වජිරගෙන් හඳුන්නෙත්තිට ආරාධනාවක් | සිළුමිණ

වජිරගෙන් හඳුන්නෙත්තිට ආරාධනාවක්

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාර්ශ්වික සමුළුවයි.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැඩි කාර්යයබහුලත්වයට පත්ව සිටියේ ඉන්දීය රාජ්‍ය නායකයන් හා විදේශ අමාත්‍යවරුන් ඇතුළු විදෙස් රටවල ඉහළ නිලධාරීන්ගේ හමුවීම් නිසාය.

අගමැති මෝදිගෙන් ජනපති රනිල්ට විශේෂ දිවා ආහාරයක්

ඉන්දීය නිල සංචාරය නිමවා මෙරටට පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහයන් එදිනම අනුරාධපුරය බලා පිටත්ව ගියේ පූජා නගරයේ සංවර්ධන කටයුතු ගැන සොයා බැලීමටය. ලෝක ආර්ථිකයේ පස්වැනි පංගුවේ හිමිකාරයා වූ ඉන්දියාවෙන් ජනපතිට ඒ සංචාරයේදී ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

අගමැති මෝදි ජනපති රනිල්ට දිවා ආහාරයක් ද පිළිගැන්වූවේ දෙදෙනාට පමණක් වෙන්වූ විශේෂත්වයකිනි. අගමැති මෝදි මීට පෙර එවැනි දිවා ආහාරයක් පිළිගන්වා තිබුණේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට පමණකි.

ද්වි පාර්ශ්වීය ගිවිසුම් ගණනාවකට අත්සන් කළ ජනපති රනිල් ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියේ ගෙවුණු සෙනසුරාදා අලුයමය. ජනපති මෙරටට පැමිණි විගස නිලධාරීන්ට උපදෙස් දුන්නේ වහාම පක්ෂ නායක සමුළුවක් කැඳවන ලෙසටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන තීන්දුවක් ගැනීමට පක්ෂ නායකයන් කැඳවීම ජනපතිගේ අරමුණ විය.

අනුරාධපුරයට ගිය ජනපති රනිල් මහාවිහාරීය සංවර්ධන සැලැස්ම සාකච්ඡා කළ අතර ජනාධිපතිවරයා එහිදී විමසූ සමහර ප්‍රශ්නවලට රාජ්‍ය නිලධාරීන් සතුව පිළිතුරු නොවීය. ජනපතිගේ මහාවිහාරීය සංවර්ධන සැලැස්ම පිළිබඳව අටමස්ථානාධිපති හිමි ඇතුළු මහා සංඝ රත්නයේ ප්‍රසාදය හිමි වූහ.

ජනපති හෙළි කළ රහස

ජනපති රනිල් සඳුදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ දෛනික රාජකාරී කටයුතුවලට සම්බන්ධ වීමටය. එදින මැති ඇමතිවරු පිරිසක් මුණ ගැසුණේ ඉන්දීය සංචාරයේ ප්‍රගතිය ගැන කතා කරන්නටය. ජනපති මෙහිදී කවුරුත් නොසිතූ රහසක් හෙළි කළේය. “ලබන සිකුරාදා රෑ ප්‍රංශ ජනාධිපතිතුමා ලංකාවට එනවා.” ජනපති මේ කතාව කියද්දී සැවොම මුහුණට මුහුණ බලාගත්තේ පුදුමය මුසු සතුටකිනි.

“අපි මේකට හොඳ පබ්ලිසිටියක් දෙමු. මොකද ප්‍රංශ ජනාධිපති කෙනෙක් ලංකාවට එන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටනේ.” එහි සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කීවේ ජනපති දෙස බලමිනි.

“නෑ. දැන්ම මේ ගැන අපි කතා කරන්න ඕනේ නෑ. ප්‍රංශ ජනමාධ්‍ය මෙය දැනුම් දුන් පසුව අපි ඒක උස්සගෙන යමු.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ අදහස එය විය.

“මෙතන කාටත් නොපෙනුණ දෙයක් තියෙනවා.” ජනපති කියද්දී සැවොම මුහුණට මුහුණ බලා ගත්තේ කියන්න යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය.

“මම සිකුරාදා ඉන්දියාවේ අගමැතිතුමා මුණ ගැසුණා, ජනාධිපතිතුමියත් මුණ ගැහුණා. මේ සතියේ සිකුරාදා ප්‍රංශ ජනාධිපති මුණ ගැසෙනවා.” ජනපති රනිල් කීවේ නළල රැලි ගන්වමිනි.

ජනපති රනිල්, විදේශ රාජ්‍ය ප්‍රධානීන් හමුවීම් එක දිගට

“ඔව් මේක ඓතිහාසික අවස්ථාවක්. ජනාධිපතිතුමා සිකුරාදා මෝදි අගමැතිතුමා හමු වුණා. ඉරිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියෙක් මුණ ගැසුණා. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මුණ ගැසුණා. බිම්ස්ටෙක් සමුළුවේ මහලේකම් හමුවුණා. සිකුරාදා ප්‍රංශ ජනාධිපති හමු වෙනවා. සෙනසුරාදට ජපන් විදේශ ඇමති හමුවෙනවා. මම හිතන්නේ නෑ ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපති කෙනකුට මේ විදියට විදෙස් රාජ්‍ය ප්‍රධානීන් මුණ ගැසෙන්න අවස්ථාව ලැබුණා කියලා.” සාගල රත්නායක කියද්දී පැමිණ සිටි සැවොම හිස සැලූහ.

එදින සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදී බදාදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව ගැන ද කතා කළේය. එසේම ඉන්දීය මුදල් භාවිතය ගැන මෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන ආකාරය ගැන ද ඇමතිවරු විමසා සිටියෝය. ඊට අදාළ පැහැදිලි කිරීම කරන ලද්දේ අලි සබ්‍රි විදේශ ඇමතිවරයා විසිනි.

හිටපු ජනපතිවරුන්ගේ වියදම්වලට කරන්න යන දේ

මේ අතර ජනපති ලේකම් සමන් ඒකනායක වෙත හිටපු ජනාධිපතිවරුන්ගේ විදුලිය හා ජල බිල්පත් සම්බන්ධයෙන් ලිපි ගොනුවක් ලැබුණේ ටික දිනකට ඉහතදීය.

ඔහු මේ කාරණය ගැන ජනපතිගේ නිර්දේශ මත නීතිපතිවරයාගෙන් උපදෙස් පතා තිබුණි. ඊට අදාළව නීතිපති උපදෙස් ලැබී තිබුණේ අඟහරුවාදා පෙරවරුවේය. හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවතින බවත් ඒ තීන්දුව ප්‍රකාරව ඔවුනට ලබාදිය හැක්කේ නිල නිවසක්, නිල රථයක්, සීමාවකට යටත්ව ඉන්ධන හා ආරක්ෂාව පමණක් බවත් නීතිපතිවරයා කියා තිබුණි. එම උපදේශය ජනපතිට දන්වා හිටපු ජනාධිපතිවරුන් වෙත යොමු කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක කටයුතු ක‍ළේය.

13ට කලින් පළාත් සභා මැතිවරණය තියයිද?

බදාදා සවස ජනපති සර්ව පාක්ෂික සමුළුව පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂ නායකයෝ මෙම අවස්ථාවට සහභාගිවීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියෝය.

මෙහිදී ජනපති සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් 13 වැනි සංශෝධනය ගැන පක්ෂ නායකයන්ගේ ස්ථාවරය විමසා සිටියේය. එහෙත් පක්ෂ නායකයන්ගෙන් විෂයට අදාළව ස්ථාවර මතයක් ප්‍රකාශ නොවූ බැවින් ජනපති කීවේ දෙමළ පක්ෂ හෝ එක ස්ථාවරයකට පැමිණෙන ලෙසය. එම තීන්දුවට ඉඩ වෙන් කරමින් පක්ෂ නායක රැස්වීම අවසන් වූවේය.

සුමන්තිරන්ගේ පරස්පර කතාව

සුපුරුදු ලෙස ජනපති බ්‍රහස්පතින්දා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. ඊට මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටි බැවින් රටේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් ද කතා බහ කෙරිණි.

“පසුගිය මාස හයේ සුමන්තිරන් කරපු කතාබහ සහ සර්ව පාක්ෂික සමුළුවේදි කරපු කතාව බැලුවම එකකට එකක් පරස්පරයි. ඒ අය අතරත් එක මතයක් නැති බව පෙනුණා.” ඇමති ප්‍රසන්න කතාව ආරම්භ කළේය.

“සජබ ලොකුවට කිසිවක් කිව්වේ නැති වුණත් සජිත් ප්‍රකාශයක් කරලා ගියා. හැබැයි එයා කතා කරපු දේවල් කාටවත් තේරුණේ නෑ.

මනෝ ගනේෂන් වැනි අය කතා කළේත් නෑ. වමේ පක්ෂවලින් කොමියුනිස්ට් පක්ෂය ගැන හොඳ අදහසක් දුන්නා.” ඇමති ශෙහාන් කීවේ එවැන්නකි.

“මේක ජනාධිපතිතුමා ඉන්දියාවයි ජාත්‍යන්තරයයි රවට්ටන්න ගහන ගේමක් කියලා තමයි සමහරු කියන්නේ.” ඇමති සියඹලාපිටිය කීවේ ජනපති දෙස බලමිනි.

“එහෙම කරන්න පුළුවන් නම් මට මොනවා කරන්න බැරිද?” ජනපති කීවේ උස් හඬින් සිනාසෙමිනි.

ඉන්දීය සංචාරය ගැන මෙන්ම සතියක් තුළ විදේශ නායකයන් දෙදෙනකු හා විදේශ දූත මණ්ඩල සාමාජිකයන් හතර දෙනකු ජනපති මුණ ගැසීම ගැන ද මෙහිදී කතා බහ කළෝය. සිකුරාදා සවස ජනපති රනිල් කටුනායක ගුවන් තොටුපළේ අති විශේෂ ප්‍රභූ පර්යන්තයේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූවේය.

යසර් අර්ෆත් වසර 10කට පෙර මහින්දට කියපු අනාවැකිය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පසුගිය සතියේ හමුවීමට මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිතවතුන්, රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් පැමි‍ණියේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසටය.

“සර් පලස්තීනයේ ජනතාව වෙනුවෙන් හොඳ කතාවක් පාර්ලිමේන්තුවේදී කරනවා දැක්කා” යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා කීවේය.

“ඔව්. මං හැමදාමත් පලස්තීනය වෙනුවෙන් පෙනී හිටියා.

මං ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍රත්ව සංගමයේ සභාපති හැටියටත් කටයුතු කළා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැවසීය.

“සර්ට පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අර්ෆත් හම්බ වෙලා තියෙනවා නේද? යනුවෙන් විමසුවේ එතන සිටි නිලධාරියෙකි.

“ඔව්. ඔව්. කීප වතාවක්ම හම්බ වෙලා තියෙනවා. 1994 යසර් අර්ෆත් ලංකාවට ආපු වෙලාවේ. මිනිහගේ පරිවාර ඇමතිවරයා වුණේ මම. මං එතකොට ධීවර ඇමති. මාත් එක්ක ඒ වෙලාවේ හුඟක්ම මිත්‍ර වුණා. මට ඒ වෙලාවේ කිව්වා, උඔ තව අවරුදු 10-15ක් යනකොට ලංකාවේ නායකයා වෙනවා කියලා. ඊට අවුරුදු 10කට පස්සේ 2004 මම අගමැති වුණා. 2005 දී මං ජනාධිපති වුණා” යනුවෙන් මඳක් සිනහසෙමින් අර්ෆත්ගේ අනාවැකිය සත්‍ය වූ හැටි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නිමල් ලාන්සාට පෝලිමට ඇමතුම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී පිරිසක් එක්ව ගොඩනඟන ලද නව සන්ධානයේ කාර්යාලය රාජගිරියේ ලේක් ඩ්‍රයිව් නො 118 ස්ථානයේ විවෘත කිරීමත් සමඟ එහි වතගොත සෙවීම සඳහා බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවකි.

එම නිසාම රාජපක්ෂ පවුලේ මෙන්ම එම කඳවුරේ ප්‍රබලයන්ද මෙම වැඩපිළිවෙළ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව වාර්තා වේ.

එහි ආසන්නතම සිදුවීම වූයේ පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට රාජපක්ෂ පවුලේ ඥාතීන් දෙදෙනකු පැමිණ මෙම නව සන්ධානයට උදව් කරන ප්‍රධාන පුද්ගලයකු ඉන් ඉවත් කර දෙන ලෙස ඉල්ලා තිබීමයි. එහෙත් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම ද විශේෂත්වයකි.

තත්ත්වය එසේ තිබියදී නව සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ද පසුගිය සතිය වඩාත් කාර්යබහුල විය. ඊට හේතුව වූයේ නව දේශපාලන වැඩපිළිවෙළ ගැන විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කිරීමයි.

නව සන්ධානයේ මංගල රැලිය ජනවාරි 19 වැනිදා

මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, පියංකර ජයරත්න ඇතුළු පිරිසක් පසුගියදා ප්‍රවාහන අමාත්‍යංශයේදී හමුවී නව සන්ධානයේ මංගල රැලිය ලබන වසරේ ජනවාරි 19 වෙනිදා පැවැත්වීම ගැන සාකච්ඡා කර තිබේ. ඒ වන තෙක් මේ ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය.

රනිල් හා ලාන්සා අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ නිමල් ලන්සා අතර විශේෂ හමුවක් පසුගිය සඳුදා පැවති අතර එහිදී ලන්සා මේ ගැන ජනාධිපතිවරයා ද දැනුවත් කළේය. නව වැඩපිළිවෙළට සම්බන්ධ වීම සඳහා පොහොට්ටුව ගැන කලකිරුණු බිම්මට්ටමේ සමහර මන්ත්‍රීවරුන් මේ දිනවල ලන්සාගේ සහ කණ්ඩායමේ සෙසු මන්ත්‍රීවරුන්ගේ දුරකතනවලට කතා කරයි. විපක්ෂයේ ප්‍රබල දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් ද නව සන්ධානය ගැන විමසමින් ලන්සාට දුරකතන ඇමතුම් ලබා දුන් අතර ඉදිරි සතියේ ඔවුන් හමුවීමට ලන්සා ඇතුළු මන්ත්‍රී පිරිස සූදානමින් සිටී.

මේ අතර හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර හමුවීමට හිටපු ආයතන ප්‍රධානීන් කිහිපදෙනකු පැමිණියේ අලුත් සන්ධානය ගැන දැන ගැනීමටය.

"ඇත්තද ඔබතුමා අලුත් සන්ධානෙන් කොළඹට ඡන්දෙ ඉල්ලන්න හදනවා කියන්නේ" හිටපු සංස්ථා සභාපතිවරයකු විමසීය.

"ඔව් සභාපතිතුමා දැනට මම ඒ වැඩපිළිවෙළ හදාගෙන යනවා. වත්මන් දේශපාලන රටාව දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා. ඒකයි අපි මිනිස්සු බලාපොරොත්තු වෙන වෙනසකට යන්න හදන්නේ' සුගීෂ්වර කීවේය.

වජිර, හඳුන්ට අතවනයි

“නෙත් FM ගුවන් විදුලියේ “පත්තර මල්ලී” වැඩසටහනට වසර 25ක් සපිරීම වෙනුවෙන් එම වැඩසටහන මෙහෙයවන නුවන් ලියනගේ මාධ්‍යවේදියාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය 25 වැනි අඟහරුවාදා පැවැත්වුණේ කොළ ජාතික ලේඛනාරක්ෂක සම්මන්ත්‍රණ ශාලාවේදීය.

ආණ්ඩු පක්ෂයේ, විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් රැසක් වාගේම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම උත්සවයට පැමිණියේ එකටය.

උත්සව ශාලාවට පැමිණෙන විදුලි සෝපානයේ ඔවුන් කතාබස් කරමින් පැමිණි අතර ශාලාවට පැමිණෙන ආරාධිතයන් "පත්තර මල්ලී" ”පසුතලයේ සිට ඡායාරූපයක් ගත යුතුව තිබුණි.

ඊට මුලින්ම ආරාධනාව ලැබුණේ වජිරටය.

තමන් සමඟ එකට පැමිණි සුනිල් හඳුන්නෙත්ති දෙස බැලු වජිර මෙසේ කීවේය.

“හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මාත් එක්කම ෆොටෝ එක ගහන්න එන්න” යනුවෙන් එක්වරක් නොව දෙවරක්ම වජිර විසින් ආරාධනා කරන ලදී.

“බුදු අම්මෝ මට නම් බැහැ” යනුවෙන් පසෙකට වෙමින් සුනිල් හඳුන්නෙත්ති පිළිතුරු දුන්නේය”

“ඒ මොකද? යනුවෙන් වජිර විමසීය.

“ඔබතුමන් එක්ක මෙතන එකට ෆො‍ටෝ එක ගහලා.

ඒක පත්තරවලයි. මාධ්‍යවලයි, ෆේස්බුක් එකෙයි ගියාම නියමෙට තියෙයි” යනුවෙන් මඳක් සිනහසෙමින් සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

“ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අලියට එකතුවෙලා කියලා ප්‍රචාරය යයි” යනුවෙන් එතන හිටපු මාධ්‍යවේදියෙකු කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.

ප්‍රසන්න ආරක්ෂක උපදෙස් නොතකයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල පිහිටුවීම මේ දිනවල සිදුවන්නේ ගම්පහ දිස්ත්‍රික් නායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි.

මේ සියලුම බල මණ්ඩල රැස්වීම් සඳහා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි සෙනඟක් සහභාගී වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් නායක, ඇමැති ප්‍රසන්න සිටියේ දැඩි සතුටකිනි. සෑම බලමණ්ඩල රැස්වීමකදීම ඇමැති ප්‍රසන්න ජනතාව අතරට ගොස් සුහදව කතාබහක නිරතවන්නට ද අමතක නොකළේය.

එලෙස හිතුමතේ ජනතාව අතරට නොයන ලෙසට ඇමතිවරයාට ආරක්ෂක නිලධාරීන්ද උපදෙස් දී තිබුණි. එහෙත් ඇමතිවරයා සිය ආරක්ෂක නිලධාරීන්ට පවසා තිබුණේ “ගම්පහ මිනිස්සු මාව රකිනවා. ඒ නිසා බය වෙන්න එපා” යනුවෙනි. “මිනිස්සු නැතිවෙයි කියල මම නම් බයේ හිටියේ” මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී මන්ත්‍රී උපුල් මහේන්ද්‍රගේ කනට කෙඳිරීය. “මොකද දෙන්න රහස් කතා කරන්නේ” එය දුටු ඇමති ප්‍රසන්න ඇසීය.

“නෑ.. සර්.. මම හිතුවේ අපේ රැස්වීම්වලට සෙනඟ නැති වෙයි කියල. හැබැයි හිතුවට වඩා සෙනඟ ඉන්නවා. මම ඒක ගැන කිව්වේ.” කෝකිලා කීය. “අපිට සෙනඟ ඉන්නවා. පහුගිය කාලේ අපි ගමට බැස්සේ නැති නිසා අනිත් රැස්වීම්වලට සෙනඟ වැඩියි වගේ පෙනුණා. දැන් අපි ගේමේ ඉන්නේ. සෙනඟත් ගේමේ ඉන්නේ. මේ ගේම් එක නතර කරන්නේ අපි දිනලමයි” ඇමති ප්‍රසන්න කීවේ තිර හඬිනි.

ජනපති අපේක්ෂක ගැන ප්‍රසන්න කීවේ මොනවාද?

“ඒක ඇත්ත. අභියෝගය අභියෝගයක් වෙන්නේ අපි අභියෝගයට බය වෙලා ඉන්නකම් විතරයි.” ඇමතිනී පවිත්‍රා ද කතාවට හවුල් විය.

“අපි බය නෑ... ඒකනේ රැස්වීම් තියන්නේ. දැන් මාලිමාවට, සජිත්ට ඇඩ්‍රස් නෑ. ඡන්දය තිව්වත් පොහොට්ටුව ගොඩ.” ඒ මන්ත්‍රී මිලාන් ජයතිලකය.

“ඔය කෑ ගහන අප්පුහාමිලාගේ කයිවාරුව විතරයි. අපිට පාර්ලිමේන්තුවෙදි හම්බවෙලා ඒ අය කියන දේවල් දන්නෙ අපි විතරයි.” ඇමති ප්‍රසන්න රහසක් හෙළි කළේය.

තානාපතිවරුන් 12ක් සජිත් හමුවූයේ ඇයි?

රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ජාවක් කොළඹදී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.

සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

"චේතනාන්විතව මැතිවරණ කල් දැමීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජන එල්ල වෙලා තියෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටකට මැතිවරණ ඉතාමත්ම අත්‍යවශ්‍යයි"

සජිත් කීවේය.

" පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල් ගිහිල්ලා. මේක හරිම බරපතළ තත්ත්වයක්."

ඩලස් අලහප්පෙරුම කීවේය.

"ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉතාම වැදගත්" ජී.එල්. පීරිස් කීවේ එවැන්නකි.

"රජය ප්‍රජාතන්ත්‍රවාදය ⁣අමු අමුවේ කෙලෙසනවා. ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි රජය දක්වන අකාර්යක්ෂමතාවය ඉතාම කනගාටුදායකයි. දූෂණ විරෝධී ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ නීති සම්පාදනය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක් තියෙනවා

ගයන්ත කරුණාතිලක සහ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසූහ.

මේ සඳහා විශේෂ විදෙස් නිලධාරීහු බොහොමයක් සහභාගී වූහ. " දූෂණය පිටු දැකීම සදහා පනත් රැසක් සම්මත කර ගනු ලැබුවත් දූෂණ වංචා තවමත් අවසන් නෑ. ඒ විතරක් නෙවේ, රටින් සොරකම් කළ මුදල් නැවත ලබා ගැනීමට සුදුසු ආකාරයක් සකස් කර නෑ. නමුත් අපි සතුව ඒකට වැඩපිළිවෙළක් තියෙනවා" සජිත් පැවසීය.

වජිර කලවානේ

එක්සත් ජාතික පක්ෂයේ නව බලමණ්ඩල පිහිටුවීම සඳහා වූ තවත් එක් රැස්වීමක් පසුගිය ඉරිදා සවස කලවාන නගරය මධ්‍යයේ සංවිධානය කර තිබුණි. නියමිත වේලාවටම රැස්වීම තිබූ ස්ථානයට පැමිණි වජිරට මෙහිදීද ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි විය. බෙරකරුවන් විසින් බෙර ගසන අතරතුර පැමිණ සිටි එජාප පාක්ෂිකයන් විසින් මල් මාලා දමා වජිරව පිළිගත්තේ, “අපේ අනාගත අගමැතිතුමාට ජයවේවා” යැයි පවසමිනි.

වජිර සමඟ මෙම රැස්වීමට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ද සහභාගි වී සිටියහ. 

පිළිවෙළින් රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මුහන්දිරම්ගේ ඉන් අනතුරුව සමන් රත්නප්‍රියත් සභාව ඇමතීමෙන් පසු වජිරට සභාව ඇමතීමට අවස්ථාව උදාවිය.

“අද මෙම රැස්වීම සඳහා විශාල ජනතාවක් සහභාගීව සිටිනවා. ඒ අය අතර විවිධ මත දරන අය ඉන්න පුළුවන්, විවිධ පක්ෂවලට අයත් කණ්ඩායම් ඉන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. මොකද අපිට ඒ සියලුදෙනාම අවශ්‍යයයි.

කලවාන රෝහලේ අඩුපාඩු සපුරාලීමට වජිර මැදිහත් වෙයි

වජිරගේ කතාවෙන් පසුව ජනතාව අතරටම ගොස් ජනතාවට ඇති ප්‍රශ්න ගැන කතා කිරීමත්, ඔවුන් වජිරට ලබාදීමට ගෙනා ලියුම් එකතු කිරීමත් වජිරගේ පුරුද්දක් විය. මෙම ක්‍රියාවට ජනතාවගෙන් වජිරට ලැබුණේ ද ඉහළ ප්‍රතිචාරයකි.

රැස්වීමේ වැඩකටයුතු ඉවර වීමෙන් පසු රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මුහන්දිරම් විසින් වජිරට යෝජනා කළේ කලවාන මූලික රෝහලේ පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳ සොයා බැලීම සඳහා යාමටය.

එය පිළිගත් වජිර හසිතව තම රථයට නංවාගෙන කලවාන රෝහල වෙත පැමිණියහ. වජිර රෝහලට පැමිණෙන බව දැනගන්නට ලැබුණු රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් වන චන්දන මුරගේ ඉදිරියට පැමිණ සිටියේය.

රෝහල් අධිකාරීතුමන් සමඟ අඩුපාඩු සාකච්ඡා කරමින් වජිර පැවසුවේ

“ඔව් මම ඒ ගැන බලන්නම්, මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්වත් දැනුවත් කරන්නම්., යැයි කියාය. ඒ අතර වජිර රෝහලේ මේ වන විට ඉදිකිරීම් කටයුතු නතර වී තිබෙන ගොඩනැගිල්ල බැලීම සඳහා ද ගියේය.

මළ ජුලියක් ගැන අජිත් රාජපක්ෂ කීවේ මොනවාද?

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර කතාබහක් සිදුවූයේ පාර්ලිමේන්තුවේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලයේදීය.

මධුර විතානගේ, ගුණතිලක රාජපක්ෂ, සුදර්ශන දෙනිපිටිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එම සාකච්ජාවට එක්ව සිටියේය. දේශපාලන කරුණුවලින් අනතුරුව අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ ජූලි මාසයේ ඉතිහාසයේ සිටම සුවිශේෂී දේශපාලන සිදුවීම් සිදුවී ඇති බවයි. “අපි පොඩි කාලේ 80 ජූලි මහා වැඩවර්ජනය ආවා. 83 ජූලි කලබල ඇති වුණා.

ඉන්දු - ලංකා සාම ගිවිසුම අත්සන් කළේ 1987 ජූලි මාසයේදී. විජිත රෝහණ නාවික සෙබළා ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි මහත්තයට ගැහුවෙත් ඒ ගිවිසුම අත්සන් කරන්න ආපු වෙලාවේ” යනුවෙන් අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය. “ඇයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රටින් යන්න වුණෙත් ගිය අවුරුද්දේ ජූලි 09” යනුවෙන් පැවසුවේ ගුණතිලක රාජපක්ෂය.

“ඇයි. මේ ‍පාර්ලිමේන්තුව ගිනි තියන්න අරගල කරපු කට්ටිය ආවෙත් ගිය අවුරුද්දේ ජුලි 13 වැනිදා” යනුවෙන් මධුර විතානගේ ප්‍රකාශ කළේය.

“බලන් යනකොට ජූලි 07 යි, මළ ජූලියයි කියන කතාව හරි” යනුවෙන් සිනහසෙමින් පැවසුවේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයායි.

Comments