවාරි 27 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් හිදී බෝයිං 737 වර්ගයේ රුසියානු ගුවන් සේවයට අයත් යානාවක් යළි තමන් වෙත ලබා ගැනීමට එයාර්කැප් සමාගම කටයුතු කළ අතර, යළිත් වරක් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේදී ද තවත් යානාවක් අත්පත් කර ගැනීමට එම සමාගම කටයුතු කළේය. මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබූ එයාර් කැප් සමාගමට අනුව රුසියාවට කල්බදු සහන ලබා දී තිබුණු යානා 79ක් ඔවුන් විසින් යළි අත්පත් කර ගැනීමට කටයුතු කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ රුසියාව පසුගිය මාර්තු 6 වැනිදා සිට කල්බදු පහසුකම යටතේ රුසියානු ගුවන් සමාගම් විසින් මිලදී ගෙන තිබූ යානා රටින් පිටට යැවීමෙන් වැළකීමට කටයුතු යෙදීය.

එමෙන්ම මෙලෙස තම රටට පැමිණෙන ගුවන් යානා අත්අඩංගුවට ගැනීමෙන් වළකින බවට ශ්‍රී ලංකාව විසින් රුසියාවට දැනුම් දීමක් සිදු කර තිබූ බව ද ප්‍රකාශිතය.

තත්ත්වය මෙසේ වන විට ඇති විය හැකි නීතිමය ගැටලු සහ එමඟින් ඇතිවිය හැකි රාජ්‍ය තාන්ත්‍රික සිත් රිදීම් කල්තබා වටහා ගත් චීනය, කල්බදු පහසුකම් යටතේ ධාවනය කෙරෙන ගුවන් යානා තම රටට ඇතුලු කර නොගන්නා බව දැනුම් දීමට කටයුතු කර තිබිණි.

පසුගියදා ලංකාවට කැළඹූ එරෝෆ්ලොට් සමාගමට අයත් SU289 ගුවන් යානය ලංකාවට පැමිණෙන්නේ එකී පොරොන්දුව මත යැයි පැවසේ. කෙසේ වුවද කල්යල් බලා ක්‍රියාත්මක වූ එයාර්කැප් සමාගමේ අතුරු සමාගමක් යැයි පැවසෙන අයර්ලන්තයේ ලියාපදිංචි සෙලෙස්ටයල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නම් සමාගමක් වහාම කොළඹ වාණිජ මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ යානය රටින් පිටවීම වළකාලන ලෙස ඉල්ලමිනි. එම ඉල්ලීමට කන්දුන් කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු හර්ෂ සේතුංග නියෝග කර තිබුණේ මේ ගුවන් යානය ජූනි 16වැනිදා වන තෙක් රඳවා ගන්නා ලෙසය.

එම තීන්දුවත් සමගම ක්‍රියාත්මක වූ රුසියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට වූයේ එරට ප්‍රධාන ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් යානා ලංකාවට පැමිණීම ද වළකාවමිනි.

ඒ සමඟින් රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීම වළක්වාලීමට ද රුසියාව විසින් කටයුතු යෙදූ අතර, මෙරට සිටි රුසියානුවන් ගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කොළඹට එවීමට ද රුසියානු බලධාරින් කටයුතු යෙදීය. ඒ අනුව මොස්කව් නුවරින් පිටත් වූ මගීන් රහිත ගුවන් යානයක් පසුගිය පස් වැනිදා කොළඹට පැමිණ අදාළ රුසියානුවන් පිරිස යළිත් තම රට බලා ගෙන යෑමට කටයුතු යෙදීය.

මේ අතර ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක වෙමින් මෙය කල්බදු සමාගමක් සහ රුසියානු ගුවන් සමාගමක් අතර සිදුවූ නඩු කටයුත්තක් මිස රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නොවන බව පැහැදිලි කිරීමට කටයුතු යෙදීය.

ඒ සමඟම නීතිපතිවරයා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද මෝසමකට අනුව ගුවන් යානායට යළි සිය රට බලා යෑමේ අවසරය ද මෙරට අධිකරණ මඟින් හිමි වූ බැවින් එම යානය පසුගිය 6 වැනිදා සවස් භාගයේ මෙරටින් නික්ම ගියේය.

එරොෆ්ලොට් ගැන

එරොෆ්ලොට් යනු රුසියාවේ නිල ගුවන් සේවයයි. එරොෆ්ලොට් යන වදන බිහිවී ඇත්තේ ‘එයාර් ෆ්ලීට්’ යන වදන ඇසුරෙනි. එහි අර්ථය වන්නේ ‘නායක ගුවන් සේවය’ යන්නයි. ලෝකයේ දැනට ක්‍රියාත්මක ගුවන් සේවා අතරින් පැරණිතම ගුවන් සේවා අතරට එරොෆ්ලොට් ගුවන් සේවය ද අයත් වේ. මේ ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලය මොස්කව් හි පිහිටා ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී එරෝෆ්ලොට් ගුවන් සේවය රටවල් 52ක ගුවන් ගමනාන්ත 146ක් දක්වා පියාසර කළ අතර, මාර්තු 8 වැනිදා සිට එම ගමන් වාර ඉතා විශාල ලෙස අඩු කර දැමීමට එරෝෆ්ලොට් බලධාරීහු කටයුතු කළහ. මේ වන විට එරොෆ්ලොට් ගමන්වාර ක්‍රියාත්මක වන්නේ රුසියාව සහ බෙලරූස් මූලික කර ගනිමිනි.

මේ ගුවන් යානයේ සිදුවීම සිදුවීමට පෙර එරොෆ්ලොට් ගුවන් සේවය මොස්කව් සිට කොළඹ බලා ගමන් වාර, සතියකට ඍජු ගමන් වාර තුනක් ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කළේය. ඒ බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදීය.

Comments