කාශ්මීර අර්බුදය ගැන අනතුරු අඟවන එක්සත් ජාතීන් | සිළුමිණ

කාශ්මීර අර්බුදය ගැන අනතුරු අඟවන එක්සත් ජාතීන්

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර් ප්‍රදේශයට මෑතකදී පැනවූ සීමා පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති අතර එම සීමා හේතුවෙන් එම ප්‍රදේශයේ "මානව හිමිකම්වලට බරපතළ බලපෑම් එල්ල විය හැකි" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

සන්නිවේදන සබඳතා තහනම් කිරීම, අත්නෝමතික ලෙස දේශපාලන නායකයින් රැඳවුම් භාරයේ තබා ගැනීම සහ දේශපාලන රැස්වීම් තහනම් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.

ඉන්දීය පාලනය යටතේ ඇති කාශ්මීර් ප්‍රදේශයේ සන්නිවේදන සබඳතා අවහිර කරමින් එම ප්‍රදේශය හුදෙකලා භූමියක් බවට පත් කර ඇත්තේ පසුගිය ඉරිදා දිනයේ සිටය.

මෙම තත්ත්වය ඇති වූයේ, ඉන්දීය පාලිත කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය ගත් ආන්දෝලනාත්මක තීන්දුවත් සමගය.

ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවල වෙසෙන කාශ්මීර් වැසියන් පවසා ඇත්තේ, කාශ්මීර්හි වෙසෙන සිය පවුල්වල සාමාජිකයින් සමග සබඳතා පැවැත්වීමට නොහැකි වී ඇති බවය.

කාශ්මීර්හි දේශපාලන නායකයින් ද රඳවාගෙන ඇති බව වාර්තා වේ.

හිමාලය ආශ්‍රිතව පිහිටි කාශ්මීර කලාපයට ඉන්දියාව සහ පාකිස්තානය සම්පූර්ණ අයිතිය ඉල්ලා සිටිය ද, රටවල් දෙක ම පාලනය කරනුයේ ඉන් කොටසක් පමණි.

කලක සිට ඉන්දියානු කලාපයේ පවතින බෙදුම්වාදී කැරලි හේතුවෙන් දශක තුනක කාලයක් තුළ මරණ දහස් ගණනක් සිදුව තිබේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු- කාශ්මීර ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබිණි.

කෙසේ වෙතත්, වර්තමානයේ ඉන්දීය රජය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තියේ බොහෝමයක් මතභේද මැද අවලංගු කර තිබේ.

මේ අතර, සිය රටේ සිටින ඉහළම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා නෙරපා දමන බවටත් වෙළෙඳ ගනුදෙනු අත්හිටුවන බවටත් පාකිස්තානය ප්‍රකාශයට පත් කිරීමත් සමග කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම තවත් උග්‍ර වී ඇත.

(බී.බී.සිය ඇසුරෙනි)

 

Comments