අලුත් ව්‍යවස්ථ‍ාවට අකැමැති මහින්ද විතරයි | Page 2 | සිළුමිණ

අලුත් ව්‍යවස්ථ‍ාවට අකැමැති මහින්ද විතරයි

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණය කල්යාමේ ගැටලු ඇතුළු කාලීන දේශපාලන කරුණු රැසක් පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

1978 ව්‍යවස්ථාවට එරෙහි ආරම්භක විරෝධතාවේත් මා සිටියා. එදා හයිඩ් පිටිය අසල පාරේ වාඩිවී වාමාංශික නායකයන් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහත්වරුන් සමඟ තරුණ වෛද්‍යවරයකු ලෙස මා එම විරෝධයට එක්ව සිටියා. ඉතිහාසයේ ප්‍රථමවරට ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා අත්අඩංගුවට පත්වූයේ එදාය. වාසුදේව නානායක්කාරට බැටන් ප්‍රහාර එල්ල විය. ආචාර්ය වික්‍රමබාහු කළු කොඩි දැමීම නිසා ඔහුගේ ආචාර්ය පදවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අහෝසි කෙරිණ. අලුත් ව්‍යවස්ථාවක් සඳහා සටන ආරම්භ කළේ එවැනි බාධක මධ්‍යයේය. සෑම මැතිවරණයකදී ම එජාප විරෝධී සෑම අපේක්ෂකයකු ම පොරොන්දු වූ දෙයක් වනුයේ දැන් තිබෙන ව්‍යවස්ථාව ඉවත් කර අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බවටය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් සෑදීමට ජනතාව වෙත මැතිවරණ පොරොන්දු ලබා දුන්න ද එය යථාර්ථයක් නොවිණ. එම පොරොන්දු ලියැවිල්ලකට පමණක් සීමා විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද එය සැබෑවක් කර ගැනීමට නොහැකි විය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක ජනාධිපති ධුරය අහෝසි කර අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම කෙරෙහි එජාපයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වීමත් සමඟ නව ව්‍යවස්ථාවක් සඳහා වන සිහිනයේ මල් ඵල ගැන්වීම නැවත ආරම්භ වී තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන අදහස එජාප හම්බන්තොට සම්මේලනයේ දී මා විසින් පළමුවරට ඉදිරිපත් කෙරිණ. එජාප පාක්ෂිකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ එම යෝජනාව ස්ථිර විය. එතැනින් එහාට ගොස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ අලුත් ව්‍යවස්ථාවක් යන්න එජාපයේ පිළිගැනීම විය. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට මෙරට කිසිදු පක්ෂයක් ඒ වන විට ප්‍රකාශයට පත් කර නොතිබිණ.

ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ කල්ලිය හැරෙන්නට විපක්ෂයේ සියලුදෙනා එකඟ වන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට දැන් අවස්ථාව ලැබී තිබේ. විපක්ෂයේ සිටින ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නව ව්‍යවස්ථාවට එකඟතාව පළ කර ඇත. ඔවුන් අතර සුළු මතභේද පැවතියද මේ සඳහා ඔවුන්ගේ එකඟතාවක් තිබීම නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට බලාපොරොත්තුවක් ලබා දී තිබේ. මෙයින් පැන යාමක් සිදු කරනුයේ මහින්ද රාජපක්ෂයන් පමණකි. නව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවට එකඟතාව පළ කරමින් එය කඩාකප්පල් කිරීමට ඇතැම්හු උත්සාහ දැරීමක් සිදු කරති. ඔවුන් හඳුනාගෙන එම ක්‍රියාකාරකම් පරාජය කිරීමට පියවර ගත යුතුය. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුය යන අවංක ස්ථාවරයේ ජනාධිපතිවරයා තුළද පවතියි.

ජනවාරි 08 වැනිදා මැතිවරණ ප්‍රකාශය සකස් කරන විට හෙළ උරුමයේ කොන්දේසියක් වූයේ ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බවය. බලය බෙදුණු රටක ජනාධිපතිවරයකු සිටිය යුතුය යන ස්ථාවරය ඔවුන් සතු විය. ඒ අවස්ථාවේ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ නොහැකි විය. ඒ නිසා ඔවුන් සමඟ එකඟව සියලුම කණ්ඩායම්වල එකතුවෙන් මැතිවරණ ප්‍රකාශයක් නිර්මාණය කෙරිණ. ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථාවක් යන යෝජනාව එහි තිබිණ. නමුත් මහ මැතිවරණයේ දී තරග කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවක් යනුවෙනි. රතන ස්වාමින් වහන්සේ, පාඨලී චම්පික ඇතුළු සියලුදෙනා තරග කළේ එජාප මැතිවරණ ප්‍රකාශය යටතේ ය. එජාප මැතිවරණ ප්‍රකාශයේ තිබුණේද එය වේ. ශ්‍රීලනිපය තිබුණේද එයයි. මහින්ද මහතා ඇතුළු සියලුදෙනා ශ්‍රීලනිප මැතිවරණ ප්‍රකාශය වටා රොක්ව සිටියහ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව එම මැතිවරණ ප්‍රකාශයේ පැවැතියද දැන් ඔවුන් එයට අකැමැත්ත පළ කිරීම පුදුම සහගතය. ජනමත විචාරණයකට කිසිසේත් බිය විය යුතු නොවේ. ආණ්ඩුවේ සිටින සියලුම දේශපාලන පක්ෂ, විරුද්ධ පක්ෂයේ ද්‍රවිඩ ජාතික සන්ධානය, ජවිපෙ මේ සියලුදෙනා ජනමත විචාරණයේ දී එකම අදහසක් නියෝජනය කිරීම නව ව්‍යවස්ථාව සම්මත වීමේ පෙර සුබ ලකුණකි. මෙරට තිබෙන සියලු දේශපාලන පක්ෂ එක පැත්තකත් මහින්ද රාජපක්ෂ කල්ලිය තව පැත්තකත් සිටියදී ජනමත විචාරණය පැවැත්වීමට සිදු වුවද එහි ජයග්‍රහණය ගැන සැකයක් ඇති කර ගත යුතු නොවේ. ජනමත විචාරණය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට යහපාලන ආණ්ඩුවට හැකියාව පවතියි. අලුත් ව්‍යවස්ථාවක් සඳහා විශාල කැපවීමක් කර සටන් වැදුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමයි ජනවරමක් ලැබුණේ ජනාධිපති ධුරය උසුලන්නයට. ඒ නිසා ඔහුගේ කාල පරිච්ඡේදය ඔහුට ලබාදී ඉන්පසුව මේ තීන්දු තීරණ ගැනීම සිදුවේ. නව ව්‍යවස්ථාව පවා නිර්මාණය කෙරෙනුයේ ඔහුට සාධාරණත්වය ඉටු කරලමිනි. ඔහු එදා එම සටනට එළැඹුණේ නැත්නම් මේ කිසිවක් කර ගත නොහැකිය. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකට සහ අනෙකුත් පක්ෂවලට සාධාරණ වූ ව්‍යවස්ථාවක් ගෙන ඒම සිදු කෙරේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මෙමඟින් සිදු කරයි. 1978 සිට මෙරට ජනතාව ඉල්ලුවේ එයයි. මේ සඳහා සාකච්ඡා පැවැත්වේ. නව ව්‍යවස්ථාව සඳහා වූ ජාතික ව්‍යාපාරය නමින් සංවිධානයක් බිහි කර තිබේ. එහි පළමු සම්මන්ත්‍රණය පසුගියදා (15) පදනම් ආයතනයේදි පැවැත්විණ. සිවිල් සංවිධානවල ප්‍රධානත්වයෙන් සහ සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් එය පැවැත්විණි.

උතුරේ දේශපාලන පක්ෂ එදා තිබුණේ ෆෙඩරල් පක්ෂ නමිනි. 50 දශකයේ සිට ඔවුන් මෙරටින් ඉල්ලුවේ ෆෙඩරල් ක්‍රමයකි. එසේ ඉල්ලූ අය ඉතිහාසයේ පළමු වතාවට ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදීමට එකඟව සිටීම මෙරටට යහපතකි. පළාත් සභා ව්‍යූහය අනුව බලය බෙදීමක් මෙමඟින් සිදුවේ. එවැනි අවබෝධයකට එම පක්ෂ ගෙන ඒම ම විශාල ජයග්‍රහණයකි. මහින්ද මහතා රට කැඩෙනවා කීවාට බලය බෙදීම පිළිබඳ හරි අධ්‍යයනයක් නොකළ පුද්ගලයෙකි. එය පැහැදිලිවම කිව යුතුය. ඔහු එවැනි දේශපාලන අධ්‍යයනයකවත් නියුතු පුද්ගලයෙක් නොවේ. බලය බෙදා හැරීම ගැන නිවැරදි අවබෝධයක් තිබෙන කිසි කෙනකු ඔහුගේ කල්ලියේ නොමැත. බලය ඩැහැ ගැනීමේ වුවමනාව පමණක් ඔහු සතුය. අධිකරණ හරහා තමන්ගේ ප්‍රධානීන් හෙට දිනයේදි හිරබත් කන්නට පෙර කළ වංචා, දූෂණ හා මිනීමැරුම් සනාථ වීමට පෙර බලය ඩැහැ ගන්නේ කෙසේද යන ව්‍යාපෘතිය පමණක් ඔහුට පවතියි. ඒ නිසා ඔවුන් කොයි එකටත් විරුද්ධ වීම අරුම පුදුම නොවේ. අලුත් ව්‍යවස්ථාවේ තිබෙන සාධනීයම ලක්ෂණයක් වනුයේ බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීමය. අනෙකුත් සියලු ආගම්වලට සාධාරණත්වය ලබාදීමක් ද සිදු කරයි. ඒකීය ආණ්ඩුක්‍රමයක් යටතේ මෙමඟින් බලය බෙදීමක් සිදු කරයි.

බෙදුම්වාදී බලවේග සියල්ල පරාජය කිරීමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදු කරයි. යම් පළාත් සභාවක් බෙදුම්වාදය කතා කළොත් එය විසුරුවා හැරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වන බවට වගන්තියක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමක් සිදු කරයි. මෙතෙක් පැවැති ව්‍යවස්ථාවල එවැනි වගන්තියක් නොතිබිණ. ඒ නිසා එක් එක් පළාත් සභා තමන්ට අවශ්‍ය ඕනෑම යෝජනාවක් ගෙන ඒමට පසුබට නොවීය. බෙදුම්වාදය ගැන කතා කරන පළාත් සභා විසුරුවා හැර මධ්‍යම ආණ්ඩුවට පවරාගැනීම නිසා බෙදුම්වාදය ගැන කතා කිරීමට මෙමඟින් කිසිදු පළාත් සභාවකට ඉඩ නොතැබීම විශේෂත්වයකි. මෙයට ද්‍රෝහිකම් කරනවා නම් ඔහු දේශද්‍රෝහියකු මිස කිසිදා දේශප්‍රේමියෙක් නොවේ. සාපේක්ෂතා වාදය ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින් මෙසේ ප්‍රකාශ කර තිබේ. මෙම ඊනියා දේශප්‍රේමය රෝග තත්ත්වයකි. එය සාමාන්‍ය රෝගයක් නොව මුළු ශරීරය පුරා පැතිරුණු සරම්ප වැනි රෝගයකි. එම සරම්ප රෝගයෙන් පෙළෙන පිරිසක් ලෙස මහින්ද ඇතුළු පිරිස හඳුන්වා දිය හැකියි.

වසර 2020 වන විට එජාපයත් සමඟ තරග කළ හැකි බලවේගයක් ඉතිරි වන්නේ නැත. ඒ තරම්ම ශක්තිමත් බලවේගයක් එජාපය සතු වේ. යහපාලන ආණ්ඩුවේ සංක්‍රාන්ති කාලය මෙය වේ. යහපාලන ආණ්ඩුව යටතේ ජනතා සුබසිද්ධිය උදෙසා ගන්නා ක්‍රියාමාර්ග නිසා මේ වසර අවසන් වන විට මේ රජය පෙරළන්න තබා පරාජය කිරීමට කිසිදු බලවේගයක් ඉතිරි නොවේ. 2020 වසරේදි මීට වඩා විශාල ජයග්‍රහණයක් එජාපයට ලැබිය හැකිය.

මේ දේශපාලන අනාවැකි සියල්ල නිවැරදි වේ. අගෝස්තු වන විට බොහෝ රාජපක්ෂලාගේ නිරුවත මේ රටේ ජනතාවට පෙනෙනු ඇත. ඔවුන් මුදල් මංකොල්ල කා තිබෙන ආකාරය, මිනී මරා තිබෙන ආකාරය ගැන රටේ මිනිසුන්ට ඇස් කන් පිරෙන්නට ප්‍රවෘත්ති ලැබීමක් ඒ වන විට සිදු වේ.

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව ගැන සිතනුයේ ලිප්ටන් වටරවුම කිය­ාය. දේශපාලන අවබෝධයකින් යුතුව දේශපාලනය කතා කළ හැකි කිසිදු පුද්ගලයකු ඒකාබද්ධ විපක්ෂයේ නොමැත. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ හැසිරීම පසුගිය කාලයේ ඔවුන් රට පාලනය කළ ආකාරයට සමානය. ඔවුන්ට පාර්ලිමේන්තුව අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ ඔවුන්ට තිබෙන නඩුහබවලින් බේරෙන්නට බලය අල්ලා ගැනීම පමණකි.

 බැසිල් ද සිල්වා ලියූ දේශපාලනයේ “අ“ යන්න යන පොතවත් නොකියවූ පිරිසක් ලෙස එම කල්ලිය හැඳින්විය හැකිය. සමහරුන් ආණ්ඩුවේ කම්කරු රැකියාවක් හෝ ගන්නට අධ්‍යාපන සුදුසුකම් නැති අය බව ප්‍රකාශ කළ යුතුය.

අලුත් මැතිවරණ ක්‍රමයකට පළාත් පාලන මැතිවරණය පැවැත්වේ. කොට්ඨාස ක්‍රමයට එය පැවැත්වීම විශේෂත්වයකි. ඒ සඳහා රට පුරා පළාත් පාලන කොට්ඨාස නීර්ණය කළ යුතුය. 10000 කට වැඩි කොට්ඨාස ගොඩනැඟිය යුතුය. කොට්ඨාසයෙන් කොට්ඨාසයට මැතිවරණය පැවැත්වීම මෙහිදී සිදු වේ. මේ නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වී තිබේ. නමුත් හැකි ඉක්මණින් මේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටියි.

2015 ජනවාරි 08 වැනිදා ලැබූ ජයග්‍රහණයත් සමඟ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට යා යුතුයි මතවාද ඉදිරිපත් විය. ජනාධිපතිවරයාට එම බලය පැවැතිණි. එසේ වූයේ නම් එජාපයට තුනෙන් දෙකක බලයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඵලයකි. තුනෙන් දෙකකට ආසන්න බලයක් ලැබුණා නම් රාජපක්ෂ කල්ලියේ සිටින අයත් එජාපය සමඟ එක්වේ.

එසේ වූයේ නම් ප්‍රබල එජාප ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව පැවැතිණ. නමුත් මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධානයන්හි අදහස වූයේ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු සියලු පක්ෂ එක්ව ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවය. එහි වාසි අවාසි දෙකම තිබේ. විශේෂයෙන්ම අගමැතිවරයාගේ ස්ථාවරය වූයේ තුනෙන් දෙකක බලයක් ලැබුණත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ය. මේ ගත් තීරණයේ අවාසිය නිසා ඒකාබද්ධ විපක්ෂයට මෙතරම් අවස්ථාව ලැබී තිබේ. එවැනි සාධාරණ තීරණයක් නොගත්තේ නම් සියලු පළාත් සභා පෙරළලා එජාපයේ ප්‍රධාන මහ ඇමැතිවරයකුගෙන් යුක්ත පළාත් සභා බිහි කිරීමේ හැකියාව පැවැතිණ. ප්‍රබල ආණ්ඩුවක් පාර්ලිමේන්තුව හරහා බිහි කරන්නට තිබිණ. විපක්ෂයේ වාඩි වූ අය අද කැබිනට් අමාත්‍ය ධුර පවා දැරීමක් සිදු කරයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමැතිවරු වී සිටියි. කිසිදා නොසිතූ අය මහ ඇමැතිවරු, පළාත් සභාවේ ඇමැතිවරු වී සිටිති. මේ රටේ විශාලම ජයග්‍රහණය ලැබූ එජාපයේ මන්ත්‍රීවරුන් පළාත් සභාවල විපක්ෂයේ වාඩි වී සිටිති. එවැනි දෙයක් සිදුව ඇත්තේ යහපාලනයට පිං සිදු වන්නට ය. නමුත් මේ සියල්ල එක්සත් ජාතික පාක්ෂිකයන් විඳ දරා සිටිනුයේ රට හදන වැඩපිළිවෙළ නිසාය.

වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෛද්‍ය සංගම් ඇතුළු බුද්ධිමතුන් පෞද්ගලික අධ්‍යාපනය කෙරෙහි විරුද්ධත්වයක් පළකර නොමැත. ජවිපෙ, පෙරටුගාමි පක්ෂය, සිසුන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධතාව පළ කරයි. ඔවුන් සියලු දේට විරුද්ධය. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ඔවුන් කියා තිබුණේ මෙය ජයග්‍රහණය කළාට පසුව ඔවුන් අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වසා දැමීමට කටයුතු කරන බවය. එසේ කිරීමෙන් අනතුරුව පෞද්ගලික රෝහල් ඇතුළු සියලු පෞද්ගලික ආයතන වසා දැමීමට කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත. උතුරු කොරියාවේ කිංජොං ප්‍රතිපත්ති අනුගමනය කිරීම ඔවුන්ගේ සූදානමයි. නමුත් උතුරු කොරියානු ජනතාවගේ අදහස වනුයේ කිංජොං පාලනයෙන් මිදීමය. සයිටම්වල ප්‍රමිතිය ගැන ගැටලුවක් පවතියි. එය නිරාකරණය කළ යුතුයි. වෛද්‍යවරයෙකුට පමණක් නොව ඕනෑම වෘත්තීයවේදියකුට ප්‍රමිතිය වැදගත්ය. ඒ සඳහා අවශය තීරණ ගෙන සායනික ප්‍රශ්න විසඳීම මෙන් මෙතෙක් ඉගෙන ගත් අයට නැවත පුහුණු වාරයක් ලබාදී අදාළ ප්‍රමිතිය කරා ගෙනැවිත් මේ ගැටලුව විසඳා ගැනීමට හැකි වේ.

හිටපු ජනාධිපතිවරයාට මෙමඟින් වාසියක් ලබාදෙන්නේ කෙසේද කියන යටි අරමුණ ඇතිව ඇතැම් සංගම් කටයුතු කිරීම කනගාටුදායකය. සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට විශ්වවිද්‍යාල සිසුන් බලහත්කාරයෙන් ගෙන්වීමක් සිදු කරයි. ඊනියා අන්තවාදි ශිෂ්‍ය සංගම් සම්බන්ධයෙන් රජය දැඩි තීරණයක් ගත යුතුය. රජයක් පත් කර තිබෙනුයේ පාලනය කිරීමට මිස මේවා දෙස බලා විශ්ලේෂණය කිරීමට නොවේ. මැර ක්‍රියා මර්දනයට සියලු නීතිමය පියවර ගත යුතුය. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම රජයේ ප්‍රධාන වගකීමකි. අන්තවාදී දේශපාලන පක්ෂවලට මෙරට ජනතාව අතර පිළිගැනීමක් නොමැත. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසියට සහාය ලබාදිය යුතුය. අන්තවාදීන් හා පාතාලය මර්දනය කිරීම සමාන්තරව කළ යුතුය. රජයක් රජයක් ලෙස දැනෙන්නේ එවිටය. යහපාලනය යන්න වැරදියට අවබෝධ කර නොගත යුතුය. යහපාලනය යනු අවනීතිය නොවේ. තදබල නීතිගරුක සමාජයක් ගොඩනැඟීම යහපාලනයේ වගකීම වේ. 

සංවාදය - සන්ධ්‍යා කරුණාරත්න
සේයාරූ - විමල් කරුණාතිලක

Comments