සංස්කෘතික නෑදෑකමින් හිත් හැදූ නියමු තරුව | සිළුමිණ

සංස්කෘතික නෑදෑකමින් හිත් හැදූ නියමු තරුව

 මහාචාර්ය මෞනගුරු සමඟ දශක තුනකටත් අධික කාලයක් සමීපව ඇසුරු කරන්නට ලැබීම භාග්‍යකි. අපගේ මිත්‍ර බන්ධනයට මූලික පදනම වැටුණේ පොදු මහත් ශ්‍රි ලාංකික ජන ජීවිතය පිළිබඳව අප දෙදෙනා දරන අදහස්වල කිසියම් සාම්‍යයක් පැවතීමය. සාමකාමි ලෙස ජීවත් වන්නට කැමති දිවිපෙවෙතකට පෙම් බැඳීමත්, කාලය සමග අනවරත ලෙස වඩ වඩා විශාල වන ජීවිතයත්, සෙසු ලෝකයත් ගවේෂණය කරන්නට ඇති කැමැත්ත මීට හේතු වන්නට ඇත. මිනිසුන් වුවත් අපට ජීවත් වන්නට හා වැඩ කරන්නට සිදුවී ඇත්තේ සාමකාමි නොවන, ජීවිතයට ආදරය නොකරන සහ අපගේ ලෝකය වඩ වඩා හකුළුවන්නට තැත් කරන මිනිසුන්ගෙන් අප උපන් රමණීය රට පිරී තිබෙන කාලයකය. එය දුෂ්කර කාලයකි. එවැනි කාලයක හිස කෙළින් තබා ගෙන ජීවත් වීමේ හා අර්ථාන්විත ජීවිතයක් ගත කිරීමේ නැති නම් සතුටින් සිටීමේ අභියෝගය භාරගන්නට අපට සිදු විය. එය එක් අතකින් අතිශය දුෂ්කර අභියෝගයකි. මිතුරු මෞනගුරු එම අභියෝගයන්ට ඉතා සාර්ථකව මුහුණ දී ජීවිතයේ සැඳෑ සමයට එළඹ සිටියි. එනිසා ඔහුට තමා මෙතෙක් පැමිණි දීර්ඝ ජීවන චාරිකාව දෙස තෘප්තියෙන් බලන්නට හැකියාවක්ද, විවේක ගන්නටද සාධාරණ අයිතියක් ද ඇත්තේය. එනමුත් මල් පොකුරු මැද විවේක ගන්නවාට වඩා ඔහු ඉදිරිය ගැන අපේක්ෂාවෙන් කල්ගෙවන බව දනිමි. ඇත්තෙන්ම මෞනගුරු සන්තුෂ්ටියෙන් පිරි මිනිසෙකි.

මහාචාර්ය මෞනගුරු දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට නාට්‍ය හා රංග කලාවේ අභිවෘද්ධිය පිණිස සාමකාමී හා සහජිවනයෙන් පිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසාද කලා කරුවෙක් වශයෙන් මෙන්ම විද්වතකු ලෙස අපරිමිත සේවයක් සිදු කර ඇත. අඩ සියවසකට පමණ පෙරාතුව පේරාදෙණිය විශ්වවිද්‍ය­ාලයේ ශිෂ්‍යයකුව සිටියදී මහාචාර්ය සරච්චන්ද්‍ර සහ මහාචාර්ය විද්‍යානන්දන් යන විද්වතුන් දෙපළ සෙව‍ෙණ් වැඩුණු ඔහු, එහිදී මානවවාදී කලාව ආශ්‍රය කොටගනිමින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දෙමළ ජන නාට්‍ය කලාවන් හැදෑරීමට යොමුවිය. නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රයකොට පැවතුණු කුත්තු රංග කලාවේ සම්පත් ඔහුගේ අද්‍යතන පර්යේෂණ සහ නිර්මාණ ව්‍යායාමයන් සඳහා දායක කර ගත්තේය. නූතන නාට්‍ය හා රංග කලාවේ මානවවාදී අභිප්‍රායන් සපුරා ගැනීම උදෙසා සම්ප්‍රදායික රංගන විධික්‍රමයන් මෙන්ම විශ්ව රංග කලාවේ විධික්‍රමයන් එකසේ යොදාගනිමින් ඔහු කළ පර්යේෂණයන් ශ්‍රී ලාංකේය රංග කලාවට ඔහු තිළිණ කළ අගනා දායාදයකි. නූතන මනසකින් හෙබි හෙතෙම සම්ප්‍රදාය මැනවින් හඳුනන විශිෂ්ටතම ශ්‍රි ලාංකික කලාකරුවෙකි.

ඔහු නිෂ්පාදනය කළ 'රාවනේසන්' නාට්‍යය යුද්ධයේ ඝෝර විපාක සමාජයට ගැඹුරින් දනවමින් සාමය උදෙසා හදවත් උත්ප්‍රේරණය කරන්නාවූ ප්‍රභල නූතන දෘශ්‍ය කාව්‍යකි. දෙමළ රංග වේදිකාව ලබාගත් එම ජයග්‍රහණය ඔහුට පෙර ගමන් ගිය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහල වේදිකා ජයග්‍රහණ සමග පහසුවෙන් සමාන්තර තලයක එකට තැබිය හැකිය. සරච්චන්ද්‍රගෙන් උත්ප්‍රේරණය සහ ආශීර්වාදය ලැබූ මෞනගුරු කරුණු දෙකක් සම්බන්ධයෙන් සරච්චන්ද්‍ර අතික්‍රමණය කරණු දැකිය හැකිය.

අද්‍යතන ජීවිතයේ ප්‍රශ්න ගැන රංග කලාව ‘කරදර’ නොවිය යුතු ‘ යැයි ද , එය විසින් කළයුත්තේ ‘සනාතන සහ සර්වභෞමික’ ගැටලු පිළිබඳව උනන්දු වීම පමණක් යැයි ද ලිබරල් මානව වාදී කලාකරුවෙකු වූ සරච්චන්ද්‍ර විශ්වාස කළේය. එහෙත් මෞනගුරු සිය ගුරුවරයා වූ මහචාර්ය විද්‍යානන්දන් සමග එකඟ වෙමින් කලාව අද්‍යතන ජීවිතය තුළට දැනුවත්ව මැදිහත් විය යුතු යැයි සිතා කටයුතු කළේය. ඔහුගේ 'රාවනේසන්' කලින් කලට නැවත නැවත අලුතින් නිෂ්පාදනය වීම පසුපස ද ඇත්තේ මේ සංකල්පනාවය. එමෙන්ම නැගෙනහිර පළාතේ කූත්තු ජන රංග සම්ප්‍රදායයන් සිය නිර්මාණ මූලාශ්‍රයක් ලෙස සරච්චන්ද්‍ර භාවිතා කළත් ඔහුට එය වැඩි ගැඹුරකින් අල්ලා ගැනීමට හැකි නොවුණේ ප්‍රකට සංස්කෘතික සීමාවන් නිසාය. එහෙත් මෞනගුරු හට තමා හැදුනු ඩැඩුනු පළාතේ සම්ප්‍රදායයන් පත්ලටම කිමිදී සාර්ථක ප්‍රතිඵල නෙළා දෙන්නට හැකිවිය. මෙලෙස දශක කිහිපයක් තුළ නිෂ්පාදන කිහිපයක් ඔස්සේ ගෙනගිය රාවනේසන් නාට්‍යය උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ ද හද මනස කලඹමින් අදත් ජනරංජනය කරති.

තරුණ වියේ සිටම මහාචාර්ය මෞනගුරු සිංහල විද්වතුන් සහ කලාකරුවන් සමග ඉතා සමීපව ප්‍රතිපලදායි සම්බන්ධයක් වර්ධනය කරගත්තෙකි. මේය අද විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, මේ වූ කලී දෙන ලද දුෂ්කර සංදර්භය තුළ එක්තරා ආකාරයක සංකීර්ණ සහ අමාරු දේශපාලන අභියෝගයනු වූ හෙයිනි. මන්දයත්, දෙමළ ජනයාගේ ස්වයංනිර්ණ අයිතිය සහ ආත්ම ගෞරවය වෙනුවෙන් කැපවුණු දෙමළ විද්වතකු ඒ හා සමානව සාමකාමි ශ්‍රී ලංකාවක් සඳහා සිංහල ජනයා සමග එකට වැඩකළ යුතු යැයි සිතීම අන්ත දෙකකින් බැටකෑමට ලක් කරන කරුණක් වන නිසාය. එහෙත් ඔහු නොකඩවා, ඉතාම දුෂ්කර කාලවලදී පවා දකුණේ ප්‍රගතිශීලි කලාකරුවන් සමග සම්බන්ධකම් පැවත්වීය, එකට වැඩ කළේය . මේ අතර ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල යනාදීන් සමග ඔහුගේ කිට්ටු සම්බන්ධය ගැන සඳහන් කරනු වටී.

යුද්ධය ආරම්භ වන්නට පෙර ආචාර්ය ධර්මසේන පතිරාජ, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න යාපනය විශ්වවිද්‍යාලයයේ සේවය කරන සමයේ තරුණ මෞනගුරු දෙපළ (මහචාර්ය කෛලාසපති සහ ඔහුගේ බිරිය) සමග සමීප ඇසුරක් පැවැත්වූ බව මෙහිදී සිහපත් කිරීමට කැමැතිය. පතිරාජ ශ්‍රී ලංකාවේ ප්‍රථම දමිළ සිනමා පටය ‘ පොන්මනී’ නිර්මාණය කිරීම සඳහා උනන්දු වන්නේ මේ හිතෛෂී සහ බුද්ධිමය වශයෙන් පොහොසත් පරිසරය මත සිට ගෙනය. තරුණ මෞනගුරු සහ ඔහුගේ බිරිය චිත්‍රලේඛා දෙපළ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර, අදත් ඔවුන් ඒ ගැන සිහි කරන්නේ මහත් සතුටිනි. ඉතා අමාරු කාලයක ධර්මසිරි මෞනගුරුගේ ‘රාවනේසන් ‘ යන විශිෂ්ට වේදිකා රංගය කොළඹට ගෙනවුත් පෙන්වමින් සිංහල සම්භාවනීය - නූතන නාට්‍ය කරුවා වන මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය යුග්මය වන මනමේ සහ සිංහබාහු වේදිකා නිර්මාණ තුළ අඩංගු ‘දෙමළ ‘ මුල් ගැන කතිකාවක් දකුණේ ජනනය කරන්නට වෑයම් කළේය. පරාක්‍රම ගේ ජනකරළිය සමග ඔහු නොයෙකුත් නිර්මාණශීලී ගනුදෙනුවල නිරත විය. මේ රංගධරයන් දෙදෙනා එකතුව නිර්මාණය කළ ‘මැටි කරත්තය’ නම් ප්‍රකට සංස්කෘත නාට්‍යයයේ දෙමළ නිෂ්පාදනය ඉතා අනගි නිර්මාණයක් වූ බව ද මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි.

2015-2016 කාලය තුළ ඔහු සමග එකතුව වැඩකටයුතු කරන්නට මට අවස්ථාව උදාවිය. ඒ කෙයාර් ආයතනය තරුණ කලාකරුවන් ගේ නිර්මාණ සඳහා ආධාර ව්‍යපෘතියක් ආරම්භ කිරීම හේතුවෙනි. එයට සම්බන්ධ වෙමින් අදාළ නිර්මාණ කරුවන් සඳහා අධ්‍යාපනික වැඩසටහනක් ගොඩ නැගීම මට පැවරී තිබුණු කාර්ය යි. මේ අභියෝගය භාරගත් මගේ මූලික සංකල්පය වූයේ ‘සහජීවනය සඳහා ඉතා වැදගත් අරගල බිමක් ලෙස සංස්කෘතිය වටහා ගත යුතුය’ යන තේමාවයි. කලාවේ නූතනත්වය පිළිබඳ ගැටලුවලට අමතරව සිංහල සමාජයේ ගැඹුරු සැකසුම් සමග එකී සංස්කෘතික සම්ප්‍රදායයන් සහසම්බන්ධ වශයෙන් බැඳී ඇති ආකාරය එක් පසෙකින් ද, අනෙක් පසින් දෙමළ සහ සිංහල කලා සහ සංස්කෘතික සම්ප්‍රදායයන් චිරන්තනයේ සිට එකිනෙකින් පෝෂණය වෙමින් පැමිණි අයුරුද රසවත් ලෙස පෙන්වා දෙන්නට මම සිතුවෙමි. මේ කාර්යය සම්පූර්ණ ලෙස සාර්ථක කර ගන්නට නම් බියෙන් තොරව, පවතින රාමුවෙන් බැහැරට සිතන දෙමළ විද්වතකුගේ පූර්ණ සහභාගිත්වය අවශ්‍ය විය. දෙවරක් නොසිතා මම කෙයාර් ආයතනයට යෝජනා කළේ මෞනගුරු මහාචාර්යතුමාට මේ සඳහා ආරාධනා කොට කෙසේ හෝ ඔහුගේ සේවය ලබාගැනීමට උත්සාහ කරන ලෙසය. මා මේ කාර්යයට සම්බන්ධ බව දැනගත් ඔහු සතුටින්ම ඊට සම්බන්ධ විය. මේ නිසා නූතන ශ්‍රී ලාංකික සෞන්දර්ය ප්‍රශ්න තියුණු විචාරයට භාජනය කරන්නා වූ ඉතා හොඳ මට්ටමේ සහ අපූර්ව ආකාරයේ තෙදින වැඩමුලුවක් නිර්මාණය කරන්නට අපට හැකි විය.

රටේ තරුණ කලාකරුවන් සහ විද්වතුන් සඳහා කොළඹ සහ යාපනය ඇතුළු ස්ථාන ගණනාවකම සිංහල මෙන්ම දෙමළ භාෂාවලින් මෙම වැඩමුළුව පැවැත්වීමට අප දෙදෙනාට සිදු විය. මේ වැඩමුළුව හරහා අපට පවත්වන්නට ලැබුණු සංවාදය මෙන්ම, ඉන් අපට ලැබුණු යහපත් ප්‍රතිචාර ගැනද ඇතිතේ සොඳුරු මතකයකි.

අපගේ සංස්කෘතික චින්තනයට ධනාත්මක බලපෑමක් කරමින් මේ රටේ සාමය සහ සමාජ- සංස්කෘතික ප්‍රගමනය සඳහා මෑත යුගවල මැදිහත් වූ විශිෂ්ට දෙමළ විද්වතුන් වන මහාචාර්ය ඉන්ද්‍රපාල, මහාචාර්ය කෛලාසපති, මහාචාර්ය සිවතම්බි යනාදී නම් අතර මහාචාර්ය මෞනගුරු ගේ නම ද රැඳෙන්නේය. යාපනය විශ්ව විද්‍යාලයේ මෙන්ම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සිය විශ්‍රාම සමයේ මඩකලපුව මුල් කොට ගෙන තියටර් ලැබ් නම් පර්යේෂණ ආයතනය පිහිටුවා ගන්නා මහාචාර්ය මෞනගුරු අදත් සිංහල මෙන්ම දෙමළ කලා කරුවන් සහ කලා විද්වතුන් සමග අත්වැල් බැඳ ගෙන සමාජ සහ සංස්කෘතික ප්‍රගමනය සඳහා නොකඩවා ම කැපවී සිටී. හේ තරුණ පෙළට ඉදිරියට ගමන් කිරීමට මඟ කියන නියමු තරුවක් බඳුය. ඔහුට අපි ඉතාම සෞඛ්‍ය සම්පන්නව චිරාත් කාපයක් වැජබෙන්නට ලැබේවා! කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

Comments