කටුනායකට පැමිණි අමුතු යානය කුමක්ද? | සිළුමිණ

කටුනායකට පැමිණි අමුතු යානය කුමක්ද?

දකුණු අප්‍රිකාව සතු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසුගියදා ඇති වූයේ මහත් ආන්දෝලනයකි. එයට හේතු වූයේ එම ගුවන්යානය පොළොව අභ්‍යන්තරයේ ඇති ඛණිජ සම්පත් ආවේක්ෂණය කිරීමට යොදාගන්නා වූ ගුවන්යානයක් වීමයි. එම ගුවන් යානය යොදාගනිමින් රටේ ඛනිජ සම්පත් සොයා ගැනීමටත් පසුව ඒවා විදේශයන්ට විකිණීමටත් කටයුතු කරනු ඇතැයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇතැම් දෙනා පැවසූහ.

කෙසේ වුවද මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මෙය හුදෙක් ගුවන්යානයක් පමණක් බවයි. දකුණු අප්‍රිකාව සතු ඛනිජ සම්පත් ආවේක්ෂණය පිණිස යොදාගන්නා ගුවන්යානයක් වන එය ඕස්ට්‍රේලියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා නික්ම ගොස් යළි සිය රට පැමිණීමේදී මඟීන්ගේ විවේකය සහ ඉන්ධන ලබාගැනීම අරමුණු කරගනිමින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි. ඒ යානයේ සිටියේ මඟීන් තුන්දෙනෙකු පමණක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

එමෙන්ම දකුණු අප්‍රිකාව සතු HC - 47 Skytrain වර්ගයේ ඒ කුඩා ගුවන්යානය පසුගිය 6 වැනි දා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවද 9 වැනි දා එය දිවයිනෙන් නික්ම යන බවද මාධ්‍ය ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් විය.

ප්‍රමාණයෙන් කුඩා ගුවන්යානයක් වන ඒ යානයේ විශාල ඉන්ධන ධාරිතාවක් රැගෙන යෑමට ඉඩ පහසුකම් නැති බැවින් එය ගුවන් තොටුපොළවලින් ඉන්ධන ලබාගනිමින් ගමනේ යෙදෙන බවද ප්‍රකාශ විය.

ඕස්ට්‍රේලියාවේ ආවේක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ඍජු ගමනකින් පැසිෆික් සාගරය හරහා දකුණු අප්‍රිකාවට පැමිණීමට නොහැකි බැවින් මේ යානය ඕස්ට්‍රේලියාවේ බෘෘමේ සිටි ඉන්දුනීසියාවේ බාලි පලෙම්බෑන්ග්, බණ්ඩා අචේ සිට කොළඹට පැමිණ තිබේ. යානය ජූලි 9 වැනි දින කටුනායකින් පිටත්ව ඉන්දියාවේ මුම්බායි දක්වා පියාසර කිරීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි.

මේ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබුණේ මේ යානය භූමිය අභ්‍යන්තරයේ ඛනිජ සම්පත් ආවේක්ෂණය සඳහා යොදා ගන්නා යානයක් වුවද ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ හුදෙක් ‘යානයක්‘ පමණක් බවයි.

ආවේක්ෂණය සඳහා යොදාගැනීමට පෙර ගුවන් යානයට විශේෂ උපකරණයක් සවි කරන බවත්, ආවේක්ෂණ කටයුතු සිදු කරන්නේ යානයෙන් නොව එම උපකරණය මඟින් බවත් මේ යනායට යොදන එකී උපකරණය වෙනම ගලවා නෞකාවක් මඟින් දකුණු අප්‍රිකාවට එවීමට කටයුතු යොදා ඇති බවත් එහිදි ප්‍රකශ විය. ශ්‍රී ලංකාවට පැමිණියේ යළි තම රට බලා යන හුදෙක් යානය පමණක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබිණි. සැබවින්ම මහාපොළොව අභ්‍යන්තරයේ අඩි 800 - 1000ත් තරම් ගැඹුරේ පිහිටි ඛනිජ ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකියාව සහිත මේ තාක්ෂණික උපකරණය හඳුන්වන්නේ Ground Penetrating Radar (GPR) යනුවෙනි.

එමඟින් කරන්නේ පෘථිවි අභ්‍යන්තරය හඳුනාගැනීම රේඩාර් තරංග මඟින් සිදු කිරීමයි. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඉලෙක්ට්‍රෝමැග්නට් රේඩියේෂන් නම් වන තාක්ෂණික ක්‍රමවේදයයි.

එය සරලව පැහැදිලි කර ගත හැකි වන්නේ රේඩියෝ තරංගයක් ලෙසිනි.

මේ ඉලෙක්ට්‍රෝමැග්නට් රේඩාර් තරංග පෘථිවි අභ්‍යන්තරය කරා යැවූ විට අභ්‍යන්තරයේ සිට එන ප්‍රතිතරංග හඳුනාගැනීමක් සිදු කෙරේ. ඒ අනුව ලැබෙන ප්‍රති තරංගය අනුව පොළොව අභ්‍යන්තරය කරා යැවූ තරංග ගැටුණේ කිනම් සංඝටකයක් මත දැයි වර්ගීකරණය කර හඳුනාගැනීමක් සිදු කෙරේ.

ඒ ක්‍රියාදාමය ඔස්සේ පාෂාණ, වැලි, අයිස්, පිරිසුදු ජලය සහ ඛනිජ ද්‍රව්‍ය යනාදී මෙකී නොකී සංඝටක හඳුනාගැනීමට මේ යන්ත්‍රයට හැකියාව තිබේ.

මෙගා හර්ට්ස් 10 - ගිගා හර්ට්ස් 2.6ක අතර අධි සංඛ්‍යාත පරාසයක ක්‍රියාත්මක වන මේ තරංග විශේෂ ඇන්ටනා මඟින් නිකුත් කෙරේ. එමෙන්ම පෙරළා ලැබෙන තරංග හඳුනාගැනීමටද විශේෂ ඇන්ටෙනා භාවිත කෙරේ.

මේ තාක්ෂණය ලෝකයේ මුලින්ම භාවිත කර ඇත්තේ 1910 වර්ෂයේදීය.

ප්‍රථමයෙන්ම පොළොව අභ්‍යන්තරයේ අඩි කිහිපයක් යටින් ඇති ඛනිජ ද්‍රව්‍ය හඳුනාගැනීමට තරම් ප්‍රමාණවත් තීව්‍රතාවක් සහිත යන්ත්‍ර නිර්මාණය කෙරුණු අතර වර්තමානයේදී ගුවන් යානා මඟින් විශාල භූමියක් කෙටි කාලයක් තුළ ආවේක්ෂණය කර ස්වභාවික සම්පත් හඳුනාගැනීමට හැකිවන තරමට එම තාක්ෂණය වර්ධනය වී තිබේ.

Comments