මෙරට ගැබිනියන්ගෙන් 14%කට ගැබිනි සමයේ දියවැඩියාව | සිළුමිණ

මෙරට ගැබිනියන්ගෙන් 14%කට ගැබිනි සමයේ දියවැඩියාව

සෑම යුවතියකම ව යස අවුරුදු 18න් පසු අනාගතයේදී තමා දියවැඩියා රෝගයට ‍ෙගාදුරු වීමේ හැකියාවක් ඇත්දැයි විමසිලිමත් විය යුතුය. දෙමවුපියන් හෝ පවුලේ ඥාතීන් අතර දියවැඩියා රෝගීන් සිටීම, අධික බර හෝ ස්ථුලතාවෙන් පෙළීම අනාගතයේදී දියවැඩියාවට ගොදුරු විය හැකි බවට ඉඟි කරන ප්‍රධාන සාධක වේ.

2016 කොළඹ ප්‍රකාශනයට අනුව ගැබිනි සමයේ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස මාර්තු මස දහවැනිදා නම් කරන ලදි. ඒ අනුව ලොව පුරා රටවල් රැසක් මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ගැබිනි සමයේ දියවැඩියාව හා ඉන් වළකින ආකාරය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වති.

ගැබිනි සමයෙහි ඇති වන සංකූලතා අතරින් 10 - 15% අතර ප්‍රමාණයක් හට ගන්නේ දියවැඩියාව හේතුවෙනි. ගැබිනි සමයෙහි ඇති වන දියවැඩියාව මවට මෙන් ම කලලයට ද, ඉපැදෙන දරුවාට ද විවිධ ‍රෝගාබාධ ‍ඇති කිරීමට හේතු වෙයි. ගැබිනි මවක තමා දියවැඩියාවෙන් පෙළෙන බව නොදැන සිටීමෙන් හෝ දැන නිසි පරිදි වෛද්‍ය උපදෙස් නොපිළිපැදීමෙන් ඇතැම් විට ගබ්සා, අඩු බර දරු උපත් මෙන් ම මව් මරණ ද සිදු වීමට ඉඩ තිබේ.

ගැබිනියක වීමට පෙර සිටම දියවැඩියා රෝගයෙන් වළකින්නට කාන්තාවනට හැකි වේ. සෑම යුවතියකම ව යස අවුරුදු 18න් පසු අනාගතයේදී තමා දියවැඩියා රෝගයට ‍ෙගාදුරු වීමේ හැකියාවක් ඇත්දැයි විමසිලිමත් විය යුතුය. දෙමවුපියන් හෝ පවුලේ ඥාතීන් අතර දියවැඩියා රෝගීන් සිටීම, අධික බර හෝ ස්ථුලතාවෙන් පෙළීම අනාගතයේදී දියවැඩියාවට ගොදුරු විය හැකි බවට ඉඟි කරන ප්‍රධාන සාධක වේ. සෑම යුවතියකම තම උසට සරිලන බරක් පවත්වාගැනීම, ව්‍යායාමවල යෙදීම හා සමබල පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීමෙන් අනාගත දියවැඩියා අවදානමෙන් මිදෙන්නට වගබලා ගත යුතුය. විවාහයට පත්වන සෑම යුවළක් ම දරුවන් ලබන්නට පෙර තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ දැයි පරීක්ෂා කර ගැනීම ද වැදගත්ය. එසේ වූ කල මවට ගැබිනි සමයෙහි දියවැඩියාවෙන් වැළකීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත හැකිය.

2007 වසරේ සිදු කරන ලද ජාතික දියවැඩියා සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10.3%ක් දියවැඩියාවෙන් පෙළෙන බව හෙළි වී තිබේ. මෙරට ගැබිනියන් අතරින් 7 - 10% අතර ප්‍රමාණයක් දියවැඩියාවට ගොදුරු වන අතර ඔවුන්ගෙන් 70%ක් ම ගැබිනි සමයේ දියවැඩියාවෙන් පෙළෙන්නන් බවද හඳුනාගෙන තිබේ. මවගේ රුධිරයෙහි සීනි මට්ටම ඉහළ යෑම ගැබිනි සමයේ දියවැඩියාවට හේතු වේ. වැදෑමහේ සෑදෙන හෝර්මෝන නිසා මවගේ සිරුරෙහි ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වීමෙන් මෙම තත්ත්වය ඇති වේ. ගැබිනි සමයේ දියවැඩියාවට ගොදුරු වන මවුවරුන් බොහෝ විට ඉදිරි වසර 4 - 5 ඇතුළත දියවැඩියාවට ගොදුරු වේ. වර්තමානය වන විට මෙරට ජනගහනයෙන් 15%ක් පමණ දියවැඩියාවට ගොදුරු වී සිටිති. 2015 දී නාගරික දිස්ත්‍රික්කයක ගැබිනි සමයේ දියවැඩියාව 14%ක් වන බව සොයාගෙන තිබේ.

ගැබිනි සමයේ දියවැඩියාව ඇති වන්නේ ගර්භයට මාස පහක් හයක් ගතවූ පසුවය. සාමාන්‍යයෙන් දරු උපතින් පසුව දියවැඩියා තත්ත්වය පහව යයි. එහෙත් පමාවී හැදෙන දියවැඩියාව හේතුවෙන් දරුවා කුස තුළ මිය යාමට ඇති ඉඩ වැඩිය. ඇතැම්විට වැදෑමහේ වෙනස්වීම නිසා හිස කුඩා දරුවකු බිහි වීමටද ඉඩ තිබේ. ගර්භතරලය වැඩි වේ. දරුවා ප්‍රමාණයෙන් විශාල වේ. පසු කලෙක මෙවැනි දරුවෝ ද දියවැඩියාවට ගොදුරු වෙති. ඛනිජ ලවණවල ගැටලු හේතුවෙන් දරුවා කහපැහැ ගන්නට පුළුවන.

උපතේදී ම ඇති වන හෘදය වස්තුවේ ආබාධ ඇතුළු සංජානනීය ආබාධවලට දරුවා ගොදුරු වේ. මවට අධික රුධිර පීඩනය, විෂබීජ ආසාදන තත්ත්ව හා සිසේරියන් සැත්කම්වලට යොමු වීමට සිදු විය හැකිය.

මළ දරු උපත් හෝ ආබාධ සහිත දරුවන් ඉපදීමේ හැකියාවද තිබේ. මෙවැනි භයානක ප්‍රතිඵල දෙන ගැබිනි සමයේ දියවැඩියාව වළක්වා ගැනීම සඳහා යොවුන් වියේ සිටම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම වටී. ඒ සඳහා යොවුන් වියෙහි පටන් ම සීනි සහ පිටි අධික ආහාර පාලනය කිරීම හා පෝෂ්‍යදායී ආහාර රටාවකට යොමුවීම සුදුසුය. දිනකට මිනිත්තු 30 බැගින් කය වෙහෙසා ව්‍යායාමයක යෙදීම, මත්ද්‍රව්‍ය දුම් ඉරීම වැනි අහිතකර චර්යාවන්ගෙන් වැළකී සිටීම ද යෝග්‍ය වේ.

ඔබ මවු පදවිය අපේක්ෂා කරන්නේ නම් දරුවා පිළිසිඳ ගන්නට පෙරත් ගැබිනි සමයේ මුල් සති දොළහ ඇතුළතත් රුධිරයෙහි සීනි මට්ටම පරීක්ෂා කරගන්න. නැවත මාස 6 - 7 (සති 24 - 28) කාලය තුළ රුධිර පරීක්ෂාවක් කරගත යුතුය.

ගැබිනි සමයේ දියවැඩියාව තිබුණේ නම් ප්‍රසූතියෙන් පසු මුල් මාස තුන ඇතුළත ද ඉන්පසුව වසරකට වරක් ද දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගැනීම වඩා සුදුසුය. 

කාසල් වීදියේ කාන්තා රෝහලේ
ප්‍රසව හා නිරිවේදය පිළිබඳ විශේෂඥ
වෛද්‍ය ගාමිණී පෙරේරා

Comments