"ඉස්ලාමීය විවාහ නීත්‍යනුකූල නැහැ" | සිළුමිණ

"ඉස්ලාමීය විවාහ නීත්‍යනුකූල නැහැ"

ඉස්ලාමීය උත්සවයක් පවත්වා විවාහ වූ යුවළකට නීත්‍යනුකූලව දික්කසාද විය හැකි බවට මින් වසර දෙකකට පෙර බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබා දුන් තීන්දුවක් අවලංගු කරමින් ඉහළ අධිකරණයකින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

නඩුව ගොනු කළ යුවළ පැවැත් වූ ඉස්ලාමීය "නිකා" උත්සවය ඉංග්‍රීසි විවාහ නීතියට අයත් බව මහාධිකරණය 2018 දී තීන්දු කළේය.

නමුත් අභියාචනාධිකරණය දැන් පවසන්නේ, එය "පිළිගත නොහැකි" නීත්‍යනුකූල නොවන උත්සවයක් බවය.

ඔවුන්ගේ අභිප්‍රාය සිවිල් උත්සවයක් පැවැත්වීම හෙයින්, ඉස්ලාමීය විවාහය එක්සත් රාජධානිය තුළ නීත්‍යනුකූල නොවන බව ඔවුන් දැන සිටිය යුතු යැයි විනිසුරුවරු පැවසූහ.

මුල් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපති ක්‍රියා කළේය.

දරුවන් හතර දෙනෙකු සිටින නස්රීන් අක්තර් සහ මොහොමඩ් ෂබාස් ඛාන්ගේ දික්කසාද නඩුව මෙම තීරණයට පදනම් වී තිබේ .

මෙම යුවළ 1998 දී බටහිර ලන්ඩනයේ පිහිටි අවන්හලකදී ඉමාම්වරයෙකු සහ අමුත්තන් 150ක සහභාගීත්වයෙන් ඉස්ලාමීය විවාහ උත්සවයක් පවත්වා ඇති නමුත් සිවිල් උත්සවයක් පවත්වා නොමැත. නමුත්, එය එසේ නොවන බව නස්රීන් අක්තර් නැවත නැවතත් පවසන්නීය.

ඔවුන් 2016 දී වෙන් වූ අතර, මොහොමඩ් ෂබාස් ඛාන් මීට වසර දෙකකට පෙර තම බිරිඳ ඉදිරිපත් කළ දික්කසාද පෙත්සම අවහිර කිරීමට උත්සාහ කළේ ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී නොමැති බව පවසමිනි.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments