ගාල්ලේ මුරලි - වෝන් සටනට බුකිකරුවන්ගේ ඇල්ම බැල්ම | සිළුමිණ

ගාල්ලේ මුරලි - වෝන් සටනට බුකිකරුවන්ගේ ඇල්ම බැල්ම

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භයට පෙර ඉන්දීය ජාතිකයකුගේ ඉල්ලීමක් මත මෙරට සංචාරක මඟ පෙන්වන්නකු විසින් තණ තීරුවේ ස්වභාවය පිළිබඳ තොරතුරු සෙවූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ.

මෙරට ජනප්‍රිය ම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව විදේශීය ජාවාරම් කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ අද ඊයේ සිට නොවෙයි. මීට වසර දහයකට වැඩි කාලයක් තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නොයෙකුත් මුල්‍ය වංචාවන් සමඟ විවිධ අවස්ථාවල ගැටුණු අවස්ථා අපට දැක ගත හැකිය. එවැනි අවස්ථාවලදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්හටද චෝදනා එල්ල විය. සමහර ක්‍රිඩකයන් තහනමකටද ලක් වු අතර මෙරට ක්‍රිකට් පරිපාලකයන් ලෙස කටයුතු කළ පරිපාලකයන්ට ද චෝදනා මත ඉවත් විමට සිදුවිය. නැතිනම් ඉවත් කෙරෙනි. මෙවැනි වාතාවරණයක් තුළ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය දින සිදුවු වායි කියන සිදුවිම මෙවැනි ම වු සිද්ධියක්ද? නැතිනම් මෙය කුමක් අරභයා සිදු වුවක්ද කියා විමසා බැලිමට යෑම උභතෝකෝටිකයකි. නමුත් වසර ගණනාවකට පසු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජය මාවතකට පිවිස සිටින මොහොතක මෙවැනි වු උප්පරවැට්ටියකට බඳුන් කිරිම උදෙසා හිතා මතා හෝ ජාත්‍යන්තර අතපෙවිමක්ද? නැතිනම් ජාවාරම්කාරයන්ගේ මඩිය තර කරගැනීම උදෙසා යොදාගත් අවස්ථාවක්ද? මෙයට මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත්ව ඇත් ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් මෙම ක්‍රියාවලිය පිටුපස සිටීද? 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති විශිෂ්ටම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට ම දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන් නමින් පැවැත්වෙන වෝන් - මුරලි ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භයට පෙර ඉන්දීය ජාතිකයකුගේ ඉල්ලීමක් මත මෙරට සංචාරක මඟ පෙන්වන්නකු විසින් තණ තීරුවේ ස්වභාවය පිළිබඳ තොරතුරු සෙවූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ. වෝන් - මුරලි කුසලානය මෙවර පැවැත්වන්නේ, මීට මාස කිහිපයකට ඉහත දී ෂේන් වෝන් හදිසියේ මෙලොව හැර ගිය පසුබිමකයි.

මාධ්‍යයට වාර්තා වන ලෙස සිද්ධිය මෙසේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ආරම්භ විමට නියමිතව තිබුණු දින දෙකකට කලින් එහි තණ තීරුවේ ස්වභාවය පිළිබඳව ඉන්දියානු ජාතිකයෙකුගේ අනු දැනුමෙන් කරුණු සොයා බැලීමට උනන්දු වු බව කියන මෙරට සංචාරක මඟ පෙන්වන්නෙකුගෙන් පසුගිය 27 වැනිදා ක්‍රීඩාවේ වැරදි සෙවිමේ විශේෂ පොලිස් ඒකකය ප්‍රශ්න කිරිමකට කටයුතු කර තිබුණී.

මෙම ඉන්දියානු ජාතික විදේශිකයා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවේ තොරතුරු ලබා ගැනීමට උනන්දු වී ඇතැයි හෙළි වන්නේ මෙරට මෙම සංචාරක මඟ පෙන්වන්නාව හවුල් කර ගනිමිනි.

ඒ අනුව මෙම සිදුවිම සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත ක්‍රීඩාවේ වැරදි සොයා බලන විශේෂ පොලිස් විමර්ෂන ඒකකයට කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. ඔහු එහිදි පොලිස් ඒකකයට පවසා ඇත්තේ අදාළ විදේශිය ජාතිකයා පිළිබඳව වැඩි තොරතුරු ඔහු නොදන්නා බවයි. එමෙන්ම ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත විශේෂ විමර්ෂණ ඒකයේ නිලධාරින් පිරිසක් ගොස් ක්‍රීඩාංගණයේ කළමනාකරුවකු ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

විශේෂ පොලිස් එකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විමර්ෂණ ඒකකයට මෙන්ම ජාත්‍යන්තර පොලිසියද දැනුවත් කිරිමට සිය ඒකකය කටයුතු කර ඇති බව පවසා ඇත.

විදේශිය ජාතිකයාගේ දුරකතන අංකය මේ වන විට විමර්ෂණ ඒකකය හඳුනාගෙන ඇති අතර සංචාරක මඟ පෙන්වන්නාගේ දුරකතනයේ ඇමතුම් හා තොරතුරු ඔස්සේ මේ සිදුවීමට තවත් ලාංකිකයන් සම්බන්ධ වි තිබේදැයි යන්න පිළිබඳ වැඩිදුර විශ්ලේෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෆොන්සේකා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කරමින් සැකයට භාජනය වී සිටින මෙම විදේශීය පුද්ගලයා ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරග ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණ තීරුවේ ස්වභාවය සොයා බැලීමට උනන්දු වීම පිටුපස ඔහු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පත්වන්නෙකු දැයි සොයා බැලීම මෙම විමර්ශනයේ අරමුණ බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත.

ක්‍රීඩා වැරැදි සෙවිමේ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුපුන් විතානගේ සහ උප පොලිස් පරීක්ෂක රජිත් ඇතුළු කණ්ඩායමක් වැඩිදුරටත් විමර්ශනය සිදු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කළේය.

පළමු ටෙස්ට් තරගය ආරම්භ වු අවස්ථාවේදී හා ආරම්භයට ප්‍රථම දැඩි නිරීක්ෂණයට ලක් කිරිමට විශේෂ කණ්ඩායමක් යෙදවු බව ද පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරි ජගත් ෆොන්සේකා මේ පිළිබඳ පූර්ණ විමර්ෂණ කටයුතු කරමින් සිටින බවද පැවැසීය.

අභිනවයෙන් වාර්තාවන සිද්ධියට ප්‍රථම ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරග පැවැති මිට පෙර අවස්ථා කීපයකදී තරග පාවාදිමේ සැකයට තුඩුදුන් මෙවැනිම සිදුවීම් වාර්තා වී තිබේ. විශේෂයෙන් මේ ආකාරයෙන් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවේ ස්වාභාවය පිළිබඳ වාර්තා තරගයකට පෙර සෙවීම පිළිබඳව ඇත්තේ ද අපකිර්තිමත් ඉතිහාසයකී. සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන්ට හිතකර තණ තීරුවක් ලෙස ප්‍රකට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව ඇතැම් විට පළමු දිනයේ සිටම පිරිහීමට පටන් ගන්නා තණ තීරුවකි. ටෙස්ට් තරගයක පළමු දිනය පිතිකරණය සඳහා හොඳම දිනය වනු ඇති අතර, කාලය වැඩි වන විට එය නරක අතට හැරෙනු ඇත.

මෙම ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති අතර එහිදී කඩුලු 20 ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගන්නා ලදී.සුරංග ලක්මාල් මුල් ඉනිමේ පන්දුවාර 9ක් පමණක් යැවු අතර,කොදෙව් මුල් ඉනිම පන්දුවාර 104.2කට සීමා වනවිට ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 02,රමේෂ් මෙන්ඩිස් කඩුලු 06ක් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 02ක් දවා ගත්හ.දෙවැනි ඉනිමේ ලසිත් සහ රමේෂ් කඩුලු 05 බැගින් බෙදා ගැනීමට සමත් වුහ. සුරංග ලක්මාල් දෙවැනි ඉනිමේ එකඳු පන්දු වාරයක් නොයැවීම ද විශේෂත්වයකී.දෙරට අතර පැවැති පළමු තරගයේදී ද සුරංග ලක්මාල් එක් කඩුල්ලක් දවා ගත් අතර, තරග දෙකින් සමන්විත වු තරගාවලියේ කොදෙව් කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 40න් 39ක් ම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සතු විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව දඟ පන්දු යවන්නන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිසා ම සෑම කණ්ඩායමක් ම දඟ පන්දු යවන්නන් දැඩි විශ්වාසයක් තබති.

පසුගිය වසරේ ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග හතරේදී දඟපන්දු යවන ක්‍රීඩකයන් වන ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 28ක් ද රමේෂ් මෙන්ඩිස් තරග තුනකදී කඩුලු 20ක් ද දවා ගැනීමට සමත් ඇත.

2016 වසරේදී හා 2017 වසරේදී ශ්‍රී ලංකා විසින් ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරග දෙකකදී තණතීරුව සත්කාරක කණ්ඩායමට වාසි වන අන්දමින් සකස් කළ බවට ක්‍රීඩාංගණයේ තණතීරු සකස් කරන්නෙකුට චෝදනා කරමින් අල් ජසිරා රූපවාහිනිය විකාශනය කළ දර්ශන ඇතුළත් වාර්තාවක් එකල ලොව පුරා ආන්දෝලාත්මක පුවතක් බවට පත්විය.ඒ හේතුවෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණ තීරු සකස් කරනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ තහනමටද ලක්ව ඇත.

Comments