මා ඔයට බිලි වූ මල් කැකුළු | සිළුමිණ

මා ඔයට බිලි වූ මල් කැකුළු

සිරුරු සොයන තුරු බලා සිටි පිරිස්

 

 

මා ඔය ඔවුන්ට නුහුරු නුපුරුදු තැනක් නොවේ. එනිසාම පියා සමඟ මා ඔයට පිළිපන්නේ සිත් සේ දිය නෑමටය. මා ඔයේ දිය පාර වෙනදාට වඩා යම් සැඩ බවක් තිබුණද ඔවුන්ගේ ලෝකයේ වීරයා වූ අප්පච්චී තමන් ළඟ සිටි බැවින් කුඩා දරුවන්ට ඔයේ සැඩ දිය පහර අනතුරුදායක ලෙස නොපෙනෙන්නට ඇත. ඔයට යාමට පියා මැළි වෙන විට තම පියාට වැඳ නාන්නට ඔයට යං කී සුරතල් දියණියත් ඇයගේ සොයුරාත් වැලඳගන්නට කුරිරු මාරයා මා ඔය පතුලේ සැඟව සිටි බව ඔවුහු නොදත්තෝය.

 

මා ඔයේ සැඩ පහරට හසුව මියගිය දරු දෙදෙනාගේ පියා වන හතළිස් තුන් හැවිරිදි පෙදරේරුවකු වන පී.ජී.චමින්ද කුමාර හේමසිරි කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ පැවැති මෙම මරණ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී පැවසුවේ මෙවන් කතාවකි.

‘‘මගේ උපන්ගම කුරුණෑගල රිදීගම. විවාහ වෙලා අවුරුදු එකොළහක් වෙනවා. සිද්ධිය සිදුවූ විසිපස් වෙනිදා මම වැඩකට ගියේ නැහැ. කලින් දවසේ කැඩුණු බයිසිකලේ හදාගෙන දරුවන් දෙදෙනාට කන්නත් අරගෙන දවල් එකොළහට විතර ගෙදර ආවා.

දුව ඇවිත් මට කීවා අප්පච්චී නාන්න මා ඔයට යං කියලා. මම දුවට කිව්වා යන්න බෑ කියලා.පස්සේ දුව මට වැඳලා කීවා අනේ තාත්තේ නාන්න යං කියලා.මම දරුවන්ගේ අම්මාටත් එහෙමනම් කට්ටියම නාන්න යමු කීවා. ඒත් එයා බෑ කීවා. අපි වෙනදාටත් මා ඔයේ නාන්න යනවා. මම බයිසිකලයෙන් දුවත්, පුතාත් එක්ක ගියා.

බොලගම පාලම කිට්ටුව මම බයික් එක නවත්තලා දරුවන් දෙදෙනාත් එක්ක ඔයට ගියා. අපි තුන් දෙනාම වතුරට බැස්සා. මම පුතාගේ ඔළුවට අතින් වතුර දමද්දී එයා අත් දෙක උස්සා ගෙන ටිකක් දුරට ගියා. ඒ එක්කම මගේ පිටිපස්සේ හිටිය දුව මගේ කරේ එල්ලුණා.

මම පුතාව බලන කොට එයා ටිකක් ඈතට ගහගෙන යනවා දැක්කා. මම පුතාව අල්ලාගන්න යනකොට දුවවත් ගහගෙන ගියා. ඒ දෙන්නා අල්ලා ගන්න යනකොට මමත් මීටර් විස්සක් විතර පහළට ගහගෙන ගියා. මම ගහගෙන යද්දී ඔයේ එගොඩ වැලි ගොඩ දමමින් හිටි දෙන්නෙක් ඇවිත් මාව බේරාගෙන උඩට ගත්තා. මම ඇහුවා දරු දෙන්නා දැක්කද කියලා. පස්සේ ඒ දෙන්නා කීවා ගෙදර ගිහින් බලන්න කියලා.

මම ගෙදර යනකොට බිරිඳ අතරමඟදී හමු වුණා. එයා මගෙන් ඇහුවා දරුවන් දෙන්නා කෝ කියලා.මම ඇහැවුවා ගෙදර ආවේ නැද්ද කියලා. බිරිඳ නෑ කිව්වා.

පස්සේ මමයි බිරිඳයි ඔය ළඟට යනකොට ගමේ අය ඔය ළඟ පිරිලා හිටියා. ඒ අය මේ ගැන පොලිසියටත් දැනුම් දීලා තිබුණා.ගමේ අය පොලිසියේ අයත් එක්ක හොයද්දී එදා හවස හතරට විතර පුතාගේ සිරුර හම්බ වුණා.දුව හෙවුවත් හොයා ගන්න බැරි වුණා. එයාගේ සිරුර හම්බ වුණේ පහුවෙනිදා හවස පහට විතර නාරංගස්කඩ ප්‍රදේශයේ තිබිලා. ‘‘දරු දෙදෙනාගේ මව වන හතළිස් එක් හැවිරිදි එන්. ජී. බණ්ඩාර මැණිකේට මෙම සිදුවීම තවමත් සිහිනයක් මෙනි. දෙනෙතින් වැගිරෙන කඳුළු පිස දමමින් ඇය එම සිදුවීම මෙසේ විස්තර කළාය.

‘‘මෙයා දෝහා කටාර්වල මේසන් වැඩ කරලා ලංකාවට ආවේ. එයා රස්සාවෙන් හම්බවෙන මුදලින් කොටසක් බොන්න තමයි වැය කරන්නෙ. කොච්චර කීවත් එයා බීම නතර කළේ නැහැ. එදාත් බීලා හිටපු නිසයි නාන්න ඔයට යන්න එපා කීවේ. මේ සිදුවීම සිදුවූ දවසට කලින් දවසේ එයා වැලිගමුවේ වැඩට ගිහිල්ලා එනකොට බයිසිකල් එක කැඩිලා හදන්න දාලා ඇවිත් තිබුණා. පහුවදා උදේ දහය හමාර එකොළහ විතර වෙනකොට බයික් එක හදාගෙන ගෙදර ආවා. දවල් මම පොල් වේළන්න කපන කොට දුව නාන්න යං කියලා කියනවා මටත් ඇහුණා. මහත්තයා මගේ ළඟට ඇවිත් මටත් නාන්න යං කීවත් බීලා හිටිය නිසා මම බැහැ කීවා. එයා දරුවෝ දෙන්නත් එක්ක ගියා. බීලා ගිය නිසා සැකේට මමත් පයින්ම ඔයට ආවා.

ඒ එන අතරමඟදී මහත්තයා විතරක් තනියම බයිසිකලෙන් මගේ ඉස්සරහට එනවා මම දැක්කා. එයාගේ බයික් එක මම ළඟට එනකොට පෙරළිලා එයා බිමට වැටුණා. දරුවෝ කෝ කියලා ඇහුවාම දරුවෝ ඔයේ ගියා කීවා. ඊට පස්සේ බයිසිකලේ එතැනම තියෙද්දී අපි දෙන්නාම ඔය ළඟට දිවුවා.‘‘

හරියටම හොරු අරගෙන ගියා වගේ මගේ රත්තරන් දරු පැටවු දෙන්නා අපිට නැති වුණා.ලොකු පුතා අදීෂ නෙතුමිණට අවුරුදු නවයයි. එයා වැලිකන්ද කනිෂ්ඨ විද්‍යාලයේ හතර පංතියේ ඉගෙන ගත්තේ. පොඩි දුව ගඟුලි නිම්සරාට අවුරුදු පහයි වැලිකන්ද එක්සත් පෙර පාසලේ ඉගෙන ගනිමින් හිටියේ. දුව ලබන අවුරුද්දේ පුතාගේ ඉස්කෝලෙටම ඇතුළත් කරන්නයි බලාපොරොත්තු වුණේ. මමයි අම්මයි දෙන්නාම එපා කියලා කියද්දී තමයි මේ අය නාන්න ඔයට ගියේ. මා ඔයේ සැඩ පහරට හසුව අකාලයේ මිය ගිය දරු දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩබ්ලිවි. ඩී. සුසන්ත ජයවීර විසින් සිදුකරන ලදී.

ලබාදුන් සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව මෙම දරුවන් දෙදෙනාගේම මරණ දියේ ගිලීම හේතුවෙන් වූ හදිසි අනතුරු මරණ ලෙස රඹුක්කන හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් කන්දෙමුල්ල තීරණය කළේය. රඹුක්කන පොලිසියේ සැරයන් 57682 ජයනන්දන මෙහි විමර්ශන කටයුතු සිදුකළේය.

මිය ගිය දරුදෙදෙනාගේ මිත්තනිය වන හැත්තෑ දෙහැවිරිදි ඩී.ඒ.සෝමාවතී මෙම සිදුවීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙබන්දකි.

‘‘මම පදිංචිව ඉන්නෙත් දුවගේ ගෙදර. මේ දරු පැටව් දෙන්නාම ලොකු මහත්කරගන්න අපිට කොච්චර නම් බලාපොරොත්තු තිබුණාද? බෑනා කොහේද ඉඳලා ඇවිත් මා ඔයට දරුවොත් එක්ක නාන්න යන්න සූදානම් වෙනවා ඇහිලා මම කොච්චර නම් එපා කීවාද? දුවත් එපා කීවා. අපි ඒ කියපු දේ ඇහුවානම් මේ දුක අපිට උරුම වෙන්නේ නැහැ. දරුවොත් එක්ක බෑනා නාන්න ගියාම මමත් වේළලා තිබුණ පොල් වගයක් කොටා ගන්න පොල් මෝලට ගියා. මම පොල් මෝලේ ඉන්න කොට කවුදෝ කීවා අන්න ඔයාලගේ ළමයි මා ඔයේ ගිලිලා කියලා. මම එතකොටම දුවගෙන ගෙදර ආවා.

මා ඔයට ගිය බෑනා බයිට් කකා උණ පඳුරක් ළඟ ඉඳගෙන ඉඳලා තියෙනවා. එහෙම ඉන්නකොට බෑනාට නින්ද ගිහිල්ලා ඊට පස්සේ තමයි දරුවෝ මතක්වෙලා හොයලා තියෙන්නේ. ළමයි දකින්න නැති නිසා එයා කාටත් නොකියාම දරුවන්ගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ඇවිත්.

ඒ එනකොට තමයි මඟදී දුව මුණ ගැහිලා තියෙන්නේ. දරුවෝ නැති බව දැනගෙන දුව අඩාගෙන කෑ ගහනකොට බෑනාත් දරුවෝ හොයන්න ඔයට පැනලා. ඊට පස්සේ බෑනා ගිලෙනවා දැකලා අවට අය තමයි ඔයට පැනලා එයාව බේරාගෙන තියෙන්නේ.“

කෙසේ වෙතත්, දියේ ගිලීම් බහුල ස්ථානයක් බැවින් එම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස සඳහන් පුවරුවක්ද කෑගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරි විසින් ප්‍රදර්ශනය කර තිබිණි.

එසේ තිබියදීත් ඒ ගැන පවා තැකීමක් සිදු නොකර කටයුතු කිරීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත. මෙම අකල්මරණ පිළිබඳ එකිනෙකා වෙත වරද පටවමින් කවුරුන් වෙත ඇඟිල්ල දිගු කළත් මේ වනවිට සියල්ල සිදුව හමාරය.

ඉදිරියේදී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කිරීමට වැඩිහිටියන් වෙත පැවරී ඇති වගකීමෙන් කවරෙකුටවත් නිදහස් විය නොහැකිය. දියේ ගිලීමෙන් අකලට මිලිනවූ අදීෂ නෙතුමිණ හා ගඟුලි නිම්සරා දරු දෙදෙනාගේ අවසන් කටයුතු පසුගිය 27 දා පස්වරුවේ වැලිකන්ද මහගෙදරවත්තේ දී සිදු කෙරිණි.

 

Comments