පපඤ්චකරණය සහ මානසික ගැටලු | සිළුමිණ

පපඤ්චකරණය සහ මානසික ගැටලු

පපඤ්ච ගොඩනැඟීමට පළමු සිදු වන ක්‍රියාවලියක් ඇත. ඒ ක්‍රියාවලියේ නිශ්චිත ස්ථානයකදී පපඤ්ච ගොඩනැඟීම ආරම්භ වේ. එතැන් පටන් සත්ත්වයා සංසාරයට බැඳ තබවන කර්ම රැස් කිරීමේ පියවර ආරම්භ වෙයි. පහත දැක්වෙන ගාථාව පපඤ්චකරණයට පෙර හා පසු තත්ත්ව මනාව පැහැදිලි කර දෙයි:

"චක්ඛුඤ්ච පටිච්ච රූපේච
උප්පජජති චක්ඛු විඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සෝ
ඵස්ස පච්චයා වේදනා
යං වේදේති තං සඤ්ජානාති
යං සඤ්ජානාති තං විතක්කේකති
යං විතක්කේති තං පපඤ්චේති
යං පපඤ්චේතී තතෝනිදානං පුරිසං
පපඤ්චසඤ්ඤාසංඛාර සමුදාචරන්ති"

මේ ගාථාවේ අර්ථය පහත දැක්වෙන ආකාර වේ:

"ඇස(චක්ඛුඤ්ච) රූපය (රූපේච) හා ගැටුණු විට චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ තුනෙහි (ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය) එකතුවෙන් ස්පර්ශය (ඵස්සෝ) ඇති වේ. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව (වේදනා) ඇති වේ. යම් වේදනාවක් ඇති වේද, එය හඳුනාගනී (සඤ්ජානාති). යමක් හඳුනාගනියිද ඒ පිළිබඳ විතර්කනය (විතක්කේති) කරයි. යමක් විතර්කනය කරයිද එය ප්‍රපංචකරණය (පපඤ්චේති) කරයි. යමක් ප්‍රපංචකරණය කරයිද එය උපාදානය කරගනී. පුද්ගලයා විසින් ගොඩනැඟූ ප්‍රපංච සංකල්පනා විසින් පුද්ගලයා මර්දනය කර ගිලගනී."

මෙය තවත් විස්තර කර පෙන්වුව හොත් රූපය, ඇස, චක්ඛුචිඤ්ඤාණය නිසා ස්පර්ශය හටගනී. ස්පර්ශය නිසා වේදනාව හටගන්නා අතර ඒ වේදනාව සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ ලෙස දැනීම ඇති වෙයි. ඒ දැනීම අනුව අරමුණු වූ රූපය මැනීම සිදු කරයි. මේ මැනීම සදිසිමාන, ස්‍යෙයමාන, හීනමාන වශයෙන් හෝ ලස්සන, කැත, සුදු, ආදි වශයෙන් හෝ ගනු ලැබිය හැකිය. ප්‍රිය, අප්‍රිය දුක් ආදි වශයෙන් කවරාකාරයේ තත්ත්වයක් වුව ඒ ගැන හිතයි; සිතමින් විතර්කනයෙහි යෙදෙමින් තව-තවත් හඳුනාගනී. මේ හඳුනාගැනීම් මඟින් ප්‍රපංච ගොඩනැ‍ඟෙයි. ඒ ප්‍රපංච තණ්හා, දිට්ඨි, මාන, මම, මගේ ආදි වශයෙන් අල්ලාගනු ලබයි. එයින් පුද්ගලයා වෙළී, එයට හසු වී, එයම කර්මය බවට පත් කරගනී.

මේ ප්‍රපංචකරණයට ගොදුරු වූ පුද්ගලයකු දියසුළියට හසු වූ විට ගොඩ ඒමක් නැතිව පතුලටම ඇදගෙන යනු ලබන අයුරින් භවයෙන් ගැලවීමක් නැතිව එයටම ගොදුරු වන බව බෞද්ධ උපමාවක දැක්වේ.

පපඤ්චකරණය මානසික ගැටලුවක් බවට පත් වීම

මිනිසා ස්වභාවයෙන්ම මානසික වශයෙන් සිතිවිලි බහුලය; භෞතික වශයෙන් බහුභාණ්ඩිකය. සැපය පිණිසම ඉඩක් සොයන ස්වභාවය ඇත්තේය; ඒ සැපයන්ට බාධා පමුණුවන සියල්ල කෙරෙහි නොමනාපය ඇත්තේය. එබැවින් පපඤ්චකරණය පුද්ගලයාට ඇති කරන ගැටලු මහත්ය.

මෙහිදී පළමුවෙන් පෙන්වාදිය හැක්කේ කුසල පක්ෂය කෙරෙහි පපඤ්ච ගොනු විය හැකි බවයි. එමගින් ඇති වන නිරාමිස සුවය සසර ගමන දිගු කරන්නක් නොවේ. එය තවදුරටත් කුසලය කෙරෙහි යොමු කර, සසර බැමි සිඳලන්නකි.

මානසික ගැටලු ඇති කරන පපඤ්ච ගොඩනැ‍ඟෙන්නේ ලෝභ, දෝස, මෝහ අකුසල මූල මුල් කරගනිමිනි.

නිදසුන් මඟින් මෙය පැහැදිලි කළ හැකිය.

1. ඇසට ප්‍රිය උපදවන්නා වූ රූපයන්ට ඇලුම් කරමින්, ඉන් ලද සුඛ වේදනා පිළිබඳ සිතිවිලි නැවත නැවත වඩමින්, ඒ සිතිවිලිහි ගිලෙමින් ඉන්නා පුද්ගලයකු නැවත නැවත ඒ රූපය දැකීමට රුචි වෙයි; ඒ සමඟ ගෙවූ කාලය සිහි කිරීමට රුචි වෙයි; නැවත ඒ අවස්ථාව උදා කරගැනීමට උපක්‍රම සොයයි. ඒ සඳහා බාධා කරන්නවුන් වනසා-දමා හෝ රූපයත් ඉන් ලද පහසත් ලැබීමට තරම් ගොඩනැඟූ සිතිවිලි සිත උමතු කරවයි. තමා උපයන සියල්ල ඒ සඳහා වියදම් කරන්නට නොපැකිළෙයි; අවසානයේ අපේක්ෂා ඉටු නොවුව හොත් ඒ නිසා බලවත් සේ කලකිරීමට පත් වෙයි; තමා නොලබන සැප අන්‍යයන් විඳිනු දකින විට ඊර්ෂ්‍යා ද්වේෂ ඇති වෙයි. ඒ ඔස්සේ සිතිවිලි මෙහෙයවයි; අන්‍යයන් කෙරේ වෛර ඇති කරගනී; අවසානයේ විශාල අකුසල කර්ම රැසක් රැස් කරගනී.

2.මේ සමාන උදාහරණයක් පන්සිය පනස් ජාතකයේ එන අසාතමන්ත ජාතකයෙන් කියවෙයි. දිසාපාමොක් ඇදුරිඳුගේ වයස අවුරුදු සියයක් පමණ වූ මහලු මව දිසාපාමොක් ඇදුරුගේ ගෝල රජකුමරුවකු ‍කෙරෙහි රාගයෙන් බැඳී ඔහු අයිති කරගැනීම පිළිබඳ ගොඩනැඟූ ප්‍රපඤ්චය කොතරම් බලවත් වූයේද යත්: සිය පුතු වූ දිසාපාමොක් ඇදුරු තමන්ම මරාදැමීම සඳහා උපක්‍රම සෙවීමට තරම් සැහැසි විය. මේ සිද්ධිය සලකා බැලීමේදී පුද්ගල චිත්තාභ්‍යන්තරය රාගයෙන් කිලිටි වී, දෝසයෙන් උමතු වී, මෝහයෙන් මුළාවන අන්දම පෙනී යයි. වයස අවුරුදු සියයක් පමණ මහලු කාන්තාවක භද්‍රයෞවනයකුට රාගයෙන් ඇලීම, ඇයට ඔහු සරණ පාවාගැනීමට අවශ්‍ය වීම, මෙහිදී ඇයට තමා කවුරුද, තමා ජීවත් වන සමාජ පරිසරය කුමක්ද, සම්ප්‍රදායන් කෙසේද යන්න අමතකව යයි. එසේත් නැති නම් රාගය විසින් ඒ සියල්ල වසා-දමනු ලැබේ. එය මෝහයයි. ඇය තම පුතු මරා-දමා හෝ තම අරමුණ ඉෂ්ට-සිද්ධ කරගැනීමට සිතයි; ඒ සඳහා උපක්‍රමද යොදවයි. මේ තමාගේ සිතැඟි ඉටු කරගැනීමට බාධා කරන්නවුන් විනාශ කරන්නට උත්සාහ කිරීමකි. එහිදී ද්වේෂය, ව්‍යාපාදය මුල් වෙයි. සදාචාර මූලධර්මයන්ගෙන් බැහැර වන ඇය තමා රිසි වූ ජීවිතය අත්විඳින ආකාරය පිළිබඳ ගොඩනඟන ප්‍රපඤ්චය කෙළවර වන්නේ පුතු මරා-දැමීමට උපක්‍රම සෙවීම සහ ක්‍රියාත්මක කිරීම දක්වා ගොඩනැඟීමෙනි. අවසානයේ ඇය බලාපොරොත්තු වූ දෙය නොව, වෙනත් දෙයක් සිදු වීමෙන් බලවත් කම්පාවට සහ ලජ්ජාවට පත්ව ඇය මරණයට පත් වෙයි.

3. පන්සියපනස් ජාතකපොතේ එන උම්මාදන්තී ජාතකයේදී තම සේනාධිපතිගේ බිරිය වූ උම්මාදන්තියගේ රුව දැක ඉන් වසඟයට පත් වන රජු දිවා රෑ ඇය ගැන සිතමින් ප්‍රපඤ්ච ගොඩනඟමින් රාජ්‍ය විතෑරීමෙන් පවා බැහැරව බලවත් ශෝකයට හා විශාදයට පත්ව සිටි අයුරු පෙන්වා දෙයි.

4. වර්තමානයේ ඇති සමහර සූදු සඳහා ඇබ්බැහි වූවන් පිළිබඳ සලකා බැලුවොත් ඔවුන් සමග සාකච්ඡා කිරීමේදී එළි වන්නේ නැති වී ගිය සියල්ල නැවත මෙහිදීම ලබාගැනීමට හැකියැයි විශ්වාසය ප්‍රපඤ්ච මඟින් ගොඩනඟාගෙන තිබීමයි. එනිසා නැවත නැවත, නැවත නැවත සූදුව කෙරෙහිම යොමු වේ. සමහරු ඉඩකඩම් දේපළ පවා විකුණා සූදුවට යොදවයි. අවසානයේ බලවත් ඉච්ඡාභංගත්වයට පත් වී දැඩි ලෙස මානසිකව පීඩා විඳී.

මේ අයුරින් ඕනෑම භෞතික වස්තුවක් පිළිබඳ දැඩි ආශාවෙන් හෝ ලෝභයෙන් මඬනා ලද සිතින්, මෙය මටය, මගේය, මා සඳහාය ලෙස සිතමින් එසේත් නැති නම් එයට වසඟ වෙමින් එය අයිති කරගැනීමට හෝ එය තමාට පමණක් මිස අන් ලැබීමට ඉඩ නොදෙන තරමේ ප්‍රපඤ්ච ගොඩනඟන අවස්ථාද ඇත.

තේමිය ජාතකයේදී තේමීය කුමරු ජීවිතයේ පළමුවරට ස්ත්‍රී පහසින් බැඳී, ඒ පිළිබඳ කොතරම් උමතුවට පත් වූයේද යත්: ඒ සැපය රටේ වෙනත් පුරුෂයන් ලැබීම වළක්වනු පිණිස සියලු පුරුෂයන්ගේ පුරුෂලිංග සිඳ-දැමීමට අදහස් කළේය.

පංචේන්ද්‍රියන් මඟින් ග්‍රහණය වන අරමුණු ස්පර්ශයෙන් ඇති වන වේදනා සංජානනය කර විතර්කනය කර ගොඩනඟන ප්‍රපඤ්ච නිසා පුද්ගලයා දෝසයෙන් මෝහයෙන් මත් වී තෙමේම පීඩා විඳී; අන් අයද පීඩාවට පත් කරවයි. සැවැත්නුවර විසූ නගරශෝභනියක කෙරෙහි සිත බැඳුණු භික්ෂුවක එු් සිතිවිලි (ප්‍රපඤ්ච) අතර සිර වී කාලය ගෙවන කල්හි ඒ නගරශෝභනිය මිය ගියාය. රජුගේ අවසරය මත ඇයගේ මෘතදේහය දින තුනක් පමණ අවසන් කටයුතු නොකොට තබාගෙන බුදු රජාණන් වහන්සේ ඒ සිරුර ඉහත කී භික්ෂුව ඉදිරියේ රාජ පුරුෂයන් ලවා වෙන්දේසි කිරීමට කටයුතු කළ සේක. ජීවත්ව සිටි සමයේ දිනකට මසුරන් දහසක් මිල ගෙවා ඇයගේ පහස මිල දී ගත් කිසිවකු නොමිලයේ හෝ ඇගේ සිරුර ලබාගන්නට ඉදිරිපත් වූයේ නැත. රාගයේ යථාර්ථය සහ අනිත්‍ය දුටු භික්ෂුවගේ සිත සුවපත් විය.

මේ අයුරින් ප්‍රපඤ්ච විසින් පුද්ගලයාගේ යථාර්ථවාදි, තර්කානුකූල සිතිවිලි යටපත් කර-දමනු ලැබේ; අහේතුවාදි අතාර්තික සිතිවිලි ඉස්මතු කර සිත මුළා කරවයි; තාවකාලික සැපයකට, ඉසුරකට සිත ලොබ කරවයි. එයින් පුද්ගලයා කායික මානසික සහ චිත්තවේගික වශයෙන් පීඩාවට පත් වෙයි. ආහාර අරුචිය, නින්ද නොයෑම, නුරුස්නා බව, දෛනික රාජකාරිවලින් බැහැර වීම, අකර්මණ්‍ය වීම, ශෝකය ආදි පීඩාකාරි කායික මානසික ලක්ෂණ මඟින් ඔහුගේ ප්‍රජානනය අවුල් වෙයි. නූතන මනෝවිද්‍යාවේ විශාදය, ඔතෙලෝ සින්ඩ්‍රෝමය, වියෝදුක ආදි වශයෙන් හැඳින්වෙන රෝග රැසකට මේ ප්‍රපඤ්චකරණය හේතු වේ.

බුදු රජාණන් වහන්සේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේදී මේ සම්බන්ධයෙන් පෙන්වා දුන්නේ 'යමක් දුටුවේද දුටුවා පමණයි, ඇසුවේද ඇසුවා පමණයි. එතැනින් ඔබ්බට සිතිවිලි හෙවත් ප්‍රපඤ්ච ගොඩනඟන්නට උත්සුක නොවන' ලෙසයි. මේ ගොඩනඟන ප්‍රපඤ්චම කර්මය බවට පත් වී පුද්ගලයාට විපාක ඇති කරවයි. දෙව්දත් තෙරුන් විනාශ වූයේද, අජාසත් රජු ආනන්තරීය අකුසලකර්මයක් කරගත්තේද, මාගන්දියා බුදු රජාණන් වහන්සේ කෙරෙහි සතුරු සිත් ඇති කරගත්තේද මේ ප්‍රපඤ්ච විසින් ගිලගනු ලැබීමෙනි.

රහතුන් වහන්සේ 'නිෂ්පපඤ්ච' ලෙස හඳුන්වනු ලබන්නේ උන් වහන්සේට පංචේන්ද්‍රියන් මඟින් ලැබෙන අරමුණු අරබයා පපඤ්ච ගොඩනැඟීමක් සිදු නොකරන බැවිනි. පුහුදුන් පුද්ගලයාට රහතන් වහන්සේ මෙන් නිෂ්පපඤ්ච වීමට හැකියාවක් නැත. එහෙත් අකුසලකර්ම විපාක විඳීමට සිදු වන ප්‍රපඤ්චකරණය පිළිබඳ අවබෝධයෙන් සහ යෝනිසෝමනසිකාරයෙන් විසිය හැකි නම් බොහෝ මානසික ගැටලුවලින් මිදී සුවපත්ව ජීවත් වී අකුසලකර්ම විපාකයන්ගෙන් බේරී සසර ගමන කෙටි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Comments