ලංකාවේ අච්චු ගැහුවේ උගන්ඩාවේ සල්ලි ද? | සිළුමිණ

ලංකාවේ අච්චු ගැහුවේ උගන්ඩාවේ සල්ලි ද?

සුගිය දිනවලදී රට පුරා මහත් අවධානයට ලක් වූ මාතෘකාවක් වූයේ උගන්ඩාවේ මුදල් නෝට්ටු ලංකාවේ මුද්‍රණය කිරීම පිළිබඳ කතා පුවතයි. උගන්ඩාවේ භාවිත වන මුදල් ඒකකය ශිලිං නෝට්ටු ශ්‍රී ලංකාවේ මුද්‍රණය කර ගුවන් මඟින් ප්‍රවාහනය කළ බව තහවුරු කරමින් සහ, ඒම පුවත අභියෝගයට ලක් කරමින් විවිධ තොරතුරු හුවමාරු වනු දැක ගත හැකි විය. 

ඇතැම් දෙනා ශ්‍රී ලංකාවේ සිට ගුවන් මඟින් ඩොලර් උගන්ඩාවට ගෙන ගිය බවට සමාන අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ අතර, තවත් පිරිස් පවසා සිටියේ උගන්ඩාවේ භාවිත වන මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ මුද්‍රණය කර ගුවන් මඟින් උගන්ඩාව වෙත ගෙන ගිය බවයි. මේ මතවාද සඳහා පක්ෂව මෙන්ම විපක්ෂවද බොහෝ දෙනා අදහස් දක්වා තිබිණි.

මෙලෙස උණූසුම් මත හුවමාරුව අතර මුදල් මුද්‍රණය කිරීම වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති තෝමස් ඩිලා රූ ආයතනය ට්වීටර් පණිවියක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් ශ්‍රී ලංකාවේ පමණක් නොව රටවල් කිහිපයකම නෝට්ටු මුද්‍රණය කරන බවයි. එමෙන්ම තම ශාඛා මහා බ්‍රිතාන්‍ය මෙන්ම කෙන්යාව සහ මෝල්ටාව යන රටවලද ස්ථාපිත කර තිබෙන බවද තෝමස් ඩිලා රූ ආයතනය එම පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම එම ආයතනය වැඩි දුරටත් පවසා තිබුණේ ලොව පුරා බැංකුවලින් අඩක් පමණ තම ආයතනයෙන් මුද්‍රණය කරන මුදල් මඟින් ගනුදෙනු කරන බවයි.

ආයෝජන ප්‍රවර්ධන කලාප ක්‍රමය යටතේ තෝමස් ඩිලා රූ නම් වන බ්‍රිතාන්‍ය සමාගමේ ශාඛාවක් බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ස්ථාපිත කෙරුණේ 80 දශකයේදීය. සැබවින්ම එම ප්‍රසිද්ධ ආයතනයේ ශාඛාවක් අප රටේ ස්ථාපිත කිරීමට ලැබීම සාර්ථක ආයෝජනීය අවස්ථාවක් සේ දැක්විය හැකිය.

තෝමස් ඩිලා රූ සමාගම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධව ලොව පුරා අති විශාල කීර්ති නාමයක් දරා සිටින ආයතනයකි. ලොව පුරා මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධව විමසා බලන විට පෙනී යන්නේ තවත් එවැනි ආයතන කිහිපයක්ම විවිධ රටවල ස්ථාපිත කර ඇති බවයි.

එමෙන්ම රටරටවල මුදල් ඒකක මුද්‍රණය කිරීමේ කටයුතු පිළිබඳව විමසා බලන විට පෙනී යන්නේ බොහෝ රටවල් තම මුදල් ඒකක නිශ්චය කරමින් ඒවා මුද්‍රණය කිරීමේ ක්‍රියාපටිපාටිය ආරම්භ කර ඇත්තේ ඉතා මෑතකදී බවයි. බොහෝ රටවල් අධිරාජ්‍යවාදයෙන් මිදීමෙන් පසු තමන්ට අනන්‍ය වන බොහෝ ලක්ෂණ ආරම්භ කිරීමේ සහ පවත්වා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර බොහෝ කාලයක් ඉබාගාතේ ගෙවා දමා ඇති බවද පැහැදිලි වේ.

උදාහරණයක් ලෙස බල්ගේරියාව තම රටේ මුදල් නෝට්ටු තම රට තුළම මුද්‍රණය කිරීම ආරම්භ කරන්නේ 2001 වසරේදීය. ඒ බීඇන්බී ප්‍රින්ටින් වර්ක්ස් නම් වන මුද්‍රණ ආයතනයක් ස්ථාපිත කරමිනි. එම ආයතනය ක්‍රියාත්මක වන්නේ බල්ගේරියානු ජාතික බැංකුව යටතේය. එහෙත් ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් සියවස් ගණනාවකට පෙර තම රට තුළ තම රටේ මුදල් ඒකක මුද්‍රණ කටයුතු ආරම්භ කර තිබේ. උදාහරණයක් ලෙස ජර්මනිය දැක්විය හැකිය. ජර්මනියේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආරම්භ වී ඇත්තේ 1852 වසරේදීය.

ජපානය ජාතික මුද්‍රණ බියුරෝව යටතේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආරම්භ කර ඇත්තේ 1877 වසරේදී වන අතර එය ක්‍රියාත්මක වන්නේ ඍජුවම ජපන් රජය යටතේය. 1928 වසරේදී ඉන්දියාව මුදල් නෝට්ටු මුද්‍රණ කටයුතු ආරම්භ කරන්නේ නිදහස ලැබීමෙන් ඉතා කෙටිම කාලයක් තුළ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ඇරඹූ රටක් බවට පත් වෙමිනි. 1928 සිට 1955 දක්වා ඉන්දියාවේ මුදල් නෝට්ටු මුද්‍රණ කටයුතු සිකියුරිටි ප්‍රින්ටිං ඇන්ඩ් මිනිටිං කෝපරේෂන් ඔෆ් ඉන්දියා ලිමිටඩ් නම් සමාගම යටතේ සිදු කෙරී ඇති අතර එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරී ඇත්තේ ඉන්දීය මුදල් අමාත්‍යාංශය යටතේය. 1955දී භාරතීය රිසව් බෑන්ක් නෝට් මුද්‍රණ නම් ආයතනයක් වෙත ඉන්දීය මුදල් නෝට්ටු මුද්‍රණය පැවරී තිබේ. එහි වගකීම පැවරී ඇත්තේ රිසව් බෑන්ක් ඔෆ් ඉන්දියා නම් ආයතනයකටය.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ දීර්ඝතම ඉතිහාසයක් හිමි බ්‍රිතාන්‍යය සමාගම් කිහිපයක් මඟින් මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබේ. පර්කින්ස් බැකොන්, හැරිසන් ඇන්ඩ් සන්ස්, වෝටර්ලෝ ඇන්ඩ් සන්ස්, බ්‍රැඩ්බරි විල්කින්ස් ඇන්ඩ් කම්පැනි එම මුද්‍රණ ආයතන වේ. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ටිං සමාගමට පැවරෙන්නේ 1986 වසරේ සිටය. එය 1987 වසරේ සිට ක්‍රියාත්මක වී තිබේ. ඒ ශ්‍රී ලංකා රජයේ ඍජු අධීක්ෂණය යටතේය.

මුදල් නෝට්ටු මුද්‍රණය ආවාට ගියාට සිදු කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා යොදා ගත යුතු විශේෂ කඩදාසි තිබේ. එම කඩදාසි සියයට 75ක් කපු සහ සියයට 25ක ලිනන් මිශ්‍රවිය යුතුය. ඉතාම ආරක්ෂිත ක්‍රමවේද යටතේ මේ මුද්‍රණ කටයුතු සිදු කෙරෙන අතර මුදල් නෝට්ටු මුද්‍රණය සඳහාම විශේෂිත යන්ත්‍ර ද වේ. මෙවැනි ආරක්ෂිත ක්‍රම යොදා ගන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැළැක්වීමටය. මුදල් නෝට්ටු පමණක් නොව චෙක්පත්, හැඳුනුම්පත් මෙන්ම විදේශ ගමන් බලපත්‍රද මුද්‍රණය කරනු ලබන්නේ මෙවැනි ආරක්ෂිත මුද්‍රණ ක්‍රම උපයෝගී කර ගනිමිනි. මුදල් නෝට්ටු සඳහා භාවිත නොවූවද ඇතැම් ආරක්ෂිත මුද්‍රණ කටයුතු සඳහා ප්ලාස්ටික් කොටස්ද උපයෝගී කර ගැනේ. ඇතැම් රටවල් නෝට්ටු මුද්‍රණය සඳහා පොලිමර් උපයෝගී කර ගනී. කැනඩාව, නයිජීරියාව, රොමේනියාව, මෙක්සිකෝව, හොකොං, නවසීලන්තය, ඊශ්‍රායලය වැනි රටවල මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ පොලිමර් යොදා ගනිමිනි. මීට අමතරව දිය සලකුණු, මයික්‍රෝ මුද්‍රණ උපක්‍රම, පියවි ඇසින් හඳුනාගත නොහැකි එහෙත් විශේෂ යන්ත්‍ර මඟින් හඳුනා ගත හැකි සලකුණු, හොලොග්‍රෑම් සහ ආරක්ෂිත කෙඳි යනාදිය යොදමින් නෝට්ටු මුද්‍රණය කිරීම සිදු කෙරේ.

මේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ කතාබහට මූලික වූ උගන්ඩාවේ මේ වන විට භාවිත වන මුදල් ඒකකය ශිලිං ය. ඔවුන් එතෙක් පැවති මුදල් ඒකකය වෙනුවට 1966 සිට ශිලිං තම මුදල් ඒකකය ලෙස භාවිත කිරීම ආරම්භ කළහ. එහෙත් මේ දක්වා ඔවුන් තම රටේ මුදල් මුද්‍රණය කිරීමේ කටයුතු සිදු කරන්නේ නැත. මීට වසර දෙකක පෙරදී ඔවුන් තම මුදල් මුද්‍රණය කිරීම සඳහා ජර්මානු සමාගමක් සමඟ එකඟතාවයකට පැමිණ තිබිණි. එහෙත් පසුව තම මුදල් ඒකකය තම රටේම මුද්‍රණය කර ගැනීම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමු වෙමින් පවතින බවට පුවත් අන්තර්ජාතික මාධ්‍යවල දැක ගත හැකි විය.

Comments