වල්පොල රාහුල හිමියන්ගෙන් විවරණ ලැබූ ඈපා | Page 2 | සිළුමිණ

වල්පොල රාහුල හිමියන්ගෙන් විවරණ ලැබූ ඈපා

 

විද්යෝදය විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් සමාජයක් මුල් වරට පිහිටුවන්න මූලික වෙලා කටයුතු කළේ මමයි. මහාචාර්ය විනී විතාරණ මහතා හොඳ ක්‍රිකට් ලෝලියෙක් නිසා එතුමා ඒ වෙනුවෙන් මට උපරිම සහායක් ලබා දුන්නා. ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු තිස්ස නිකපිටියත් ඒ කාලේ විද්යෝදයට එකතු වෙලා හිටියා. මම ඔහුට කණ්ඩායමේ නායකත්වය ලබා දුන්නා.

ජීවන මග නිවැරැදිව අවබෝධකර ගන්නකුට එහි සිදුකරන්නා වූ දිර්ඝ ගමන කෙදිනකවත් වරදින්නේ නැත. එවැන්නෙකුට එහි ඇති අසීරු තාවය සමහන් කරගැනීමට හැකිය. කොතෙක් බාධක කම්කටොළු පැමිණිය ද ඒවා මගහරින්නට ඔහුට පිළිවන්. එහිදී ස්වකීය ජීවන අරමුණ වෙත යාමට බුද්ධිය ඔහුට සහාය වෙයි. ඈපාසිංහයන් ගේ ජීවිතය ද වැටෙන්නේ එවැනි අවබෝධාත්මක ජීවිතයක හිමිකම ලැබූවන්ගේ ගනයට ය.

වියතුන්, විද්වතුන් ඇසුරෙන් ලැබූ අත්දැකීම් නිසා ඈපාට ස්වකීය ජීවන ගමන පෝෂණය කරගන්නට හැකියාව උදාවිණි. එහෙයින් අවිවාදයෙන්ම ඔහුට සිය දිවි ගමන අර්ථවත් කර ගැනීමට හැකි වූයේය. ගතින් වියපත් වුව ද අදටත් මනසින් ඈපාසිංහයන් පොහොසතකු වන්නේ එබැවිනි. ආලෝකයෙන් ආලෝකයට ගිය ජිවිතයක හිමිකරුවකු සේ සැලකිය හැකි ඈපාසිංහයන් ගේ දීප්තිමත් අතීත ජීවිතයේ තවත් පරිච්ඡේදයක සංක්ෂිප්ත දිගහැරුමකි මේ.

‘මම 1963 විද්යෝදය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙලා සිංහල, ඉංග්‍රීසි,අධ්‍යාපන විද්‍යාව, ඉතිහාසය මගේ අධ්‍යයන විෂයන් ලෙස තෝරාගත්තා. අධ්‍යාපන විද්‍යාව අපි හැදෑරුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ අලුත් විෂයක් වුණ නිසාත් මම ඒ වන විටත් ගුරු වෘත්තියේ නියැලෙමින් සිටි නිසාත් එම විෂය කෙරෙහි මගේ සිත නැඹුරු වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්ලැරන්ස් පී නොයිස් මහත්තයා වසර දෙකක කාලයකට ලංකාවට ඇවිත් අපට ඒ විෂය ඉගැන්නුවා. එම විෂය සඳහා මෙරට කථිකාචාර්යවරුන් ලෙස කටයුතු කළේ කේ එච් එම් සුමතිපාල සහ පී අරන්පත්ත කියන මහාචාර්යවරුයි.

ඔවුන් දෙපළට අමතරව හේම එල්ලාවල, විනී විතාරණ, ටී. වී. ජේ. ජයසේකර කියන මහාචාර්යවරුන් තමයි අනෙක් විෂයන්වල කථිකාචාර්යවරුන් ලෙස කටයුතු කළේ. එම යුගයේ ඔවුන්ගේ මග පෙන්වීමෙන් විද්යෝදයෙන් අගනා විද්වතුන් පිරිසක් බිහිවුණා.’ ඈපාසිංහයෝ පැවසූයේ අතීත ස්මරණයේ සතුට සමරමිනි. එය ඔහුගේ දෑස් තුළ දිදුලන අයුරින් අපට වටහා ගැනීමට හැකිය.

ඒ අයුරින් විද්යෝදයෙන් බිහිවූ විද්වතුන් අතර ඒ.ටී. ආරියරත්න, ප්‍රවීන ලේඛක සෝමවීර සේනානායක, වර්තමානයේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ ඔහු හා එහි උගත් සමකාලීන මිතුරෝ වූහ. එමෙන්ම මෙරට විසූ ධර්මධර, විනයධර සංඝ පීතෘන් වහන්සේලා

ලෙස බුහුමන් ලැබූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ පෝහද්දරමුල්ලේ පේමාලෝක හිමියෝ ද විද්යෝදය පියසේ ඈපාසිංහයන් ඇසුරු කළ පැවිදි විද්‍යාර්ථීන් වූහ. මාදුළුවාවේ සෝභිත හිමියන් සිංහල කථිකත්වය දියුණුකර ගැනීමට මනා සහයක් දැක්වූ බව ඈපාසිංහයන් සිහිපත් කරන්නේ ගෞරවයෙනි .

‘විශ්ව විද්‍යාලයට ගියත් මම මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීමත්, මහානාමයේ ඉගැන්වීමත් කියන කාරණාවන් ද්විත්වය බාධාවකින් තොරව කරගෙන ගියා. මේ අතර ලේක් හවුස් ආයතනයේ පුවත් පත් සඳහා ක්‍රීඩා වාර්තා සපයමින් සිටි මට ඩී. සී. රණතුංග, යූ. එල්. චන්ද්‍රතිලක කතුවරුන් දෙදෙනා එකතුවෙලා එකල පැවැති සෙනෙට් සභාවේ සහ පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේ වගකීමත් පැවරුවා. කාර්ය බහුල වුණත් ක්‍රිකට් ක්‍රීඩාව මම අමතක කළේ නැහැ. විද්යෝදය විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් සමාජයක් මුල් වරට පිහිටුවන්න මූලික වෙලා කටයුතු කළේ මමයි. මහාචාර්ය විනී විතාරණ මහතා හොඳ ක්‍රිකට් ලෝලියෙක් නිසා එතුමා ඒ වෙනුවෙන් මට උපරිම සහායක් ලබා දුන්නා. ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු තිස්ස නිකපිටියත් ඒ කාලේ විද්යෝදයට එකතු වෙලා හිටියා. ඒක මට ලොකු ශක්තියක් වුණා. මම ඔහුට කණ්ඩායමේ නායකත්වය ලබා දුන්නා. එයට හේතුව වුණේ ඒ වෙනකොට මගේ තිබුණ කාර්ය බහුලත්වයයි. ඒ පුහුණුවීම් සහ කණ්ඩායමේ හැසිරවීම කළ නොහැකි නිසයි.’ ඈපාසිංහයෝ විශ්ව විද්‍යාලය තුළ දියත් කළ ක්‍රිකට් විප්ලවය ගැන කියති. අපි නිසොල්මනේ අසා උනිමු.

‘ඒ කාලේ අපේ උප කුලපතිවරයා වුණු පූජ්‍ය වල්පොල රාහුල නායක හාමුදුරුවොත් මේ වැඩේට සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. උන්වහන්සේ අපිට විද්යෝදයේ වර්ණ සහිත හිස් වැසුම් ලබා දුන්නා. ඇත්තෙන්ම මට ඕන කළේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල අතර පැවතුණ ක්‍රිකට් තරග වගේ ලංකාවේ

විද්‍යාලංකාර හා විද්යෝදය අතර වාර්ෂික තරගයක් ආරම්භ කරන්නයි. 1966 වසරේදී මගේ උත්සාහයේ මල්ඵල දැරුවා. අපේ ප්‍රථම තරගය පැවැත් වුණේ

අද නෙළුම් පොකුණ තියන නොමෑඩ්ස් ක්‍රීඩා පිටියෙයි. විද්‍යාලංකාරයේ නායකත්වය දැරුවේ රෝහණ ආරියරත්න යි. ඒ තරගයෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ අපිට විශ්ව විද්‍යාලයේ අවසන් විභාගයට

ලෑස්ති වෙන්න කාලය උදාවෙලා තිබුණ නිසා ක්‍රීඩාවට කෙටි

විරාමයක් දෙන්න සිදුවුණා කිව්වොත් නිවැරදියි.’ ඈපාසිංහයෝ එක හුස්මට අතීත මතකය වර්තමානයට ගෙන එති.

ගුණපාල වික්‍රමරත්න මහතා යනු එවකට මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ නියැ`ඵන විශිෂ්ට දැක්මකින් හෙබි විදග්ධ ප්‍රාඥයෙකි. මාතර රාහුල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කර අනතුරුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පතිවරයාව පැමිණ, 1966 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස ඔහු පත්වීම් ලැබුවේය. නාලන්දාවේ ආදි විද්‍යාර්ථීන් හා පැවැති සාකච්ඡාවකදී ඈපාසිංහයන් ට ගුණපාල වික්‍රමරත්න මහතා මුණගැසිණි.

‘ඈපාසිංහ මට නාලන්දේ ක්‍රිකට් ඉහළටම ගන්න ඕනේ. ඒකට මට ඔයාගේ සහයෝගය අවශ්‍යයි. අවසාන විභාගේ ප්‍රතිඵල ආපු ගමන් ඇවිත් මාව මුණගැහෙන්න මම ඈපාසිංහව නාලන්දෙට ගන්නවා.’ කියලා කිව්වා.

ඇත්තටම වික්‍රමරත්න සර් වගේ විශිෂ්ට අධ්‍යාපනඥයෙක්, ප්‍රාඥයෙක් මා ගැන තබපු ඒ විශ්වාසය මට ලැබුණ ලොකුම සහතිකයක්. එතුමාගේ ඒ කතාවෙන් මගේ සිත සතුටින් ඉපිලුණා.

 

ලබන සතියට -

ඈපාට අධ්‍යාපන ඇමති

ඊරියගොල්ල ගෙන් බාල්දියක්

 

අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments