දේශීය ආදායම් කෙටුම්පත් ඡන්දයේදී අත්‍යවශ්‍ය රාජකාරී තිබූ අයට නිදහස දුන්නා | සිළුමිණ

දේශීය ආදායම් කෙටුම්පත් ඡන්දයේදී අත්‍යවශ්‍ය රාජකාරී තිබූ අයට නිදහස දුන්නා

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට ආණ්ඩුවට කලින්ම ඒත්තු ගොස් තිබූ හෙයින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තුවේ අදාළ ඡන්දය විමසන අවස්ථාවේ අත්‍යවශ්‍ය වෙනත් රාජකාරි කිහිපයකට යාමට අවසරය ලබා දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි.

ලොහාන් රත්වත්ත, තිස්ස කුට්ටිආරච්චි, ජගත් කුමාර මෙන්ම නාමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ කාර්යාලයට දැනුම් දී ඇත්තේ තමන් අත්‍යවශ්‍ය රාජකාරීන් කිහිපයක පසුවන බවත් ඡන්දය පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් පාර්ලිමේන්තුව ආසන්නයේ සිටින නිසා කඩිනමින් පැමිණිය හැකි බවත් ය. මහින්ද රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ගීතා කුමාරසිංහ අසනීප තත්ත්වයෙන් පසුවන බව ආණ්ඩු පක්ෂ කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු විශ්වාසභංග යෝජනාව විවාදයට දින නියම කිරීමටත් පෙර විදේශගත වීමට අවසර ගත් අය බවද විශ්වාසභංගයේ ඡන්දයට ඔවුන්ගේ නොපැමිණීම බලපෑමක් නොවන හෙයින් ඔවුන් නැවත ගෙන්වීමට අදහස් නොකළ බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහන් කරයි.

චමල් රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ධම්මික පෙරේරා, දිලුම් අමුණුගම, මර්ජාන් ෆලීල් මන්ත්‍රීවරු විදේශ ගතවී සිටිති. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45 කින් සම්මත කර ගැනීමට රජයට හැකියාව ලැබුණු බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කීය.

මේ අතර පාර්ලිමේන්තුවේදී 7වනදා සම්මත කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම් පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය ඉකුත් 8 වන දා සටහන් කළේය. ඒ අනුව එම පනත සැප්තැම්බර් 8 වන දා සිට බලාත්මක වේ.

Comments