උපාධි සහතිකය අධ්‍යාපනය නොවේ | සිළුමිණ

උපාධි සහතිකය අධ්‍යාපනය නොවේ

 මෙහි මුල් කොටස ‘අධ්‍යාපනයද භාණ්ඩයකි’ නමින් ගිය සතියේ පළවිය.

කණගාටුවට කාරණය වන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි පෞද්ගලික ආයතන සිය දහස් ගණනක් ඇති මේ රටේ සයිටමය බලගතු මාතෘකාවක් වී තිබීමය. සැබවින්ම මෙය දේශපාලන හා පෞද්ගලික මාතෘකාවක් පමණක් මිස වෘත්තීය හෝ ආර්ථික මාතෘකාවක් නොවේ. සයිටමය විසින් වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ යානාදී උපාධි නිෂ්පාදනය කරයි. ඒ වූකලී පීඨ කිහිපයකින් සමන්විත රජයේ විශ්වවිද්‍යාලයක් මෙනි. එහෙත් සයිටම් විරුද්ධවාදීන් ප්‍රශ්න කරනුයේ ඉන් එක් නිෂ්පාදනයක් වන ෙවෙද්‍ය උපාධිය ගැන පමණකි. එය ද එම භාණ්ඩයේ ‘කොලිටිය’ ගැනය. කොලිටිය යනු සාපේක්ෂ කාරණයකි. කලින් කලට කොලිටි මට්ටම අර්ථදක්වනු ලැබේ. ඒ සඳහා නිර්ණායක ද අලුතින් හඳුන්වා දෙනු ලබයි. උපාධියක් පමණක් නොව මොන්ටිසෝරි අධ්‍යාපනය ද එසේමය. වෙනත් භෞතික නිෂ්පාදන ද එසේමය. එබැවින් කොලිටිය යනු අඛණ්ඩ පරිණාමීය සංසිද්ධියක් මිස වෛද්‍ය සංගමයේ නිලධාරීන්ගේ ටිකිරි මොළයට වැටහෙන සංසිද්ධියක් නොවේ.

රජයේ විශ්වවිද්‍යාවල උපාධිය හෝ උපාධිධාරීන් නිරපේක්ෂ ලෙස ගුණාත්මක බවින් අගතැන්පත් යැයි සිතීම මිථ්‍යාවකි. රජයේ වෛද්‍ය උපාධිය ඒ තරමටම ගුණාත්මක නම් අකාරුණික, ජාවාරම්කාර, ගසාකන, ආඩම්බරකාර, අවෘත්තීය වෛද්‍යාවරුන් අප රටේ සිටිය නොහැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාලවල හා විදේශ විශ්වවිද්‍යාලවල වෙනත් උපාධිධාරීන් ද ඊට වෙනස් නොවේ. අප රටේ දූෂණ, වංචා, හොරමැරකම්, අපරාධ මෙන්ම මිනීමැරුම්වලට ද උපාධිධාරීන් වරදකරුවන් වීම මගින්ම උපාධිවල තත්ත්වය හඳුනාගත හැකිය. එබැවින් වෛද්‍ය වෘත්තිය ඇතුළු අන් සියලු වෘත්තීන් තුළ අප සිතන තරම් බෝ පැළ දැකිය නොහැකිය.

අධ්‍යානපනයේ ‘කොලිටිය’

පෞද්ගලික වෛද්‍ය උපාධියේ ‘කොලිටිය’ පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි නොකා නොබී ප්‍රශ්න කරන තමන්ගේ කොලිටියවත් තේරුම් ගත නොහැකි බොළඳ බිළිඳුන් පිරිසක් දැන් බිහිවී සිටිති. උපාධියක තත්ත්වය තීරණය වීමට පාඨමාලාව, ගුරුවරු, ඉගැන්වීම, පහසුකම්, පරිසරය, පුහුණුව, ගරු-සිසු විනය හා කැපවීම යනාදී සාධක බොහොමයක් බලපායි. උසස් පෙළ සමාර්ථ්‍ය A තුනක් ද S තුනක් ද යන්න මත උපාධියක ගුණාත්මක බව මැනීම අතිශය සාවාද්‍යයය. අප රටේ උසස් පෙළ සමත් යැයි සලකන්නේ S තුනක් ලබාගත් පිරිසටය. ඔවුන් සියලු දෙනා උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසු යයි රජය විසින් තීරණය කරයි. එය ද බෙහෙවින් වරද සහගතය. ඒ මක් නිසා ද යත් අසමත් පිරිසට අධ්‍යාපන නිදහස අහිමිවන බැවිනි. කෙසේ වෙතත් S තුනක් ලැබූවන් සරසවි අධ්‍යාපනය ලැබීමට නුසුදුසු වේ නම් ඊට වඩා ඉහළ සමාර්ථයක් දක්වා එය ඉහළ දමන ලෙස වෛද්‍ය සංගමයට ඉල්ලුම් කළ හැකිය. එමෙන්ම එම නව සාමර්ථ්‍ය B තුනක් වේ නම් ඉන් පහළ සමාර්ථ්‍ය ලද උපාධි අපේක්ෂකයන් සරසවිය හැර යා යුතුය. එපමණකුදු නොව එම සාමාර්ථය නොලත් සියලු වෛද්‍යවරු ද සේවය අත්හළ යුතුය. ඒ මක් නිසා ද යත් වෛද්‍යය සංගමයට අනුව ඔවුන් වෛද්යම උපාධිය ලැබීමට සුදුසු නොවන බැවිනි. අප රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය අනුව ඇතැම් දිස්ත්‍රික්කවලින් පශු වෛද්‍ය පීඨයටවත් ඇතුළත් වීමට වරම් නොලබන අය වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වරම් ලැබීම මනස්ගාතයකි.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හෝ පහේ ශිෂ්‍යත්වය යන එකක්වත් පන්ති සමාර්ථයක් සහිතව උපාධියක් සමත්වීම කෙරෙහි බලපාන්නේ නැත. උසස් පෙළ අඩු ලකුණු සමග සරසවියට ඇතුළුවන බොහෝ සිසුන් පළමු පන්තියේ උපාධි ලබාගැනීම දැකිය හැකිය.එබැවින් සයිටම් වෛද්‍යය උපාධියේ තත්ත්වය පරීක්ෂා කළ යුත්තේ උසස් පෙළ ප්‍රතිඵල මත නොව වෙනත් වෛද්‍යය උපාධි සමග නිශ්චිත නිර්ණායක ඔස්සේ සැසඳීමෙනි. රජයේ වෛද්‍යය පීඨවලට ඇතුළත් වීමේ දී කොළඹ වෛද්‍ය පීඨයට ඉහළම Z ලකුණු අවශ්‍ය කෙරේ. කොළඹ වෛද්‍ය උපාධිය අන් වෛද්‍ය උපාධිවලට වඩා උසස් තත්ත්වයක පවතින බව ඉන් අදහස් වේ. එසේ නම් නිදහස් අධ්‍යාපනයේ බාප්පලාට අනුව අන් සියලු වෛද්‍ය උපාධි පීඨ වසා දැමිය යුතුය. ඒ මක්නිසා ද යත් ඒවායින් බිහිවන වෛද්‍යවරුන්ගේ කොලිටිය අඩු බැවින් ඔවුන් අතින් රෝගීන් මිය යාහැකි බැවිනි. උපාධිවල තත්ත්වය ගැන කතා කිරීමට පෙර තමතමන්ගේ තත්ත්වය නැවත පරීක්ෂා කරගැනීමට දැන් කාලය උදාවී ඇත. වෛද්‍ය සංගමයේ නිලධාරින් ඇතුළු බොහෝ වෛද්‍යවරුන් උපාධිය ලබාගැනීමෙන් පසු පොත් කීයක් කියවා තිබේ දැයි ඔවුන් විසින්ම සොයාබලා සිය දැනුම් සම්භාරයේ තරම මැනගත යුතුය. තවද, කොලිටිය ගැන කරනු ලබන මේ කතිකාව ගොවින් කරා පැතිරුණහොත් පොලොන්නරුවේ ගොවීන් සිය වී නිෂ්පාදනය උඩවලවේ ගොවීන්ගේ වී වලට වඩා කොලිටිය අතින් වැඩි බව පවසා උඩවලවේ ගොවීන්ගේ වී වගාවට එරෙහිව විරෝධය පානු ඇත. අනෙකුත් වෘත්තිකයන් ද එසේ කරනු ඇත. නිෂ්පාදනවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු වේ නම් නිෂ්පාදනාගාරය වසා දැමීමේ සිරිතක් නැති අතර තත්ත්වය දියුණු කිරීමේ පියවර ගත යුතුය.

කොලිටිය අඩු වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍යයවරුන් නිසා රෝගීන් මිය යන බව දැක්වීමට කිඹුල් කඳුළු හෙළන වෛද්‍ය සංගමය සිය දරුවන් උසස් විද්‍යාලවලට ඇතුළත් කරගන්නා ලෙසත්, සම සෞඛ්‍යය උපාධිය අවුරුදු තුනට සීමාකරන ලෙසත් , වශයෙන් වැඩ වර්ජන දියත් කළ විට රෝගීන් මියයන්නට ඇත. අඩු කොලිටියේ ඉංජිනේරු උපාධි මැනවයි කියන වෛද්‍ය සංගමයට හා දේශපාලකයන්ට මතක් කර දිය යුතු දෙයක් ඇත. එනම් යම් “බාල උපාධියක් හොර උපාධි කඩයකින් මිල දී ගත්” ඉංජිනේරුවරයකු යම් රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකරයි ද උපාධියේ තත්ත්වය බාල බැවින් එම ගොඩනැඟිල්ලේ තත්ත්වය ද බාල වන බැවින් එය කඩා වැටෙයි ද එවිට එක්වරම රෝගීන් දහස් ගණනකුත් සමග වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය එකගොඩේ මරණයට පත්වේ. බාල වෛද්‍ය උපාධිය කරණකොට ගෙන එක් රෝගියා බැගින් මියයනවා කියන උදවියට මෙවැනි සමුහ මරණ සාධාරණීකරණය කළ හැකිද? වෛද්‍ය උපාධිය හැර අනෙක් උපාධි බාල වූවාට කම් නැතැයි කියන උදවියගේ අඳබාලකම ඉන් නොපෙනේද?

විරෝධතාකරුවන්ගේ සැබෑ අරමුණ

සයිටමයට එරෙහිවීම පිටුපස ඇති අරමුණ වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමට ඉඩ නොතැබීමයි. එමඟින් අධ්‍යාපන නිදහස සහ අයිතිය වළලා දැමීමයි. රාගම වෛද්‍ය විද්‍යාලයට අත්වූයේ එම ඉරණමයි. මෙවන් දුෂ්ට අරමුණක් සඳහා යොමුවීමට බලපාන ප්‍රධාන සාධක තුනකි. ඉන් එකක් වන්නේ වෛද්‍ය සැපයුම අඩුකර වෘත්තීය ඒකාධිකාරය පවත්වා ගනිමින් ඒ තුළින් අධික ලෙස ධනය උපයා ගැනීමයි. දෙවන සාධකය වන්නේ සැපයුම අඩු කිරීමෙන් වෛද්‍යවරයා කළුනික බඳු අතිශය දුර්ලභ පුද්ගලයෙකු බවට පත්කොට වෘත්තීය වටිනාකම මත සමාජීය වැජඹීම හා ගෞරවය ලබාගැනීමයි. තුන්වැනි සාධකය වන්නේ ආණ්ඩුව පෙරළා වෙනත් ආණ්ඩුවක් බලයට ගෙන ඒමයි. මේ අතුරින් ප්‍රමුඛ වන්නේ අධික ලෙස ධනය උපයා කාමභෝගී ජීවිත ගතකිරීමයි. වෛද්‍ය නොවන උපාධි ලක්ෂ සංඛ්‍යාවක් නිපදවුව ද ඒවා පෞද්ගලික අංශයෙන් හෝ බාහිර උපාධි ආකාරයෙන් නිපදවුව ද කිසිදු සංගමයට කිසිදු විරෝධයක් නැත. ඒ මඟින්ම ඔවුන්ගේ සැබෑ අරමුණ අධ්‍යාපනය පිණිස වන එකක් නොවන බව ප්‍රත්‍යක්ෂ වේ.

මෙම විරෝධය තුළ වෛද්‍ය උපාධියේ හෝ වෛද්‍ය වෘත්තියේ යහපත හෝ රෝගීන්ගේ යහපත කිසි සේත්ම අවධාරණය නොවේ. අවධාරණය වන්නේම වෛද්‍ය ඒකාධිකාරය පමණි. පශ්චාත් වෛද්‍ය විද්‍යාලයේ පටන් විශේෂඥ වෛද්‍යය සේවය පුරාම මේ ඒකාධිකාරය හෙවත් මාෆියාව දක්නට ලැබේ. එක් සුනඛයෙකුගේ වැයික්කියට තවත් සුනඛයෙකුට ප්‍රවේශවීමට ඉඩක් නොදෙන්නා සේ මෙම ඒකාධිකාරය ක්‍රියාත්මක වෙයි. හෘදය, අක්ෂි, ඖෂධ, ඔසුසල්, සෞඛ්‍ය රක්ෂණාවරණ, පරීක්ෂණාගාර යන සෑම අංශයකම මෙම ඒකාධිකාරී මාෆියාව ක්‍රියාත්මක වන අකාරය වඩාත්ම හොඳින් දන්නේ වෛද්‍යවවරුන්මය. මේ තත්ත්වය දන්ත වෛද්‍ය වෘත්තියේ ද නො අඩුව දක්නට ලැබේ. දැනට අප රටේ ඇත්තේ දන්ත වෛද්‍ය පීඨ එකකි. ලක්ෂත 200 ඉක්මවන අප රටේ ජනතාවගේ දන්ත වෛද්‍ය අවශ්‍යතා සඳහා එම පීඨයෙන් වසරකට බිහිවන්නේ දන්ත වෛද්‍යවරු 100ක් පමණ සංඛ්‍ය­ාවකි. එහෙත් ලංකාවේ නව දන්ත වෛද්‍ය විද්‍යාල බිහිකරනවාට ඔවුහු දැඩි අකැමැත්තක් දක්වයි. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ මුඛ සෞඛ්‍යයේ සංවර්ධනය නොව සිය ආර්ථික ප්‍රතිලාභයයි.

රජයේ කාර්යභාරය

වර්තමානයේ එළඹී තිබෙන මිනී මරාගන්නා අධ්‍යාපන මාතෘකාව සයිටමයට පමණක් සීමා කළ යුතු නැත. එමෙන්ම එය වෛද්‍ය උපාධියට පමණක් සීමා කළ යුතු ද නැත. අප රටේ නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනය සීමා සහිතය. එසේ වන්නේ නිදහස් අධ්‍යාපනය නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය දැරීමට වැඩි වැඩියෙන් බදු අයකිරීමට ඇති ගැටලුවයි. යම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් රජයට පවරා ගතහොත් ඒ සඳහා වියදම් දැරිය යුතු වන්නේ ද මහජනතාවයි. අප රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අධ්‍යාපන පිපාසාවෙන් පෙළෙති. ඔවුන් කුමන අංශයක අධ්‍යාපනයක් ලබාගැනීමට පෙලඹුණද ඊට බාධාකිරීමට කිසිවකුට අයිතියක් නැත. රජයට ද එම අයිතිය නැත. රජයේ වගකීම වන්නේ ද එම විශ්වීය අයිතිය තහවුරු කරදීම පමණි. එය රජයේ ප්‍රමුඛත්වය ද විය යුතුය.

 

Comments