නිවනට මඟ අප්‍රමාදයයි | සිළුමිණ

නිවනට මඟ අප්‍රමාදයයි

එෂාමා කාරියකරවන

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

බුදුදහමේ පුද්ගල ජීවිතයට සෑම අවස්ථාවකදීම දුන් ප්‍රමුඛතම අනුශාසනය පුද්ගලයා අප්‍රමාද විය යුතු බවයි. හිස ගිනි ගත්තකු එ් ගිනි නිවන්නට වහා වහා අප්‍රමාදීව දරන වෑයම සේ විමුක්තිය උදෙසා කටයුතු සම්පාදනය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළහ. උන්වහන්සේගේ අවසන් අනුශාසනය වූයේද “ මහණෙනි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. එබැවින් සිහියෙන් යුක්තව සියලු කටයුතු අප්‍රමාදව සම්පාදනය කරව” යනුවෙනි. ධම්මපදයේ අප්පමාද වග්ගයට අයත් සෑම ගාථාවකම අප්‍රමාද වීමේ අනුසස් පෙන්වා දී ඇත.

කුමක් සඳහා අප්‍රමාද වීමද යත්: කුසල්හි යෙදීම සඳහා , සසරින් එතෙර වීම සඳහා, භවගමන නිමා කිරීම සඳහා, නිවන් දැකීම සඳහා යනුවෙන් විවිධ අයුරින් බුදුදහමේ පෙන්වා දී ඇත. පෘතග්ජන ගිහියා ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නට පෙර ලෞකික දිවිය සකසා ගත යුතුය. පවින් මිදුණු කුසලයට බර තමාටත් අනුන්ටත් හිතකර ජීවිතයක් පුහුණු කළ යුතුය. පරලොව වැඩතකා මෙලොව දියුණූවද ඇති කරගත යුතුය. අප්පමාද වග්ගයේ එක් ගාථාවකින් කියැවෙන්නේ “නොපසුබස්නා උත්සහයෙන් යුතු, එළඹ සිටි සිහි ඇති, නිර්දෝෂවූ කායකර්මාදිය හෙවත් පිරිසුදු ක්‍රියාවෙන් යුතු පරීක්ෂාකාරී වූ සංවර වූ ධාර්මික ජීවිකාවෙන් ජීවත්වන්නා වූ අප්‍රමාදී පුද්ගලයාගේ යසස විශේෂයෙන් වැඩෙයි” යනුවෙනි. ඒ අනුව අප්‍රමාදය ලෞකික ජීවිත ගත කරන්නන් හටද මෙලොව ජීවිතය සාර්ථක කරගැනීමට උපකාරී වෙයි.

ගෘහ ජීවිතය, රැකියාව , සමාජ ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය ආදීයෙන් සමන්විත පෘථග්ජන ගිහි ජීවිතය තුළ ඉහත සෑම අංශයකදීම ගත යුතු තීන්දු තීරණ, කළ යුතු කාර්යය, පිළිවෙත් නිසි මොහොතේ නිසි අයුරින් ප්‍රමාදයකින් තොරව ගැනීමට නම් පුද්ගලයා ඒ සඳහා මනා සිහියකින් යුතුව නිරන්තර පුහුණූවක යෙදිය යුතුය. මිනිසකුට මේ පුහුණුව බාල කාලයේ මවුපියන් ගුරුවරුන් වෙතින්ද නිසි අයුරින් ලැබිය යුතුය. අප්‍රමාදී බව සහ එළඹ සිටි සිහිය කාල කළමනාකරණය පිළිබඳ දියුණු පරිචයක් ඇති කරයි. ඉක්මනින් නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරයි. මෙලොව වශයෙන් ලෞකික ජීවිතය ඒ අයුරින් පවත්වා ගන්නා පුද්ගලයා තමාට හිතවත් අනුන්ට හිතවත් තමාටත් අනුන්ටත් හිතවත් කර්මාන්තයේ යෙදෙයි. චර්යාවද සකසාගනී. වාග් සංවරය ඇතුව සංවාදයේ යෙදෙයි. එමඟින් තමන් නිවැරදිය යන සිතුවිල්ල ඇති වී සිතේ ප්‍රභාශ්වරය මතු වෙයි.

මේ ප්‍රභාශ්වරය ආධ්‍යාත්මික කුසලතා වර්ධනයට හේතු වන ලෙස සකසාගැනීමට සම්බුදු දහමේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මය සේවනය, භජනය සහ පයුරුපාසානය කිරීමෙන් කළ හැකි වෙයි. එවිට පෘථග්ජනයා පියවරින් පියවර ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියට ගමන් කරයි. හෙතෙම උපාසක, කල්‍යාණ පෘතග්ජන, ආර්ය ශ්‍රාවක බවට පිළිවෙළින් පැමිණෙයි. එය දිනකින් දෙකකින් කළ නොහැකිය. අප සංසාරයේ තවමත් සැරිසරන්නේ අපගේ ප්‍රමාදය හේතුවෙනි. අපගේ ප්‍රමාදයේ තරම අනුව අපගේ ඉදිරි භව ගමනේ දීර්ඝ බව තීරණය වෙයි.

අප බුද්ධෝතපාද කාලයක, සම්බුදු දහම ශ්‍රවණය කළ හැකි, අධ්‍යනය කළ හැකි පරිසරයක අංග පත්‍යංග විකල බවින් තොරව උපත ලබා ඇත්තෙමු. කිසියම් වූ අඩුපාඩුවක් ඇති නම් ඒ ධර්මයෙහි උකටලී වීමය. ප්‍රමාදය සහ අප්‍රමාදයේ වෙනස වටහා නොගැනීමය. වහ වහා ගුණඵල දෙන බුදුදහමේ සන්දිට්ඨික ගුණය නොදැනීමය. පිළිවෙත් නොපිරීමය.

මේ දුර්වලතාව සහ අප්‍රමාදයේ ගුණ පිළිබඳ බදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරති.

“අප්පමාදො අමතපදං

පමාදො මච්චුනො පදං;

අප්පමත්තා න මීයන්ති,

යෙ පමත්තා යථා මතා.”

අප්‍රමාදය හෙවත් නොපමා බව අමෘතයයි කියන ලද නිර්වාණයට හේතු වෙයි. ප්‍රමාදය මරණයට කාරණ වෙයි. පමා නොවන සත්වයෝ නොමියන්නාහ. යම් කෙනෙකු පමා වන්නේ ද ඔවුන් ජීවත් වුවද මියගියාක් මෙනි.

එම නිසා මේ ජීවිතය ඕනෑම මොහොතකදී අවසන් වන බව සිහියේ තබාගැනීම මඟින් අනලස් බව ඇති වෙයි. කටයුතු සම්පාදනයේදී අනිසි ප්‍රමාදය වළකාගනී. ඒහෙයින් සිත කය වචනය සෑම මොහොතකම තමාටත් අනුන්ටත් යහපතක් අර්ථයක් ලෙසම පවත්වාගැනීමට අනවරත උත්සහයක යෙදෙයි. “මරණයට පත් වන්නෙක්මි” යන්න සිහි කිරීම ඒ සඳහා ශක්තියක් දිරියක් වනු ඇත. එය අවශ්‍ය දෙය පමණක් රැස් කිරීමට පොලඹවනු ඇත. ඒ රැස් කිරීම රැගෙන යා හැකි රැස් කිරීමකි. එළඹෙන සෑම මොහොතකම සිහියෙන් යුතුව ඒ අයුරින් ජීවත් වේ නම් මරණය සඳහා අමුතු සූදානමක් අවශ්‍ය නැත. මරණය ගෞරවාන්විත විය යුතුය. මරණයෙන් කෙළවර වූ එම ජීවිතය ආදර්ශවත් වීම වැදගත්ය. ඒ සඳහා අප්‍රමාදව වැරවෑයම් වැඩිය යුතුය. අප්‍රමාදය නිවනට හේතු වෙයි. ප්‍රමාද වූවන් ජීවත් වූවද මියගියවුන් වැනිය. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනු ලැබුවේ එසේය.

Comments