සිඩ්නි ළැව්ගිනි වැනිස් ගංවතුර | සිළුමිණ

සිඩ්නි ළැව්ගිනි වැනිස් ගංවතුර

ගෝලීය උණුසුම විසින් විකෘති කරමින් පවතින පෘථිවියේ යහපත් කාලගුණය සම්බන්ධව දිගින් දිගටම ලැබෙන වාර්තා අවසන් නොවන බවක් පෙනේ. පසුගිය කාලය පුරා ඇමසන් වනය ගින්නෙන් දැවුණු අතර ගෝලීය උණුසුම ඉහළ යෑමට අදාළ මානව ක්‍රියාකාරකම් සම්බන්ධව නොවක් චෝදනා මිනිස් වර්ගයාට එල්ල විය. එහි අවසනක් දකින්නට පෙර මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය පෙනෙන නොපෙනන මානයේ ඇවිළෙමින් පැතිරෙන ළැව්ගිනි යළිත් ගෝලීය උණුසුම කෙරෙහි අවධානය යොමු කරවමින් තිබේ.

ඇමසන් කලාපය, අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය මෙන්ම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයද උණුසුම් සමයේ ළැව්ගිනිවලට මුහුණ දෙන ප්‍රදේශ වේ. උණුසුම් සුළං හමා යන මේ මාස කිහිපයේදී ස්වාභාවිකව ඇතිවන ගිනි වනාන්තර සිසාරා පැතිර යෑම දක්නට ලැබේ. එහෙත් මෙවර විශේෂත්වය වී ඇත්තේ වඩාත් විනාශකාරී ලෙස ළැව්ගිනි පැතිර යෑමය. සිඩ්නි නගරයේ සාමාන්‍ය ජනජීවිතයට බාධා ඇතිවන මට්ටම දක්වා මේ ළැව්ගිනි පැතිර යමින් පවතින බවට විදෙස් වාර්තා ලැබී තිබේ. මේ වන විට ඇවිළෙමින් පවතින ගිනි සිඩ්නි නගර මධ්‍යයට කිලෝමීටර් 15ක් දක්වා ආසන්නයට පැමිණ ඇතැයි වාර්තා වේ. මහා ගිනි ජාලාවල එළියෙන් නගරය ආලෝකවත්ව පවතින අතර පැතිර යන දුමද වඩාත් පීඩාකාරී වී ඇතැයි වාර්තා වේ. දැනට ගණන් බලා ඇති අන්දමට ගින්නෙන් දැවෙමින් පවතින ප්‍රදේශය හෙක්ටයාර ලක්ෂයකට අධිකය.

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සාපේක්ෂව වැඩි අගයක් ගෙන තිබේ. පසුගිය කාලගුණික දත්තවලට අනුව 2018 සහ 2017 වසරවලදී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇත්තේ ඉතා දැඩි උෂ්ණත්වයකි. එය කාලගුණ වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාව මෙතෙක් පසුකර ඇති තෙවැනි සහ සිව්වැනි උෂ්ණාධික වර්ෂයන් වේ. එමෙන්ම පසුගිය වසරේදී එළි දැක්වුණු එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ඕස්ට්‍රේලියාවට ඔවුන්ගේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ වන විට කාලගුණ විද්‍යාඥයන් පවසන අන්දමට සමස්ත පෘථිවි ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලොව පුරා තැනින් තැන වාර්තා වන ව්‍යසන නිමක් නැත. වසර පනහකට පසුව වාර්තා වූ විශාලතම ගං වතුරෙන් මේ දිනවල පීඩා විඳිමින් සිටින ඉතාලියේ සුන්දර වැනිස් නගරයද මේ අතරට අලුතින්ම එක්ව සිටී. වැනිස් නගරය ස්වභාවිකව පිහිටා ඇති ඇළ මාර්ග හේතුවෙන් අති විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් නගරයකි. එහෙත් මේ වන විට ඇළ මාර්ගවලින් බාහිරව නගරයේ ගොඩනැගිලි වසා ගනිමින් අඩි හයක් එනම් මීටර් 1.87ක් උසට පිටාර ජලමට්ටම ඉහළ නැග තිබේ.

වැනිස් නගරයේ වාර්තාවලට අනුව 1923න් පසු එම නගරය මුහුණ දුන් දරුණතම ගං වතුර මෙය වේ. බීබීසී සේවය වෙනුවෙන් එහි කාලගුණ විද්‍යාඥ නිකී බෙරී වැනීසිය දැනට මුහුණ දී සිටින මේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ශිශිර ඍතුවේ ප්‍රවාහ මේ තත්ත්වය ඇති කිරීමට හේතු වී ඇති බවයි. ආද්‍රියාතික් මුහුද හරහා ඊශාන දෙසට හමා යන සුළං මෙවැනි දැවැන්ත වර්ෂාවක් ඇති කිරීමට හේතු වී ඇති බවත් ගෝලීය උණුසුම හේතුවෙන් මේ සාමාන්‍ය සුළං ප්‍රවාහවල විශාල වෙනස්වීම් ඇති වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. එමෙන්ම මේ සියලු ස්වාභාවික ආපදාවන් සම්බන්ධව අදහස් දක්වන බොහෝ කාලගුණ විද්‍යාඥයන් අවධාරණය කර සිටින්නේ ගෝලීය උණුසුම මේ සියල්ලට හේතු වන බවත් ඉක්මනින් ක්‍රියාත්මක නොවන්නේ නම් තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවත්ය.

Comments