මහින්ද නිසා පාර්ලිමේන්තුවේදී පැටලුණු මන්ත්‍රීවරුන් දෙන්නා කවුද? | සිළුමිණ

මහින්ද නිසා පාර්ලිමේන්තුවේදී පැටලුණු මන්ත්‍රීවරුන් දෙන්නා කවුද?

ඇත්තටම ඇමතිතුමා, එක සැරේටම කෙට්ටු වුණේ මොකද?

පාර්ලිමේන්තුව පසුගිය සතියේ රැස්වුණු නිසා දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් උණුසුම්කාරී සිදුවීම් ඇතිවිය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමඟි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් පසුගිය 21 වැනිදා සවස පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාර දෙන ලදී.

පසුගිය 20 වැනිදාට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වන අතර එදිනම ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයක යෙදීම විශේෂත්වයකි.

පාකිස්තානු අගමැති ජනපති රනිල්ට ස්තූති කළේ ඇයි?

ඉන්දියානු සංචාරය සති මැද යෙදීම හේතුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ගෙවා දැමූවේ කාර්ය බහුල සතියකි. ඒ අතර මාතලේ පැවැති රාමඤ්ඤ නිකායේ උපසම්පදා උත්සවයකට මෙන්ම වාද්දුව පැවැති විවාහ මංගල්‍යයකට යාමට සිදුවීම මෙම කාර්ය බහුලත්වය තීව්‍ර කරන්නට හේතුවිය. මාතලේ සිට පැමිණි ජනපති රනිල් එදිනම දහවල් ඉන්දියාව බලා පිටත්විය.

ජනපති සඳුදා සිට සුදානම් වූයේ ඉන්දීය සංචාරය වෙනුවෙනි. එහිදී අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් කිහිපයකට අදාළව නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීමට ද ඔහු පියවර ගත්තේය. සඳුදා දහවල් ඔහුට රාජ්‍ය තාන්ත්‍රික දුරකතන ඇමතුමක් ලැබුණේය. එම ඇමතුම පකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ගෙනි.

ඔහු ජනපති රනිල් අමතා කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති මැදිහත් නොවුණේ නම් කිසිදා ඔවුන්ට එම මුදල නොලැබෙන බවයි. ජනපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා අමතා පකිස්තානයට ආධාර කරන ලෙස නොකීවා නම් තමන් ලොකු අමාරුවක වැටීමට ඉඩ පැවැති බව ද අගමැති ෂරීෆ් කීවේය. අමාරු අවස්ථාවේ කළ උපකාරය අමතක නොකරන බව ඔහු ජනපති රනිල් දැනුම්වත් කළේය.

තමා රනිල් රාජපක්ෂ නොවන බව ජනපති කීවේ කාටද?

ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙනවා කියන්නේම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති කාර්යාලය පිරී යන අවස්ථාවකි. එම අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කරන්නේ ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශූ මාරසිංහ ය.

මන්ත්‍රීවරුන් මුණ ගැසීමෙන් පසු ජනපති ගියේ කලින් වෙන්කර ගෙන තිබූ දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් මුණ ගැසීමටය. පාර්ලිමේන්තු කමිටු ශාලාවක මෙම හමුව සංවිධානය කර තිබුණි. එක් පක්ෂයක් හැර උතුරු පළාත නියෝජනය කරන දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් මෙයට එක්ව සිටියහ.

ජනපති සිය ස්ථාවරය දෙමළ මන්ත්‍රීවරුන් හමුවේ තබමින් ඔහු කීවේ පොලිස් බලතල හැර සෙසු බලතල 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ලබාදීමට කටයුතු කරන බවයි. එසේම තමන් රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බව කීවේ සුමන්දිරන් මන්ත්‍රීවරයා නැඟූ පැනයකට පිළිතුරු දෙමිණි.

රාසමානික්කම්ගෙන් පිල්ලෙයාන්ට ‍දෝස්මුරයක්

දෙමළ සන්ධාන මන්ත්‍රී රාසමානික්කම් මේ අවස්ථාවේදී එහි සිටි මන්ත්‍රී පිල්ලයාන් ඉලක්ක කර ගනිමින් උද්වේගයෙන් අදහස් දැක්වූ අතර හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයෙකු වූ පිල්ලෙයාන් මන්ත්‍රීවරයා දැඩි සංයමයකින් සිටිනු එහි සිටි කාටත් දැකගත හැකිවිය.

ඊට පළිතුරු දුන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා “ පෞද්ගලික ආරවුල් මෙතන ඇදගන්න එපා. අපි ඇත්ත ප්‍රශ්නය කතා කරමු.” කීවේ දෙදෙනාම මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරනා බැවිනි.

රාසමානික්කම් මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය කොට නැඟිට ගිය පසු “එදා පොලිස් බලතල තිබුණා නම් ඒ කාලේ ඔබතුමන්ලාව අත්අඩංගුවට අරගෙන” ජනපති රනිල් සිනාසෙමින් දෙමළ මන්ත්‍රීවරුනට කීවේ පිල්ලෙයාන් මන්ත්‍රීවරයා දෙස ද බලමිනි.

භාෂා පරිවර්තනකගේ කාර්යය රාඝවන්ට

කෙසේ නමුත් ජනාධිපති රනිල් ඉදිරිපත් කළ යෝජනා සුමන්තිරන් මන්ත්‍රීවරයා විවේචනය කරද්දී පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ජනපති යෝජනාවට සහාය පළ කරන බව කීවේය. එම කමිටු ශාලාවේ භාෂා පරිවර්තන පහසුකම් නොමැති බැවින් දෙමළ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්න පරිවර්තනය කරනු ලැබූවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසිනි. එහෙත් ඔහු ජනපති කී දේ දෙමළට පරිවර්තනය නොකිරීම නිසා එම කාර්ය රාඝවන් මන්ත්‍රීවරයා විසින් කරනු ලැබීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන, සභානායක සුසිල්, ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න, ඇමැති ඩග්ලස් දේවානන්දා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ. ජනපති ඉන් පිටව ගියේ ඉන්දියාවට ගෙන යන දෙමළ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළ ලිපිය ද රැගෙනය. එම ලේඛනයේ පිටපත් ත්‍රෙනිකායික මහා සංඝ රත්නය ඇතුළු ආගමික නායකයන් වෙත ද යවන ලෙස ජනපති උපදෙස් දුන්නේය.

සාකච්ඡාව නිමවා පිටතට පැමිණි දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් වටකරගනු ලැබුවේ ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශුවය. “ජනාධිපතිතුමා අර රනිල් රාජපක්ෂ කතාව කිවේ දෙන්නෙකුට දැනෙන්න විතරයි.” මන්ත්‍රීවරු කියද්දී ආශු ඔවුන් දෙස බැලූවේ ප්‍රශ්නාර්ථවය.

“ඒක කිව්වේ සුමන්තිරන්ටයි, රාසමානික්කම්ටයි. මොකද එයාලනේ රනිල් රාජපක්ෂ කීව්වේ.” මන්ත්‍රීවරු කියද්දී ආශුට කාරණය අවබෝධ වී සිනහව නවතාගත නොහැකි වූවේය.

ජනාධිපතිවරණය ගැන ඉඟියක්

සවස ජනාධිපති රනිල් ලේකම් කාර්යාලය වෙත පැමිණියේ මැතිවරණ කොමිසමට පත්වූ නව නිලධාරීන් මුණ ගැසීමටය. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක ඇතුළු කොමිසමේ නිලධාරීන් ද, නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිලධාරියෙකු හා මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

“ලබන වසරේ ජනාධිපතිවරණයක් පවත්වන්න කොපමණ මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍යවෙයි ද? මොකද අපිට මේ වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සුදානම් කරගන්න වෙනවා. අපි ඒ මුදල් අය වැය ලේඛනයට ඇතුළත් කරලා වෙන්කර ගන්න ඕනේ.” ජනපති විමසුවේ කොමිසමේ නිලධාරීන්ගෙනි.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් කීවේ ඊට අදාළ ඇස්තමේන්තු සකස් කොට හැකි ඉක්මණින් ලබා දෙන බවය. කඩිනමින් එය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනපති රනිල් මේ කාරණය ගැන මුදල් අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරන ලෙස උපදෙස් දුන්නේය.

ඒ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක කීවේ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ගතවන කාලය අවම කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.

ජනපති රනිල් ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ආරාධනාවකට අනුව ජනපති රනිල් ඇතුළු පිරිස ඉන්දීයාව බලා පිටත්ව ගියේ බ්‍රහස්පතින්දා සවසය. ඔවුන් ඉන්දියාවේදී පිළිගනු ලැබූවේ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමතිවරයා විසිනි. එදින රාත්‍රියේම ජනපති ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් හා ද්විපාර්ශ­්වික සාකච්ඡා ආරම්භ කළේය.

ඉන්දීය සංචාරය අතරතුර මෝදි අගමැතිවරයා, හා ඉන්දීය මුදල් ඇමතිවරිය ජනපති මුණ ගැසී සාකච්ඡා කළේ සිකුරාදාය. එදින රාත්‍රියේ ජනපති රනිල් ඇතුළු දූත පිරිස යළි මෙරට බලා පැමිණියෝය.

ජල ගාස්තු වැඩි කිරීම‍ට අගමැති දිනේෂ් හරස් වෙයි

ජල ගාස්තු ඉහළ නැන්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට, මේ වනවිට අවස්ථා කිහිපයක ම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වුව ද ඊට අනුමැතිය මෙතෙක් හිමි වී නැත. ඒ සඳහා අමාත්‍යවරු සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි. අගමැති දිනේෂ් ද සිය නිරීක්ෂණ අවස්ථා තුනකදී ඉදිරිපත් කළේය. පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

"දැන් පොඩි මිනිහට දරාගන්න බැරි විදියට ජල ගාස්තු වැඩි කරන එකට නම් එකඟ වෙන්න බෑ. මේ පානීය-පවිත්‍ර ජලය, අනෙක් කටයුතුවලටත් යොදා ගන්නවා, ඒක ගැන සලකා බලලා නෑ" දිනේෂ් අමාත්‍ය මණ්ඩලයට පෙන්වා දුන්නේය.

"මේ වෙලාවේ, පරිස්සමින් වැඩ කරන්න ඕනේ' තවත් අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

"පවිත්‍ර- පානීය ජලය වෙනත් කටයුතුවලට යොදාගන්න කොට ඒකට වෙනම ගාස්තු ක්‍රමයක් හඳුන්වලා දෙන්න, නව වර්ගීකරණයක් කරන්න, ජල සම්පාදන මණ්ඩලය මේ ගැන කටයුතු කරන්න ඕනෙ" දිනේෂ් යළි හඬ අවදි කළේය.

තවත් අමාත්‍යවරු ඊට එකඟතාව පළ කරමින් කතා කළහ.

විශ්‍රාම වයස 63 කිරීමට දිනේෂ්ගේ අත හිත

ඉතා වැදගත් තීරණයක් ගැනීමට අගමැති දිනේෂ්ගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවකට හැකිවිය. විශේෂිත සේවාවන්ට/තනතුරුවලට අදාළව අනිවාර්ය විශ්‍රාම ගැන්වීය යුතු වයස් සීමාව සලකා බැලීමට මෙම අනු කමිටුව පත්කර තිබූ අතර එහි අනෙකුත් සාමාජිකයන් වූයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන යයි. මෙහිදී විශේෂයෙන් සලකා බැලූයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හිඟවීමෙන් නිදහස් සෞඛ්‍ය මුහුණ දෙන බරපතළ ප්‍රශ්නය පිළිබඳවයි.

"අපි සියලු කරුණු බලලා, විශේෂඥ වෛද්‍ය, සියලුම ශ්‍රේණිවල වෛද්‍ය, දන්ත ශල්‍ය වෛද්‍ය සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය යන කාණ්ඩවලට අයත් අයගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දිගු කිරීමට නිර්දේශ කරනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ 2024.12.31 කාලය තුළ" අගමැති දිනේෂ් වාර්තාව ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කළේය.

"රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට ද මේක අදාළ කරගත්ත එක ඉතා හොඳයි අගමැතිතුමනි, නැත්නම් මේ වෛද්‍ය විශ්‍රාම යාමෙන් ග්‍රාමිය සෞඛ්‍ය පද්ධතිය විශේෂයෙන් බිඳවැටෙනවා" අමාත්‍යවරයෙක් අදහස් දැක්විය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසියේ දිනේෂ් හමුවුයේ ඇයි?

මේ අතර පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ්ව හමුවූහ. වසන්ත යාපා බණ්ඩාර, තිලක් රාජපක්ෂ, කේ.පී.එස්. කුමාරසිරි, උදයන කිරින්ඳිගොඩ, උපුල් ගලප්පත්ති, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, ජයන්ත සමරවීර, ගාමිණී වලේබොඩ, එම්. මුසම්මිල්, චන්න ජයසුමන, කින්ස් නෙල්සන් යන විපක්ෂ මන්ත්‍රීවරු අත්සන් තැබූ සන්දේශයක් එහිදී දිනේෂ්ට භාර දුන්හ.

දළදා පෙරහර සහ විහාර දේවාලගම් පනතෙන් පාලනය වන පිටිසරබද පෙරහර පැවැත්වීම සඳහා අතිරේක වැය ශීර්ෂයක් ලබාදීම සම්බන්ධයෙන් එහි ඉල්ලීමක් කර තිබිණි.

"අපි අපේ උරුමය, සංස්කෘතිය, ආගම දහම වෙනුවෙන් කටයුතු කළ යුතුමයි. මේ ගැන මම විශේෂයෙන් බලනවා"

මහින්දට පිටුපෑවේ කවුද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන සෑම අවස්ථාවකදී ඔහුව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යෑම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

ගුණතිලක රාජපක්ෂ, සම්පත් අතුකෝරාළ, ගාමිණි ලොකුගේ, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් එදින මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මුණගැසීමට පැමිණ සිටීයහ.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා තම කාර්යාලට පැමිණි අතර ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම ඒ සමඟම එහි පැමිණියහ.

චාමර දුටු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා විමසුවේ “මොකක්ද පසුගිය දවස්වල ගෝරියක් දාගත්තා කියන්නේ“.

“නැහැ සර්. එප්පාවල පොස්පේට් නිධිය බලන්න ගිය වෙලාවේ එතන හිටපු සේවකයින් එකතුවෙලා හොරකම් කරපු කෙනෙකුට විරෝධය පළ කළා. ඒක ගැන හරියට දන්නේ නැති අය එක එක වැරදි ප්‍රචාර ගෙනියනවා. කවුරු මොනව කිව්වත් වංචාව, දුෂණය නැතිකරන්න මං කටයුතු කරනවා. සර්,”යනුවෙන් චාමර සම්පත් දසනායක පැවසුවේය.

“මොකක්ද චාමර කළුතර මන්ත්‍රී කෙනෙකුත් එක්කත් පැටලුණා කියන්නේ ”යනුවෙන් විමසුවේ ගාමිණී ලොකුගේය.

“ඒක වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා” යනුවෙන් චාමර සම්පත් පැවසුවේය.

“මං නිසා ඒ මොකක්ද? ඒ කතාව” යනුවෙන් මදක් කුතුහලයෙන් විමසුවේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාය.

“නෑ.සර්, කළුතර අපේ මේ ලලිතයා, ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා සර්ට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මොකක්ද කිව්වා. මං ඌට හොඳටම බැන්නා. සර්ගේ ෆොටෝ එක ගහගෙන ඡන්දෙ දිනලා. ඊට පස්සේ සර්ට දොස් කියනවා. ඔය වගේ වැඩ මට පේන්න බැහැ.” යනුවෙන් චාමර සම්පත් දසනායක පැවසුවේය.

ප්‍රසන්නගේ ආධාරකරුවෝ අරගලකරුවන්ට ශාප කරති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලය පසුගිය ඉරිදා (16) වැනිදා පැවැත්වුණේ උඩුගම්පළ පිහිටි ඇමති ප්‍රසන්නගේ නිවසේය.

මේ සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ගම්පහ පොහොට්ටු පාක්ෂිකයෝ විශාල පිරිසක් ද සහභාගි වුහ.

“ඇමතිතුමා අපිව දාල යන්න එපා. අපි ඔබතුමාගේ තාත්ත එක්ක දේශපාලනය කරපු මිනිස්සු. අඩුම තරමේ සතියකට සැරයක්වත් මෙතෙන්ට එන්න. මෙතන පාළු වෙච්ච තැනක් නෙවෙයි.”

එක් වයෝවෘද්ධ කාන්තාවක ඇමති ප්‍රසන්නගේ දෑත් අල්ලගෙන කීවේ කඳුළු පිරි දෑසිනි.

“භීෂණ කාලේ මගේ ජීවිතේ බේරුවෙ ඇමතිතුමාගේ තාත්තා. එතුමට ඒ පිනම ඇති. මේ බිම මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත රැකපු තැනක් ද ඇමතිතුමා. ගෙවල් ගිනි තියපු එවුන්ට ඒව පඬිසන් දේවි. ” තවකෙකු කීය.

ඇමති ප්‍රසන්න ද හැකි සෑම ආකාරයට පැමිණි සියළුම පාක්ෂිකයන් සමඟ බහ කිරීමට අමතක නොකළේය.

කෙට්ටුවීමේ රහස ප්‍රසන්න හෙළි කරයි

මෙහිදී වීඩියෝ පට දෙකක් ද ප්‍රචාරය විය. එයට රැස්ව සිටි පිරිසගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර හිමි විය.

“දැන් ඉන්නවට වඩා ඒ කාලේ ලස්සනයි නේ” හිටපු ඇමති මහින්දානන්ද කීවේ ඇමති ප්‍රසන්න දෙස බලමිනි.

“ඇත්තටම ඇමතිතුමා, එක සැරේටම කෙට්ටුවුණේ මොකද?” තිස්ස කුට්ටිආරච්චි ඇසීය.

ඇමති ප්‍රසන්න සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

“හිනාවෙන්නේ මොකද? අපිටත් කියන්නකො” තිස්ස කුට්ටිආරච්චි ඉල්ලීය.

“ඒව රාජ්‍ය රහස්.. එහෙම කියන්න බැහැ” ඇමති ප්‍රසන්න සිනාසෙමින් කීය.

“ඒ වුණාට ඇමතිතුමා මහතට ඉන්නකොට තමයි ෆොටෝස්වලට ලස්සන” තිස්ස කුට්ටිආරච්චි යළි පැවසීය.

“ මම දැන් හොඳට එක්ස්සයිස් කරනවා. ඒකයි ඇඟ ටිකක් අඩු. ඇඟ අඩු වෙච්ච එකට වෙන විශේෂ හේතුවක්නම් නෑ” ඇමති ප්‍රසන්න කීවේය.

කෙහෙළියට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සිය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කරනු ලැබීය.

“මේ විදිහට මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක දිගින් දිගටම සෙල්ලම් කරන්න දෙන්න බැහැ. එනිසා අපි මේ තත්ත්වය වළක්වන්න කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන" සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට කීවේය.

"විපක්ෂයේ අනෙක් පක්ෂ සේරම එක්ක කතා කරලා මේ වැඩේ විධිමත්ව කරන්න පටන් ගන්න"

සජිත් මහලේකම් රංජිත් ඇතුළු කණ්ඩායමට වගකීම භාර දුන්නේය.

ඒ අනුව වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ලැබීය.

සජිත් පාර්ලිමේන්තුවේ දී අදාළ විශ්වාසභංගයට සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටියේය. ඔහු කීවේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙස යි. එසේ ම රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජන ජීවිතයේ කඩාවැටීමට හේතුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය

ලන්සාට ගම්පහදී දෙහි කැපුවේ කවුද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයේ නිල කාර්යාලය ඉදිරි සතියේ රාජගිරිය ප්‍රදේශයේදී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ දී විමල්, උදය, ලන්සා, මධුර ඇතුළු මන්ත්‍රී පිරිසක් සහ ඇමති නලින් සුහද කතාබහක නිරත වෙමින් සිටියේ කෝපි කෝප්පයක රස බලමිනි..

මේ අතරවාරයේදී ද නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මන්ත්‍රීවරුන් ලන්සා ගෙන් විමසූහ.

"ඔයා අලුත් වැඩේ ගැන මේ දවස්වල මන්ත්‍රීවරුන්ට කතා කර කර යනවා කියලා මටත් කීප දෙනෙක්ම කිව්වා" විමල් ලන්සා දෙස බලමින් කීවේය

ජනපති, අගමැති සිහින දකින්නේ කවුද?

"ඔව් ඔව් මම කතා කරනවා හැබැයි ඔබතුමා පක්ෂ නායකයෙක් නේ මම ඉතින් ජනාධිපති අගමැති සිහින වල ඉන්න අයට නං කතා කරන්නේ නැහැ "ලන්සා සිනාසෙමින් කීවේය

"කවුද කියන්නේ මම ජනාධිපති අගමැති සිහිනවල ඉන්නවා කියලා, අනේ මට නං එහෙම නෑ. ඔයා කියන විදියට දැන් කවුද ඒ සිහිනවල ඉන්නේ"විමල් කුතුහලයක් දෙමින් ලංසා ගෙන් විමසීය

ලන්සා කියන එම මන්ත්‍රී ලැයිස්තුව දැනගැනීමට ඒ සමඟ සිටි සෙසු මන්ත්‍රීවරුන් ද විමසිල්ලෙන් බලා සිටියහ.

"ඉතිං දන්නේ නැද්ද ඒ අය කවුද කියලා විජයදාස රාජපක්ෂ, රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර වගේ කට්ටිය තමයි ඉතින් ඔය වගේ සිහිනවල ඉන්නේ " යැයි ලන්සා කීවේ මන්ත්‍රී පිරිස දෙසට එන රොෂාන් රණසිංහ ඇමතිවරයා දෙසද බලමිනි

"කට්ටිය ලන්සගේ අලුත් වැඩේ ගැන කතා කරනවා වගේ" රොෂාන් කීවේය 

"නෑ නෑ අපි මේ කතා කර කර හිටියේ ඔබතුමා වගේ ජනපති-අගමැති සිහිනවල ඉන්න අය ගැන" ලන්සා කිව්වේ රොෂාන් ඇමතිවරයා දෙස බලා සිනා සෙමිනි

"ඔව් ඉතින් ඒකෙ වරදක් නෑ නේ අපිත් 2040 හරි ඒ සිහිනවලට යන්න ඕනෑනෙ" නේද ඇමතිතුමා යැයි රොෂාන් කීවේ නලින් ඇමතිවරයාගේ පිටට තට්ටුවක් ද දමමිනි

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයකම ආසන බල මණ්ඩල පිහිටුවීම පැවැතුණි

මේ සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටියේය .

මේ අතරවාරයේදී ද ලන්සාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ඇතැම් මන්ත්‍රීවරුන් කසු කුසු ගාන්නට වූහ.

එම අවස්ථාවේ දී ඉන්දික සහ සරණ ගුණවර්ධන මේ ගැන කියමින් ලන්සාගේ පලු අරින්නට වූහ

එදා කුණු බක්කියට විසි කළ කඩදාසියේ රහස වජිර හෙළි කරයි

දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල පැවැති එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම් සඳහා සහභාගී වී තිබුණු වජිරට මහනුවර දිස්ත්‍රික්කයේ ආසන බලමණ්ඩල රැස්වීම්වලදී ද ඉතා ඉහළ පිළිගැනීමක් ලැබිණි.

වජිර මෙම ආසන බලමණ්ඩල රැස්වීම්වලදී ද ඉතා හරවත් සහ දේශපාලනයේ ඉතිහාස ගමන් මඟ පිළිබඳව ඉතා හරවත් ප්‍රකාශයක් සිදුකළේය.

“අද වනවිට අපේ රටේ සිටින මහජනතාවට පක්ෂ දේශපාලනය එපා වී තිබෙනවා. ඒ නිසයි අපි ලෝකයට ගැළපෙන පරිදි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යන්නේ. එක්සත් ජාතික පක්ෂය සෑම විටම සිතුවේ රටේ අනාගතය ගැනයි. අපේ පක්ෂයේ නායකතුමත් සෑම විටම සිතන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැනයි. එතුමා ලෝකයත් සමඟ ඉදිරියෙන් සිටින නායකයෙක්. එතුමාට ඉදිරිය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.

කොහොම උනත් 2020 මහමැතිවරණය වෙනුවෙන් අපි රටේ ජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. ඒ ලියවිල්ල ජනතාව කියවන්නේවත් නැතිව කුණු බක්කියට විසිකළා. අද ඇතැම් අය අහනවා අපි ක්‍රියාත්මක කරන්නේ මොනවද කියලා. අපි අද ක්‍රියාත්මක කරන්නේ එදා ඔබ ප්‍රතික්ෂේප කළ ලියවිල්ලයි. එහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඉදිරි වසර සඳහා අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද කියලා. අපි යන ගමන් මාර්ගය වෙනස් කරන්න එපා, එහෙම කළොත් රට විශාල අර්බුදයකට ලක්වේවී.”යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

වජිරගේ Facebook එකට ඉහළ ප්‍රතිචාර

කතාවෙන් පසුව රැස්වීමට පැමිණි පිරිස ළඟටම ගොස් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සහ ඔවුන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් කතා කිරීම වජිරගේ පුරුද්දකි. ඒ නිසා මෙම රැස්වීම්වලදී ද වජිර ඒ ආකාරයට පාක්ෂිකයින් අතරට ගොස් ඔවුන් සමඟ කතාබහට එක්විය.

“සර්, ඔබතුමාගේ කතාව හරිම වටිනවා. අමතක වෙලා තිබුණු අතීතය අපිටත් නැවත මතක් වුණා.

සර්, පුළුවන්නම් මේ කතාව මුළු රට වටේම අරගෙන යන්න. ඒක ගොඩක් වටිනවා. හැමෝම දැනගන්න ඕන ඉතිහාසයක් තමයි ඔබතුමා මතක් ක‍ළේ, එක් අයෙක් වජිරට එසේ කියද්දී තවත් අයෙක් වජිරට පැවසුවේ,

“ඇමතිතුමා, ඔබතුමාගේ ෆෙස්බුක් ගිණුම අපි නිතර දෙවේලේ බලනවා. ඒකේ දාන වීඩියෝ නම් බලන්නයි, ෂෙයාර් කරන්නයි නම් අමතක කරන්නේ නෑ. මොකද කිසිම කෙනෙක් කතා නොකරන පැත්තක් තමයි ඔබතුමා කතා කරන්නේ. අපි වගේ තරුණ අය මේ ඉතිහාසය දැනගන්න ඕන. මගේ වයසේ අයම තව ගොඩක් දෙනා මේ රැස්වීමට සහභාගි වෙලා ඉන්නවා. එයාලත් මේ දේවල් දැනගන්න ඕන. එහෙම වුනොත් මම හිතනවා තරුණයින්ට පුළුවන් වෙවී ජනාධිපතිතුමාගේ දර්ශනය ගමට අරන්න යන්න.

අජිත් රාජපක්ෂට දෙපැත්තෙන්ම පැසසුම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ජංගම දුරකතනයට නම් පසුගිය 20 වැනිදා ඉස්පාසුවක් නොවීය.

ඊට හේතුව “නියෝජ්‍ය කථානායකතුමාගෙන් සමාව අයදිමි” යන සිරස්තලය යටතේ එක් ජාතික පුවත්පතක මුල් පිටුවේ පළකරන ලද නිවැරදි කිරීමයි.

එම ප්‍රවෘත්තිය උදෑසන ටෙලිවිෂනයෙන් පත්තර කියවන වැඩසටහනකින් ප්‍රචාරය කිරීමත් සමඟම ඊට ලැබී තිබුණේ ඉහළ ප්‍රසිද්ධියකි.

මේ ගැන විමසමින් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයින් රැසක්ම අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාට දුරකතන ඇමතුම් ලබාදී තිබුණි.

“මං ගැන වැරදි ප්‍රවෘත්තියක් පළකරලා තිබුණා. ඒකට TV ‍එකේ පත්තර කියවන වැඩසටහනකින් ප්‍රසිද්ධියක් දීලා තිබුණා. මං මේ ගැන පුවත්පත් පැමිණිලි කොමිසමටත්, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවත් පැමිණිලි කළා. ඒවයින් කරපු විභාගවලින් අනතුරුව තමයි මේ නිවැරදි කිරීම කරලා තියෙන්නේ” යනුවෙන් අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“ඔබතුමා නම් බොරු ප්‍රවෘත්තිවලට විරුද්ධව, මඩ ප්‍රහාරවලට විරුද්ධ නීත්‍යනුකූලව කටයුතු කරලා එම වැරදි ප්‍රවෘත්ති නිවැරදි කළා. ඒත් අපේ මැති ඇමතිවරුන් හුඟ දෙනෙක් වැරදි ප්‍රවෘත්ති නිසා එක එක අපහාසයන් විඳගෙන ඉන්නවා” යනුවෙන් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ප්‍රකාශ කළහ.

“ඒක තමයි. මටත් හිතාගන්න බැරි. කවුරු හරි වැරදි ප්‍රවෘත්තියක් පළ කළොත් එය නිවැරදි කරගන්න ඕන තරම් අවස්ථා තිබුණත් හුඟ දෙනෙක් ඒවයින් ප්‍රයෝජන ගන්නේ නැහැ” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

Comments