අපේ කාබනික පොහොර සහ යෙදවුම් නවෝත්පාදන වීම විශේෂයි | සිළුමිණ

අපේ කාබනික පොහොර සහ යෙදවුම් නවෝත්පාදන වීම විශේෂයි

  • මාලදිවයිනේ දූපතක් ම අපේ කොම්පෝස්ට්වලින් සරුසාර කළා.
  • අපි උපාධිධාරී යාළුාවෝ හතර දෙනෙක්. අපේ ගමන වෙනස්.
  • ගෙවල්වල මහා ප්‍රශ්නයක් වෙලා තිබෙන කුණු දිරාපත් කරවන්නයි අපි Biodexx හැදුවේ.

මහ පොළොවට සහ ගොවියාට සෙත සලසන ගොවිසෙත කාබනික නිෂ්පාදන පෙළ, මෙරට තරුණ උපාධිධාරීන් හතර දෙනකු ගේ නැණ නුවණින් බිහි වූ දේශීය කාබනික නිෂ්පාදන සමාගමකි.

සිය උගත්කමේ ප්‍රයෝජනය රටට ලබා දෙනු වස්, ඔවුහු තෝරා ගෙන ඇත්තේ මහ පොළොව සුවපත් කරවන සහ මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවන කාබනික දෑ නිෂ්පාදනය කරන ව්‍යාපාරික මාර්ගයකි. එම මාර්ගයේ පැමිණි ඔවුහු අද ව්‍යාපාර සමූහයක හිමිකරුවන් බවට පත්ව සිටිති.

රැකියා උත්පාදනය කරමින්, මෙරට කෘෂි ආර්ථිකයට නව මං විවර කර දෙමින් නවොත්පාදන ඔස්සේ ඔවුහු යන්නේ වෙනම ගමනක ය.

උපන් බිමෙන් පිට විදේශයන්හි ද කාර්යාල අරඹා, සිය ව්‍යාපාර ව්‍යාප්ත කර ඇති මේ උපාධිධාරීන් සතර දෙනාගේ කතාව, මහ පොළොවට වැටී පස පෝෂණය කර, ඵලවැල පූදින්නට උදව් කරන පොහොර බිඳුවක් තරමට ම ආදර්ශමත් ය.

Perera Plantmate Fertilizer pvt. Ltd නම් ඔවුන්ගේ සමාගම සහ එම සමාගමේ නිෂ්පාදන පිළිබඳ එහි ප්‍රධාන විධායක නිලධාරිනී, ඩිල්ෂානි බණ්ඩාර අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" අපේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ කොළඹ හැව්ලොක් ටවුන් හි. අපගේ ප්‍රධාන නිෂ්පාදනාගාරය පිහිටා තිබෙන්නේ පිළියන්දල. සෙසු කර්මාන්තශාලා කුරුණෑගල, තිස්සමහාරාමය, මඩකලපුව සහ මාතර පිහිටා තිබෙනවා. මේ පහෙන් හතරකම හදන්නේ කාබනික ඝන පොහොර. දියර පොහොර සඳහා වෙනම කර්මාන්ත ශාලාවක් තිබෙනවා.

අපේ දියර පොහොර දෙවර්ගයක් තිබෙනවා. එකක්, ක්ෂුද්‍රජීවීන් යොදා ගෙන කරන ජෛව දියර පොහොරක්. අනෙක, කාබනිකව නිපදවන දියර පොහොරක්. රජරට විශ්වවිද්‍යාලයෙන් තමයි අපි මේ දියර පොහොර සියල්ල සඳහා අදාළ තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා ගන්නේ. එක් වරකට ලීටර 50,000 කාණ්ඩ වශයෙන් අප මෙම දියර පොහොර නිෂ්පාදනය කරනවා. ඒ සෑම කාණ්ඩයකට ම එකිනෙකට අදාළව තත්ත්ව සහතික වාර්තා ලබා ගන්නවා.

රජරට විශ්වවිද්‍යාලයේ තත්ත්ව පරීක්ෂණවලට අනුව, දියර පොහොරවල තිබිය යුතු උසස් ම ප්‍රමිතිය පවත්වාගෙන යන්නට අපගේ පොහොර සමත්ව ඇති බව ඒ වාර්තා තහවුරු කර තිබෙනවා.

විශේෂයෙන් කිව යුතුයි, අප 100%ක් කාබනික නිෂ්පාදන සඳහා ම යොමු වූ ආයතනයක්. ඒ තුළ කාබනික ඝන පොහොර හෙවත් ගොවිසෙත කොම්පෝස්ට්, ජෛව දියර පොහොර හෙවත් ගොවිසෙත Biomaxx, කාබනික දියර පොහොර හෙවත් ගොවිසෙත Agromaxx කියන ප්‍රධාන පොහොර වර්ග කිහිපයට අමතරව, Activated Bio Chamaxx නම් සුවිශේෂී අඟුරු වර්ගයකින් හදන මූලික පොහොරක්, කොහුබත් හෙවත් Coco Peat, පොල්ලෙලි කැට හෙවත් Coco chips ද නිෂ්පාදනය කරනවා.

Biodexx කියන්නේ, බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී ඇති කුණු දිරා පත් කරවන කුඩු වර්ගයක්. එය අපගේ තවත් එක් නවෝත්පාදනයක්. ඒ වගේම එය තනිකර ම කාබනික නිෂ්පාදනයක්.

ගෙවල්වල ඉතිරි වන කුණු දිරාපත් කරවන ලෙස මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ විශේෂයෙන් මිදුල් රහිත තට්ටු නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන්. මෙය ඔවුන් මුහුණ දෙන කුණු ප්‍රශ්නයට සාර්ථක පිළියමක්. කුණු තට්ටුවකට පසු පවුඩර් තට්ටුවක් ලෙස, මෙම පවුඩර් එක කුණු බාල්දියට ඉස්සාම එය දිරාපත් වීම ආරම්භ වනවා.

ඒ වගේම, Odexx කියන්නේ මුළුතැන්ගෙයි සින්ක් එකේ, නාන කාමරයේ හෝ වැසිකිළියේ දුර්ගන්ධය නැති කිරීම සඳහාත්, මැස්සන් වසන තැන් පිරිසුදු කිරීම සඳහාත් යෙදිය හැකි තවත් අති සාර්ථක කාබනික දියරයක්. එය දුර්ගන්ධය ඇති තැන්වලට ස්ප්‍රේ කළ හැකියි. මෙවැනි 100%ක් කාබනික නවෝත්පාදන ගණනාවක් අපගේ නිෂ්පාදන පෙළට අයත් වනවා.

අප සැම විටම නවෝත්පාදන සමඟ ඉදිරියට යන ආයතනයක්. ඉදිරියේ දී කර්මාන්තශාලාවලින් ඉවත් කරන අපජලය යොදාගෙන සුවිශේෂී දියර පොහොරක් නිෂ්පාදනය කරන්නටත් අප මේ දිනවල පර්යේෂණ කරගෙන යනවා.

ඒ වගේම Caremaxx නමින් තවත් අලුත් නිෂ්පාදනයක් අප හඳුන්වා දී තිබෙනවා. ඒ, නිවෙස්වල ඇති කරන බලු පැටවුන් සහ පූස් පැටවුන් වෙනුවෙන්. ඇත්තටම එය එම සතුන්ගේ ලොම් වඩාත් නිරෝගීව තබන සහ උන්ගේ සමෙන් වහනය වන දුර්ගන්ධය පාලනය කර, පෝෂණය ලබා දෙන අතිරේක ආහාරයක්. වැදගත්ම දේ තමයි, එයත් 100%ක් ම කාබනික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබීම.

ඒ වගේම, Fully Organic Soap එකක් හෙවත් කාබනික සබන් කැටයක් සහ කාබනික Bodywash එකක් හඳුන්වා දීමටත් අප මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනවා.

බොහෝ අය Herbal සබන් වර්ග පාවිච්චි කළත් ඒවාටත් කෝස්ටික් සෝඩා යොදන අවස්ථා තිබෙනවා. නමුත් අප උත්සාහ කරන්නේ කෝස්ටික් සෝඩා රහිතව 100%ක් කාබනික ආකාරයට මෙම සබන් කැටය පාරිභෝගිකයාට ලබා දෙන්න .

මේ නිෂ්පාදනවලට අමතරව වගාවට ගැළපෙන කොහුබත් අප නිෂ්පාදනය කරනවා. ඒවා අපනයනය කරනවා. ඊට අමතරව, කාබනික පොහොර සෑදීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙසත් මෙම කොහුබත් යොදා ගන්නවා

විශේෂ ම කාරණය තමයි, මූලිකව පස සකසන තැන සිටම යෙදිය හැකි නවෝත්පාදන සහ සාර්ථක යෙදවුම් අප සොයා ගෙන තිබීම. ඒ අනුව, Activated Bio Cha කියන්නේ, සක්‍රීය කාබන් බහුල අඟුරු වර්ගයක්. ක්ෂුද්‍ර ජීවීන් සමග ක්‍රියාත්මක වන ආකාරයෙන් විශේෂිත වට්ටෝරුවක් අනුව සකසන ලද පසට යොදන මූලික යෙදවුමක්. එය යෙදිය යුත්තේ එක් වරයි.

ඒ අඟුරු පසට යෙදූ විට ක්ෂුද්‍රජීවීන් කාබන් අංශු අතරට ගිහින් ක්‍රියාත්මක වී පසේ තිබෙන පෝෂණය උරා ගෙන, හෙමි හෙමින් ගහට මුදා හරිනවා. මෙය ලෝකයේ කෘෂිකාර්මික ඉතිහාසයේ සාර්ථක බිම් සැකසීමේ ක්‍රමවේදයක්. ඒ වගේම, මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ කැණීම්වල දී හමු ව තිබෙන පුරාණ ක්‍රමවේදයක්. කාබන් මූලද්‍රව්‍ය පස තුළ හොඳින් රඳවා තබා ක්‍රියාත්මක වීම සඳහා මේ අඟුරු රහස් වට්ටෝරුවක් අනුව යි, අප සක්‍රීය කර තිබෙන්නේ.

ඒ වගේම, අපගේ Agromax පොහොරවලට හුඟක් ගොවීන්ගෙන් ඉල්ලුමක් තිබෙනවා. ඔවුන් වැඩි දෙනා කුඩා තේ වතු හිමියන්. අපේ පොහොරවලින් හොඳ ප්‍රතිඵල ලැබූ බව ඔවුන්ම පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ කන්න තුනක් ම එක දිගට අපේ පොහොර යෙදූ වී ගොවීන්ගන් තවමත් ඒ පොහොරවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

රජයේ ටෙන්ඩරයට පොහොර සපයන්න කලින් නුවරඑළියේ එළවළුවලට අපගේ Biomax ලබා දුන්නා. ඇත්තටම අපිට හොඳ මාකට් එකක් හැදුණා. එළවළු වගේම මල් වගාව සඳහාත් වැඩිම ඉල්ලුම තිබුණේ Biomax සහ Agromax කියන පොහොර දෙවර්ගය සඳහා නුවරඑළියෙන්ම යි. ඊට අමතරව වීවලටත් වඩා අපිට හොඳ ඉල්ලුමක් තිබුණේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැෂන්, පේර, අඹ වැනි අතිරේක බෝග වෙනුවෙනුයි.

අප Mate Group Of Companies යටතේ පවතින සමූහ ව්‍යාපාරයක්. ඒ තුළ, Cargomate pvt Ltd, Cargomate Shipping, Agromate Consortium pvt Ltd, Eventmate pvt Ltd සහ Eco Tourism සඳහා වන Greenmate pvt. Ltd ලෙස ව්‍යාපාර කිහිපයක්ම තිබෙනවා.ඩුබායි සහ ඇමෙරිකාවෙත් අපගේ ව්‍යාපාර ශාඛා තිබෙනවා. ඊට අමතරව, කුළුබඩු අපනයන ව්‍යාපාරයක් ද අප සතුයි.

2021 මහ කන්නයේ සිට 2022 යල කන්නය දක්වා මේ වන විට, ඝන කාබනික පොහොර ටොන් 25,000 ක් සහ ජෛව දියර පොහොර ලීටර 65,0000 සහ කාබනික දියර පොහොර ලීටර 65,0000ක් රජයේ පොහොර සහනාධාරය සඳහා අප සපයා තිබෙනවා. මේවා මාතර, කුරුණෑගල, හම්බන්තොට, මොණරාගල, මඩකලපුව, පුත්තලම, මාතලේ, ගාල්ල දිස්ත්‍රික්කවලට බෙදා දුන් ප්‍රමාණයන්. රජයේ පොහොර සහනාධාරයේ විශාල ම සැපයුම්කරු ලෙස මෙතෙක් ක්‍රියාත්මක වූයේ අප ආයතනය යි.

අප ආයතනය ආරම්භ කළේ, 2015 වසරේ සුරංග ද සිල්වා වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින්. එය කාබනික පොහොරවලට ඉල්ලුමක් තිබුණේ නැති කාලයක්. නමුත් ඔහුගේ ඉලක්කය වුණේ අපනයන නිෂ්පාදනයක් ලෙස කාබනික පොහොර සකස් කිරීමයි. ඒ අනුව, මාලදිවයින සහ ඩුබායි රාජ්‍යයට ටොන් දහයේ බෑග් වශයෙන් කාබනික ඝන පොහොර අපනයනය කිරීමෙන් ඔහු මේ ව්‍යාපාරය ආරම්භ කළා. මේ වන විට කාබනික ඝන පොහොර ටොන් 4,000ක් පමණ එසේ ඩුබායි සහ මාලදිවයිනට අපනයනය කොට තිබෙනවා.

ඒ අනුව මාලදිවයින් රාජ්‍යයේ Kuda Villingili - Island සහ Cross Road - Project කියන ව්‍යාපෘති දෙක සඳහා අප කාබනික පොහොර විශාල ප්‍රමාණයක් අපනයනය කොට තිබෙනවා. Kuda Villingili කියන දුපතේ පොළොව සම්පූර්ණයෙන් ම පාහේ අප සකස් කළේ අපගේ කාබනික ඝන පොහොරවලින්. ඒ සඳහා ටොන් එකේ බෑග් විශාල ප්‍රමාණයක් අප මාලදිවයිනට යැව්වා. එය හෝටලයක් සහිත දූපතක්. ඒ නිසා එය මල් සහ ගස් වවා ලස්සන කළ යුතු වුණා. ඒ සඳහා සාර්ථක පොළොවක් නිර්මාණය කීරීම අවශ්‍ය වුණා. දිගුකාලීනව පැවතිය යුතු තත්ත්වයක් නිසා කාබනික පොහොරවල ගුණාත්මක බව ඉතා හොඳින් සොයා බලනවා. ඒ නිසා අපි අපගේ නිෂ්පාදනවල කොලිටිය ගැන ඉතාමත් සැලකිලිමත්.

අපේ කොලිටිය හොඳ නැත්නම් මේ වගේ විදේශ ඇණවුම් අහිමි වී යනවා. ඒ නිසා අපගේ නිෂ්පාදනවල තත්ත්වය සෑම විටම ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට සෑම අයුරකින්ම ක්‍රියාත්මක වනවා.

අපගේ පොහොරවලට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ, ගිණිසීරියා වැනි කොළ වර්ගත් පිදුරු, කොහුබත්, ගොම පොහොර, කුකුළු පොහොර සහ එළු පොහොර වැනි ස්වාභාවික සත්ත්ව අපද්‍රව්‍ය.

දියර පොහොර සඳහා අප ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ෂුගර් මොලෑෂස් හෙවත් සීනි හැදීමෙන් ඉතිරි වන අමුද්‍රව්‍යයක්.

රටේ විවිධ පළාත්වල අපගේ කර්මාන්තශාලා විහිදී තිබෙන නිසා ඒ ඒ පළාත්වලින් ගොම ඇතුළු ස්වාභාවික අමුද්‍රව්‍යය සපයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ දේවල් බොහෝ විට අප සපයා ගන්නේ ගම්මාන අවට සැපයුම්කරුවන්ගෙන්. ඔවුන් අපේ ප්‍රමිතියට ගැළපෙන පරිදි ඒවා සකස් කොට අපගේ කර්මාන්තශාලාවට බාර දෙනවා. එයින් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩ නැඟී තිබෙනවා. මේ වන විට එවැනි සැපයුම්කරුවන් ද ඇතුළුව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 500ක් පමණ උත්පාදනය කරන්නට අපගේ ව්‍යාපාරයට හැකි වී තිබෙනවා. එය සතුටක්.

සුරංග ද සිල්වා අපේ කළමනාකාර අධ්‍යක්ෂ. ඔහු ජයවර්ධනපුර සරසවියේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඒ වගේම මූල්‍ය සහ වෙළෙඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවුරුදු 15ක අත්දැකීම් ඔහු සතූයි.

ගෝතමී පෙරේරා, අපගේ අනෙක් අධ්‍යක්ෂිකාව. ඇය සුරංග සිල්වා ගේ බිරිඳ. ඇයත් කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරිණියක්.

චන්දිම කනකරත්න, අපේ අනෙක් අධ්‍යක්ෂවරයාත් ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක්.

ඒ වගේම, මමත් දේ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිළිබඳ උපාධිධාරිණියක්. CIM සහ Chartered Marketer කෙනෙක්. ඒ වගේම මූල්‍ය, බැංකු සහ වෙළෙඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති කෙනෙක්.

ඇත්තටම අපි මිතුරන් හතර දෙනකුගෙන් යුතු සමාගමක්. අපගේ උනන්දුව තිබෙන්නේ සෑම විටම නවෝත්පාදන කෙරෙහි යොමුවන්න. අපිට ඕනේ ගොවියාට පරිපූර්ණ පැකේජ් එකක් දෙන්න.

ඒ වගේම, අපි හතර දෙනාම කැමැති අපේ ව්‍යාපාර විවිධාංගීකරණය කරන්න. කෙටි කාලයක් තුළ වුවත් අපි හතර දෙනා ගේ උනන්දුව සහ කැපවීම නිසා අපි සෑහෙන දුරක් පැමිණ තිබෙනවා.

ඉදිරියේ දී, වගා කිරීම සඳහා කතරගම අක්කර 130 ක ඉඩමක මේ දිනවල මූලික පස සැකැස්ම සිදු කරගෙන යනවා. ඒ වගේම, කුරුණෑගල සහ කුලියාපිටිය අපගේ පොල් ඉඩම්වල අතුරු බෝග වගාවක් සඳහා බිම් සකස් කරමින් සිටිනවා. අපි රට යන අතට හැඩ ගැසෙන්නට නම් කෘෂිකර්මාන්තයේ නවෝත්පාදන සොයා ගත යුතුයි. ඒ නිසා සෑම විටම අපගේ ඉලක්කය වන්නේ, නවෝත්පාදන සමඟ කෘෂිකර්මාන්තය වෙනස් ආකාරයකට පවත්වාගෙන යන්නයි.

ඒ වගේම, අපගේ කොහුබත් වැනි නිෂ්පාදන බොහෝ විට පිටරට යැවෙන්නේ මූලික අමුද්‍රව්‍යයක් ලෙසින්. අපි ඒ කොහුබත් පිටරට යැවූ විට ඒවායින් value-added දේ නිෂ්පාදනය කරන්නේ වෙනත් රටක්. ඒ නිසා ඉදිරියේ දී අපි අපේ රටේදී ම අපේ අමුද්‍රව්‍ය යොදාගෙන එවැනි value-added නිෂ්පාදන කිරීම සඳහා අවධානය යොමු කරනවා. කොහුබත් කැටයක් තුළ එළවළු බීජයක් තැන්පත් කර, පාරිභෝගිකයා අතට පත් කර එයට වතුර සහ දියර පොහොර ටිකක් පමණක් යොදා වගාව සිදු කරන ආකාරයෙන් එම කොහුබත් කැටය සකස් කිරීමට තමයි අප පර්යේෂණ කරන්නේ.

මෙවැනි දේ හරහා අපේ රටේ අමුද්‍රව්‍යවලට වටිනාකමක් එක් කරන්නට තිබෙන අවස්ථා පිළිබඳ සෑම විටම අප පර්යේෂණ කරනවා. ක්‍රියාත්මක වනවා..."

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

“වස විසෙන් තොර සරු රටක්”

අතිරේකය සමඟ ඔබත් එක්වන්න

විමසන්න - රෝයි ජයසිංහ (කළමනාකරු විශේෂ අතිරේක) 0777 270 076

පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ

එන්. ධම්මික එදිරිසූරිය

0773 497 565

පිටු සැකසුම - චතුපබෝධා විජයලත්

සම්බන්ධීකරණය - නිශාන්ත පීරිස්

Comments