සාමකාමී උද්ඝෝෂණවලට ඉඩ දෙන්න | සිළුමිණ

සාමකාමී උද්ඝෝෂණවලට ඉඩ දෙන්න

 

මේ ගෙවී යන මොහොතේදී මෙලොව කිසිදු රටක් හුදකලා නොවේ. සියල්ල එකට බැඳුණු ජාලයකි. ඒම ජාලය තුළ සෑම රටක්ම සිටින්නේ එකිනෙකා ගැන අවධානයෙනි. එබැවින් යම් රටකට ස්වභාවික විපතක් වේ නම් උදවු උපකාර කිරීමට, යම් රටක අනිසි ක්‍රියාවක් වේ නම් ඒය විවේචනය කිරීමට මෙන්ම මැදිහත් වීමට ද සෑම රටක්ම පාහේ කටයුතු කරයි. මේ අන්තර්ජාතික සම්බන්ධතා ජාලයෙන් විතැන්ව කිසිඳු රටකට පැවැත්මක් නැත. මේ සබඳතා ඕනෑම රටක යහපතට මෙන්ම අයහපතටද බලපෑම් කළ හැකි බව පැවසිය යුතුය.

 

කෙසේ වුවද පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් පිළිබඳව ද ලෝකයේ සෙසු රටවල අවධානය විශේෂයෙන් යොමු විය. ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරු සිදුවීම වාර්තා වූ සැණින් ඒ් සම්බන්ධව තම රටේ පාලනාධිකාරීන්ගේ මතය ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නවසීලන්තය ඔස්ට්‍රේලියාව, නෝර්වේ මෙන්ම යුරෝපා සංගමයද ඒසේ ප්‍රථමයෙන්ම තම මතය ප්‍රකාශ කළ රටවල් අතරට ඒක් විය.

මේ රටවල තානාපතිවරුන් ට්වීටර් පණිවිඩ නිකුත් කරමින් පවසා සිටියේ තමන් මේ සිදුවීම් හෙළා දකින බවයි. ඒමෙන්ම වහාම රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් අතරින් බොහෝ දෙනෙක් තම ට්විටර් පණිවිඩවල සටහන් කළහ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලී චෑංග් සිදුවීම වාර්තා වූ සැණින් පසුගිය 9 වැනිදා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇමරිකාව මේ සිදුවීම කණගාටුවෙන් හෙළා දකින බවයි. එමෙන්ම සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ල වූ මේ ප්‍රහාරයට වගකිවයුත්තන් සොයා රජය විසින් පූර්ණ විමර්ෂනයක් කළ යුතු බවද තානාපතිනිය ස්වකීය ට්වීටර් පණිවිඩයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණාය. ඇමරිකානු තානාපතිනිය ස්වකීය ට්වීටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මේ සිදුවීම්වලින් තුවාල ලැබූ සහ මියගිය සෑම දොනටම තම කණගාටුව දක්වන බවයි.

මීට පෙර අවස්ථාවකදී ද රජය විසින් හදිසි අවස්ථාව නිවේදනය කළ විට ද ඇමරිකා තානාපතිනිය ඒයට ප්‍රතිචාර ලෙස ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ හදිසි අවස්ථාව රටේ ආර්ථික අර්බුදයට පිළියම් ලබා දෙනු ඇතැයි තමා නොසිතන බවයි‍.

යුරෝපා සංගමයද උද්ඝෝෂකයන්ට පහර දීමේ සිදුවීම් වාර්තා වූ සැණින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ මාසයක පමණ කාලයක් සාමකාමී උද්ඝෝෂණවල නිතරව සිටි ජනතාවට පහර දීම පිළිබඳව කණගාටුවට පත්වන බවයි.

මැයි 9 වනදා සිදුවීමෙන් පසු ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ශ්‍රී ලංකාව සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ නගර තුළට හමුදාව කැඳවීම සම්බන්ධව ඇමරිකාව කණගාටුවට පත් වන බවයි. එමෙන්ම මේ සිදුවීම් සම්බන්ධව ඇමෙරිකාව තම අවධානය යොමු කරන බවද පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෙයුබර්ට් මැයි 9වනදා සිදුවීම වාර්තා වූ සැණින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණි. එමගින් ඔහු පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ මේ මොහොතේ තත්ත්වය තම හදවත කම්පා කරවන බවයි. රට තුළ මනාව ක්‍රියාත්මක වෙමින් තිබූ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මේ මොහොත වන විට තර්ජනයට ලක්ව ඇති බවත්, එය කලහකාරී සිදුවීමක් දක්වා ගමන් කර ඇති බවත් ජර්මානු තානාපතිවරයා තම ට්වීටර් පණිවිඩයෙන් දක්වා තිබිණි. මේ සිදුවීමට මුහුණ දී සිටින දෙපාර්ශ්වයෙන්ම සාමකාමී වන ලෙස තමා ඉල්ලා සිටින බව පවසා සිටි ජර්මානු තානාපතිවරයා වැඩිදුරටත් තම ට්වීටර් පණිවිඩයෙන් පවසා තිබුණේ දෙපාර්ශ්වයේම ගැටලුවලට විසඳුම කලහකාරී වීම නොවන බවයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වන සාරා ‌ හූල්ටන් මැයි 9වන දින සවස් කාලය වන විට ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ල කළ මැර ප්‍රහාරය තමන් තරයේ හෙළා දකින බවයි. ඒමෙන්ම රටවැසියන්ගේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාකාරී වාතාවරණය සකසා දීම රජයේ වගකීම බවද ඇය තම පණිවිඩියේ සඳහන් කර තිබිණි.

මීට අමතරව නෝර්වේ තානාපතිනිය මෙන්ම නවසීලන්තය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද තවත් රටවල් රැසක්ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තම අදහස් දක්වා ට්වීටර් පණිවිඩ නිකුත් කර තිබූ අතර ඒ් සෑම පණිවිඩයකම පාහේ පොදු අදහස වූයේ සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීම හෙළා දකින බවත්, රජය විසින් තත්ත්වය පාලනය කර රට සාමාකාමී කළ යුතු බවත්ය.

 

Comments